අඟහරුවාදා, 07 ජනවාරි 2020 10:41

ලංකාවේ කොල්ලන්ට වඩා බල්ලන් වැඩි වෙයිද?

ලංකාවේ බල්ලන් ගැන ‘බලු ප්‍රවෘත්තියක්’ පසුගියදා අනාවරණය විය. එනම් ලංකාවේ බලු ගහනය ලක්ෂ 30 දක්වා වැඩි වී ඇති බවය. රටේ ජනගහනය හරියට කියන්නට නිසි ජන සංගණනයක් කෙරී නැති රටක බල්ලන්ගේ ගණනවත් කියන්නට සමීක්ෂණයක් කර තිබීම ඇත්තටම සතුටු විය හැකි කරුණකි. බල්ලා අපිට සමීපම සතෙකි. එහෙත් කොරියන්කාරයන්ට නම් බල්ලා සමීප දිවටය. ඒ ඔවුන්ගේ ප්‍රධාන ආහාරයක් වන්නේ බලු මස් නිසාය. අපේ සමාජයේ ඕනෑම වැඩකට වැඩියෙන්ම බැණුම් අහන අහක ඉන්න සතා බල්ලාය.

‘හිටියා උදාර කොල්ලෙක්

ඌට හිටියා හොඳ සැර බල්ලෙක්

පළාතේ එන්නෑ බිල්ලෙක්

උගේ ඇඟේම නෑ එක මැක්කෙක්’

යනුවෙන් එදා ෆ්‍රෙඩී සිල්වා ගීතයක් ගායනා කොට ඇත්තේද මේ ගැනමය. නමුත් මේ බල්ලා හිටි අඩියේ පණ නැති මැලවුණ ගතියෙන් නොකා නොබී සිටිද්දී ස්වාමියා හේතුව ඇසූ විට බල්ලා දුන්නේ මෙවැනි පිළිතුරකි.

‘ස්වාමියා හට ඇති කීකරුකම අපි අරින්නෙ නෑ

එනමුත් බල්ලා කියනා නම රැකගන්නත් නෑ

මිනිසුන් අතරේ පොකට් ගහන්නෙත්…

බෙලිද කපන්නෙත්.. උන්ට කියන්නෙත්

බල්ලා… බල්ලා.. බල්ලා… බල්ලා..

බල්ලා… බල්ලා.. බල්ලා… බල්ලා..’

2018 වසරේ ඌව පළාත් සභාව පමණක් කරන ලද බලු වඳ සැත්කම් ප්‍රමාණය 477කි. එම වසරේදී ජලභීතිකා එන්නත් ලබාදී ඇති බල්ලන් සංඛ්‍යාව 7500කි. යහපාලන ආණ්ඩුව කිව්වේ තමන් ඉන්න හිතෙන රටක් හදන බවය. අන්තිමට සිදුවී තිබුණේ ‘බල්ලන්ට ඉන්න හිතෙන රටක්’ තරමට ලංකාවේ බලු ගහනය වැඩිවීමය.

මේ අතර පසුගියදා පැවති ජලභීතිකාවෙන් තොර හෙටක් ජාතික ජලභීතිකා මර්දන වැඩසටහනේදී ‘බලු වැඩ’ බොහොමයක් අනාවරණය කෙරිණි. මෙම වැඩමුළුවේදී අනාවරණය වී ඇත්තේ වසරකට ලංකාවේ බැල්ලියන් 61,000ක් පමණ වඳ සැත්කමට ලක්වන බවය. ඒ සඳහා පසුගිය වසරේ ආණ්ඩුව වැය කොට ඇති මුදල රුපියල් ලක්ෂයේ ඒවා 1000කි. මෙය සුළුපටු මුදලක් නොවේ.

ජලභීතිකා රෝගයෙන් මියගිය මෙරට ප්‍රකටම පුද්ගලයා විය යුත්තේ මහා දානපති චාල්ස් හැන්රි ද සොයිසා විය යුතුය. සංඛ්‍යාලේඛන අනුව පසුගිය වසරේ බල්ලන් හපා කෑම නිසා ජලභීතිකා එන්නත ලබාදී ඇති රෝගීන් ගණන දෙලක්ෂ පනස් දහසකි. මේ සඳහා යහපාලන ආණ්ඩුව ගිය වසරේ වැය කොට ඇති මුදල ලක්ෂ 3500කි. ජලභීතිකා රෝගය අප සුළුවෙන් තැකුවද ගිය වසරේ ලංකාවේ ජලභීතිකා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 26ක් බවද වාර්තා වී ඇත.

මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ ‘බලු ප්‍රශ්නය’ ලංකාවේ අමතක කර දැමිය නොහැකි ජාතික ප්‍රශ්නයක් වී ඇති බවය. මෙම සංඛ්‍යාලේඛනවලට පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගත් රෝගීන් ගණන ඇතුළත් නොවන නිසා මෙම සංඛ්‍යාලේඛනවල නියම තත්ත්වය මීටත් වඩා බරපතළ විය යුතුය.

ජේ.ආර්ගේ පාලන කාලයේ බලු ප්‍රශ්නය උග්‍ර වූ විට ජේ.ආර්. අණ දුන්නේ දඩාවතේ යන සියලු බල්ලන් අල්ලා විනාශ කරන්නටය. බලු වෑන් එක කළේ තොණ්ඩු දමා බලු වෑන් එක ඇතුළට බල්ලා කකුල් හතරෙන් අල්ලා විසි කිරීමය. මුළුමනින් තහඩුවෙන් වසා තිබූ එම වාහනයට දැමූ බල්ලකු බේරාගත හැකි වූයේ බෙල්ලේ මැඩල් එකක් එල්ලා තිබුණොත් පමණය. බල්ලන් අල්ලන උදවිය කවුරුත් ඇසුවොත් කියන්නේ මේ බල්ලන් කඳවුරකට ගෙන ගොස් දමන බවය. ඒත් සිදුවූයේ වෙනකකි. බලු වෑන් එක පිරුණු විට එය භාර රියැදුරා හා පිරිස කළේ කෙළින්ම එම රථය කිරුලපනේ රජයේ කුණු මෝල වෙත ගෙන යෑමය. ඉන්පසු කරන්නේ වෑන් එකේ සයිලන්සරයට බටයක් ගසා සීල් තැබූ බල්ලන් සිටින කුටියට එම බටය ධාර්මික ලෙස සම්බන්ධ කොට වාහනයේ සයිලන්සරය දුම් පිටවන ලෙස ඇක්සලේටරය හොඳින් පෑගීමය. වාහනයේ සිරගත කොට සිටින බලු සනුහරේම විනාඩි ගණනකින් එලොව යන අතර ඉන්පසු එවෙලේම නකුටෙන් අල්ලා කුණු මෝලේ චිමිනියට ඇද දාන බල්ලන්ගේ ඉතුරු වෙන්නේ නැට්ට පමණය. විනාඩි ගණනකින් බල්ලන් සියලු දෙනා අඟුරු බවට පත් වේ. නැට්ට තියාගන්නේ අල්ලන ලද බල්ලන් ගැන දැන ගන්නටය.

ජේ.ආර්ගේ මේ බලු සංහාරයට කෙළින්ම විරුද්ධ වූ පුද්ගලයෙක් නම් ගාමිණී ජයසූරියයි.

‘ගාමිණී, වැඩිදෙනාගේ සුබසෙත පතා සුළු පිරිසක් ඝාතනය කිරීමට සිදුවන බව’ කියා ජේ.ආර්, ජයසූරියව සැනසුවේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ මුලින්ම තිබූ ඡන්ද සලකුණ බල්ලාය. බල්ලන්ට ඡන්ද බලය තිබුණේ නම් ලොකුම තරගය ඇතිවන්නේ බලු ඡන්ද ලකුණ හිමි ජනාධිපති අපේක්ෂකයා සමගය. බල්ලන් ලක්ෂ 30ක් සිටින බැවින් ‘බලු ඡන්දය’ ලක්ෂ 30ක් බැවින් රටේ පාලනයේ රිමෝට් කන්ට්‍රොල් එක බවට පත්වන්නේ සුළු ජාතීන් ​නොව, අපේ මේ ‘බව් බව්’ කියන සුනඛ පෝතකයන්ය.

මෙරට රෝහල්වලටත් වඩා බල්ලන් සිටින්නේ උසාවිවලය. ඇතැම් වැදගත් නඩු තීන්දු දෙන විට නඩු ශාලාව මැදින් බල්ලන් ගමන් කරන්නේ ‘බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ’ කියමන සනාථ කරමින් නඩුකාරයාගේ නඩු තීන්දු පයිසයකට ගණන් නොගනිමිනි.

