සදුදා, 06 ජනවාරි 2020 10:29

සමාජ ජාලාවල නිතර පෙන්වන කවුද මේ අම්පිටියේ සුමනරතන හිමි

මඩකලපුවේ මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පියතුමෙක් ලෙස කියාගත් පුද්ගලයකු විවේචනය කරමින් ඔහුට බැණ වදින වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ. හාමුදුරුවන් එහිදී ප්‍රකාශ කර සිටින්නේද අදාළ පූජකවරයා කතෝලික පියතුමෙකු නොවනබවය. හාමුදුරුවන්ට අනුව ඔහු මූලධර්මවාදී ආගමක ෆාස්ටර්වරයෙකි.

එම චෝදනාව ඔප්පු වන්නේ ආදළ සිදුවීමෙන් පසු කතෝලික අගරදගුරු පදවි ජනසන්නිවේදනඅධ්‍යක්ෂ හා අගරදගුරු පදවි මාධ්‍ය සම්බන්ධීකාරක වන ජූඩ් ප්‍රියන්ත පියතුමා, සුමනරතන හිමියන් චෝදනා කරන පුද්ගලයා නිල වශයෙන් කතෝලික සභාවට අයත් අයකු නොවන බව පැවසීමය. විශේෂයෙන්ම ජූඩි පියතුමා පවසන පරිදි ඔහු තමා විසින්ම ලෝගුවක් පැලඳගෙන තමා විසින්ම පාස්ටර් කෙනෙක් ගියා ගන්නා කිසියම් බයිබල් ආගමකට අයත් විවාහක පුද්ගලයෙකි. කෙසේ නමුදු අම්පිටියේ සුමනරතන හිමියන් මධ්‍යයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ මුල්ම අවස්ථාව මෙය නොවේ. දැන් මඩකලපුවේ වැඩ සිටියද සුමනරතන හිමියන්ගේ උපන් ගම මහනුවර, අම්පිටියය. උන්වහන්සේ පැවිදි දිවිය ආරම්භ කළේ වයස අවුරුදු දහ අටේදීය. ඒ උඩුදුම්බර තෙල්දෙණිය උඩස්පත්තුව ශ්‍රී සුදර්ශනාරාම රජමහා විහාරයේදීය. සුමනරතන හිමියන් මඩකලපුව මංගලාරාමාධිපති වන්නේ අහඹු ලෙසය. 1998 කාලය වන විට මඩකලපුව එල්.ටී.ටී.ඊ.යේ තර්ජනයට ලක්ව තිබිණි. එහි ප්‍රතිඵලය වූවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි තිස් දහසකට අධික සිංහල ජනතාව ගමබිම අතැර යාමය. ඉන් සිංහල සිසුහු 2000කට අධික පිරිසක් අධ්‍යාපනය ලද මඩකලපුව සිංහල මහා විද්‍යාලය අකර්මණ්‍ය විය. ලංකා බේකරිය ඇතුළු සිංහල ව්‍යාපාරික ස්ථාන වැසී ගියේය. එවන් වූ වාතාවරණයකදීත් ඒ භූමියේ පිහිටි එකම විහාරස්ථානය වූයේ මඩකලපුව නගර මැද පිහිටි මංගල මහා විහාරයය. ඊටද කොටි පහර දුන්හ. ඔවුහු පන්සල් භූමියේ බෝ සමිඳුන් කපා ටයර් දමා පුළුස්සා දැමූහ. මුළු විහාරස්ථානයම බෝම්බ ගසා විනාශ කළ එල්.ටී.ටී.ඊ.ය මඩකලපුව නගරයේ සහ ජයන්තිපුර ආදී ගම්මානවල සිටි සිංහල ජනයා කපා කොටා මරා දැමූහ. එවන් වූ තත්ත්වයකදී ඉතිරිව සිටි මිනිස්සු සිය ව්‍යාපාර හා ඉඩකඩම් අතැර දමා පණ බේරාගෙන මඩකලපුවෙන් පලා ගි​යේය. එකල මඩකලපුවේ රාජකාරි කළ සෙබළුන්ට සෙත්පතා ගැනීමට ස්වාමීන් වහන්සේ නමක් ​නොසිටියේය.

