බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 07:19

අපේ ජපන් ගෙවිලිය

ඒ සකුරාමල් හිනැහෙන වසන්තයයි. එම කාලයට මුළු ජපානයම අමුතු සිරියාවකින් යුතුය. ඉගෙනුමට ජපානයට ගිය උදාරාද මේ ලස්සන හදවතින් අත්වින්දාය. ඇය සරසවියේ සකුරා මල් ඉහිරුණු පාර දිගේ ඇවිද්දේ තමන්ට පහදාගත නොහැකි අපූර්ව හැඟුමක් හිතට දැනෙද්දීය.

උදාරා ජපානයේ හකු​හෝ තන්කි දයිගකු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ 2006 වසරේදීයි. ඒ සංචාරක කළමනාකරණ පාඨමාලාවක් හැදෑරීම සඳහායි. උදාරාට ඒ වන විටත් ජපන් භාෂාව හොඳින් කතා කිරීමට හැකිව තිබිණි. ඒ කෑගලු බාලිකාවේ ඉගෙනුම ලබද්දී උසස් පෙළ විෂයයක් ලෙස ඕ ජපන් භාෂාව හදාරා තිබුණ නිසාය.

‘‘අපේ පාඨමාලාවට අවුරුද්දක් විතර වෙද්දී, කැම්පස් එකේ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් තිබුණා. මට එතැනදියි අකිඔව මුණ ගැහෙන්නේ. මට පුදුම හිතුණා අකිඔට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඒ හමුවීම මගේ ජීවිතය අලුත් කළා වෙනස් කළා.

උදාරා කතා කරන්නේ අකිඔ කමෙතනි ගැන ආදරයෙනි. අකිඔට හොඳින් සිංහල කතා කරන්නට හැකියාව ලැබී ඇත්තේ කලක් අනුරාධපුර, අවුකන ප්‍රදේශයේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙස ජපන් භාෂාව ඉගැන්වූ කාලයේදියි. උදාරා ජපානයට ගියේ සංචාරක කළමනාකරණය පිළිබඳව හැදෑරීමකට වුවත් ඇයගේ ජීවිතය වෙනස් වන්නට පටන් ගන්නේ අකිඔගේ මුණගැසීමක් සමගය. උදාරාගේ අකමැත්තෙන් වුවත් ඔහු ඇයව යොමුකළේ හරි පැත්තටය. ඒ මගපෙන්වීම නිසාම අද උදාරා හොඳ ගෙවිලියකි. ජපානයේ මුඩුබිම් ඇගේ අත්ගුණයෙන් සරුසාර වෙද්දී, වඩාත්ම සතුටු වුණේ අකිඔය. උදාරා සංකල්පනී ගැන ජපානයේ බොහෝ දෙනා දන්නේද මේ ගොවිකම නිසාය. ඇයව බොහෝ දෙනෙක් හඳුනා ගන්නෙ මුහුණු පොතෙනි. කෙදිනකවත් ගෙවිලියක් වීමට සිහිනයක් නොතිබූ උදාරා ගැන ජපන් මාධ්‍යයද කතා කළ අවස්ථා විය. උදාරා ඒ මතක මෙසේ අවදි කළාය.

‘‘වසර හතරක් විශ්වවිද්‍යාල ජීවිතය හමාර කරලා මමයි අකිඔයි විවාහ වුණා. දැන් අපට අවුරුදු නවයක පුතෙක් ඉන්නවා. මගේ මහත්තයා වෘත්තියෙන් ගුරුවරයෙක්. ඔහුට වගාව ගැන තියෙන්නේ පුදුම උනන්දුවක්. හැම වෙලාවෙම මගෙන් ඇහුවා කැමැති නැද්ද වගා කරන්න කියලා. මම නම් පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ. මොකද මම පණුවන්ට පොඩි කාලේ ඉඳල බයයි.’’

ඇය හිනැහී මොහොතක් නැවැතිල්ලේ හිඳ යළි කතා කරන්නට වූවාය.

