සදුදා, 13 අප්‍රේල් 2020 11:30

හතලිස් වසරකට පෙර ලයිබීරියාවේ හමුදා කුමන්ත්‍රණය

1980 වසරේ සිංහල අලුත් අවුරුදු නොනගතය වේලාවේ විදේශීය ගුවන් විදුලි සේවාවන් ඔස්සේ ලෝක ප්‍රවෘත්ති වලට සවන් දෙමින් සිටියදී අසන්නට ලද මේ පුවත මගේ ඉමහත් පුදුමයකට හේතු විය​.
ඒ එය හමුදා කුමන්ත්‍රනයක් වීම නොවේ.එකල හමුදා කුමන්ත්‍රන බහුල යුගයක් විය​.ඊට හේතුව වූයේ මෙය මෙහෙයවන ලද්දේ යුධ හමුදා සාජන් වරයෙකු විසින් බව ප්‍රචාරය වීමයි.හමුදාවක ඉහල නිල රාශියක් අභිභවා සාජන් වරයකුට රටක බලය අල්වාගත හැකිද යන්න මට එදින පැනනැගුනු ප්‍රධාන කුකුස විය​.එය කොතරම් විශේශිතද කිවහොත්,ඒ වන තෙක් පමනක් නොව​,එතැන් පටන් ගෙවුනු දශක හතර ඔස්සේ වුව​ත් කිසිඳු විටක මෙතෙක් ලොව කිසිඳු හමුදා කුමන්ත්‍රනයක් හමුදාවක ධූරාවලියේ මෙපමන පහතින් සිටින්නෙකු අතින් සිදු වී නොතිබීමයි. ​

මේ සාර්ථක හමුදා කුමන්ට්‍රනය පිටුපස සිටි අය සියල්ලම සාජන් සහ පහල ශ්‍රේනිවල වූ අතර සාමාන්‍ය සෙබලුන් පවා ඇතුලත් විය​.එම කන්ඩායමට 18 දෙනෙකු සිටි අතර ඔවුන් අතරින් ප‍්‍රධානියා වූ මාස්ටර් සාජන් සැමුවෙල් ඩෝ (Master Sargent Samuel Doe) නම් එවකට විසිහත් වන වියේ පසුවූ තැනැත්තා හමුදා පාලක මන්ඩලයේ ( මෙරට බොහෝ අය දන්නා පරිදි "ජුන්ටාවේ (Junta)") සභාපති ලෙස පත්විය​.(පලමු ඡායාරූපයේ ගමන් කථනයක් සහිතව සිටින්නේ මොහුය​)

මෙම හමුදා කුමන්ත්‍රනය සහ එයින් පසු යුගයම මිනිස් ඝාතන රැල්ලක් විය​.මුල්ම ඝාතන අතර එවකට ලයිබීරියාවේ ජනපතිව සිටි විලියම් ටෝල්බර්ට් (William Tolbert) අයත් විය​.ඉන් දින ගනනාවකට පසු හිටපු රජයේ මුලු අමාත්‍ය මන්ඩලයම සහ තවත් කිහිප දෙනෙකු අඩ​-නිරුවත් කොට මහාමාර්ග දිගේ ගෙනගොස්,ලයිබීරියාවේ අගනුවර වන මොන්‍රෝවියා නගරයේ වෙරලේදී විශාල ජනකායක් ඉදිරි පිටදී ප්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතනය කරන ලදී.මේ අතර 1976 නොඹැදි ජාතීන්ගේ සමුලුවට මෙරටට පැමිනි සහ එම හේතුවෙන් අප සමහරුන් ඇත්තට දැක තිබූ සිසිල් ඩෙනිස්(Cecil Dennis) මහතාද විය​. දෙවන ඡායරූපයේ දකුනු පස ඍජු ඉරියව්වෙන් මරනයට මුහුනදී සිටින මේ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයා එවකට Afrika's Kissinger"ලෙස ප්‍රකටව සිටි අතර එවකට අප්‍රිකාවේ තිබූ ගැටුම් ගනනාවක් විසඳාලීමේ පුරෝගාමී මෙහෙයට ලොව පුරා පැසසුමට ලක්වූවකු විය​.හමුදා කන්ඩායෙමේ ඇතැමුන් මොහු කෙරේ තිබූ අධික ඊර්ශ්‍යාව ඔහු ඝාතනයට හේතුව බව තවමත් කියවෙන්නෙකි.

