අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 09:11

දැන් පිරිමින්ට රාවණා රැවුල වැවෙයි

කලකට ඉහතදී අපේ පිරිමි පාර්ශ්වය කොණ්ඩය සහ රැවුල වැවූහ. ඊට පසු කාලය එද්දී වැවූ කොණ්ඩා රැවුල් කැපූහ. දැන් තරුණ පරපුර හිස මුහුණට වන්නට කොණ්ඩය වවා හිස වටේට කොණ්ඩය කපන්නට පටන්ගෙන ඇත්තේය. කැපූ රැවුල් දැන් වවන්නට පටන්ගෙන ඇත. ඒත් එදා වගේ නොව අමුතු විලාසිතාවකටය. ඒ දිගට වැවූ උඩු රැවුල දෙකොන උඩු අතට කැරළි ගැසෙන සේය. මේ රැවුල වැවිල්ල අද තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය විලාසිතාවක් වී ඇත්තේය. ඒ විලාසිතාව ඔවුන් හඳුන්වන්නේ ‘රාවණා කට්’ ලෙසිනි.

රාවණා රැවුල කොහෙන් කොහොම සොයා ගත්තාදැයි තොරතුරක් නැතත් අද බොහෝ තරුණයන්ගේ මුහුණේ වවා ඇත්තේ ‘රාවණා රැවුල’ බව කියවේ.

මෙසේ රාවණා රැවුල තරුණයන්ගේ රැවුල් විලාසිතාවක් ලෙස කරලියට පැමිණියේ හන්දියක් හන්දියක් ගාණේ තාප්පවල රාවණාගේ රූපය චිත්‍රයට නැගීමත් සමගය. සමාජ මාධ්‍ය තුළ මෙවැනි රූප හුවමාරු වූයේ උණු කැවුම් ලෙසිනි.
රාවණා යනු ලංකා පුරාවෘතවලට අනුව බලසම්පන්න රජෙකි. දසිස් රාවණ, විසැස් රාවණ හා රවුළු රාවණ ලෙසද ඔහුව හඳුන්වනු ලැබේ. රාවණා රජුගේ යැයි සැලකෙන අන්තර්ජාලයේ සඳහන් ඡායාරූපවල උඩු අතට කැරකැවූ ඝන රැවුලක් ඔහු සතුය. ඒ අනුව තාප්පවල රාවණ චිත්‍රයට​ නැගෙද්දී රාවණාගේ රැවුල ආකාරයට රැවුල සැකසීමට තරුණ පරපුර අතරද උනන්දුවක් ඇතිවිය.

ගාලු මුවදොර හෝටලයේ දොරටු පාලක ලෙස සිටි කොට්ටරප්පු චත්තු කුට්ටන් සේවකයාට තිබුණේද රාවණාට මෙන් ඝන රැවුලකි. ඔහු දුටු විට එදවස මුලින්ම මතකයට නැගුණේ රාවණා රැවුලය.

බොහෝ කාර්යාලවල සේම අරුණ කර්තෘ මණ්ඩලයේ කිහිප දෙනකුද රාවණා රැවුල වැවුවෝය. ඒ අතරින් එක් රැවුල් තරුණයකු ‘රාවණා රැවුල’ අත් හැරීමට තීරණය කර ඒ තරම් මහන්සියෙන් වැවූ රැවුල කපා දමා තිබුණේය. ඒ එම විලාසිතාව ඔහුට දැඩි කරදරයක් වූ බැවිනි.

මෙකල තරුණයන් රැවුල විලාසිතාවක් කොට ගත්තද අතීතයේ රැවුල වනාහී පුරුෂයකුගේ පෞරුෂත්වය විදහාපාන අංගයකි. රජුගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා රැවුල වැවීම පුරුද්දක්ව පැවැතිණි. නමුත් ඉංග්‍රීසි, ලන්දේසි ආක්‍රමණත් සමග අපගේ බොහෝ පුරුදු ගිලිහී ගියා සේම රැවුල වැවීමේ පුරුද්දද ගිලිහෙන්නට පටන් ගත්තේය. ඒ අනුව බොහෝ පිරිමින් රැවුල් කපන්නට ගත්හ. බොහෝ තරුණියන්ගේ සිත් ගත්තේද හොඳින් රැවුල කපා සිටි තරුණයන්ය. බමුණන් සේ රැවුල වැවූවන්ට තරුණියෝ ප්‍රිය නොකළහ. නමුත් අද සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්තය. රැවුල් තරුණියන්ගේ කැමැත්ත මදි නොකියන්නට ලැබෙන බව කියන්නේත් තරුණයන්මය.

