බදාදා, 04 මාර්තු 2020 10:01

රටම ගොඩදැමිය හැකි මැෂිමක් මොරටුවෙන් මතුවෙයි

අකුණක් නොඑසේනම් හෙණයක් හීලෑ කරගත්තොත් එය කෙබඳු වනු ඇද්ද? ඒ කතාව ‘හෙණ පිස්සුවක්’ ලෙසින් ඔබට සිතෙනන්ට ඉඩ තිබේ. එහෙත් හෙණයක් හීලෑ කර එහි සැර බාල කරගතහොත් එය ‘හෙණ පහසුවකි’. කර්මාන්ත ක්ෂේත්‍රයේ මහා විප්ලවයක් කර ගැනීමේ හැකියාව හීලෑ කරගත් හෙණයකට තිබේ. එහෙත් හෙණයක් හීලෑ කිරීමට හැකි ජගතෙක් සිටීද? පිළිතුර නම් ‘ඔව්’ ය. ඒ දෙවියෙක්ද, යක්ෂයෙක්ද? නැත. ඒ මනුස්ස පිරිසකි. වෙන රටක නොවේ, ඔවුන් ඉන්නේ අප රටේමය. ඒ මොරටුව විශ්වවිද්‍යාලයේ ද්‍රව්‍ය විද්‍යා අංශයේ පිරිසකි.

ඔවුන් එකතුව නිපදවූ මේ ‘සැර බාල කර ගත් හෙණය’ මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකිරීම පිණිස සීරුවෙන් තබා ඇත. මේ ඒ පිළිබඳ විස්තරයයි.

මෙම ‘හීලෑ කරගත් හෙණය යනු’ ප්ලාස්මා තාක්ෂණයෙන් නිපද වූ නවතම යන්ත්‍රයකි. ‘ප්ලාස්මා’ යනු විශ්වයේ පවතින පදාර්ථ වර්ගයකි. අපි පදාර්ථය හැඳින්වීමේදී වැඩි වශයෙන් ඝන, ද්‍රව, වායු යන්නෙත් කතා කළත් ප්ලාස්මා නම් වූ පදාර්ථමය අවස්ථාවක්ද එහි තිබේ. පදාර්ථයේ සෙසු අවස්ථා සමග සංසන්දනය කිරීමේදී ප්ලාස්මා යනු විශ්වයේ වැඩියෙන්ම පවතින එකී ස්වභාවයයි. මෙය අයනීකරණය වූ වායුමය අවස්ථාවක් ලෙසින් හැඳින්වීම වැරදි නැත. අධික උෂ්ණත්වයන්, අධි වෝල්ටීයතාවයන් යටතේ මෙම ප්ලාස්මා ඇතිවේ. අකුණක් කෙටීමේදී ප්ලාස්මා අවස්ථාව මහා පරිමාණයෙන් ස්වභාවිකව උපදී. එය ඉතාම විනාශකාරීය. සූර්යා මත ඇති ස්වභාවය හේතුවෙන් ඒ මතද ප්ලාස්මා ඇතිවේ. ඒවා උණුසුම් ප්ලාස්මා හෙවත් තර්මල් ප්ලාස්මාය. ඒවායේ ශක්තිය අධික බැවින් ඉන් ප්‍රායෝගික මට්ටමේ සෙතක් නැත. එහෙත් විදුලිබලය යොදාගනිමින් කෘත්‍රිමව සැකසූ තත්ත්වයන් තුළ හීලෑ කළ මට්ටමෙන් හෙවත් සැර බාල කළ ප්ලාස්මා නිපදවීමේදී එවායින් ගත හැකි ප්‍රයෝජන අතිමහත්ය. මෙම සැර බාල කළ ප්ලාස්මා ‘කෝල්ඩ් ප්ලාස්මා’ හෙවත් ‘සිසිල් ප්ලාස්මා’ නම් වෙයි. එහි ඇති සුවිශේෂී භෞතික හා රසායනික හැසිරීම මත එය එක්තරා ආකාරයකින්, හිතූ පැතූ දේ ලබාදෙන කප්රුකක් වැනිය.

