අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 09:20

ඇතා පන්සලට පන්සලෙන් හෝටලයට

මියන් කුමාර මියගිය නවම්රාජා කොළඹ පන්සල්වලට අලි මොකටද?

‘‘මියන්මාර් ටයිම්ස්’’ පුවත්පත ඉකුත් ජනවාරි මාසයේ පුවතක් පළ කළේ ය. එම පුවතින් කියැවුණේ මියන්මාර රජය විසින් බෙල්ලන්විල රජමහා විහාරයට 2013 වසරේදී පරිත්‍යාග කරනු ලැබූ ‘මියන් කුමාර’ නමැති ඇත් පැටවාට ඇත් ගොව්වන් විසින් ඉතා අමානුෂික ලෙස හිංසා පීඩා කරන බවය. එමෙන්ම එම ඇතාට හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජමාධ්‍ය තුළ නිරතුරු සංසරණය විය. ‘මියන් කුමාර’ ඇතාට කරන හිංසා පීඩා වහාම නතර කරන ලෙස ඉල්ලා මියන්මාර විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් ද නිකුත් කළේ ය. මෙම සිද්ධියත් සමග කොළඹ පන්සල්වල කොන්ක්‍රීට් ගොඩේ අලි ඇතුන් ගාල් කිරීම ගැන කතාබහක් ඇති වී තිබේ. ඒ අතරේ ගිය සතියේ පැවති හුනුපිටිය ගංගාරාමයේ නවම් පෙරහරට වැඩම කළ ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියන් වදාළේ ගංගාරාමයට හොඳ ඇතෙක් නැති වීම ලොකු පාඩුවක් බවය. එසේ කියන්නට හේතුව ගංගාරාමයේ විසූ නවම්රාජා ඇතා මියයාම නිසාය. කොළඹ පන්සල්වල නායක හාමුදුරුවන්ට අලි ඇතුන් ඕනෑ වූයේ මේ ළඟකදී සිටය. කොටින්ම කියනවා නම් කොළඹ නගරයේ ඉදි වූ පැරණිම පන්සල වන කොටහේන දීපදුත්තාරාමයේවත් අලි ඇතුන් සිටියේ නැත. එනමුත් මෑතකදී ඉදිකරපු උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ගේ කිරුලපන ඇලන් මැතිනියාරාමයටත් අලි පැටවෙක් හිටියේය. මේ ගැන ප්‍රශ්නය වන්නේ අලියෙක්, ඇතෙක් හදන්නට මේ පන්සල්වල ඉඩක් තිබේද යන්නය. මක් නිසාදයත් අලි ඇතුන් කියන්නේ බලු පැටව් නොවන බැවිනි.

කොළඹ පන්සල්වල අලි ඇතුන් ගැන කතා කරන විට අපට මතක් වන්නේ එල්. ආර්. බ්‍රෝහියර් ලියූ කොළඹ පුරාණය පොතේ එන කතාවකි. එහි සඳහන් වන්නේ 1751 නොවැම්බර් 27 දා සවස 2.00 ට පමණ වල් ඇතෙක් වර්තමානයේ රීගල් සිනමාහල පිහිටි ස්ථානයෙන් කොළඹ නගරයට කඩා පැන මහා කලබලයක් කළ බවය. ඒ කතාව කියන කාලයේ කොළඹ වූ කලී මහ කැලයකි. එහෙත් දැන් මේ අලි, කොළඹ පන්සල්වල සිටින්නේ කොන්ක්‍රීට් බිමේ යදම්වලින් බැඳය.

බෙල්ලන්විල ඇතාගේ පමණක් නොව බොහෝ විහාරස්ථානවල සිටින අලි ඇතුන් මුහුණ දෙන්නේ මෙවැනි වද හිංසාවලටය.ඇත්ගොව්වන්ගේ අමානුෂික පහරදීම් හමුවේ මේ හීලෑ අලි, අද වන විටදී දහසක් පීඩාවන්ට මුහුණ දී සිටිති.සත්ව හිංසාව ගැන විහාරස්ථානවලදී බණ දේශනා කරන ප්‍රසිද්ධ හිමිවරුන්ම සිය විහාරස්ථානයේ සිටින අලින්ට සිදුවන පීඩාවන් පිළිබඳව සොයා නොබලන බවට චෝදනා එල්ල වේ.