කට වහරට රාවණා රැවුල ලෙස හැඳින්වුවද අන්තර්ජාලයේ තොරතුරු සෙවීමේදී මෙම විලාසිතාව හඳුන්වා තිබුණේ මුස්ටාච් (Mustache) ස්ටයිල් යනුවෙනි. එය හය ආකාරයකට ඇති බව දක්වා තිබුණි. එකිනෙකට වෙනස් වූ රැවුල් ඡායාරූප බොහෝමයක් විය. ඇතැම් රැවුල්වල් දෙකෙළවර උඩු අතට සිටින සේ කරකවා තිබූ අතර එයට තව තවත් විලාසිතාවක් එක්කර තිබුණි. බොලිවුඩ් සිනමා නළු රංවීර් සිංටද ඇත්තේ මෙකී රාවණා රැවුලකි. ඉන්දියාවේ දාමරිකයකු ලෙස ප්‍රකටව සිටි වීරප්පන්ටද ඇත්තේ ​මේ හා සමානම රැවුලකි. ඔහු තමන්ගේ චණ්ඩි බව විදහා පෑවේ රැවුලෙනි. හරියට එය බුරුසුවක් සේ දිස්වේ. එය එතරම්ම අපිළිවෙළය. ඔහුගේ අනන්‍යතාව පිළිබිඹු වන්නේ මෙකී බුරුසු රැවුලෙනි.

බොහෝ සුප්‍රකට පුද්ගලයෝද සිය අනන්‍යතාව ගොඩනගාගෙන ඇත්තේ ඔවුන්ට අනන්‍ය වූ රැවුලෙනි. චේගුවේරා, පිදෙල් කැස්ත්‍රෝ, කාල් මාක්ස්, චාර්ල්ස් ඩාවින්, චාලි චැප්ලියන්, හිට්ලර්, ඒබ්‍රහම් ලින්කන්, ගැලීලියෝ ගැලීලි, විලියම් ශේක්ෂ්පියර් වැනි ලෝ ප්‍රකට චරිතද පිළිබඳ මතකයට නැගෙන්නේ ඔවුන්ගේ අපූරු රැවුල් විලාසිතාව සමගිනි.

කලින් කලට අතීත රැවුල් විලාසිතාවන් නවීකරණය වී පැමිණෙයි. රාවණා රැවුලද අතීත රැවුල් විලාසිතාවක් නැවත පැමිණීමක් බව රාගම සැලොන් ‘කොන්ඩේ’ හි පැතුම් පෙරේරා කියයි. ඔහු කියන ආකාරයට පරණ විලාසිතා කලින් කලට කරලියට යමින් එමින් පවතී.

‘‘රාවණා ස්ටයිල් කියලා විශේෂ විලාසිතාවක් නැහැ. නමුත් රාවණා රජුගේ රැවුල වාගේ හින්දා එහෙම හඳුන්වනවා. මේක අතීතයේත් තිබිලා තියෙනවා. වර්තමානය වෙනකොට අතීතයේ විලාසිතාවට තවත් බොහෝ දේ එකතු කරලා නව විලාසිතාවක් නිර්මාණය වෙනවා. හැමදාම සිදුවුණේ මෙයයි. පරණ පැෂන් තමයි අලුත් වෙලා අද තිබෙන්නේ. මේ දවස්වල වැඩි දෙනෙක් මේ ආකාරයට රැවුල හදාගන්න එනවා. රැවුල පැෂන් එකකට හැදුවට වැඩක් නැහැ. එය හොඳින් පවත්වාගෙන යාම අවශ්‍ය වෙනවා. නැතිනම් එහි විලාසිතාවෙන් වැඩක් නැහැ.’’

පැතුම් කියන ආකාරයට සතියකට වරක් හෝ රැවුල පිළිවෙළකට සකසා ගත යුතුය. එසේම ඒ සඳහා තිබෙන විශේෂ ක්‍රීම් වර්ග මෙන්ම ෂැන්පෝ වර්ගද භාවිත කළ යුතුය. මේ අනුව අපට වැටහෙන්නේ රැවුල් විලාසිතාවක් කළ පසු එය පවත්වාගෙන යාමට යම් මුදලක් මෙන්ම කාලයක්ද වැය කළ යුතු බවකි.