එම ‘කෝල්ඩ් ප්ලාස්මා’ වල හැකියාව කොතෙක්ද යත්, යම් නිෂ්පාදනයකදී ගලවන්න බැරි වෙන්න අලවන්න මෙන්ම අවශ්‍ය තැනදි කරදරයක් නැතිව ගලවාගන්නටත්, මැකෙන්නේ නැතිව පින්තාරු කරන්නට මෙන්ම, අවශ්‍ය නම් ජල පිරිපහදුවටත්, පලතුරු වැනි ආහාර කල්තබා ගන්නත් ආදී එකී මෙකී නොකී බොහෝ දේ එයින් කළ හැකිය.

ප්ලාස්මා තාක්ෂණය බොහෝ ප්‍රයෝජනවත්ය. ලොව පවතින තාක්ෂණයන් රැසක් දියුණු තියුණු කිරීම සඳහා මෙය තවමත් උපකාරකය. මෙම තාක්ෂණය ලොව දියුණු රටවල් සිය කර්මාන්ත වෙනුවෙන් යොදාගනියි. නමුත් ශ්‍රී ලංකාවට මෙය තවමත් ආධුනිකය.

ජාත්‍යන්තර මට්මටින් ප්ලාස්මා තාක්ෂණය යොදා ගත්තද එය අපට ඔරොත්තු නොදෙන තරම් මිල අධිකය. එහි අලුත්වැඩියාවක් හෝ නඩත්තුවකදී පිටරට විශේෂඥයන් කැඳවීමට සිදුවන බැවින් ඒ වෙනුවෙන්ද මහත් පිරිවැයක් දැරිය යුතුය. අධි තාක්ෂණික විද්‍යාත්මක උපාංග ගණයට වැටෙන ප්ලාස්මා යන්ත්‍රයක් පිටරටින් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 40ක් පමණ වැයවෙයි. එබැවින් අප වැනි රටක කර්මාන්ත අවශ්‍යතා වෙනුවෙන් ප්ලාස්මා තාක්ෂණ යන්ත්‍ර යොදාගැනීම ලෙහෙසි පහසු නැත.

නමුත් මෙම තාක්ෂණය පිට රටින් ගෙන්වනු වෙනුවට අප රටේ ‘පැළ කිරීමේ’ වගකීම ජාතික යුතුකමක් ලෙසින් සිතූ තුන් කට්ටුවක් සහ ඔවුන්ගේ ශිෂ්‍යයකු විසින් භාරගෙන තිබේ. ඒ අනුව යමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශාන්ත අමරසිංහ, ආචාර්ය දිනේශ් ආටිගල සහ ද්‍රව්‍ය විද්‍යා ඉංජිනේරු අංශයේ හිටපු ප්‍රධානී සම්පත් වේරගොඩ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ඔවුන්ගේ ශිෂ්‍ය තිසර සඳරුවන් විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යා ඉංජිනේරු අධ්‍යයන අංශය තුළ, ප්ලාස්මා තාක්ෂණය මෙරට ඉංජිනේරු කර්මාන්තය තුළ ස්ථාපිත කිරීමේ ශඛ්‍යතා අධ්‍යනයක් ලෙසින් ‘ප්ලාස්මා ප්‍රතිකාර ඒකකයක්’ පසුගියදා නිර්මාණය විය. මෙරට නිපදවූ එම පළමු ප්ලාස්මා යන්ත්‍රය ගැන ලැබෙන ප්‍රතිචාර ඉහළය. එහි කාර්යසාධනයද ඉතාම ඉහළ බව සනාථ වී තිබේ. මෙම ප්ලාස්මා යන්ත්‍ර නිපදවන අනෙක් රටවල එම එක් යන්ත්‍රයක් බොහෝදුරට එක් විශේෂිත කාර්යයක් උදෙසා පමණක් යොදාගත්තද, මොරටුව විශ්වවිද්‍යාලයේ හැදූ ප්ලාස්මා යන්ත්‍රය කාර්යයන් රැසක් වෙනුවෙන් යොදාගත හැකිය. එනම් එය බහුකාර්ය ප්ලාස්මා යන්ත්‍රයකි. එහි සාර්ථකත්වය කොතෙක්ද යත් තවත් බොහෝ කර්මාන්ත ක්ෂේත්‍රවලට අදාළව එම ප්ලාස්මා යන්ත්‍ර මෙරටදීම නිපදවාගැනීමේ හැකියාව ද එයින් පෙන්නුම් කර ඇත. මෙහි වැදගත්ම දෙයනම්, මේ සා සාර්ථකව ක්‍රියාකරන මෙම යන්ත්‍රය නිපදවීමට ඔවුන්ට වැයවී තිබුණේ ලක්ෂ 12ක පමණ මුදලක් වීමය. සරල කර්මාන්ත අවශ්‍යතා වෙනුවෙන් නම් එම යන්ත්‍රයක් දේශීය වශයෙන් රුපියල් ලක්ෂ දෙක තුනක මුදලේ සිට නිපදවීමේ හැකියාව ඔවුන් සතුය. එය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය උදෙසා සුභාරංචියකි.

