අඟහරුවාදා, 04 පෙබරවාරි 2020 10:48

ක්‍රිබ් එකේ හිරවෙලා ණය ගන්න බැරිවෙලා

ණය තොරතුරු කාර්යාංශයේ වගකීම් තරමක් ලිහිල් කළ යුතු බවට අලුත් අදහසක් පැන නැගී තිබේ. අවුරුදු තිහක කාලයක් මේ කාර්යාංශය රටේ ක්‍රියාත්මකව තිබුණි. ජනතාවගේ මුදලින් යැපෙන මහ බැංකුවට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ණය තොරතුරු කාර්යාංශය මෙරට ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීමට දක්වන ලද දායකත්වය ගැන සතුටු විය හැකිද? දකුණු ආසියාවේ මෙවැනි සේවාවක් පළමු වරට ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවයි. එය සැලකිය යුතු ගෞරවයකි. සියලු අණ පනත් හා බලපෑම් ගනුදෙනුකරුවන්ගේ ගෙල සිරකරන අරමුණ ඇතිව පවත්වාගෙන යන ක්‍රමයක් ඇති ලංකාවේ ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාවකින් අලුත් අදහසක් ඇති ව්‍යවසායකයෙකු මොහොතකින් අසරණ කළ හැකිය. ගනුදෙනුකරුවන්ට හිතකාමී තොරතුරු පද්ධතියක් නඩත්තු කිරීම ආයතනයේ දර්ශනය බව දැක්වෙයි. කාර්යාංශයේ ගනුදෙනුකරුවෝ බැංකු පද්ධතියයි. දශක තුනකට පසු මෙම කාර්යාංශයේ කාර්ය භාරය ගැඹුරින් සමාලෝචනය කළ යුතුය. සියලු පුරවැසියන්ගේ බැංකු තොරතුරු හෙළිදරව් කරගැනීම මෙරට ආර්ථිකයට ගෙන දී ඇති වාසිය නිසි පරිදි තක්සේරු කිරීම බලධාරීන්ගේ වගකීමකි.

ණය තොරතුරු කාර්යාංශයේ ආරම්භය ගැන යමක්

වසර තිහකට කලින් ශ්‍රී ලංකාවේ ණය ගැනීම හා ආපසු ගෙවීම ගැන ප්‍රශ්න හටගෙන තිබුණි. ගනුදෙනුකරුවෝ එක බැංකුවකින් ප්‍රතික්ෂේප වන විට තවත් බැංකුවක් කරා ගොස් ණය ගත්විට එම ණය ආපසු අයකරගැනීම සම්බන්ධ ප්‍රශ්න මතු කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රදානක ආයතන වලින් උපදෙස් ඉල්ලා තිබේ. දියුණු රටවල පවතින ආකාරයේ තොරතුරු කාර්යාංශයකින් ගනුදෙනුකරුවන්ගේ පසුබිම සොයාබැලීය හැකි බව පෙන්වා දී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අලුතින් සකස් කරන ලද පනතක් 1990 මැයි 15 වැනි ණය තොරතුරු කාර්යංශය පිහිටුවා ඇත. එය රටේ ගනුදෙනුකරුවන් අතර ප්‍රකට වූයේ ක්‍රිබ් එක යන වදනෙනි.

රට තුළ පවතින සංස්කෘතිය හා පැවැත්ම අනුව විසඳුමක් සොයා ගත නොහැකි වූ විට උත්තරය ගන්නේ නොගැළපෙන තැනකින්ය. ශ්‍රී ලංකාව උසස් සංස්කෘතියක හා හැදියාවක පිහිටියේය. දීර්ඝ ඉතිහාසය තුළ අනුන්ගේ දේ සන්තක කරගෙන නැත. අනුන් සතු දේ සොරා ගන්නවුන්ට අත්වන ඉරණම ශිලා ලේඛන වල පවා ලියා ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. සමාජ පරිවර්තනය වන විට ගුණාංග පිරිහේ. සාමාන්‍ය ජනතාව තමන්ට අවශ්‍ය දේ නිපදවාගෙන සැපවත්ව සිටියහ. අධිරාජ්‍යවාදීහු ජන ජීවිතය හැරවීය. අපනයන වැවිලි වලට යොමු කළහ. බටහිර රටවලට උවමනා දේ වගා කළ අතර ගොවියෝ කුලීකරුවෝ බවට පත් වූහ. නිදහස දිනා ගැනීම සම්බන්ධයෙන් උත්සව සමරන නමුත් ආර්ථික හා සමාජ ව්‍යුහය තවමත් ශ්‍රී ලාංකික අනන්‍යතාව දිනා ගෙන නැත. රටට උවමනා දේ නිපදවන පැවැත්මක් වෙනුවට අනෙකක් කරා යොමු කරවයි. රජයේ ආධාර නැත්නම් නැගී සිටීමක් නැත.

