බදාදා, 26 පෙබරවාරි 2020 10:15

ශවේන්ද්‍රට ඇටවූ උගුලෙන් ගැලවෙනනේ කොහොමද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල‌ සැසිවාරයන් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම ලංකාවේ නම ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්වෙයි. ලංකාවේ නම ජාත්‍යන්තර වේදිකාවල නිතරම ඇසෙන්නට දිරි දෙන්නේ ලංකාවට හිතවත් රටවල් හෝ සංවිධාන නොවේ. සෑම විටම ලංකාවේ දොසක් දකින රටවලට හා සංවිධානවලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලංකාවට විරුද්ධ බීජ වැපිරවීමට සරු බිමක් බවට පත් කරගෙන තිබේ. මේ සරු බිමේ ලංකාවට විරුද්ධ බීජ වපුරන ඔවුන් වසර පුරාම එම අස්වැන්න නෙළා ගන්නේ ලංකාවට විරුද්ධව එම අස්වැන්න භාවිතා කිරීමට හැකි බව දන්නා නිසාය.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ආරම්භ වීමට පෙර සිටම ඇමරිකාව ලංකාවට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. මෙවර ඇමරිකාව ඇතුළු රටවල් තොණ්ඩුව දමන්නට හදන්නේ යුද හමුදාපති ලුතිනන් ​ෙජනරාල් ශවේන්ද්‍ර සිල්වාටය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සතියේදී නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අවසන් ගැටුම් පැවති සමයේදී ශවේන්ද්‍ර සිල්වා නායකත්වය දුන් 58 වැනි සේනාංකය විසින් මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා ඇති බවය. යුද අපරාධ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාට වගකීම් පැවරූ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර ගැන වැඩි යමක් සඳහන් කර තිබුණේ නැත.

ඇමරිකන් රාජ්‍ය ලේකම්ගේ නියමය අනුව මින් මතුවට ශවේන්ද්‍ර සිල්වාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුළු වීමට අවස්ථාව ලැබෙන්නේ නැත. සරලව පැවසුවහොත් ශවේන්ද්‍ර සිල්වාට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඇමරිකාවට ඇතුළුවීම සඳහා වීසා බලපත්‍ර ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ යුද හමුදාපතිවරයා සඳහන් කළේ තමන් හෝ තමන්ගේ පවුලේ කිසිවෙක් ඇමරිකානු වීසා බලාපොරොත්තුවෙන් නොසිටින බවය. මේ අතරම විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන වහාම කොළඹ සිටින ඇමරිකානු තානාපතිවරිය කැඳවා මේ ගැන කරුණු විමසා තිබුණේය. එතැනින් නොනැවතී මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය දැක්වීමටද ඔහු කටයුතු කළේය.

එතැනින් නොනැවතී අගමැති මහින්ද රාජපක්ෂද මෙයට විරෝධය දැක්වූයේය. ඒ නිවේදනයක් නිකුත් කරමින්ය.

“නීති ප්‍රකාරව වැරදිකරුවෙකු වෙනතුරු අපරාධයකට චෝදනා ලැබුවෙකු වුවද නිර්දෝශී ලෙස සැලකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් වුවත් ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම නියමය බලපාන බවක් පෙනෙන්නට නැත. අපගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත.” අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

මේ ආකාරයට ඇමරිකාව ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ දෙමළ ජනතාව හෝ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇති ආදරයක් නිසා නොවේ යැයි ජාත්‍යන්තර දේශපාලන විචාරක මොහාන් සමරනායක පැවසුවේය.

“මානව හිමිකම් පිළිබඳ ප්‍රේමයකින්, මේ රටේ දෙමළ ජනතාවට ඇති ආදරය නිසා කරන ක්‍රියාවක් නෙමෙයි. මේක පිටුපස තිබෙන්නේ බල දේශපාලන ක්‍රියාවලියක්. මානව හිමිකම් ගැන ගැටලුවක් තිබෙනවා නම් ඇමරිකාව තමයි ලෝකයේ සෙසු ජාතීන්ගේ අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කර තිබෙන්‌නේ. ඔවුන් බලවත් ජාතියක් බවට පත්වූ දිනයේ සිටම කටයුතු කර තිබෙන්නේ ඒ ආකාරයටයි. දැනට සති කිහිපයකට පෙර ඉරානයේ හමුදා ප්‍රධානියෙක් ඇමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් මිය ගියා. අන්තර්ජාතික නීති, මානව හිමිකම් උල්ලංඝනය කරමින් මේවා කළේ. ඇමෙරිකාවට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී ඇෆ්ගනිස්ථානයට පහරදී අල්ලා ගනු ලැබුවා” සමරනායක පවසන්නේය.