වයඹ විශ්වවිද්‍යාල කෘෂි අධ්‍යයන පීඨයේ ආචාර්ය බී.රණවීර සහ ආචාර්ය කමනි රණවීර සමග එක්ව මෙම යන්ත්‍රය ප්‍රායෝගිකව යොදාගැනීමේ කටයුත්තක පළමුව නිරත විය. ඒ මෙරට නිපදවන ‘කැවැන්ඩිෂ් ’ නමැති කෙසෙල් වර්ගය කල්තබා ගැනීම වෙනුවෙනි. දේශීයව නිපදවෙන එම කෙසෙල්, අපනයනය කිරීමේදී හෝ යම්කාලයක් තබාගැනීමේදී පළමුව නැට්ට පැත්තේ සිට කුණුවීම සිදුවේ. ඒ සඳහා එකම පිළියමව තිබුණේ ගෙඩියේ නැට්ට පැත්තේ රසායනික ආලේපනයක් සිදුකර කුණුවීම සිදුකරන එම බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැළැක්වීමයි. නමුත් මේ සඳහා ප්ලාස්මා ප්‍රතිකාරය කළ විට එහි ඇති අයනීකරණ ශක්තිය මගින් එම බැක්ටීරියාවන් සහමුලින්ම විනාශ වී කිසිදු රසායනික ද්‍රව්‍යයක භාවිතයෙන් තොරව එම කෙසෙල් කල්තබාගැනීමට හැකියාව ලැබිණි. ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ මෙම ‘විශ්වකර්මය’ සහමුලින්ම සාර්ථක බව ඔප්පු විය. ආහාර කල්තබාගැනීම උදෙසා ‘තොග වශයෙන්’ රසායන ද්‍රව්‍ය යොදන අප වැනි රටකට එම මාරක ක්‍රමවේදය බැහැර කර සෞඛ්‍යසම්පන්න වීම සඳහා මෙම ප්ලාස්මා තාක්ෂණය මොන තරම් උපකාර කර ගත හැකිද?

අප මෙතෙක් ප්‍රමාද වුවත් ලෝකයේ අනෙක් දියුණු රටවල් ආහාර සැකසුම් කර්මාන්ත වල දී නව තාක්ෂණයක් ලෙස ප්ලාස්මා භාවිතයට ගනු ලැබේ. වසර ගණනාවක් මුළුල්ලේ පර් යේෂණ වලින් සනාථ කර ඇති පරිදි ආහාරවල නැවුම් බව සුරැකෙන පරිදි ක්ෂුද්‍ර ජීවී හරණය සඳහා සිසිල්- ප්ලාස්මා තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පවතී.

එපමණක් නොව ප්ලාස්මා ප්‍රතිකාරකයක් සතු බැක්ටීරියා නාශක ගුණය යොදාගනිමින් අවශ්‍යනම් පසෙහි ඇති වෛරසයන් ඉවත් කිරීම පිණිසත් මේ තාක්ෂණය යොදාගත හැකිය. ඒ අනුව විෂ රසායනවලට ‘ටටා’ කියා මෙරට කෘෂිකර්මාන්තයට සෞඛ්‍යසම්පන්න ජීවයක් දීම පිණිස මෙය යොදාගැනීමේ අවකාශය දැන් අප ඇස් පනාපිට තිබේ.