‘‘2016 අවුරුද්දේ දවසක එයා​ රජයේ කෘෂිකර්ම විශ්වවිද්‍යාලයකට ඉල්ලුම්පතක් දාලා. ඒ මම වෙනුවෙන්. ඒකේ සම්මුඛ පරීක්ෂණය ළංවෙද්දී මට යන්න ලෑස්ති වෙන්න කිව්වා. මම පොළොව අඩි හප්පා හප්පා ඇඬුවේ. මම වගාව ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ මට බෑ කියලා.

උදාරා අකිඔට පාඩමක් උගන්වන අටියෙන් සම්මුඛ පරීක්ෂණයට යාමට අවසන සූදානම් වූවාය. සම්මුඛ පරීක්ෂණයකට නොගැළපෙන විසිතුරු ඇඳුමක්ද ඇඳ ගත්තාය. හිසට ස්කාෆ් එකක්ද බැඳ නිරූපිකාවක මෙන් හැඩ වූවාය.

‘‘සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට කෝට් දාගත්තු ජපන් ජාතිකයෝ 15ක් විතර හිටියා. ඒ අය ඉස්සරහා තිබුණ පුටුවේ මං ඉඳගත්තා. මම ජපානෙට ආපු තැන ඉඳලා කෝටියක් ප්‍රශ්න ඇහුවා. වගාව ගැන ගත්තොත්, කොළ පාට ගස් අස්සේ ඉන්න කැමතියි කියන එක විතරයි මගෙන් ලැබුණ එකම ධනාත්මක පිළිතුර’’ ඇය කීවාය.

එහෙත් කුමන විජ්ජා යෙදුවද ජීවි‌තේට ලැබෙන්නට තියෙන දේවල් නොලැබී යන්නේ නැත. අදාළ සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගත් තිදෙනා අතරට උදාරාත් තේරී තිබුණේ අකිඔගේ සිතිවිල්ලට ජයග්‍රහණය දෙමිනි.

ඒ අනුව කෘෂිකර්ම විශ්වවිද්‍යාලයේ පළමු අදියර යටතේ මාස දෙකක් පුහුණුව ලබන උදාරා ඒ මාස දෙකක කාලයේදී පොළොවට, ගහකොළවලට පමණක් නොව එතෙක් බියෙන් සිටි පණුවන්ට පවා ආදරය කරන්නියක සේ වෙනස්ව සිටියාය.

පුහුණුවේදී අපි හැමෝම එකමුතුව වැඩ කළා. විහිළු තහළු කළා. එකට කෑම කෑවා. මම නොදැනුවත්වම මගේ වෙනසක් සිදුවෙමින් තිබුණා. පුහුණුව අවසානයේ දෙවන අදියරේදී තමන් වගා කරන බෝගයක් තීරණය කළ යුතුව තිබුණා. මම තෝරාගත්තේ ඇස්පරාගස් කියන භෝගය.’’

ඇස්පරාගස් ‌භෝගය කොහිල දලුවලට සමානය. ඵලදාව ලැබීමට වසර තුනක කාලයක් ගත වේ. තරමක් මිල අධික වන මෙම භෝගය වසර 20ක් පමණ අඛණ්ඩව ඵලදාව ලබාදෙන භෝගයකි.

‘‘මේ වන විට අපි කොන්ක්‍රීට්වලින් වැසී තිබුණ ගල් බිමක් වැඩ බිමක් කරලා තිබුණේ. එයින් සරුසාර අස්වැන්නක් නෙළා ගත්තා. විවිධ වර්ගයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පුහුණුවක් ලැබුවා.’’

තෙවැනි අදියරේදී ගොවිපොළක අවුරුද්දක් වැටුපක් නැතිව වැඩ කිරීමට නියම විය. ඒ ​කොන්දේසි රැසකට යටත්වය. සතියට දින හයක් වැඩ කළ යුතු වූ අතර නිවාඩු ලැබුණේ ඉරිදා පමණකි. කොන්දේසිවලට අනුව උදෑසන 8 සිට සවස 5 දක්වා මාස 10ක් වැඩ කළ යුතු අතර පාන්දර 5.30 සිට සවස 3 දක්වා මාස 2ක් වැඩ කළ යුතු විය.