ඔහු පවසන්නේ පසුගිය ආණ්ඩුව විසින් ජිනීවාහිදී ගනු ලැබූ පියවර නිසා මේ ආකාරයට ශවේන්ද්‍ර සිල්වාට විරුද්ධව සංචාරක තහනමක් පනවා ඇති බවය. ඒ අතරම චීනය ලෝකයේ ආර්ථික බලවතා බවට පත්වීමේ ගමන ආරම්භ කර ඇති නිසා මෙය ද මේ පිටුපස ඇති බව ඔහුගේ අදහසයි.

“ශවේන්ද්‍ර සිල්වාට මේ චෝදනා ගොනු කරන්නේ යහපාලන ආණ්ඩුව 2015 ඔක්තෝබර් 1 වැනිදා එකඟවී සම්මත කරගත් 30/1 යෝජනාව පදනම් කරගෙනයි. මේ යෝජනාවෙන් ඇමෙරිකාව ඉවත් වුණා. ඒ බරපතළ චෝදනාවක් කළා. මානව හිමිකම් කොමිසම දේශපාලන අගතියේ අසූචි වළක් කියලා කිව්වා. ඒ අනුව මේක බල දේශපාලන ව්‍යාපෘතියක් බව පැහැදිලියි. ඇමෙරිකාව ලෝකයේ අංක එකේ ආර්ථිකයයි. මේ රටවල ආර්ථික බලය පිරිහෙමින් තිබෙනවා. ඔවුන් අර්බුදයක සිටින්නේ. මේ තත්ත්වය තුළ චීනය වගේ ආර්ථික කේන්ද්‍රස්ථාන මතුවෙමින් තිබෙනවා. තවත් අවුරුදු විස්සකින් චීනය ලෝකයේ අංක එකේ ආර්ථිකය බවට පත්වෙනවා. මේක නතර කිරීමට ඇමරිකාවට අවශ්‍යයි.

චීනය මෙල්ල කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ඇමරිකාව ඇතුළු රටවල් ක්‍රියාත්මක කරනවා. ඔවුන් විසින් සමාජගත කර ඇති නිදහස් හා විවෘත ඉන්දු – ශාන්තිකර සාගර කලාපය යන සංකල්පය මතු කර තිබෙනවා. මේ සුවිශාල කලාපයේ චීන බලපෑම් හා නැගීම නතර කර තමන්ගේ ග්‍රහණයට ගැනීමට ඇමෙරිකාවට අවශ්‍යයි. එහිදී ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව ඔවුන්ට ලංකාව වැදගත් වෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව තමන්ගේ අණසක යටතේ තබාගැනීමට ඔවුන්ට අවශ්‍යයි. මේ නිසා තමයි 2015 බල පෙරළියට ඔවුන් සහාය දුන්නේ. මේ නිසා තමයි ඇක්සා, සෝෆා වගේ ගිවිසුම් ගෙන ආවේ.එම්. සී.සී. හා සෝෆා අත්සන් කිරීමේ අවශ්‍යතාව තමයි මේක පිටුපස තිබෙන්නේ. මේවා අත්සන් කළ පසු ඇමෙරිකාවේ පහසුකම් සපයන කේන්ද්‍රයක් බවට ලංකාව පත් කරගන්නවා. මේක නිසා ස්වාධීන ජාතියක් ලෙස මේක ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ සඳහා රටේ බහුතර ජනතාව මේ තත්ත්වය තේරුම් ගෙන රට එක පිලකට ගෙන එක ස්ථාවරයක සිටිය යුතුයි. අපේ ආර්ථික ශක්තිය වර්ධනය කළ යුතුයි. එවිට දේශපාලන ශක්තියත් වැඩි වෙනවා” මොහාන් සමරනායක පැවසුවේය.

මේ අතර ජනාධිපති නීතීඥ ජයතිස්සද කොස්තා පවසන්නේද මේ පිටුපස තිබෙන්නේ දරුසුමාන් වාර්තාවේ හෙවනැලි බවයි. ඒකපාර්ශ්වික යෝජනාවලියක් ලෙස දරුසුමාන් වාර්තාව ඉදිරිපත් කළ බටහිර ගැති රටවල් මේ ආකාරයට කටයුතු කරන බව ඔහු පවසන්නේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස රාජකාරි කළ ආචාර්ය පාලිත කොහොන පවසන්නේද දරුසුමාන් වාර්තාව හරහා මෙවැනි පියවරක් ගැනීමේ තත්ත්වය දක්වා ඇද වැටුණ බවය. ඔහු සඳහන් කරන්නේ මේ තත්ත්වයට මුහුණදීම සඳහා මෙවැනි බලපෑමක් එල්ල කිරීමට බලපෑ කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවය.