රැවුල් විලාසිතාව සකසා ගත්තද ඇතැමුනට එය ටික දිනකින් කරදරයක් බවටද පත්වේ. නම කීමට අකමැති වූ අයකු පැවැසුවේ මේ විලාසිතාව නිසා දිනකට කෑම සමග රැවුල් ගස් හත අටක්වත් කෑමට සිදුවන බවකි. ‘‘රැවුලයි කැඳයි දෙකම බැහැ’’ කියා අතීතයේ තිබූ කියමන සත්‍යයක් බව පවසමින් ඔහු කිව්වේ හදිසියකට අයිස් ක්‍රීම් එකක්වත් කෑමට නොහැකි බවකි. අයිස්ක්‍රීම් එක කෑමට ගෙන අවසානයේ රැවුල වෙනම සේදීමට සිදුවන බවත් ඔහු කීවේය. එසේම කිරි හෝ බීම වීදුරුවක් බීපු විට අත්වන ඉරණමද එයම බව ඔහු කීවේය.

කෙනෙකුට රැවුල වැවීම අපහසු වුවද රැවුල්කරුවන්ගේ සංගමය නම් කියන්නේ ඔවුනට රැවුල සම්පතක් බවයි. එකී සංගමයේ නිර්මාතෘ ගයාන් විනෝද් නයනප්‍රිය පවසන්නේ තම සංගමයේ මෙකී විලාසිතාවෙන් රැවුල සකසා ගත් පිරිසක්ද සිටින බවකි.

‘‘උඩු රැවුල වවලා දෙපැත්තෙන් උඩට උස්සලා මෙම විලාසිතාව සකසා ගන්නවා. මෙකී විලාසිතාව කරන අය නිතරම රැවුලේ දෙකෙළවර උඩට කරකවමින් තමයි ඉන්නේ. රැවුල් විලාසිතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අපේ සංගමයේ රැවුල එක එක විලාසිතාවට අනුව වවපු පිරිස් ඉන්නවා. දැන් දැන් අපේ සංගමයේ බොහෝ දෙනෙක් රැවුල විතරක් නෙමේ කොන්ඩයත් වවලා උඩට කරලා බැඳලා තමයි සිටින්නේ හරියට අර රජ කාලේ රජගොල්ලෝ වාගේ.’’

ලංකාවේ විතරක් නෙමේ ඉන්දියාවේ කේරළේ අය රැවුල වවනවා. රැවුල තිබෙන පංජාබියන්ට සලකන්නේ ඉතා ඉහළින්. ඔවුන්ගේ අභිමානය තිබෙන්නේ රැවුල තුළයි. විලාසිතාවක් ලෙස වුවද අපිත් රැවුල වැවීමෙන් අපිට අභිමානයක් ලැබෙනවා. අපේ සංගමයේ සැමගේම පැතුමත් එයයි.’’

රැවුල් වැවීම, කැපීම වෘත්තීන් අනුව වෙනස් වේ. ඇතැම් වෘත්තිකයන්ට රැවුල වැවීමෙන් ආර්ථික වාසිද ලැබෙයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන්නන්ට ඒ වාසනාව ඇත. රැවුල වවා නඩත්තු කිරීමට සුළු මුදලක් ලැබේ. නාවික හමුදාවේ රැවුල සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ඇති හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් දයා සඳගිරි නාවික හමුදාවේ පිරිස් රැවුල වැවීම සම්බන්ධයෙන් කීවේ මෙවැන්නකි.

‘‘නාවික හමුදාවේත් ආවාට ගියාට රැවුල වවන්න බැහැ. තමන් රැවුල වවන බවට අදාළ ස්ථානය භාර අණ දෙන නිලධාරියාට දැන්විය යුතු වෙනවා. ඔහු අදාළ නිලධාරියාට රැවුල පිළිබඳව දින කිහිපයක් අධ්‍යයනය කරලා වැවිය යුතුද නැතිද කියලා අවසරය ලබා දෙනවා.’’

නාවික හමුදාව තුළ මෙසේ රැවුල වැවීමට අවසර දීමට හේතු කිහිපයක් බලපා ඇත. එයින් ප්‍රධාන වන්නේ අතීතයේ නාවික හමුදා නිලධාරීන් නැව්වල ගමන් කිරීමේදී දැලි පිහියකින් රැවුල කැපීමේ ඇති අවදානමය. එසේම ඔවුන් රැගෙන යන්නේ සීමිත වතුර ප්‍රමාණයකි. එයද රැවුල කැපීමකට වාගේ වැය කළ නොහැකිය. අද්මිරාල් දයා සඳගිරි තමන් රැවුල් වැවූ ආකාරය පිළිබඳවද කීවේය.