ඒ වන විට උදාරාගේ පුතුගේ වයස අවුරුදු 5කි. ඇගේ ගෙවිලියක වීමේ ගමන් මග සැකසෙන්නේ අභියෝග ගොඩක් මැදය.

2018 අවසානයේ ජපානයේ අසුකා නම් පුංචි ගම්මානයේ ලස්සන කඳුගැටයක ඇගේ ගොවිපොළ ආරම්භ කරන්නේ මේ සියලු අභියෝග ජයගනිමිනි. මේ අතර ඇස්පරාගස් වගාව කරන්නට ඇය හරිතාගාරයක් තෝරාගත්තාය.

‘‘මීටර් 50ක් දිග මීටර් 7ක් පළල ප්ලාන්ට් හවුස් දෙකක් හැදුවා. ඇස්පරාගස්වලින් අස්වැන්න පළමු වරට නෙළන්නේ එළඹෙන අප්‍රේල් මාසේ. අවුරුද්ද පුරාවට එක එක එළවළු වර්ග වවනවා. තට්සොයි, ඇස්පරාගස්, රොමේන් ලෙටස්, බ්‍රෝකොලී හා නිවිති ඒ අතර විශේෂයි.’’

දැනට උදාරා ඉහත කී එළවළු වර්ග අක්කර දහයකට වඩා වැඩි භූමියක වගා කොට ඇත. ලංකාවේ මෙන් නොව ජපානයේ ඉඩම් මුඩු වීමට නීතියෙන් ඉඩක් ඇත. එහෙත් ජපන් ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් සැඳෑ සමය ගෙවමින් සිටින නිසාම ඔවුන්ට වගාවේ නියැළෙන්නට බැරිය. මේ නිසා බොහෝමයක් ඉඩම් වගා කළ හැකි පුද්ගලයන්ට භාරදීමට වග බලා ගනිති. උදාරට මේ ඉඩම් ලැබෙන්නේද එලෙසය. වසර දහයක කාලයක් සඳහා ලැබෙන මෙම ඉඩම වෙනුවෙන් කිසිදු ගෙවීමක් කිරීමටද ඕනෑ නැත. තවද ඇයට අවශ්‍ය නම් එහි වගා කරන කාලය දීර්ඝ කර ගැනීමටද හැකිය.

වසර පුරාම විවිධ එළවළු වර්ග වගා කරන උදාරාගේ දෛනික කටයුතු වගාවට පමණක් සීමා නොවේ.

‘‘එහිදී පැළ සිටුවන්නේ නම් එකවර පැළ 2000ක් 3000ක් සිටුවිය යුතුය. අස්වැන්න නෙළන කාලය වන විට ඒවා ප්‍රවාහනය මෙන්ම ඇසිරීම, ගනුදෙනු, වෙළෙඳපොළ මේ සියල්ල ගැන ඇය වග බලා ගත යුතුය.

‘‘දවසකට එළවළු පැකට් 100ක් හදනවා. උදේ 8.30ට කලින් ඒවා මාකට් එකට ගෙනියන්න ඕන නියමිත බර, ප්‍රමිතිය, ගැන මේ රටේ ඉහළින්ම බලනවා. මම කාබනික වගාව කරන කෙනෙක් නෙවෙයි. නමුත් වෙළෙඳපොළට අපේ එළවළු දමද්දි රජයෙන් නියමකර තිබෙන රසායනික මාත්‍රාවන් පිළිබඳව පරීක්ෂා කරනවා. කඩවලට බඩු දාන්න දවස් 3 කලින් එයාලට ලැයිස්තුවක් දෙන්න ඕන.’’

ඇය මේ අතර නිවිතිවලින් අලුත් අලුත් දේ අත්හදා බලන්නට වූවාය. නිවිති අයිස්ක්‍රීම්, නිවිති නූඩ්ලස්, නිවිති සුප් පමණක් නොව නිවිති පවුඩර්ද සැදුවාය. ජපන්නුන්ට නිවිති ගැන ඒ තරම් පිරියක් නැත. එකපාර අක්කර ගාණක නිවිති වගා කළ ඇය ජපනුන්ට නිවිති කැව්වේ කුඩා දරුවන්ට කූරුල්ලන් පෙන්වා බත් කවන ලෙසිනි. මේ නිසාම ‘‘උදාරාගේ ගෙදර නිවිතිය පරිප්පු කරිය’’ ජපන් වැසියන්ගේ ප්‍රියතම කෑමක් බවට පත්විය.

