සදුදා, 06 අප්‍රේල් 2020 10:38

කොරෝනා රෝගියකුගේ අවසන් කටයුතු කෙරෙන හැටි

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාරවිල පදිංචිකරුවකු ඉකුත් විසිඅට වැනිදා මිය ගියේය. රස්සාව හැටියට ඔහු කර තිබුණේ සංචාරක මග පෙන්වන්නකු ලෙසය. ඉකුත් මාර්තු දාසය වැනිදා ඔහු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබුණේ කැස්ස නිසාය. මාරවිල රෝහලෙන් මීගමුව මහ රෝහලට මාරු කරනු ලැබූ ඔහු එතැනින් අයි.ඩී.එච්. රෝහලට රැගෙන ආවේය.

ඉකුත් විසිඅට වැනිදා මියගිය ඔහුගේ දේහය නිවසට රැගෙන යාමට ඥාතීන්ට අවසර නොලැබුණි. යුද බිමේදී මියගිය සතුරකුගේ මළසිරුරක් පවා එම දේහය අයිති පාර්ශ්වයට භාරදීම ලෝක සම්මත සිරිතකි. ඒ මියගිය පුද්ගලයාගේ ආගම අනුව ඔහුගේ ඥාතීන්ට අවසන් චාරිත්‍ර ඉටුකරනු පිණිසය. එහෙත් මාරවිල සංචාරක මග පෙන්වන්නාට ඒ අවස්ථාවත් අහිමි විය. ඒ යුද බිමේ සතුරාට වඩා බිහිසුණු සතුරකු නිසාය. මුළු ලෝකය අස්සක් මුල්ලක් නෑර ලක්ෂ ගණන් බිලි ගන්නා එම සතුරා කොරෝනාය.

කොරෝනාව නිසා මියගිය මුල්ම ශ්‍රී ලාංකිකයා ජීවත් වූයේ ස්විට්සර්ලන්තයේය. ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ විසූ ශ්‍රී ලාංකිකයන් තිදෙනකුද කොරෝනාව නිසා මිය ගියද ඔවුන්ගේ සිරුරු ලංකාවට ගෙනාවේ නැත. මේ වනවිට ලංකාවේදී මියගොස් ඇති කොරෝනා රෝගීන් ගණන ති​දෙනෙකි. එක් අයෙක් මාරවිලය. අනේකා දෙදෙනා මීගමුවේ හා මරදානේය.

මාරවිල රෝගියාට මෙන්ම මීගමුවේ හා මරදානේ මියගිය පුද්ගලයාගේ දේහයද ඥාතීන්ට භාර කෙරුණේ නැත. ඒ ගැන දැඩි කතාබහක් ඇතිවූයේ ඉස්ලාම් බැතිමතකු වූ මීගමුවේ පුද්ගලයාගේ දේහය භූමදානය නොකර ආදාහනය කළ බැවිනි. ඊට ඇතැම් මුස්ලිම් දේශපාලනඥයෝ විරෝධය දක්වා තිබිණි. එහෙත් එම පුද්ගලයාගේ දේහය ආදාහනය කළේ ආගම හෝ ජාතිය සලකා බලා නොවේ. කොරෝනාවත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති උපදෙස්වලට අනුවය.

කොරෝනාවට බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දුද කියා ප්‍රශ්නයක් නැත්තේය. කොරෝනාව වැලඳී බෞද්ධයකු මියගියහොත් පාංශුකූලයට භික්ෂූන් වඩම්මන්නට අවසර නැත. අඟහරුවාදා, සිකුරාදා කියා වෙනසක් නැත. පැය විසි හතරක් තුළ අවසන් කටයුතු කළ යුතුය. අඩුම තරමේ හත් දවසේ බණට ඥාතීන් රැස්කර පින්කම් කිරීමට අවසර නැත්තේය.

ඒ සියල්ලට මුල කොරෝනාය. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ උපදෙස්වලට අනුව කොරෝනා රෝගියකු මියගිය විට පැය විසිහතරක් ඇතුළත ආදාහනය හෝ මිහිදන් ආරක්ෂිතව කළ යුතුය.