රටක් වශයෙන් ණය උගුලක සිරවී සිටී. රාජ්‍ය ආදායමෙන් සියයට අනූවකට වඩා දේශීය ණය ගෙවනු සඳහා වැය කෙරේ. අපනයන වලින් උපයන විනිමය විදේශ ණය ගෙවන්නට ප්‍රමාණවත් නැත. අන්තර් ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව වර්ගීකරණය කරන තැනක් තිබේ. එය ඉහළ මට්ටමක් නොවේ. එවැනි තැනක සිටින ආණ්ඩුව තම පුරවැසියන්ගේ ණය ගැති භාවය ද ලේඛන ගත කිරීමට ආයතනයක් පවත්වාගෙන යයි. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පිහිටුවන අරමුණ බැංකු හා මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීමය. ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව ණය අවදානමක් ඇති තැනට පත්ව ඇති හා සමානව රට තුළ ජීවත්වන වැසියෝ ද ණය අවදානමක් ඇති පිරිසක් බවට වර්ගීකරණය වී තිබේ. එය බරපතල ඛේදවාචකයකි. මෙම උගුලෙන් ගැලවීම අරමුණු කරගෙන අලුත් ව්‍යුහයක් වෙත යොමු විය යුතුය.

කාර්යාංශය හා බැංකු අත්වැල් බැඳගත් පසු ආර්ථිකය

ණය තොරතුරු කාර්යාංශයට අනුව ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වැඩිහිටි ජනගහනයෙන් සියයට 46.5 ක ජන කොටසකගේ සියලු තොරතුරු ඔවුන් සතුව තිබේ. ප්‍රධාන පෙලේ සමාගම් 212,000 සම්පූර්ණ විස්තර ඇත. 1995 වසර වන විට ලක්ෂ පහක පමණ පිරිසකගේ බැංකු ගිණුම්වලට එබී බලන්නට සමත් වූ කාර්යාංශය අද වන විට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය අනුව මෙරට ජනී ජනයාගෙන් අති විශාල කොටසක් ක්‍රිබ් හෙවත් ණය නොගෙවන්නන්ගේ ලේඛනයට ඇතුළත් කරගෙන ඇත.

ණයක් ගෙන ආපසු ගෙවන වාරික ප්‍රමාද කිරීම තොරතුරු කාර්යාංශයට වාර්තාවන එක අවස්ථාවකි. අනෙක් පුද්ගලයෙකුට ඇපකරුවෙකු වී ණයගැතියා ගේ වාරික අක්‍රමවත් නම් ණයකරු පමණක් නොව ඇපකරුවෝ ද අසාදු ලේඛනයට ඇතුළත්වීම වැළැක්විය නොහැකිය. චෙක්පත් අගරුවීම හෝ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම පැහැර හැරීම ද වරදකි. හොඳ ණය කළමනාකරණයක නැති ආයතනයක වගකිවයුතු නිලයක් දැරීම නිසා ණය කාර්යාංශයේ ලේඛන ගත විය හැකිය. එය අවදානමකි. වානිජ බැංකුවක ණය අවශ්‍යතාවක් වෙනුවෙන් ලේඛන ඉදිරිපත් කළ විට බැංකු නිලධාරියා පළමුවෙන්ම අසාදු ලේඛන ගත වී දැයි සොයයි. එයට රුපියල් පන්සියයක් අය කෙරේ. පුද්ගලයන්ගේ ණය පසුබිම සොයන්නට අය කරන ගාස්තුව පවා බැංකු සේවා ගාස්තුවක් සේ සලකා ගනුදෙනුකරුගෙන් අය කරගනී. කවර හෝ හේතුවක් නිසා ලේඛන ගතව සිටී නම් මෙරට බැංකු, මූල්‍ය ආයතන හෝ ලීසිං සමාගම් අනූ හතරක දොරටු වැසේ.