ජපානය ගත්විට විවිධ දේශගුණික වෙනස්කම්වලට ලක් වන රටකි. හැම කාලෙටම හැම වගාවක්ම කළ නොහැකිය. උෂ්ණ කාලෙට එළියට බැසීමටවත් නොහැකිය. ඒ කාලෙට පැළවලට වතුර දැමීම අමාරුය. උදාරාගේ ඉඩම් යාය පිහිටි කඳු මුදුනට එය ඔරොත්තු නොදෙන දෙයකි. නමුත් අනෙක් කාලවලට නිතර වැස්ස ඇති නිසාම වතුර දැමිය යුතු නැත. අනෙක් අතට ජපානය කාලගුණ අනාවැකිය තිතට කියන රටකි. ඒ නිසා කාලගුණ වාර්තාව බැලීමටත් ඒ අනුව දින චර්යාව සූදානම් කර ගැනීම ජපනුන් පුරුදු වී සිටී. උදාරාද එසේය.

අකිඔද උදාරාට උදැල්ල දී පැත්තකට වූ සැමියකු ​නොවේ. ගුරුවරයෙක් වුවත් සෙනසුරාදා ඉරිදා වගේම සෑම නිදහස් වෙලාවකම උදාරාගේ උදව්වට එන්නේ ඔහුය. තණකොළ කැපීමට, වෙළෙඳපොළට යාමට ඔහු උදව් කළේ මේ හුරුබුහුටි ගෙවිලියගේ ආඩම්බර සැමියා ලෙසය.

‘‘ගොවිපොළ පටන් ගනිද්දී විශාල වියදමක් දැරුවා ට්‍රැක්ටරයක් ගත්තා. ගොවිපොළ හැදුවා. පැළ ගත්තා. උපකරණ ගත්තා. ලක්ෂ 50ක විතර වියදමක් ගියා. අවුරුදු 5ක සැලසුමක් තමයි අපිට තියෙන්නේ. තාම ඒ සැලසුම වැරදිලා නෑ. ජපානෙ ඉන්න මිනිස්සු එක්ක ආරම්භ කරන දවස හරිම සුබයි. උදේට ගොවිපොළට යද්දි හුඟ දෙනෙක් මට ආශිර්වාද කරනවා. සුබ පතනවා. මගේ වයස නවයක දරුවයි, සැමියයි සෙවණැල්ලක් වගේ මගේ ළඟින් ඉන්නවා.

ඇය පවසයි. දැන් උදාරා තිස් හය හැවිරිදිය. වසර 20ක් වනතුරු ජීවත් වුණේ ලංකාවේය. ඒ කෑගල්ලේ දේවාලේගම ප්‍රදේශයේයි. පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා ​ඉගෙනුම කළාය. උසස් පෙළ සඳහා ඇය ඇතුළත් වුණේ කෑගලු බාලිකාවටයි. සොහොයුරන් දෙදෙනකු සිටියත් එක් අයකු අකාලයේ වියෝවී තිබේ.

ඇයගේ අනෙක් සහෝදරයා වෛද්‍යවරයෙකි. අම්මා මෙන්ම තාත්තාද උදාරාගේ ජයග්‍රහණ දැක සතුටු වන්නේ හදවතිනි. ඇය මේ මස අවසානයේ ලංකාවට එන්නේ දෙමාපියන් බැලීමටය. ඒ ගමනට අකිඔ මෙන්ම පුතුද එක්වෙයි.

සකුරා මල් පිපෙන රටේ සාර්ථක ගෙවිලියක වූ උදාරා ජපානයට දැන් නැතිවම බැරි කෙනෙකි. අපේ රටේද උදාවී ඇත්තේ මුඩුබිම් අස්වද්දන කාලයයි. ඉතින් මේ උදාරාලා රටට අවැසි කාලයකි.

(Aruna)

Features

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website