1998 මැයි 17 වැනි දින අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුවට වැඩම කරන්නේ එවැනි තත්ත්වයක් තිබියදීය. ආරක්ෂක සෙබළුන් කළ ආරාධනයක් නිසාය. උන්වහන්සේ එහි වැඩම කළහ. වව්නතිව් කඳවුරට පැමිණි සුමනරතන හිමියෝ සෙබළුන්ට සෙත්පතා බෝධි පූජාව පැවැත්වූහ. පසුව එහිමියෝ සිය ගුරු හාමුදුරුවන් වූ තිරිකුණාමලය සේරුවිල මංගල රජමහා විහාරාධිපති සේරුවල සරණකිත්ති හිමියන්ද මුණ ගැසුණහ. නැගෙනහිර පවතින ආරක්ෂක තත්ත්වය හා මංගලාරාමය පිළිබඳ කතාබහ ඇතිවන්නේ එහිදීය. සැතපීමට යන සුමනරතන හිමියෝ එහිදී සිතුවේද තමා නුවරට වී සුවෙන් සතුටෙන් පසුවෙනවාද මඩකලපුවට පැමිණ එහි බෞද්ධ උරුමයන් රැක ගැනීමට කටයුතු කරනාවද යන්න පිළිබඳවය. එහි අවසාන ප්‍රතිඵලය වූවේ අම්පිටියේ සුමනරතන හිමියන්ගේ සිත මඩකලපුව ශ්‍රී මංගලාරාමයේ නැවතීමය.

1921 වසරේ දඹගස්ආරේ සුමේධාලංකාර මහ නාහිමියන් ආරම්භ කළ සේරුවිල සරණකිත්ති හිමියන් ආරක්ෂා කළ මංගලාරාමය උන්වහන්සේ භාර ගත්හ. ඒ වන විට යුද්ධය උණුසුම්ව පැවැතියේය. සුමනරතන හිමියන් ඇතැම් දිනවල වැළඳුවේ වට්ටක්කා කැකිරි වැනි එක් එළවළුවක් පමණය. පොලිසිය හා හමුදාව බොහෝ දිනවල දානය දුන්නේය.

කොටි තර්ජන නිසා සුමනරතන හිමියන් පොළොවේ හෑරූ වළක් හෝ කැළෑවේ රැය පහන් කළ අවස්ථා බොහෝය. එවන් දුෂ්රකරතා හමුවේත් මංගලාරාමය අතැර උන්වහන්සේ මහනුවරට වැඩම නොකළහ. සෙබළුන්ට සෙත් පතමින් මඩකලපුවේම වාසය කළහ. විටෙක සුමනරතන හිමියන් ත්‍රස්ත ග්‍රහණයටද හසුවූහ. එහිදී දින ගණන් කුසගින්නෙන් හා පිපාසයේ සිටීමට සිදුවිය.

යුද්ධය හේතුවෙන් එරාවුර් වැනි ගම්මාන සිංහලයන් තොර ප්‍රදේශ බවට පත්ව තිබුණේය. එහෙත් කෙවිලියාමඩුව, මංගලගම, සිප්පිමඩුව, දිවුලපොතන ආදී ගම් කිහිපයක පමණක් සිංහලයෝ ටික දෙනෙක් පදිංචිව සිටියහ. ඒ ත්‍රස්තයන්ගේ හා දෙමළ දේශපාලනඥයන්ගේ තර්ජන ගර්ජන හමුවේය. එහිදීත් ඔවුන්ට ශක්තියක් වූ‍වේ අම්පිටියේ සුමනරතන හිමියන්ය. මරණ භය නිසා ප්‍රදේශය හැරගිය සිංහල ජනතාව යළිත් එම ප්‍ර‍දේශවලට සංක්‍රමණය වීම ඇරඹුවේ 2002 වසරේ සාම ගිවිසුම අත්සන් තැබීමෙන් පසුය. ඔවුහු සිය ගම්බිම් බලා එන විට ඒ ඉඩම් තවත් පිරිසක් අත්පත් කරගෙන සිටියහ. සිය ඉඩම්වල අයිතිය ඉල්ලමින් සිංහල මිනිසුන් අදාළ බලධාරීන් හමු වුවද ඉන් සාධාරණ විසඳුමක් නොලැබුණේය. එවන් වූ අවස්ථාවලදී අසරණ වූ මිනිසුන්ගේ පිහිටට හිටියේ අම්පිටියේ සුමනරතන හිමියන්ය.