ප්ලාස්මා තාක්ෂණය තුවාල සුව වීම වේගවත් කිරීමේ උපක්‍රමයක් ලෙස ද යොදා ගත හැකි බවට මෑත කාලීන පර් යේෂණවලින් තහවුරු වී තිබේ. තුවාල මත බැක්ටීරියා ගහනය වර්ධනය වීම හේතුවෙන් සුව වීම ප්‍රමාද කරන අතර රෝග කාරක බැක්ටීරියා විශාල ප්‍රමාණයක් විනාශ කිරීමේ හැකියාව ප්ලාස්මා ප්‍රතිකාරක තාක්ෂණය සතු ව පවතින බවට විද්‍යාගාර තත්ත්ව යටතේ සනාථ කර තිබේ.

අවශ්‍ය නම් මෙහි ඇති විෂබීජ නාශක ගුණය යොදාගනිමින් ශල්‍ය උපකරණ ආදිය පිරිසිදු කරගැනීමේ හැකියාව ඇති අතර ඒ ආකාරයෙන්ම තුවලවල විෂබීජ හරණය පිණිස මෙම තාක්ෂණය යොදාගැනීමේ හැකියාවද දැන් මෙරට පර් යේෂණ මට්ටමේ ඇත.

වියළි හාල්මැස්සන්, කරවල ආදී දෑද කිසිදු රසායනික ද්‍රව්‍ය යෙදීමකින් තොරව කල්තබාගැනීම සඳහා ප්ලාස්මා තාක්ෂණය ඉතාම පහසුවෙන් යෙදිය හැකිවේ.

සපත්තු ඇලවීම සහ වෙනත් කර්මාන්ත අංශවල තදින් ඇලවීම පිණිස කුමන වර්ගයේ ගම් වර්ග යොදාගත්තද ටික කලකින් එම පෘෂ්ටයන් ගැලවී වෙන්වේ. එයට හේතුව අලවන අවස්ථාවේ එම පෘෂ්ටයන් මත ඇති ක්ෂුද්‍ර දූවිලි අංශු ආදියේ බලපෑමයි. නමුත් ප්ලාස්මා තාක්ෂණය යෙදූ විට එහි ක්ෂුද්‍ර දූහුවිලි අංශු සහමුලින්ම ඉවත්වී ආයේ කිසිදාක නොගැලවෙන්න ඇලවිය හැක. එසේම අච්චුවක් යොදාගනිමින් කරන සමහරක් නිෂ්පාදන සිදුකිරීමේදී එම අච්චුව සහ නිෂ්පාදන ද්‍රව්‍යය එකට ඇලීමෙන් වළක්වා හෙවත් අච්චුවෙන් පහසුවෙන්ම ගලවාගැනීම සඳහාද මෙය යොදාගත හැකිය.

මතුපිට ආලේපන හෙවත් ‘ස්ර්ෆෙස් කෝටින්ග්’ කිරීමේ කර්මාන්තයේද මහා පෙරළියක් කිරීමේ හැකියාවද මෙම ප්ලාස්මා තාක්ෂණය සතුය. ප්ලාස්ටික් හෝ රබර් වැනි පෘෂ්ටයන් මත අකුරු ආදිය මුද්‍රණය කිරීමේදී ඒවා ඉක්මනින්ම මැකීයෑම මෙවැනි නිෂ්පාදන කර්මාන්තවලට විසඳාගත නොහැකි පැනයක් ව තිබුණි. උදාරහණයක් ලෙසින් පයිප්ප ගම් ආදී බෝතල්වල මතුපිට මුද්‍රණය කරන අකුරු ඉක්මනින්ම මැකී යෑම පෙන්වා දිය හැකිය. නමුත් මෙම ප්ලාස්මා ප්‍රතිකාරය මගින් ‘ගලේ කෙටූ අකුරක් මෙන්’ එවැනි පෘෂ්ටයන් මත මුද්‍රණයන් කළ හැක. විදුලිය සන්නයනය කරන රැහැන් හෙවත් ‘වයර්’ මත අකුරු සහ ලකුණු ආදිය මුද්‍රණය කිරීමේදීද වැඩි කල් නොගොස් ඒවා මැකී යෑම හේතුවෙන් එම කර්මාන්ත ක්​ෙෂ්ත්‍රයට වැලඳී තිබූ හිසරදයට ද මෙම ප්ලාස්මා ප්‍රතිකාරය ප්‍රත්‍යක්ෂ ‘බෙහෙතකි’.