එසේ කීවාට තමන්ට හිතුමතේට ආදාහනය හෝ භූමදානය කළ නොහැකිය. ලංකාවේ දැනටමත් තිබෙන නීතිය අනුව මළසිරුර ආදාහනය කරන්නේද, එසේ නැතිනම් භූමදානය කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය නිකුත් කරන්නේ හදිසි මරණ පරීක්ෂකවරයා හෝ මහෙස්ත්‍රාත්වරයාය. එහිදී බොහෝ විට සැකකටයුතු ලෙස මියගිය අයගේ සිරුරු ආදාහනයට අවසර දෙන්නේ නැත. ස්වාභාවික හේතුවක් නිසා මියගිය බවට පිළිගත හැකි වෛද්‍ය හා අනෙකුත් සාක්ෂි නැත්නම් මරණයට හේතුව සොයා ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීම අනිවාර්යය. රිය අනතුරු, මිනීමැරුම්වලදී පශ්චාත් මරණ පරීක්ෂණ කිරීම අනිවාර්යය. එහෙත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්න පෙරේරා කියන්නේ කොරෝනා රෝගියකු මියගිය විට පශ්චාත් මරණ පරීක්ෂණ නොපවත්වන බවය.

‘‘මේ දිනවල හදිසියේ මියගිය ඇතැම් රෝගීන් පිළිබඳ අපට ගැටලුවක් පැන නැගුණේ ඇතැම් රෝගීන් මියගොස් ඇත්තේ කොරෝනා රෝගයෙන්ද කියලා. මොකද අපි දන්නේ නැතිව මෙසේ මරණ පරීක්ෂණ සඳහා රෝගියකුගේ මෘත ශරීරයක් විවෘත කළ පසු ඔහු කොරෝනා රෝගයෙන් මියගොස් ඇත්නම් එය අපට ලොකු අවදානමක්. පසුගිය දිනවල එවැනි සැකසහිත මියගිය පුද්ගලයන් පස් දෙනකුගේ මළසිරුරු කැපීමට පෙර අප ඔවුන්ගේ කොරෝනා පරීක්ෂාව කළා. මේ වනවිට මේ ඔක්කොම කරන්න ලංකාවේ ඉන්නේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරු තිස්පස් දෙනෙක් විතරක් බවත් අපි මතක තබාගත යුතුයි. සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩල මේ වනවිට පවතින්නේ අවදානම් තත්ත්වයේ. එවැනි තත්ත්වයක් යටතේ මෘත දේහයන්ගේ අවසන් කටයුතු පිළිබඳ මත පළ කිරීම පදනම් විරහිත වැඩක්.’’

​‘‘මෙකී ව්‍යසන වෙලාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට මෙන්ම වෛද්‍ය නොවන කාර්ය මණ්ඩලවලට සහයෝගය දක්වන්න කියලා මහජනතාවට කියනවා. එසේම ආගම් භේදයකින් තොරව මේ මෘත දේහයන් පිළිස්සීමට සහයෝගය දක්වන්න කියලා අප ඉල්ලා සිටිනවා.’’

අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්න පෙරේරා කියන්නේය.

කොරෝනාවෙන් කුමන ජාතියක, කුමන ආගමක අයකු මරණයට පත්වුවද එහිදී බලන්නේ ජාතිය, ආගම නොව මෘතදේහයෙන් රෝගය පැතිරීම වැළැක්වීමටය. ඒ

අනුව රෝනාවෙන් මියගිය අයකුගේ මළසිරුර බොඩි

බෑග්, එසේ නැතිනම් මළසිරුර විශේෂිත පොලිතින් ආවරණයට දමා මුද්‍රා තබන්නේය.