මේ වන විට උන්වහන්සේ කෙවිළියාමඩුව, පුළුකුණාව, සින්නවත්ත, සිප්පිමඩුව, කොස්ගොල්ල, දිවුලපතාන යන ගම්මාන සිංහල පවුල් තිස් දහසක් පමණ පදිංචි කරවා ඇත්තේය. ඉන් නොනැවතුණු උන්වහන්සේ එහි සිටිනා පැල්පත්වාසී දිළිඳු ජනතාවට මෙරට සහ පිටරටවල සිටිනා දායක දායිකාවන්ගේ මූල්‍ය දායකත්වය ලබාගෙන නිවාස රාශියක් නිමකරදී තිබෙන්නේය.

පසුගිය කාලය පුරාම සුමනරතන හිමියන් ගැන අසන්නට ලැබුණේ ආන්දෝලනාත්මක සිද්ධීන්ය. දිනක් සුමනරතන හිමියෝ නුවර පන්සලේ සිට මඩකලපුවේ මංගලාරාමය දක්වා වැඩම කරමින් සිටියහ. එහිදී සුමනරතන හිමියන්ට දැනගන්නට ලැබෙන්නේ මඩකලපුවට කිලෝමීටර් දෙක්ක දුරින් පිහිටි පිල්ලේ අඩි හන්දියේ බුදු ගෙයතුළ තැන්පත් කර තිබූ බුදු පිළිම වහන්සේ සිත්පිත් නැති නරුමයන් විසින් තලා පොඩි පට්ටම් කර ඇති බවය. එම ස්ථානයට ගිය සුමනරතන හිමියෝ ඒ අපරාධය සියැසින්ම දැක ගත්හ. ආපසු විහාරස්ථානයට වැඩම කළ උන් වහන්සේ විහාරස්ථානයේ තැන්පත් කර තිබූ අඩි 03 ක් පමණ උසැති හිඳි පිළිම වහන්සේ රැගෙන යළිත් පිල්ලේ අඩි හන්දියට වැඩම කළහ. එහි බුදු පිළිමය තැන්පත් කළහ.

එදින හවස් යාමය වන විට මඩකලපුවේ සහකාර පොලිස් අධිකාරී ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් පිරිසක් සුමනරතන හිමියන් මුණ ගැසීමට පැමිණියහ. එම ස්ථානයේ බුදු පිළිමයක් තැබීමෙන් කලබලයක් ඇතිවිය හැකි නිසා බුදුපිළිමය ඉවත් කරගන්නැයි ඔවුහු පැවසූහ. එහෙත් යුද සමයේ ආරක්ෂක සෙබළුන් වැඳුම් පිදුම් කළ ස්ථානයෙන් බුදුපිළිමය අයින් කර ගැනීමට සුමනරතන හිමියෝ අකමැති වූහ. අවසානයේ පොලිසිය විසින් එම ස්ථානයෙන් බුදු පිළිමය ඉවත් කරන ලදී. මීළඟ ගැටුම පිල්ලේ අඩි හන්දියේ මංගලාරාමයට යන පාර පෙන්වන නාම පුවරුව සවි කිරීමට විරුද්ධවීමය. එම විරෝධතාවට මුල් වී කටයුතු කරන ලද්දේ එවකට දෙමළ සන්ධාන පාර්ලි​මේන්තු මන්ත්‍රීවරයකු වූ මාවෙයි සේනාධිරාජා ඇතුළු පිරිසය. මේ වනවිට එම ගැටලුව නම් විසඳාගෙන තිබෙන්නේය.

කරදියන්ආරු ප්‍රදේශයේ පැවැති බෞද්ධ පූජා භූමියක් ඩෝසර් කර එම භූමියේ වී වැපිරීමට කටයුතු කිරීම සුමනරතන හිමියන් කම්පාකරවූ තවත් එක් සිදුවීමක්ය. එහිදීද සුමනරතන හිමියන් දකින්නේ වසර සියදහස් ගණනක් ඉපැරණි පූජා භූමිය පැවැති ගල් කණු, සිරිපතුල් ගල් ආදී ඉපැරණි පුරා වස්තු ඩෝසරයක ආධාරයෙන් ගලවාදමා ඇති අයුරුය. ඉපැරණි දාගැබක් මුදුනින් කණු සිටුවලා කටුකම්බිවලින් වැට ගසා ඇති අයුරුය. නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි වසර ගණනාවක් ඉපැරණි පූජා භූමි විනාශය සුමනරතන හිමියන්ට බලාසිටිය නොහැකිය. එහිමියන් කෑ ගසන්නේ ඒ නිසාය.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website