2018 වසරේ උතුර නැගෙනහිර ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක සුළු ණය හිමියන් අතරින් 170 ක් දෙනා සිය වාරික ගෙවා ගත නොහැකිව දිවි නසා ගෙන ඇති අතර බහුතරයක් කාන්තාවන් බව රජයේ ඉරිදා ඉංග්‍රීසි පුවත් පත පසුගිය සතියේ වාර්තා කළේය. එය පොලිස් මූලස්ථානය තහවුරු කළ පුවතක් බව පෙනේ. ශ්‍රී ලංකාවේ මෙහෙයැවෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතන 14,000 ක් අැති බව සමීක්ෂණ වාර්තා දක්වන අතර මේවා ලියා පදිංචි කරන සේ නියම කළ විට එයට අවනත වී ඇත්තේ ආයතන පනහකි. සියයට 20-220 අතර වාර්ෂික පොලියක් මෙම ණය සමිති සිය ගනුදෙනුකරුවන්ගෙන් අය කරති. බැංකුවකට යන්නට හැකියාවක් නැති, ඇපකරුවන් ඉදිරිපත්කරන්නට අසමත් මිලියන සංඛ්‍යාත පිරිසක් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල පැටැලී ඇත. ණය ගෙවා ගත නොහැකි වන විට දිවි නසා ගන්නවා හැරෙන්නට වෙන යමක් නොවැටහෙන සමාජයකට ණය තොරතුරු කාර්යාංශය දෙන උත්තරය කුමක්ද?

හැම ජනාධිපතිවරණයකම ජනතාවගේ ණය ගැන කතාවක්

පසුගිය ජනාධිපතිවරණ දෙකක දී ණය තොරතුරු කාර්යාංශය නොඑසේනම් ක්‍රිබ් යනුවෙන් ආමන්ත්‍රණය කරන ආයතනය ගැන වේදිකාවේ දී කියැවී තිබේ. ණය තොරතුරු කාර්යාංශයේ අසාදුගතව සිටින පිරිස අතරින් යම් කොටසකට සහන දෙන බව ප්‍රකාශ කර ඇත. ක්‍රෙඩිට් කාඩ් හිමියන් අසාදු ලේඛනයෙන් ඉවත් කරන බව යහපාලන ආණ්ඩුවේ ප්‍රබල සටන් පාඨයකි. එහෙත් ඒවා ක්‍රියාත්මක වූයේ නැත.

සංවර්ධනය වන රටක් වශයෙන් ණය සංස්කෘතිය ගැන අලුතින් හිතන්නට අවශ්‍යය. බලවත් පුද්ගලයෝ බිලියන ගණනින් බැංකු වලින් ගත් ණය ආපසු ගෙවා නැත. ලංකා බැංකුව හා මහජන බැංකුව අවුරුද්දක් පාසා නොගෙවූ ණය කපා හරින තීරණ ගනී. එය දේශපාලන බලපෑම අනුව සිදුවේ. දුප්පතුන් ගත් ණයට වැට බඳින විට ජාවාරම්කාර සංවිධාන වලින් ණය ගන්නා අතර ඒවා ද ගෙවාගත නොහැකි වන තැනට පත්වෙයි. සෑහෙන පිරිසක් ණය ගෙවා ගත නොහැකිව දිවිනසා ගත් බව දක්වන විට මෙම සිද්ධි ගැන විමර්ෂණයට වැඩපිළිවෙළක් හෝ යොදා නැති රටක පුරවැසියන්ගේ ණය ගැන තොරතුරු බැංකු සමග බෙදා ගෙන ජනතාව තව තවත් අසරණ කිරීම වැඩදායක වන්නේ නැත.

පසුගිය ආණ්ඩුව ව්‍යවසායකත්වය දියුණු කරන්නට උත්සාහ කළේය. අඩු පොලියට ණය දී තරුණයන්ට යැපෙන මාර්ග ඇතිකරන ව්‍යාපෘති සකස් කරන බව මතක් කළ යුතුය. නමුත් ආණ්ඩුවට තිබුණ උවමනාව බැංකු වලට නොතිබුණි. ප්‍රසිද්ධ කරන තරමට ණය නිකුත් නොකරන ලද අතර දස දහස් ගණනකගේ අයැදුම් පත් ගෙන්වාගෙන ඒවා යේ ක්‍රිබ් වාර්තා බලා පැත්තකට දැමීය. පැවැති ආණ්ඩුව පරාජයට පත් වූ එක හේතුවකි. නැවත වතාවක් රාජ්‍ය හා පුද්ගලික බැංකු අඩු පොලියට ණය ගන්නට එන්නැයි තරුණයන්ට දන්වන මාධ්‍ය දැන්වීම් පළ කරමින් සිටිති. එය ද අනෙකක් නොවේ. 2018 වසරේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය මෙරට පුරවැසියන් සම්බන්ධයෙන් ක්‍රිබ් රිපෝර්ට් නැත්නම් ණය වාර්තා මිලියන නමයක් නිකුත් කර තිබේ. 2017 වසරේ දී ණය තොරතුරු කාර්යාංශය මෙවැනි වාර්තා නිකුත් කිරීමෙන් පමණක් රුපියල් බිලියනයක ශුද්ධ ලාභයක් උපයා ගෙන තිබේ. මෙම වාර්තා ප්‍රමාණය අනුව මෙරට ණය නිකුත් කිරීම සාර්ථක වූයේ නම් අද පවතින ආර්ථික පසුබිම මෙයට හාත්පසින්ම වෙනස් එකකි. මෙම සියලු වාර්තා යමක් නොවෙන තැනට නිකුත් කරන ලද ඒවා බව ඉතාම පැහැදිලිය.