“මෙම අවස්ථාවේදී මෙවැනි චෝදනාවක් එල්ල කළේ කුමන හේතුවක් නිසාද කියා අප විමසා බැලිය යුතුයි. මෙම චෝදනාවට පදනම් වී තිබෙන කරුණු පිළිබඳ මීට පෙරත් ලංකා රජය අදහස් ප්‍රකාශ කර තිබෙනවා. රජයේ ස්ථිර ස්ථාවරය නම් මෙම චෝදනාවලට පදනම් වූ කරුණු මෙතෙක් කල් සනාථ වී නොමැති බවයි. චෝදනාවක් එල්ලවූ පමණින්ම කෙනෙකුට දඬුවම් පැමිණ වීමට නොහැකියි. විශේෂයෙන්ම වීසා ප්‍රතික්ෂේපයෙන් හමුදාපතිගේ අභිමානයට හානියක් වන්නත් ඇති. අප දන්නා නීති ක්‍රම ඇතුළත දඬුවමක් කෙනෙකුට දෙන්නේ චෝදනා ඔප්පු කළ පසුවයි. චෝදනා හරස් ප්‍රශ්නවලට භාජනය කළ යුතුයි. එනමුත් මෙම අවස්ථාවේදී ඔප්පු නොකළ චෝදනා හා හරස් ප්‍රශ්න මගින් සනාථ නොකළ චෝදනා පදනම් කරගෙන යුද හමුදාපතිවරයාට වීසා බලපත්‍ර ලබාදීම හා ඔහුගේ පවුලටම වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙවැනි දෙයක් කළේ කුමන හේතුවක් නිසාද, මෙම අවස්ථාවේදී කළේ කුමන හේතුවක් නිසාද යන්න තවමත් පැහැදිලි නැහැ.

ශවේන්ද්‍ර සිල්වා පත් කරනු ලැබුවේ මෙයට පෙර තිබුණ ආණ්ඩුව මගින්, මීට මාස කිහිපයකට පෙරයි. එම අවස්ථාවේදී මේ ගැන විරුද්ධත්වයක් පළ කරනු ලැබූ බවක් මට නම් මතක නැහැ. මෙහි විශේෂත්වය වන්නේ නව ආණ්ඩුව විශාල ජනප්‍රියත්වයකින් යුතුව, පත්ව මේ අවස්ථා‌වේදී යුද හමුදාවේ ප්‍රධාන නිලධාරියාට විරුද්ධව තහංචියක් පැනවීමයි. මගේ පුද්ගලික අදහස නම් මෙවැනි තහංචියක් පනවන්නට හේතුවූ කරුණු මෙයට වඩා හොඳින් පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව තිබුණත් දැනට ඇමෙරිකානු රජය මගින් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ හිටපු මහ ලේකම් බැං කි මූන් වෙනුවෙන් පිළියෙල කරන ලද දරුසුමාන් වාර්තාවේ තිබුණු කරුණුයි. දරුසුමාන් වාර්තාව එවකට රජය මගින් ප්‍රතික්ෂේප කළා. එහි අන්තර්ගත බොහෝ කරුණු සාධක රහිතවයි සඳහන් කර තිබුණේ. විශේෂයෙන්ම නීති ගරුක සමාජයක් වන නීතියට අනුකූලව කටයුතු කරන සමාජයක් වන ඇමරිකාව මෙවැනි පියවරක් ගැනීම අප කුතුහලයකට ලක්වන කරුණකි.” පාලිත කොහොන පවසන්නේය.

ජනාධිපති නීතීඥ ජයතිස්ස ද කොස්තා පවසන්නේ මෙවැනි තීරණවලට විරුද්ධව කටයුතු කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් කිරීමට ජාත්‍යන්තර අධිකරණයක් නොමැති බවය.

පාලිත කොහොන පවසන්නේද තමන්ගේ රටට ඇතුළු වීමට අවස්ථාව ලබාදෙන්නේ කාටද, අවස්ථාව ලබා නොදෙන්නේ කාටද යන්න ගැන තීරණය ගැනීමේ අයිතිය එම රට සතුවන බවය.

” රටකට ඇතුළුවන්නේ කවුරුන්ද, ඇතුළු වීමට ඉඩ නොදෙන්නේ කාටද යන ප්‍රශ්නයට වග කිව හැක්කේ එම රාජ්‍යයට පමණයි. මෙය ස්වෛරී රාජ්‍යයක මූලික අයිතිවාසිකමකි. එම නිසා ඇමරිකාවේ මතය මෙම අවස්ථාවේදී ඔවුන් වෙනස් කරගත්තහොත් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළු වීම සඳහා ඔවුන් වීසා නිකුත් කරනු ඇති. නමුත් මෙවැනි අදහස් වෙනස් කරගැනීමට ඔවුන් මෙම අවස්ථාවේදී කටයුතු කරාවිද යන්න අපිට සැකයක් මතුවන කරුණකි” පාලිත කොහොන පැවසුවේය.