පෙරහරක් ළං වූ විට හාමුදුරුවරු, නිලමේවරු කියන්නේ පෙරහැරට අලි මදි බවය. කැලයෙන් අලි අල්ලා දෙන ලෙස රජයේ වගකිවයුත්තන්ට කියන්නේය. ඇතැම් හාමුදුරුවරුද, නඩුකාරවරුද, පසුගිය කාලයේදී කැලෑවලින් අලි සොරකම් කර නිවෙස්වල පවා තබා ගැනීම නිසා ඔවුන්ට නඩු වැටුණි. ඔවුන් වනජීවි නිලධාරීන් හමුවේ කියා සිටියේ විහාරස්ථානය ආසන්නයේ කිසිවෙකු අලි පැටව් දමා ගොස් සිටි බව වැනි සුරංගනා කතාය. කෙසේ නමුදු මියන් කුමාර ගැන බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල විමලරතන හිමියන් කියන්නේ ඇතාට හිංසා කරන බවට රාජ්‍ය නොවන සංවිධාන අන්තර්ජාලය උපයෝගී කරගෙන කරන ප්‍රචාරය සංස්කෘතියට එරෙහිව කරන කුමන්ත්‍රණයක් බවය. ඇතාට පන්සල්වලදී කිසිදු වද හිංසාවක් නොවුණු බව උන්වහන්සේ කියති. නමුත් වන ජීවිය පැත්තෙන් ඇසෙන්නේ වෙනත් කතාවකි.

“පන්සල්වලට අලියා ගත්ත දවසේ ඉඳලාම කරන්නේ මුදල් හම්බ කිරීමයි. පෙරහරවලට දානවා, සෆාරිවලට දානවා.අලියා තනිකරම හයර්වලට දාලා තියෙන්නේ. පන්සලට ගන්න සතා මාසයක්වත් පන්සලේ නෑ.අවුරුද්ද පුරාම රට වටේ යනවා.අලියා වැඩි හරියක් ඉන්නේ මහපාරේ. පන්සල්වල හාමුදුරුවෝ දන්නෙත් නෑ අලියා කොහේද කියලා.” යැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු කීවේය.

අලියකුට දවසකට ආහාර කිලෝ 200 ක් 250 ක් අවශ්‍ය වන අතර, ජලය ලීටර් 100-200 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. නමුත්, මේ වලව්වල, විහාරස්ථානවල, ව්‍යාපාරිකයන් සතුව සිටින අලින්ට නිසි පෝෂණයක් නොලැබෙන බව වනජීවි නිලධාරීහු පවසති.

“පන්සල්වල ඉන්න අලි නිරන්තරයෙන්ම චේන්වලින් බැඳලා දාලා ඉන්නේ.මේ නිසා අලින්ට අස්ථි ආබාධ එනවා. කශේරුකා, අස්ථි ඇදවීම නිසා ආතරයිටීස්, පාද ආබාධ ආදී විවිධ රෝග තත්ත්වයන්ට පත්වීම නිසා මේ අලි විවිධ පීඩාවන්ට ලක්වෙනවා. පෝෂ්‍යදායි ආහාර දෙන්නේ නෑ. පෝෂ්‍යදායි ආහාර ගණන් වැඩි නිසා වියදම් අඩු දෑ තමයි ආහාර ලෙස දෙන්නේ. ආහාර ගැන අධීක්ෂණයක්, නියාමනයක් නෑ. පන්සල්වල ඉන්න අලි රැසක් කෘෂ වෙලා ඉන්නේ. තුවාලවලට නිසි ප්‍රතිකාරයක් කෙරෙන්නේ නෑ. ප්‍රතිකාර සඳහා වැඩි වියදමක් යන බැවින් ගොඩ බෙහෙත් පමණයි ලබාදෙන්නේ. තුවාල පැසවලා. මාස හත අට එක තැන චේන්වලින් බැඳලා තියෙද්දී කකුල්වල තුවාල ඇතිවෙනවා. අලි බලාගන්න ඉන්නේ පාරම්පරික දැනුම තිබෙන පුද්ගලයන් නොවෙයි. හීලෑ අලි සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියාමනයක් නෑ.මේක ලොකු අඩුපාඩුවක්. අනෙක් කාරණය තමයි මේ පන්සල්වලට දෙන අලි පෙරහැර කටයුතුවලට පස්සේ හෝටල්වල සුද්දෝ ගෙනියන්න සෆාරිවලට යොදවනවා. අලියෙකුට සෆාරි කරන්න පුළුවන් උදෑසන සිට පෙරවරු 10 දක්වා පමණයි. ඒ වුණාට පැය 24 තිස්සේම අලියා උඩ දෝලා බැඳ සුද්දෝ 10-12 ක් දාලා පැය 24 ම රැගෙන යනවා. මේ නිසා සතාට වන හිංසාව සුළුපටු නෑ.” යැයිද එම වනජීවි නිලධාරියා කීවේය.