මෘත දේහයේ අවසන් කටයුතු කිරීම සඳහා සහභාගි වන නිලධාරීන්ටද හිතුමතේට ඒවා කළ නොහැකිය. ඔවුන් සියල්ලන්ම ආරක්ෂිත ඇඳුමකින් සැරසිය යුතුය. රෝගියාගේ අවසන් කටයුතු කරන අවස්ථාවට එක්වීමට අවසර ලැබෙන්නේ පවුලේ ළඟම ඥාතීන් කිහිප දෙනකුට පමණි. අවසන් මොහොතේ සිය ඥාතියාගේ දේහය සිප වැලඳගෙන, දෙපා

අල්ලා වැඳ සමුදීම අපේ රටේ සිරිතය. නමුත් කොරෝනා රෝගියකු මියගිය විට මෘත ශරීරය ඇල්ලීම, සිප වැලඳ ගැනීම හෝ ස්පර්ශ කිරීම සපුරා තහනම්ය. ශාරීරික තරල විසුරුවා හැරිය හැකි බැවින් මළසිරුර එම්බාම් කිරීමට අවසර ලැබෙන්නේ නැත. මළසිරුර ළඟම තිබෙන ආදාහනාගාරයට ගෙන යා යුතුය. මළසිරුර හා ගැටෙන පුද්ගලයන් සංඛ්‍යාව මෙන්ම ගැටෙන වේලාව අවම විය යුතු වේ. එ​සේම අවමංගල්‍යය සිදුකරන පිරිසද ආරක්ෂිත ඇඳුම්, හිස් වැසුම්, අත් වැසුම් පැලඳිය යුතු අතර කටයුතු අවසානයේදී හොඳින් සබන් ගා අත් පිරිසිදු කළ යුතු වන්නේය.

මළසිරුර ප්‍රවාහනයේදී භාවිත කළ යුතු අත්වැසුම්, ඇඳුම්, ශරීර ආවරණ ආදිය ආරක්ෂිතව ඉවත් කළ යුතුය. එසේම රෝගියා රෝගී කාලසීමාවේ භාවිත කළ දේවල් පාවිච්චියට නොගැනීම යහපත් වන අතර අවශ්‍ය නම් ඒවා උතුරන වතුරෙන් උග්‍ර ක්‍රියාකාරී සෝදන ද්‍රව්‍ය දමා සෝදා වියළා ගත යුතු වේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මියගිය අයකුගේ මෘත දේහය සම්බන්ධව අවසන් කටයුතු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කළේය.​ මෙයට අනුව මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්න පෙරේරා කියන්නේ වඩාත් සුදුසු ක්‍රමය වන්නේ ආදාහනය කිරීම බවය. වසංගත රෝගයක් වැලඳුණු අයකු මිහිදන් කරන්නේ නම් ඊට අධි ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතුව තිබේ. අඩි අටක වළක මිහිදන් කළ යුතු අතර එකී වළෙහි වතුර මතුවීමක් නොවිය යුතුය.

දේහය ආරක්ෂිත බෑගයක (Body Bag) අසුරා මෘත දේහය දෙනක බහා එම දෙන සීල් කළ යුතුය. එසේම එම වළ හඳුනාගත හැකි ආකාරයට වළ දැමිය යුතුය. වසර ගණනාවක් ගතවනතුරු එය විවෘත නොකිරීමට වගබලා ගත යුතු වේ. අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරාගේ නම් අදහස මෙම ක්‍රමවේදය යටතේ වළ දැමීම ඉතා අපහසු කාර්යයක් බවයි.

‘‘ලංකාවේ බොහෝ ස්ථානවල අඩි අටක පමණ වළක් කැපූ විට ජලය මතු වෙනවා. ඒ වගේම තමයි මේ උදාවෙලා තියෙන්නේ මෝසම් වර්ෂාපතනය. අපි දන්නේ නැහැ මේ වෛරසය ජලය සමග ක්‍රියා කරන්නේ කොහොමද කියලා. ඒ වාගේම මිහිදන් කළාට පසුව කොතරම් කාලයක් මේ වෛරසය ක්‍රියාකාරීද කියා අප දන්නේ නැහැ. මේ කිසිවක් දන්නේ නැතිව මෙසේ වළදෑම ඉතාමත් අවදානම්. මගේ නිර්දේශය නම් වඩාත්ම සුදුසු වන්නේ කොරෝනා රෝගියකුගේ මෘත ශරීරය ආදාහනය කිරීමයි.’’