මේ අවස්ථාවේදී මෙයට ප්‍රතිචාර දැක්වීම තරමක් අසීරු කටයුත්තක් බව මොහාන් සමරනායක පවසන්නේය. පුද්ගයින් වශයෙන් මෙයට ප්‍රතිචාර දැක්වීමේදී ඇති ඉඩ පහසුකම් රජයකට නොමැති බවත්, ඒ සඳහා රජයට බාධාවන කරුණු තිබෙන බවත් ඔහු කියන්නේය.

“ඇමෙරිකාවට ප්‍රතිචාර දැක්වීමේදී අපිට නැති බාධක රජයට තිබෙනවා. අන්තර්ජාතික සම්බන්ධතාවලදී කුඩා රටවල නීති උගුල්වල හිරවෙනවා. ඇමෙරිකාවට ඇත්ත පැහැදිලි කර දෙමින් බලවත් රටවල බලපෑමට ලක්ව සිටින සෙසු රටවල් සමග සම්බන්ධතා ශක්තිමත් කළ යුතුයි. ඇමරිකාව රුසියාව වගේ රටවල් සමග සම්බන්ධතා ශක්තිමත් කළ යුතුයි. ශවේන්ද්‍ර සිල්වාට විරුද්ධ චෝදනා අධිකරණයේදී ඔප්පුවී නැහැ. බෙදුම්වාදී කණ්ඩායම්වල ඒක පාර්ශ්වික වාර්තා මත පදනම්ව ශවේන්ද්‍රට චෝදනා කරනවා. සටනේදී ඇතිවූ දේ ගැන ක්‍රියාමාර්ග ගත යුතු වන්නේ අන්තර්ජාතික චණ්ඩිකම්වලට යටත් වී නොවෙයි” ඔහු පැවසුවේය..

චීනය රුසියාව වැනි රටවල් සමග සමීපව කටයුතු කළ යුතු බව පවසන ජයතිස්ස ද කොස්තා පවසන්නේ මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් අන්තර්ජාතික මතයක් නිර්මාණය කළ යුතු බවයි. ඒ සඳහා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ලබාගත යුතු බව ඔහු පවසන්නේය.
මෙම ගැටලුවට රජය සංවේදීව මුහුණ දිය යුතු යැයි ආචාර්ය පාලිත කොහොන පවසන්නේය.

“මෙතැනදී රජය ඉතාමත්ම සංවේදීව මෙම ප්‍රශ්නයට මුහුණ දිය යුතුය. ඇමරිකාව මෙවැනි තීරණයක් ගන්නට ඇත්තේ ආවාට ගියාට නොවේ. ඒ නිසා එයට පදනම් වූ කරුණු විභාගයට ලක් කර ඒවාට උචිත ප්‍රතිචාරයක් දැක්වීමට රජය වගබලාගත යුතුය. එම විටම මතක තබාගත යුතු දෙයක් වන්නේ ඇමෙරිකාව දැනට ලොව සිටින එකම ප්‍රබල රාජ්‍යය වන බවයි. ඇමෙරිකාව සමග ගනුදෙනු කරන විට අප මෙය සිහියේ තබාගත යුතුය. ඇමරිකාව සමග අපගේ සම්බන්ධය අද ඊයේ ඇති වූවක් නොවේ. 1857 දී පටන් ඇමෙරිකානු කොන්සල් කාර්යාලයක් ගාලු නගරයේ පිහිටුවා තිබුණි. ලංකාවේ ශිෂ්‍යයින් දහස් ගණනක් ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබා තිබුණි. ඒ සමගම ලාංකිකයන් දහස් ගණනක් ඇමරිකාව ඔවුන්ගේ වාසස්ථානය කරගෙන තිබේ.

ලාංකිකයන් ඇමරිකාවේ නොයෙක් තරාතිරමේ රැකියාවල යෙදේ. මෙවැනි සම්බන්ධයක් ඇති රටක් වෙනවා, ඇමරිකාව. ලංකාව සහ ඇමරිකාව අතර යුදමය හෝ උපක්‍රමික තරගයක් නැත. ඇමරිකාව සාමාන්‍යයෙන් මෙවැනි තහංචි පනවන්නේ ඔවුන් සමග එදිරිවාදිකම් ඇති රටවල පුද්ගලයින්ටය. නිදර්ශනයක් වශයෙන් උතුරු කොරියානුවන්ට, ඉරාන ජාතිකයින්ට ආදී වශයෙනි. එම නිසා ලංකාවට අහිතකර මෙවැනි පියවරක් මෙම අවස්ථාවේදී ගැනීම අපට විශ්වාස කිරීමට අමාරු දෙයකි” පාලිත කොහොන කීවේය.

(Aruna)

Features

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website