සිකුරාදා, 03 ජනවාරි 2020 12:59

පන්ති කාමරයේ හැංගුණු මාරයා

​පැවති රජයේ පාසල් සංවර්ධනයේ ප්‍රධාන මාතෘකාව වූයේ ‘‘ළඟම පාසල හොඳම පාසල’’ යන්නය. ඒ අනුව 2016 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලයන්හි ගොඩනැගිලි අලුත්වැඩියාව ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් බිලියන 54ක් වෙන් කර තිබුණේය. මේ ගෙවෙමින් ඇත්තේ 2019 වසරේ අවසන් දින දෙක තුනය. රජයෙන් පාසල් සංවර්ධනයට මුදල් වෙන් කර තිබුණත් බර අදින්නේ මව්පියන්ය. විශේෂයෙන්ම පාසල් බිත්ති ඩෙස්පුටු වර්ණ ගැන්වෙන්නේ අම්මලා තාත්තලාගේ සාක්කුවේ මුදලෙනි. දරුවා වෙනුවෙන් ඒ යුතුකම ඉටු කළාට කම් නැත්තේය. ගැටලුව මව්පියන් බර අදිද්දී පාසල් සංවර්ධනයට වෙන් කළ මුදල්වලට කුමක් වූවාද යන්නය. මූල්‍ය කරුණු නම් එසේය. ඊටත් වඩා බරපතළ තව ගැටලුවක් ඇත්තේය. ඒ මව්පියන් මුදල් එකතු කර වාර්ෂිකව වර්ණ ගන්වන පන්ති කාමර සුරක්ෂිතද යන්නය. හේතුව හැම පාසලක්ම වර්ණ ගන්වන්නේ ප්‍රමිතිගත තීන්තවලින් නොවීමය.

සල්ලිබාගේ තිබෙන ජනප්‍රිය පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් නම් ප්‍රමිතිගත තීන්ත මිලදීගෙන බිත්ති හා ඩෙස්පුටු වර්ණ ගැන්වීමට දායක වන්නෝය. ඇතැම් අවුරුදුවල ඒ ඒ පන්තිවල තීන්ත ගෑම භාරගන්නේ ඇති හැකි මව්පියන්ය. ඔවුහු අවශ්‍ය කළමනා සපයාදී කොන්ත්‍රාත්කරුවන් යොදවා තීන්ත ගෑම කරති. මීට අමතරව මව්පියන් එකතු වී මුදල් එකතු කර කොන්ත්‍රාත්දී හෝ මව්පියන්ගේ ශ්‍රම දායකත්වයෙන් තීන්ත ගාන අවස්ථාද තිබෙන්නේය. මේ අතර වාර්ෂිකව කෙරෙන තීන්ත ගෑමේ දී අඩු මුදලට තීන්ත මිලදී ගෙන පන්ති කාමර වර්ණ ගන්වන මව්පියෝද සිටිති. ඇතැම් අවස්ථාවල මහා විද්‍යාලවල තීන්ත ගෑම භාර දෙන්නේ කොන්ත්‍රාත්කරුවන්ටය. ඔවුන්ගෙන් සමහරු වැඩි ලාභයක් තබාගෙන අඩු මිලට අඩු ප්‍රමිතියකින් යුතු තීන්ත හෝ කල් ඉකුත් වීමට ආසන්නව සේල් දමා ඇති තීන්ත මිලදී ගෙන බිත්ති වර්ණ ගැන්වීම කරන්නේය. එහිදී ප්‍රමිතියෙන් තොර තීන්ත භාවිත කළොත් එහි භයානක ප්‍රතිවිපාක එම පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ට අත්වන බව වෛද්‍යවරු අනතුරු හඟවති. ඒ කතාව දැන ගැනීමට පෙර මේ තීන්ත හදන්නේ කොහොමදැයි දැන ගැනීම වටී. ඒ ගැන ප්‍රමිතිගත තීන්ත නිෂ්පාදන සමාගමක සහකාර කළමනාකාර අධ්‍යක්ෂවරයකු වූ සුනිල් ප්‍රනාන්දු කියන්නේ මෙසේය.