මෙකී ආදාහනයන්ද වෙනදා පුද්ගලයකු මියගිය විට සිදුකරනු ලබන ආදාහනයක් සේ නොවන්නේය. රෝහල අසලම පිහිටි ආදාහනාගාරයට රැගෙන යා යුතු අතර මෘත ශරීරය රැගෙන යාමට රෝහලින් රථ වාහන නොදෙන්නේය. මියගිය අයගේ ඥාතීන් විසින් රැගෙන යාමේ වියදම මෙන්ම ආදාහනයට වැයවන මුදල් ගෙවිය යුතුය. එසේ ගෙවීමට වත් පොහොසත්කම් නැති අයගෙ මළසිරුරු ආදාහනය කෙරෙන්නේ රජයේ වියදමෙනි. එසේම රෝහල අයිති ප්‍රදේශයේ පොලිසියේ නියෝජිතයකු, ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරී මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු මෙම ආදාහනයට සහභාගි විය යුතුය. මෘත ශරීරය රැගෙන ගිය රථය ජීවානුහරණය කරදීම අයි.ඩී.එච්. රෝහල මගින් සිදුකරනු ලබයි. වරකට මෘත ශරීරය ළඟට යා හැකි වන්නේ දෙදෙනකුට පමණි. ඔවුන්ද මෘත ශරීරය ළඟට​ යාමේදී ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය. එසේම අවම ඥාතීන් පිරිසකට සීමාවේ. අවසන් කටයුතු සිදු කළ සේවක පිරිස ඔවුන්ගේ ආරක්ෂිත ඇඳුම්, අත් ආවරණ, මුඛ ආවරණ ආදිය විනාශ කිරීමට වග බලාගත යුතුය.

ලංකාව පමණක් නොව ලෝකයම මීට පෙර මෙවැනි වසංගත තත්ත්වයකට මුහුණ දෙන්නේ 1918 දීය. ඒ ‘ස්පාඤ්ඤ උණ’ ​හේතුවෙනි. ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් ස්පාඤ්ඤ උණෙන් මිය ගියෝය.

ලංකාවට නම් වසංගත රෝගයන් පිළිබඳ අවසාන අත්දැකීම ඇත්තේ වසූරිය රෝගය හේතුවෙනි. 1975 වසරේ ලංකාව වසූරිය රෝගයෙන් තොර රටක් වනතුරුම වරින් වර වසූරිය රෝගයට ගොදුරු වී තිබේ. ලංකාව පමණක් නොව ලෝකයම 1979 දක්වා වසූරිය රෝගයට ගොදුරු වී ඇත. අවසන් වසූරියට ගොදුරු වූ රෝගියා වාර්තා වී ඇත්තේ 1979 වසරේ සෝමාලියාවෙනි. 1979 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකය වසූරිය රෝගයෙන් තොර බවට ප්‍රකාශයක් නිකුත් කළේය. මෙම වසූරිය වසංගතය හේතුවෙන් මියගිය රෝගීන්ගේ මෘත ශරීර මිහිදන් කිරීමේදී ද විශේෂ පිළිවෙතක් අනුගමනය කර ඇත. ලංකාව වසංගත රෝගයන් වෙනුවෙන් මෘත ශරීරයන් මිහිදන් කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කර ඇත්තේ වසූරිය රෝගින් වෙනුවෙනි. එහිදී අඩි අටක වළක් කපා ඇති අතර එයට ටී.ඩී.එල්. නම් වූ ක්ෂුද්‍ර ජීවිහරණය කරනු ලබන ද්‍රව්‍යයකින් පාප්පයක් සාදා වළ ඇතුළේ අතුරන අතර මෘත ශරීරය වළට දැමීමෙන් අනතුරුවද එම ද්‍රාවණය තැවරීම සිදුකර ඇත. මෙහිදී ද වළවල් හාරා ඇත්තේ ජලය නොමැති ස්ථානවලය. වළ වැසීමෙන් අනතුරුව වසර විස්සක් යනතුරු කිසිම හේතුවක් නිසා හෝ මෙකී වළවල් විවෘත නොකිරීමට වගබලා ගත යුතු වේ.

(Aruna)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website