පෙරහරවලට අලියකු ලබාදීම සඳහා රුපියල් 50,000 සිට 75,000 දක්වා මුදලක්ද, ඇතෙක් නම් රුපියල් ලක්ෂ එකහමාරත්, රුපියල් ලක්ෂ දෙකත් අතර මුදලක් අය කරනු ලබයි. අවුරුද්ද පුරාම පෙරහරට අලි යවා ලක්ෂ ගණනක ආදායමක් ඉපැයීමට ඇතැම් විහාරාධිපති හිමිවරු ක්‍රියා කරන බවට චෝදනා එල්ල වේ.

“පන්සල්වලට අලි ලබාදීම පිළිබඳව වසර ගණනාවක් තිස්සේම සාකච්ඡා කෙරෙන කාරණයක්. පන්සල්වලට, නඩුකාරවරුන්ට, මන්ත්‍රීවරුන්ට, ව්‍යාපාරිකයන්ට, වලව්කාරයන්ට ලබාදීමට ලංකාවේ අලි නෑ. මේ කටයුත්තට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි.” යැයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති.

“ලංකාවේ අලි ඉන්නේ 6000 ක් විතර සංඛ්‍යාවක්. ඉන් දළ සහිත ඇත්තු ඉන්නේ දෙසීයකටත් වඩා අඩු සංඛ්‍යාවක්. ලංකාවේ පන්සල් 10,000 ක් විතර තියෙනවා. පෙරහර කරන විහාරස්ථාන තියෙනවා 1500 ක් විතර. මේ පන්සල්වලට ඇත්තු දෙන්න නෑ. මේක දීලා පුදන්න පුළුවන් කාරණයක් නොවෙයි.

දැන් ඔය අලි ඉල්ලන්නේ සංස්කෘතිය රැකගන්න කියලානේ. මේක ඇත්තටම බෞද්ධ සංස්කෘතියද. බෞද්ධ සංස්කෘතිය ඇතුළේ කොහේවත් සඳහන් නෑ අලි ඇතුන් සංස්කෘතික අංගයක් ලෙස භාවිත කරලා. මේක මහනුවර යුගයේ මධ්‍ය කාලයේදී බුදු දහම පිරිහුනාට පස්සේ ඉන්දියාවේ වේල් පෙරහැර ආභාෂයෙන් තමයි ගණින්නාන්සේලා විසින් මහනුවර පෙරහරට අලි ඇතුන් පාවිච්චි කළේ. අපේ සිංහල බෞද්ධ සංස්කෘතික අංගයක් නොවෙයි අලියා, ඇතා කියන්නේ.

බුදුරජාණන් වහන්සේ අපිට පාවහන් දාන්න එපා කිව්වේ ඒවා සත්ත්ව හම්වලින් මහලා තිබුණු නිසා. භික්ෂූන්වහන්සේට වාහනවල යන්න එපා කියලා විනය නීති පැනෙව්වේ සතුන්ගේ පිට උඩ යන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා මේ සතුන්ගේ පිටේ අරගෙන යන එක මොන තරම් අගෞරවයක්ද?

බුදුදහම කියන්නේ අනෙක් ආගම්වලට වඩා ඉතාමත් දියුණු ලෙස කරුණාව, මෛත්‍රීය ගැන කතා කරන ආගමක්. මේ අලි ඇතුන්ගේ ඉරණම, කරුණාව, මෛත්‍රීය පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. මේ හැම අලිපැටියෙක්ම ගෙනාවේ මව් මරලා. පසුගිය කාලයේ ඔය කියපු ප්‍රසිද්ධ හාමුදුරුවරුයි, වලව් පැලැන්ති පන්සල් ටිකයි, අලි බිස්නස් කරපු එකයි සිදු කළේ. අලි පැටියාගේ අම්මා මරලා තමයි ජාතික වනෝද්‍යානවලින් ඒ පැටව් හොරකම් කරගෙන ආවේ. අලි පැටවාට වැදගත් එක තමයි මව් සෙනෙහස. ලෝකයේ මාතෘත්වය ගැන කතා කරද්දී ඉහළින්ම ඉන්න සතා තමයි ඇතින්න. ඒ මාතෘත්වය හොරා ගන්නවා සංස්කෘතික අංගයකට.