‘‘ප්‍රමිතිගත තීන්ත නිෂ්පාදන සමාගම් ළමයි සහ ළමයින් ආශ්‍රිත දේවල් වර්ණ ගැන්වීම සඳහා කිඩිස් පේන්ට් යනුවෙන් ළමා සෞඛ්‍යයට හිතකර තීන්ත වර්ග නිෂ්පාදනය කරනවා. ඒ ජාත්‍යන්තර ප්‍රමිතියට හා ලංකාවේ එස්.එල්.එස්. ප්‍රමිතියට අනුව. සාමාන්‍යයෙන් තීන්ත නිෂ්පාදනයට ලෙඩ් ඇතුළු බැර ලෝහ වර්ග 16ක් භාවිත කරනවා. එස්.එල්.එස්. ප්‍රමිතියට අනුව ළමයි ආශ්‍රිතව කරන නිෂ්පාදනවල ලෙඩ් පී.ටී.එම්. අනුපාතය 90ට වඩා අඩු වෙන්න ඕන. ලංකාවේ මහා පරිමාණයෙන් තීන්ත නිෂ්පාදනය කරන සමාගම් 7ක් පමණ තිබෙනවා. කුඩා පරිමාණ නිෂ්පාදන ආයතනත් තිබෙනවා. ඊට අමතරව ඉන්දියාව, චීනය වැනි රටවලිනුත් තීන්ත ගෙන්වනවා. විශේෂයෙන් පිටින් ගේන තීන්තවල ප්‍රමිතිය කුමක්ද කියා දන්නේ නෑ. ඒ අය යුරෝපා රටවල ප්‍රමිතිය හෝ ලංකාවේ ප්‍රමිතිය අනුව නෙවෙයි තීන්ත නිෂ්පාදනය කරන්නේ.

සාමාන්‍යයෙන් තීන්ත නිෂ්පාදනයට පිට්මන්, බයින්ඩර් හා සොල්වන්ට් යන මූලික අමුද්‍රව්‍ය තුන භාවිත කරනවා. ඉමල්ෂන් තීන්ත වතුරෙන් දිය කරලා ගාන්නේ. එනමල්වලට භාවිත කරන්නේ සොල්වන්ට්. බැර ලෝහ වැඩි වශයෙන් එකතු කරන්නේ පිට්මන්වලට. එනමල් තීන්ත ඉක්මනින්ම වේලීම සඳහාත් බැර ලෝහ පාවිච්චි කරනවා. ලෙඩ් තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. එය හොඳ වේලුම්කාරකයක් වුණත් ශරීරයට ඉතාම අහිතකරයි. එම නිසා පිළිගත් ලියාපදිංචි සමාගම් ලෙඩ් වෙනුවට මිලෙන් අධික සර්කෝනින් කියන වේලුම්කාරකය පාවිච්චි කරනවා. එය ශරීරයට අහිතකර නෑ. ඒත් ප්‍රමිතියකින් තොරව තීන්ත හදන අය පිටකොටුවේ පොඩි පොඩි කඩවලින් මිනිස් සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය මිලදීගෙන තීන්ත හදලා අඩු මිලට විකුණනවා. සමහර තැන්වල ලීටර් හතරම වෙන්නේ රුපියල් නමසිය ගණනක්. ආර්ථික ගැටලු නිසා මිනිස්සු අඩු මිලට ඇති තීන්ත මිලදී ගන්නවා. ඒත් එම සිරුරට අහිතකර බැරලෝහ සහිත තීන්ත ආලේප කරන අයටත්, එම ගොඩනැගිලිවල ගැවසෙන අයටත් දිගුකාලීන වශයෙන් අහිතකර ප්‍රතිඵල අත් කර දෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ට කාලයත් සමග ආශ්වාස ප්‍රශ්න ඇතිවීම, මතකය හීනවීම, මොළය ආශ්‍රිත ලෙඩ රෝග හැදීම ආදී නරක ප්‍රතිඵල අත්කර දෙන්න පුළුවන්.’’

කෙසේ නමුදු මේ පාසල්වල තීන්ත ගාන කාලයකි. ඒ තව දින දෙක තුනකින් අලුත් අවුරුද්දට ඉස්කෝලේ පටන් ගන්නා නිසාය.

පන්ති කාමරයක් වර්ණ ගැන්වීමට ලීටර් 10 පමණ තීන්ත අවශ්‍ය වන්නේය. බිත්තිවලට ඉමල්ෂන්ද ඩෙස්පුටු පාට කිරීමට එනමල්ද දැල් පාට කිරීමට ඇන්ටි කොරෝසිව්ද ආදී ලැයිස්තුවක් මිලදී ගත යුතුය. එහිදී වැඩිපුරම පාසල් බිත්ති පාට කිරීමට ගන්නේ බ්‍රිලියන්ට් වයිට් වර්ණයෙන්ය. එහෙත් ඇතැම් පාසල් විවිධ වර්ණ භාවිත කරන අවස්ථාද ඇත්තේය. මීට අමතරව එක් එක් වසරවලට අදාළ පන්ති සහ ඩෙස්පුටු පාට කිරීමට වෙනම වර්ණද හඳුන්වා දී තිබෙන්නේය. පන්ති කාමර වර්ණ ගැන්වීමට භාවිත කරන වර්ණ දුර්ලබ බැවින් ඒවාහි මිල ගණන්ද පොදු වර්ණවල මිල ගණන්වලට වඩා වැඩිය. මෙම වර්ණ තෝරා ගන්නේ පාසල් සංවර්ධන සමිතිවල, ආදි ශිෂ්‍ය සංගම්වල හෝ මව්පිය සංගම්වල අදහස් අනුවය. විශේෂයෙන්ම පන්ති කාමර වර්ණ ගැන්වීමේ ක්‍රියාවලියේදී වර්ණ තෝරා ගැනීම, එම වර්ණ කුමන නිෂ්පාදන වර්ගයකින් මිලදී ගන්නවාද තීරණය කිරීම හා නිෂ්පාදන ආයතනය තීරණය කිරීම ආදිය පිළිබඳ කිසිදු චක්‍ර ලේඛයක් හෝ ප්‍රමිතිගත ක්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින්ද නිකුත් කර නොමැත්තේය. පන්ති කාමර හා පාසල් යටිතල පහසුකම් වසරින් වසර අලුත්වැඩියා වන්නේ කෙසේදැයි කියාවත් අදාළ බලධාරීන් නොදන්නේය. පාසල් සිසුන් සෞඛ්‍ය අවදානමකට ලක්වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