‘‘මම රැවුල වවන්න තීරණය කළේ එක්තරා හේතුවක් හින්දා. ඒ දවස්වල අව්වේ ඉන්නකොට රැවුල වැවෙනවා වැඩියි. උදේට කපනවා හවස් වෙනකොට ටිකක් වැවිලා. රැවුල කපලද කියලා චෙක් කරන වෙලාවට ටිකක් හරි වැවිලා තිබ්බොත් දඬුවම් ලැබෙනවා. බොහෝ දවසට දඬුවම් විඳින්න වෙනවා. ඉතින් මම තීරණය කළා රැවුල වවනවා කියලා.’’

නාවික හමුදාවේදී රැවුල පිළිවෙළකට වැවිය යුතුය. හොඳින් අදාළ ආකාරයට කපා නඩත්තු කළ යුතුය. යුද්ධ හමුදාවේදී විශේෂ පිරිසකට රැවුල වැවිය හැකිය. ඒ කමාන්ඩෝ, විශේෂ බළකා හා බුද්ධි අංශ නිලධාරීන්ටය. අනෙක් පිරිස හොඳින් රැවුල කපා සිටිය යුතුය.

පොලිසියේද උඩු රැවුල වවන්නෝ සිටිති. අතීතයේ පොලිස් නිලධාරීන් රාවණා රැවුල මෙන් වූ ඉතා අලංකාර රැවුල් වවා සිටියහ. එය එකල ඔවුන්ගේ පෞරුෂය විදහා පෑමකි. මෑත කාලයේ එලෙස රැවුල වවා සිටින අය දැක ගැනීම විරලය. ඒත් නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහයන්ගේ රැවුල විශේෂය. ඒ අතීතයේ විසූ පොලිස් නිලධාරීන්ගේ මෙන් මනා උඩු රැවුලක් ඔහු වවා ඇති බැවිනි.

විවිධ වෘත්තීන් මෙන් පුද්ගලයන් රැවුල එලෙස වවද්දී මුස්ලිම්වරුන් රැවුල වවන්නේ සම්ප්‍රදායයක් ලෙසිනි. එය රාවණා රැවුල මෙන් විලාසිතාවක් නොවන්නේය. ඔවුන් වවන්නේ මුහුණේ යටි රැවුලය. ප්‍රවීණ මාධ්‍යවේදී එම්. එස්. එම්. අයුබ් කියන්නේද මුහුණේ යටි රැවුල වැවීම මුස්ලිම්වරුන්ගේ ආගමික සම්ප්‍රදායක් බවයි.

‘‘උඩු රැවුල නෙමේ යටි රැවුල වැවීමයි අපේ සම්ප්‍රදාය. එය නබිතුමාගෙ සම්ප්‍රදායෙන් පැවැත එන්නක්. තලෙයිබාන්, පාකිස්තානයේ වගේ රටවල රැවුල වැවීම ඉතාම තද විදිහට තිබෙනවා. පාකිස්තානේ ඇතැම් ගෝත්‍රික ප්‍රදේශ ජනතාව ඉතා ඝන දිගු රැවුලක් වැවීම කරනවා. අපි වාගේ රටක් සාමාන්‍ය කුඩා දිගු රැවුලක් වවනවා. ඒත් ඇතැම් වෘත්තීන්වල යෙදෙන පිරිස එසේද වවන්නේ නැහැ. විශේෂයෙන් නීති වෘත්තියේ යෙදෙන ඇතැම් පිරිස් රැවුල වවන්නේ නැහැ. ඒ රැකියාවලට එය නොගැළපෙන නිසා. විලාසිතාවක් වශයෙන් නම් මුස්ලිම්වරුන් රැවුල වවන්නේ නැහැ.’’

ආගමික වශයෙන්, වෘත්තීයමය වශයෙන් එසේ රැවුලට නීති තිබුණද, සාමාන්‍ය තරුණයන්ට සීමා මායිම් නීති රෙගුලාසි නැතුව ඕනෑ විලාසිතාවකට රැවුල වැවීමේ නිදහස හිමිව ඇත.

ඒත් රැවුල වවන අයම කියන්නේ රැවුල වවනවා කියන්නේ ජිම් ගිහිල්ලා ඇඟ හදනවා වැනිම වැඩක් බවයි. ඒ තරමටම කාලයත්, ශ්‍රමයත් රැවුල වෙනුවෙන්ද කැප කළ යුතු බවයි.


(Aruna)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website