එහෙත් උසාවියෙන් දෙන ‘බලු තීන්දු’ තමන් පිළි නොගන්නා බව කියූ එස්.බී. දිසානායකට අත්වූ ඉරණම මේ නඩු ශාලා මැද්දෙන් යන බල්ලන් හෙම දැන සිටියේ නම් තත්ත්වය ටිකක් වෙනස් වන්නට ඉඩ තිබුණි.

ලංකාවේ රාජ්‍ය නායකයන් මහමග මරා දමන යුගයක් පසුගිය කලෙක තිබුණ බව අද බොහෝ දෙනාට අමතකය. මෙය පත්තරකාරයන් හැඳින්වූයේ රටේ රාජ්‍ය නායකයන් ‘බල්ලන් මෙන් මහමග මරා දැමූ’ බවය. මෙසේ මියගිය රාජ්‍ය නායකයකු සිහිවන්නට එක් මංසන්ධියක ස්මාරකයක් ගොඩනැගුණි. අදත් බොහෝ අය මේ මංසන්ධිය හඳුන්වන්නේ ‘බල්ලා මැරූ හන්දිය’ ලෙසය.

නවතම බලු සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ වැඩිම බලු ගහනයක් ඇත්තේ බස්නාහිර පළාතේ බවය. අඩුම බලු ගහනයක් ඇත්තේ නැගෙනහිර පළාතේය. මුස්ලිම් ජාතිකයන් බල්ලන් හැදීමට පිළිකුලක් දැක්වීම මීට හේතු විය හැකිය. කෙසේ නමුත් ‘බල්ලන් බිරුවාට කඳු පාත්වන්නේ නැතැයි’ කියන කියමන නම් අප අතර තවමත් තිබුණත් කියමන අප්ඩේට් වුණේ නම් නැත.

අපේ හිටපු රාජ්‍ය නායකයන් ගැන බලන විට ඒ බොහෝ දෙනා බල්ලන් ඇති කළ බැවින් බලු ගහනය ලක්ෂ 30ක් වූවා යැයි කලබල විය යුතු නැත. 56 පෙරළියත්, ආර්ය සිංහල ඇඳුමට බැස්ස බණ්ඩාරනායක බලයට පත් වූ පසු බලු ප්‍රදර්ශනයට ආවේ ජාතික ඇඳුම පසෙකලා ටයිකෝට් ඇඳ යුරෝපීය ඇඳුමෙනි. බලු උත්සවයට සහභාගි වූ බණ්ඩාරනායක පැවසුවේ තමන් ‘බල්ලන්ගේ ඇඳුමෙන්’ සැරසී ආ බවය. ඩී.එස්, ඩඩ්ලි, සර් ජෝන්, සිරිමා මෙන්ම ජේ.ආර්ගේ ගෙවල්වලද සුරතලයට ඇති කළ රාජකීය බල්ලන් සිටි බැවින් පර බල්ලන් අතර රජ බල්ලන්ද සිටින බව අප මතකයේ තබාගත යුතුය.

මිනිසාගේ පරම මිතුරා ලෙස සැලකෙන්නේ බල්ලා නොහොත් සුනඛයාය. තායිලන්තයේ බල්ලාට කියන්නේ ‘සුනඛයා’ බව එරට කලක් තානාපතිවරයා වූ ජේ.බී. දිසානායක මහතා පවසා ඇත. ජාතික ප්‍රතිපත්තියක් නැති ලංකාව වැනි රටක බල්ලන් ගැනවත් ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමට උත්සාහ ගත යුත්තේ එක් ආණ්ඩුවක් මහමග බල්ලන් වෙඩි තබා මරද්දී තවත් ආණ්ඩුවක් බල්ලන්ගේ සුබසාධනයට රැකවරණ මධ්‍යස්ථාන ඇරඹීමට කටයුතු සූදානම් කරන බැවිනි. මානවයා සමග වනාන්තරයෙන් එකට පැමිණ ජනාවාසවල අනාදිමත් කාලයක සිට වෙසෙන බල්ලාට කෘතගුණ දැක්වීම මිනිසාගේ යුතුකමක් වන්නේ ‘බල්ලාට කන්න දුන් විට නකුට වනන’ බවට ඇති ප්‍රකට කියමන නිසාම විය යුතු නැත.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website