මේ අලි ජීවත් වෙන්න ඕනේ උගේ වරිගයත් සමග කැලයේයි. ඒ සතාව සදාකාලිකවම සිරගත කරනවා දම්වැල් දාලා. මේ සතාට මරණාන්තය දක්වාම දඬුවම් දෙනවා. අලියා දවසකට කිලෝමීටර් හතක් අටක් ඇවිදින්න ඕනේ කැල්සියම් දහනයට. පෙරහරේදී අලියා නටද්දී බොහෝ දෙනා සිතන්නේ බෙර සද්දයට අලියා නටනවා කියලා. අලියා වැනෙන්නේ උගේ කැල්සියම් දහනය කරගන්නයි.

පෙරහර සංස්කෘතිය නිසා වන හානිය තමයි අලි සම්පූර්ණයෙන්ම මේ රටෙන් නැතිවී යාම. කවදාහරි අලියෙක් දැක ගන්න වෙන්නේ චිත්‍රයකින්, චිත්‍රපටියකින් අලියෙක් බලන තත්වයකට පත්වෙනවා. ගෘහාශ්‍රිත වූ එකම ඇතින්නියක් වත් මේ දක්වා පැටව් හදලා නෑ. ඒක මහා අවාසනාවන්ත තත්ත්වයක්. අලියා සිය ලිංගික කාර්යය කරන්නේ ඉතා රහසිගතවයි.

පෙරහර තියෙන්නේ වසරකට එක වරයි. මේ පෙරහරක් වෙනුවෙන් අලියාට සිය මුළු ජීවිත කාලයම කැප කරන්න වෙලා තියෙනවා. මේ වලව් හාමුදුරුවරු, නඩුකාරවරු මේ සත්තුන්ගේ චර්යාවන් ගැන දන්නේ නෑ. ඒ නිසා ඒ අලියාම හාමුදුරුවරු පොළොවේ ගහනවා.

පන්සල්වලට ගන්න අලි වැඩි හරියක් ඉන්නේ දඹුල්ල, සීගිරිය හෝටල්වල. සුද්දෝ අදිනවා. කරඬුව තියන අලියාගේ පිට මත සුද්දෝ ගෙනියනවා. හාමුදුරුවරුම කියන පරසුද්දෝ, අදින්න ගන්නේ පන්සල්වල ඉන්න මේ ඇත්තු තමයි. මේක අද ව්‍යාපාරයක් බවට පත්වෙලා. පන්සල ඉස්සරහා අලියෙක්, ඇතෙක් ගැට ගහගන්න එක උජාරුවක් කියලයි හිතන්නේ. මේ සත්තුන්ට දෙන හිංසාව ගැන ජාත්‍යන්තර පුවත්පත්වල පවා පළ වී තිබෙනවා.

පෙරහරවලට අලි ඕනෑම නම් විකල්පයක් ලෙස රජයේ ඇත් අතුරු සෙවණේ අලි සංචිතයක් හදලා, ඒ අලි පෙරහරට දෙන්න කටයුතු කරන්න. නොමිලේ දෙන්න. මේ කටයුත්තට බොහෝ දෙනෙක් කැමැති නැත්තේ අද අලියා බිස්නස් එකක් බවට පත්කරගෙන තිබෙන නිසයි. කැලෑ අලි මේ වැඩවලට දෙන ඕනෑම රජයක් පරාජය කරන්න අපි පසුබට වෙන්නේ නෑ.” යැයි පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

අලි පෙරහරවලට අවශ්‍ය නම් රජය විසින් අලි සංචිතයක් පිහිටුවා, අලි කිහිප දෙනකු පුහුණු කර එම අලි, රජයේ අධීක්ෂණය යටතේ පෙරහරවලට ලබාදීම සුදුසු බව රේගු ජෛව විවිධත්ව ඒකකයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර පවසන්නේය.