රස්සාවක් වෙනුවට ව්‍යවසාකත්වයක් ඇති කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව මෙරට තරුණයන් අතර විරැකියාව සියයට 4.4 කි. එය සුළු ප්‍රතිශතයක් නොවේ. විරැකියාව අඩු කරන්නට නම් ව්‍යවසායකත්වය දියුණු කළ යුතුය. ආණ්ඩුවෙන් හෝ පුද්ගලික අංශයෙන් යැපෙන්නේ නැති ස්වාධීනව යමක් උපයන සහ යමක් නිපදවා රට තුළ නිෂ්පාදනය වැඩිකරන ව්‍යුහයක් සකස් කළ යුතුය. ණය තොරතුරු කාර්යාංශය එයට දෙන අනුබලය කුමක්ද?

බැංකු හා මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරන අතර ණය තොරතුරු කාර්යාංශය ලාභ තහවුරු වනවා විනා අනෙකක් අද සිදු නොවේ. යමක් කරන්නට ධෛර්ය ඇති අලුතින් දෙයක් හිතන කිසිවෙකුට අත දෙන්නට කිසිම බැංකුවක් සහ මූල්‍යායතනයක් නොපෙළඹෙන හේතුව මෙයයි. ව්‍යවසායකත්වය සම්බන්ධ හැඟීමක් ඇති අයවලුන්ගේ ණය වාරිකයක් දෙකක් හිඟ වූ පමණින් ඔවුහු කළු චරිත බවට පත්කර අවමානයට ලක් කිරීම බලවත් වරදක් බව වටහා ගැනීම වැදගත්ය. ණය තොරතුරු කාර්යාංශයක් තරමටම ව්‍යවසායකත්ව තොරතුරු කාර්යාංශයක් ද අවශ්‍යය.

ලෝක බැංකුව විශේෂයෙන් සඳහන් කරන ආකාරයට ව්‍යවසායකත්වය දියුණුවන රටකට ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. සාමාන්‍යයෙන් ව්‍යාපාර අංශයෙන් සියයට අනූවක් සහ රැකී රක්ෂා උත්පාදනයෙන් සියයට පනහක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලින් ආවරණය වන බව එහි වාර්තා පෙන්වයි. වසර 2030 වන විට අලුත් රැකී රක්ෂා අවස්ථා මිලියන 600 ක් අවශ්‍ය වන බව ගණන් බලා ඇති අතර එය සම්පූර්ණ කරනු සඳහා ලෝකයේ කිසිම ආණ්ඩුවක් අසමත් බව ලෝක බැංකුව පෙන්වා දී තිබේ. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසාය දියුණු කිරීම උත්තරය වශයෙන් දැක්වෙයි.

අන්තර් ජාතික මූල්‍ය සංස්ථාව පෙන්වා දෙන පරිදි දියුණුවෙමින් පවතින රටවල සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසාය මිලියන හැට පහකට එනම් දැනට ක්‍රියාත්මක වන ප්‍රමාණයෙන් සියයට හතලිහකට වසරකට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5.2 ක් අවශ්‍ය වෙයි. එහෙත් වානිජ බැංකු වලින් ඒවා සැපයෙන්නේ නැත. ණය තොරතුරු කාර්යාංශ එයට හරස් වෙයි. තම කර්මාන්තය හෝ ව්‍යාපාරය දියුණු කරන අරමුණ ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් සියයට පනහකට අපේක්ෂිත ණය බැංකු වලට නොලැබෙන බව ද දැක්වෙයි. ඉදින් ලෝකය පවතින්නේ කෙසේද? මෙම වාතාවරණය බරපතළ එකක් බව මෙරට විද්වතුන් කල්පනා නොකරන්නේ ඇයි?

(Aruna)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website