සුනිල් ප්‍රනාන්දු කියූ පරිදිම ලංකාවේ භාවිත කරන ඇතැම් තීන්ත වර්ගවල ඊයම් බහුලව තිබෙන බව විද්‍යාත්මක පරීක්ෂණවලින්ද තහවුරුව ඇත්තේය. විශේෂයෙන්ම තද පාට තීන්ත, දිලිසෙන ගතියක් ඇති තීන්ත ආදියෙහි ඊයම් බහුල බව තහවුරුව තිබේ. ඊයම් සෞඛ්‍යයට අහිතකර බැවින් බොහෝ බටහිර හා යුරෝපා රටවල් ඊයම් සතු තීන්ත තහනම් කර ඇත්තේය. ලංකාවේද විවිධ කාලවකවානුවල ඊයම් සහිත තීන්ත භාවිතයට එරෙහිව හඬ නැගුවේය. එහෙත් තවමත් එම පාවිච්චියට නුසුදුසු තීන්ත වෙළෙඳපොළේ තිබෙන්නේය. අඩු මුදලට තීන්ත මිලදී ගන්නා කොන්ත්‍රාත්කරුවෝ පෙර පාසල්, පාසල් ආදී පොදු ස්ථාන වර්ණ ගන්වන්නේ ඒවායෙන්ය. මෙවන් දේ නිසා පාසල්වල වාර්ෂික වර්ණ ගැන්වීමේ ක්‍රියාවලිය ශිෂ්‍ය සෞඛ්‍යයට අහිතකර බලපෑම් කරන්නේය. ඒ පිළිබඳව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ හිටපු අංශ ප්‍රධානී සහ කායික රෝග හා දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක දැක්වූ අදහස මෙසේය.

‘‘ඊයම් කියන බැර ලෝහය මානව සෞඛ්‍යයට අහිතකරයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ට හා ගැබිනි මව්වරුන්ට අහිතකරයි. ඒ නිසා බටහිර හා යුරෝපා රටවල් රාශියක් ඊයම් සහිත තීන්ත භාවිතය තහනම් කරලා තිබෙනවා. ඒත් ලංකාවේ මේවා භාවිත වෙනවා. විශේෂයෙන්ම නව වසරක අලුත් පාසල් වාරයට පෙර පන්ති කාමර පාට කිරීම සිදුවෙනවා. එහිදී ඇතැම් පාසල්වල මව්පියෝ අඩු මුදලට ප්‍රමිතියකින් තොර තීන්ත මිලදී ගන්නවා. ඒවා බිත්තිවල හා ඩෙස්පුටුවල ආලේප කළාම එහි අහිතකර ප්‍රතිඵල විඳින්න වෙන්නේ දරුවන්ට. මොකද දරුවන් වැඩි වෙලාවක් රැඳී සිටින්නේ පාසලේ. ඊයම් සහිත තීන්ත ගෑවාම ඒවායේ ඇති ඊයම් අංශු පන්ති කාමර අවට වාතයේ සැරිසරනවා. ඒවා හුස්ම ගැනීමේ ක්‍රියාවලියෙන් ළමයින්ට ශරීර ගත වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල කුඩා දරුවෝ ඩෙස්පුටු අතගාලා ඒ ඇඟිලි කටේ දාන අවස්ථා තිබෙනවා. එයිනුත් බැර ලෝහය ශරීරගත වෙන්න පුළුවන්. දිනපතා ඊයම් අංශු ශරීරගතවීමේ අහිතකරම ප්‍රතිඵලය බුද්ධි ඵලය හීනවීම. මොළයට ඇති කරන බලපෑම ඇරුණු කොට විවිධ ශාරීරික ආබාධවලටත් ගොදුරු වෙන්න පුළුවන්. පාසල් දරුවන්ට වගේම පෙර පාසල් දරුවන්ටත් මෙම තීන්ත අහිතකරයි. විශේෂයෙන්ම පෙර පාසල් බිත්තිවල තදපාට වර්ණවලින් චිත්‍ර අඳිනවා. තද වර්ණවලත් ඊයම් ප්‍රතිශතය වැඩියි. පාසල් වර්ණ ගැන්වීමේදී ලාභය පිළිබඳ නොසිතා දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ සිතා තීරණ ගැනීමයි වැදගත් වෙන්නේ.’’