“මහනුවර දළදා මාලිගාව, රත්නපුර සමන් දේවාලය, කතරගම දේවාලය වගේ සාම්ප්‍රදායික ආගමික ස්ථානවල පෙරහරවල්වලට අලි දුන්නාට ප්‍රශ්නයක් නෑ. හැම පන්සලකටම අලි අවශ්‍ය නෑ. පෙරහරට අලි ලබාදීමට, ඊට විසඳුමක් ලෙස රජයෙන් අලි සංචිතයක් සකස් කරන්න නියමිතව තිබුණා. නමුත් දියවඩන නිලමේවරුන් මේකට විරුද්ධ වුණා. අලි සංචිතයක් සකස් කළ පසු මුදල් දී පෙරහැරට අවශ්‍ය අලියා එතැනින් ලබාගත යුතුයි. මේ සංචිතය සකස් කරන්න නියමිතව තිබුණේ පින්නවලයි. කාලයක් මේක ක්‍රියාත්මක වුණා. මේ ක්‍රමය නිසා කාටවත් අලි බිස්නස් කරන්න බෑ. පන්සල්වලට දුන්නු අලි අද ඉන්නේ ගොඩක් පුද්ගලික ස්ථානවලයි. පන්සල්වලට දුන්නු අලින්ගෙන් සියයට අනූවක්ම ව්‍යාපාරිකයන්ට විකුණලා. පන්සලේ පෙරහරට අලි ඕන වුණාම ඒ පුද්ගලයන්ට සල්ලි දීලා ගන්නවා. මේ ව්‍යාපාරිකයන් විකුණපු අලින්ගෙන් සල්ලි හොයන එකයි සිදු කරන්නේ. මහ පාරේ සුද්දන්ට පෙන්නනවා. සුද්දන්ව පිටේ යවනවා.

හුඟක් පන්සල්වල පෙරහරේ නැටුම් දැක්කාම ඒවායේ සම්ප්‍රදායක් රැකෙන්නේ නෑ කියලා හොඳට පේනවා. අලින්ට හරියට වද දෙනවා. බෙල්ලන්විල අලි පසුගිය කාලයේ හිටියේ බෙන්තොට හෝටල්වල. මේ සතුන්ට ගහනවා. දැන් අලි බලාගන්න අය සතා ගැන වෛරයෙන් ඉන්නේ. බීලා සතාට වද දෙනවා. බුද්ධාගමේ කොහේවත් නෑ පෙරහරේ අලි ගෙනියන්න. පන්සල්වල ඇත්දළ තියාගන්න කියලා.”යැයි සමන්ත ගුණසේකර කියන්නේය.

හීලෑ අලින්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට රෙගුලාසි නොමැති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාර කියන්නේය.

“හීලෑ අලි අනිවාර්යයෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි. නමුත්, හීලෑ අලි ලියාපදිංචි කළාට එම අලින්ගේ සුබසාධනය ගැන බලන්න රෙගුලාසි සකස් කරලා නෑ. එම රෙගුලාසි සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ තිබෙන්නේ. එම රෙගුලාසි සකස් කළ පසු එම අලින්ගේ සෞඛ්‍ය, සුබසාධනය ගැන බලන්න පුළුවන්. පෙරහරවලට අලි දෙනවා නම් එය කෙරෙන්නේ රජයේ ප්‍රතිපත්තියක් ලෙසයි.” යැයි වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේය.

අනවසරයෙන් ළඟ තබා ගැනීම, බලපත්‍ර නොමැති වීම වැනි කාරණා මත විවිධ පුද්ගලයන් ළඟ සිටි අලි 30 කට වැඩි සංඛ්‍යාවක් පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ ගාල් කර සිටිති. මෙම අලි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනකු හඳුන්වනු ලබන්නේ නඩු අලි යනුවෙනි. ඊට හේතුව නම් එම අලින්ගේ අයිතිකරුවන්ට විරුද්ධව විවිධ අධිකරණවල නඩු පවරා තිබීමය. මෙම අලි නඩත්තුව සඳහා රජයට රුපියල් ලක්ෂ ගණනක් වැය වන බව නිරීක්ෂණය වී තිබේ. මේ හේතුවෙන් එම නඩු ඉක්මනින් විසඳා එම අලින්ගෙන් ආදායමක් එන කටයුත්තකට යෙදවීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ.

“අපිට ඉතිහාසයේ සිට සංස්කෘතියක් තිබුණා අලි පෙරහට ගැනීමට. ඉකුත් වසරේත් මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා කිව්වා දළදා පෙරහරටත් අලි මදි කියලා.මේ නිසා රජයේ නියාමනයක් යටතේ පෙරහරට, විහාරස්ථානවලට අලි ලබාදීම සම්බන්ධව කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබිලා තිබෙන්නේ. මෙහිදී අලි පවරාදීමක් සිදු කෙරෙන්නේ නෑ. අලින්ගේ අයිතිකාරයා වන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. අනෙක් කාරණය තමයි පෙරහර පවත්වන ප්‍රධාන පන්සල්වලට විතරයි අලි දෙන්නේ.” යැයි පරිසර හා වනජීවි, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති එස්.එම්.චන්ද්‍රසේන පවසන්නේය.

(Aruna)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website