එසේම ජල විකර්ෂක පෘෂ්ටයන් නිර්මාණයටද මේ තාක්ෂණය යොදාගත හැකිය.

ප්ලාස්මා ප්‍රතිකාරක තාක්ෂණය ජල පිරිපහදුව වෙනුවෙන්ද යොදාගත හැකිය. එහිදී රසායනික ද්‍රව්‍ය යොදාගැනීමෙන් තොරව ජලය පිරිපහදුවට ලක්කළ හැක. ඒ අනුව ක්ලෝරීන් යෙදීම ආදියේදී ඇතිවන අප්‍රසන්න රසය සහ ගන්ධය මෙන්ම වෙනත් අතුරු ප්‍රශ්න නොමැතිව ජලයේ විෂබීජ හරණය කරදීමට ප්ලාස්මා ඉදිරිපත් වනු ඇත.

මේ සඳහන් කළේ ප්ලාස්මා තාක්ෂණය නමැති වේදිකාව මත දියණු කළ හැකි කර්මාන්ත ක්​ෂේත්‍රයන් කිහිපයක් පමණි. මෙහි හැකියාවන් තවත් බොහෝ කේෂ්ත්‍රවල විහිදේ.

මෙකී ප්ලාස්මා තාක්ෂණික ඒකකය ක්‍රියාත්මක කිරීම සඳහා අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නේ අයනීකරණයට ලක්වන වායුවක් පමණි. එයට අමතරව මෙහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය විදුලිය පමණි. ඒ අනුව මෙය අවම පිරිවැයකින් ක්‍රියාත්මක කළ හැකි තාක්ෂණයකි. අතිශය ලාභදායී යොදාගැනුමකි. ඉතාම සෞඛ්‍යාරක්ෂිත යෙදවුමකි.

මෙතෙක් ආගන්තුක වූ මෙම තාක්ෂණය ඉතාම අපූර්ව අන්දමින් සහ අවම පිරිවැයකින් අප රට තුළම නිපදවීමේ හැකියාව ඔප්පු කර ඇති මේ මොහොතේ රජය විසින් කළ යුත්තේ කුමක්ද? මෙම ප්ලාස්මා ප්‍රතිකාරක තාක්ෂණය ක්‍රියාවට නැංවෙන කිහිපාකාරයක යන්ත්‍ර නිෂ්පාදනයට මොරටුව විශ්වවිද්‍යාලයට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමය. එම යන්ත්‍ර නිපදවීමෙන් අනතුරුව මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රජාවට සිය කර්මාන්තයේ නිෂ්පාදනය දියුණුකර ගැනීම පිණිස යොදාගත යුත්තේ මේ අතුරින් කුමන ප්ලාස්මා තාක්ෂණ යන්ත්‍රය දැයි ප්‍රායෝගිකව පරික්ෂා කළ හැකිය. එවැනි අවස්ථාවක් යෙදුණහොත් මෙය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ රැල්ලක් බවට එය පත්වනු නොවැළැක්විය හැකිය. ආහාර නිෂ්පාදනය සහ කල්තබාගැනීම ආදියේදී ඉවක් බවක් නැතිව වස විස භාවිතා කළ රටක් වචනාර්ථයෙන්ම ‘වස විස නැති රටක්’ බවට පත්කළ හැකිය.

එනම් මෙරට කර්මාන්තයන්ගේ ‘සුරබිදෙන’ බවට ප්ලාස්මා තාක්ෂණය පත්කළ හැකිය.

(Aruna)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website