සිකුරාදා, 07 පෙබරවාරි 2020 10:24

නිදහස් දිනය හැටියට ව්‍යවස්ථා ගතවුණේ මැයි 22 දාය

පියදාස වැලිකන්නගේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ ලේඛකයෙකි. සුදු සෙවණැලි, පුන් සඳවන් පුත්තු, මලක සුවඳ, සිව්ගව් ඇසේවා, මුරුගසන් වරුසා ඇතුළු කෘතීන් රැසක් රචනා කර ඇති ඔහු මෙම ලිපියෙන් තර්ක කරන්නේ පෙබරවාරි 4 වැනිදා ජාතික නිදහස සැමරීම වැරදි බවය. ඔහු පවසන්නේ ලංකාවේ සැබෑ නිදහස් දිනය ලෙස සැමරිය යුත්තේ මැයි 22 දා බවය.

මින් වසර 48 කට පෙර (1972-2020) අපේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මිදී පූර්ණ දේශපාලන නිදහස සාක්ෂාත්කරගත් බව මම පිළිගනිමි. එහෙත් ඒ නිදහස සමරනු පිණිස යොදාගෙන ඇති දිනය (පෙබරවාරි 04 දා) පිළිනොගන්නා බවද කියනු කැමැත්තෙමි. ඒ නිසා නිදහස සමරනු පිණිස එළැඹෙන 04 මුළු රටම එකට එකතු වී තැනින් තැන ජාතික කොඩිය එසවූවත් මගේ නිවස ඇති හතර මායිමේ නම් එවැන්නක් සිදු නොවේ.

මා එසේ කියන විට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජාතික නිදහස් දිනය නොසලකා හරින බව ප්‍රසිද්ධියේ කියාපෑම බරපතළ වරදක් ලෙස අර්ථ කථනය කරන්නටද ඉඩ ඇතැයි යමෙකුට සිතෙනු ඇත. ඒ නිසා පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනය ලෙස නොපිළිගැනීමට තුඩු දී ඇති හේතු සාධක මෙහිලා සඳහන් කරන්නට මම කැමැත්තෙමි. ඒ සඳහා දශක 7- 8 කට පෙර ලංකාවේත් ඉන්දියාවේත් පැවති දේශපාලනයේ ස්වරූපය හඳුනාගැනීම අත්‍යවශ්‍යය.

ලංකාව මෙන්ම ඉන්දියාවද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත්ව පැවති රටකි. ඉන්දියාවට ඩොමීනියන් නිදහස හෙවත් අඩ නිදහස ලැබුණේ 1947.08.15 දාය. 1948 පෙබරවාරි 04 වැනිදා ඒ නිදහස අපේ රටටද ලැබිණ. ඒ හය මාසයකට පමණ පසුය. ඩොමීනියන් නිදහස හෙවත් අඩ නිදහස යැයි කියන්නේ එංගලන්තය බොහෝ බලතල තමන් අත රඳවා ගෙන දුන් නිදහසටය.

ආත්ම ගෞරවයක් ඇති අදීන මිනිසුන් වන ඉන්දියානු නායකයන් හට සුද්දා දුන් අඩ නිදහස රුචි නොවීය. ඔවුහු සිය දේශයේත්, ජාතියේත් ස්වෛරීත්වය සහ අභිමානය ලොවට ප්‍රකාශ කෙරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකසා 1950 ජනවාරි 26 වැනිදා “ලෝක් සභාවේ” දී (ඉන්දියානු පාර්ලිමේන්තුව) සම්මත කර ගත්හ. ඔවුන් ඒ හපන්කම කෙළේ අර අඩ නිදහස ලබා වසර දෙකහමාරකට පමණ පසුය. එතැන් සිට එරට බලයට පත් කිසි අගමැතිවරයෙක් ඒ පූර්ණ නිදහස සාක්ෂාත්කර ගනු ලැබූ ඒ දිනය (ජනවාරි 26) වෙනස් කරන්නට නොසිතුවේය. තම රට නිදහස ලත් දිනය ලෙස අදත් ඉන්දියානුවන් සලකන්නේ ජනවාරි 26 වැනිදා මිස සුද්දා අඩ නිදහස දුන් අගෝස්තු 15 වැනිදා නොවේ. එහෙත් අප එහෙමද? විමසා බැලිය යුතුය.