මිනිස් සිරුරට අහිතකර නම් තීන්තවලට ඊයම් මිශ්‍ර කරන්නේ ඇයි? මීළඟ ගැටලුවය. තීන්තවලට ඊයම් මිශ්‍ර කිරීමේ වාසිය ලැබෙන්නේ නිෂ්පාදකයාටය. එනම් ඊයම් මිශ්‍ර තීන්ත ඉක්මනින් වේලෙන්නේය. එසේම එය ඉක්මනින් පතුරු නොයන අතර බිත්තියට අල්ලා තබා ගැනීමේ කාලයද වැඩිය. එසේම එම තීන්ත ආලේපයෙන් බිත්තියේ දිලිසීමේ ගතියද වැඩිවන්නේය. මෙවන් වූ අතුරු වාසි රැසක් නිසා නිෂ්පාදකයා තීන්තවලට ඊයම් මිශ්‍ර කරන්නේය. මෙවැනි තීන්ත ආලේපය කෙටිකාලීනව සේම දිගුකාලීනවද අනතුරු දායකය. හේතුව කාලයත් සමග මේවාද පොතු ලෙසින් ගැලවෙන්නේය. එසේ ගැලවෙන තීන්ත ආලේපන පොතු අංශු බවට පත්වී අවට වාතයත් සමග මිශ්‍ර වන්නේය. දැඩි අව් රශ්මිය ඒ තත්ත්වය තව තවත් වැඩි කරන්නේය. එයින් දිනපතාම පාසල් දරුවන්ගේ ශ්වසන පද්ධතිය හරහා ඊයම් අංශු ශරීර ගතවීම සිදුවන්නේය. මෙවන් වූ තත්ත්වයන් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වල තීන්ත ආලේපය ප්‍රමිතිගත කිරීමට මැදිහත් වීම අවශ්‍යවන්නේය. විශේෂයෙන්ම ඊයම් සහිත තීන්ත භාවිතය තුරන් කිරීම සඳහා රජය මැදිහත් විය යුත්තේය. එසේම පාසල්වල තීන්ත ගෑම අධ්‍යාපන අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ කිරීම වැදගත්ය.

තීන්ත ගෑමට අමතරව දැන් පන්ති කාමරය හැඩ ගැන්වීම්ද කරන්නේය. තිරරෙදි දැමේ. එනමුත් ඉස්සර පන්ති කාමර තිබුණේ දරුවන්ට එළිමහන පෙනෙන ආකාරයටය. ස්වාභාවික සුළඟ ලැබෙන ආකාරයටය. එහෙත් දැන් එම ක්‍රමවේදය අබිබවා යමින් පන්ති කාමර තිරරෙදිවලින් සැරසේ. කෙසේ නමුදු කායික රෝග හා දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කියන්නේ පොඩි දරුවන්ට හිරු එළිය අවශ්‍ය බවය. ඒ වගේම හිර නොවුණ නිදහස් පරිසරයකුත් අවශ්‍යයි. වැඩෙන්න ඕන සුළඟ වැස්ස ඉර එළිය යන සොබාදහමත් සමගයි. සොබාදහමෙන් දුරස් කරන්න කරන්න ළමයි කෘත්‍රිම පරිසරයකට හුරු වෙන්නේ. දැනටමත් ඒක වෙලා තිබෙන්නේ. එයින් මානසිකව මෙන්ම ශාරීරිකවත් ළමයි දුර්වල වෙනවා. අද තිබෙන ප්‍රශ්නයක් තමයි ළමයින්ගේ විටමින් ඩී ඌනතාව. ඒ වගේම නිර්මාණශීලීත්වය මඳ බව. තිර රෙදි දාලා පන්ති කාමර ආවරණය කරන එකෙන් ළමයින්ගේ නිදහස් සිතුවිලි සිරගත කිරීමක් කරන බවයි මට හැඟෙන්නේ. එම නිසා යම් දෙයක් අලුතින් කරනවා නම් ඒ පිළිබඳ අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් පිළිපැදිය යුතු බවයි මගේ අදහස.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website