ඉන්දියානු නායකයන් වසර දෙකහමාරක් ඇතුළත සුද්දා දුන් අඩ නිදහස ඉවත දමද්දී අපි ඒ අඩ නිදහස අවුරුදු 24 ක් තිස්සේ (1972.05.22 තෙක්) කර ගසා ගෙන ආවෙමු. ඒ මුළු කාලය තුළම අපේ රටේ අග්‍රාණ්ඩුකාරවරයා පත්කරන ලද්දේ එංගලන්තයේ වැඩ වාසය කරන සුදු රැජින විසිනි. මැති ඇමැතිවරුන්, තානාපතිවරුන්, විනිශ්චයකාරවරුන් ඇතුළු රජයේ සියලු උසස් නිලධාරීන් වැඩ පටන් ගත්තේ රැජිනගේ සේවය වෙනුවෙන් කැප වෙන බවට දිවුරුම් දීමෙන් පසුය. සුළු නිලධාරීන් ඒ දිවුරුම්දීම කෙළේ ලියවිල්ලකට අත්සන් තැබිමෙනි. වැඩිය ඕනෑ නැත, රජය යවන ලියුම්වල සඳහන්ව තිබුණේ ද “රැජිනගේ සේවය පිණිසයි” (on her Majestic service) යනුවෙනි. රජයේ සියලුම වැඩ කෙරුණේද ඉංග්‍රීසියෙනි. ඉන්දියාව දෙස බලාවත් ඉගෙන ගන්නට අපේ නායකයන්ට වුවමණාවක් නොතිබිණ.

ඒ අවාසනාවන්ත තත්ත්වය වෙනස් වූයේ 1970 දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුවෙනි. එහි අගමැතිනි, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රටට ගැලපෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාට පැවරුවාය. ඔහුට ඒ කාර්ය අවසන් කිරීමට දෙවසරක පමණ කාලයක් ගත විය. ඉන්දියාව 1950.01.26 වැනි දින තැබූ ඒ ​ෙ​ෙඑතිහාසික ජයග්‍රාහී පියවර අපේ පාලකයෝ 1972.05.22 වන දා තැබූහ. එදා ශ්‍රී ලංකාව පූර්ණ නිදහස සාක්ෂාත්කරගත් රටක් බවට අපේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබිණ. අපේ නිදහස් දිනය හැටියට මැයි 22 වැනිදා ව්‍යවස්ථාගත කෙරිණ. ගත වූයේ අවුරුදු කීපයකි. සිදු වූයේ කුමක්ද? 1977 දී ජේ.ආර්. ජයවර්ධන හෙවත් යැංකි ඩිකී බලයට පත් විය. ඔහු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කෙළේය. අගමැතිකමින් ජනාධිපතිකමට පැන ගත්තේය. මට දැන් කරන්න බැරි මිනිසෙකු ගැහැනියක කිරීමත්, ගැහැනිය මිනිසෙකු කිරීමත් පමණකැයි හඬ නැගීය. නිදහස සමරණ දිනය බවට ව්‍යවස්ථාගත කර තිබුණ මැයි 22 වෙනුවට සුද්දා අපට අඩ නිදහස දුන් පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනය බවට නීතිගත කෙළේය. නිදහස රිවස් ගැසුවේය. එදා සිට නිදහස සමරන්නට අප යොදාගෙන ඇත්තේ ඒ දවසයි. දේශාභිමානයත්, අදීනත්වයත් ඉතා ඉහළින් තබා සැලකූ එදා සිටි ඉන්දියානු නායකයන් අපේ පරගැත්තා දෙස අවඥාවෙන් බලා “අනේ මෙහෙමත් මිනිහෙක්”යි නොකියන්නට ඇතැයි කිව හැකිද?

අපි අපේ දරුවන්ට ආදරය, දයාව, කරුණාව ගැන පමණක් නොව ජාතිකාභිමානය ගැනද ස්වදේශ වාත්සල්‍යය ගැනද උගන්වන්නෙමු. ඒ සඳහා දේශීය ඉතිහාසයෙන්ද ලෝක ඉතිහාසයෙන්ද පාඩම් කියා දෙන්නෙමු. ඕනෑම ප්‍රශ්නයක් දෙස විචාරශීලීව බැලිය යුතු යැයි උපදෙස් ද දෙන්නෙමු. එපමණක් නෙවේ, දේශයේත්, ජාතියේත් අභිමානය ගැන කියැවෙන කවි, ගී, සිංදු හා කතා අපි ඔවුන්ට කියා දෙන්නෙමු. තවත් දින කීපයකින් එළැඹෙන නිදහස් දිනයේදී ද ඒ දරුවන් මිහිරි සරින් ඒ ගී ගයනු ඇතැයිද, ඒ කතා කියනු ඇතැයිද සිතමු. ඒ අතර හමුදා උත්තමාචාරද, සරඹ හා ගිනිකෙළි සංදර්ශනද පැවැත්වෙනු ඇත. කා බී ප්‍රීති ප්‍රමෝදයෙන් කල් ගෙවනුද ඇත. ඒත් පරගැති චින්තනයෙන් අවුල් කරගත් හිසැති යැංකි ඩිකි කළ ජාතිකාපරාධය ඔල්වරසන් හඬ දෙමින් යළි යළිත් සිහිපත් කරන්නට ඉඩ දෙන්නේදැයි යළිත් කල්පනා කර බැලිය යුතුය.

(Aruna)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website