මේ හමුදා කල්ලිය එතැන් පටන් අත්තනෝමතික පාලනයක් ගෙන ගිය අතර ටික කලකදී ඩෝ තමන්ව ජනරාල් වරයෙකු ලෙස පත්කරගත්තේය​.ඉන් පසු ඔහු තමාව ජනපත් ලෙස නම්කර ගැනීමට කටයුතු කලේය​.නමුත්,1985 දී ලොව පුරා ඇතිවූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයත් සමඟින් ඔහු එරට මැතිවරනයක් පැවැත්වීමට එකඟ විය​.නමුත්,ඊට අපේක්ශකයෙකු ලෙස ඉදිරිපත් වූ ඔහුට වඩා වෙනත් අය ජනප්‍රිය වීමත් සමඟ ඩෝ ඔවුන් මර්ඪනයට පෙලඹුනි.එහිදී අනපේක්ශිත පරිදි ඔහුගේම මුල් හමුදා පාලක මන්ඩලයේ සිටි සමීපතමයා විසින් ඩෝට එරෙහිව හමුදා කැරැල්ලක් ක්‍රියාත්මක කරන ලද අතර එය අසාර්ථක විය​. එයට එක්වීවන් සියල්ලමත් ඉතා කුරිරු ලෙස ඝාතනය කරන ලදී.නමුත්,මර්ධනයේ පිහිටෙන් ඩෝ මැතිවරනයෙන් ජයග්‍රාහීවී නැවතත් එරට ජනපති බවට පත්වීමට සමත් විය​.

සැමුවෙල් ඩෝගේ පාලනයේ අවසානයද ඝාතන රැල්ලකින්ම කෙලවර වූවකි.1990 දී චාල්ස් ටේලර් (Charles Taylor) විසින් ආරඹ්හ කල කැරැල්ල හමුවේ, අගනුවර සුලු බිම්කඩක​,තම විශ්වාසවන්ත හමුදා ඛන්ඩයක් සමඟ කොටුවී සිටි ඩෝ,එරටට පැමින සිටි අප්‍රිකානු සාම සාධක හමුදාවේ මූලස්ථානයට යන්නේ එහි ප්‍රධානියා හමුවීමටය​.නමුත්,එම අවස්ථාවේදී අනපේක්ශිතව ඔහු තවත් කැරලි කන්ඩයමක නායකයා වූ ප්‍රින්ස් ජොන්සන් (Prince Johnson) ඇතුලු පිරිසකට කොටුවිය​.වෙඩි හුවමාරුවකින් පසු ඉහුගේ සගයන් සියල්ලන් ඝාතනය කල ජොන්සන් ඇතුලු පිරිස ඩෝව ජීවග්‍රාහයෙන්ම ගෙනගොස්,නිරුවත් කොට​, පැය 12 පමන ඉතා චිතස්ථීන වධ බඳ්හනයන්ට ලක්කොට ඝාතනය කරන ලද අතර ඩෝ විසින් හිටපු ජනපත් ටෝල්බර්ට්ගේ සිරුර ජනතාවට ප්‍රදර්ශනය කලාක් සේම​,ඩෝගේ සිරුරද ජොන්සන් විසින් මහජන ප්‍රදර්ශනයට තබන ලදී.මෙහි දක්වා තිබෙන​ වර්න චායාරූපය ඩෝගේ ජීවිත​යේ අවසන් පැය කිහිපය තුල ගත් වීඩියෝ පටයකිනි.

සැමුවෙල් ඩෝගේ කෙටි සහ ප්‍රචන්ඩ ජීවිත කාලය අවසානයේදී ඔහු එක් කරුනක් නිසා පමනක්ලෝකයේ ප්‍රථමයෙකු වීමේ අවස්ථාව, දෛවයේ සරදමකින් ලබා ගැනීමට සමත්ව​ තිබේ.ඒ,රාජ්‍ය නායකයෙකු වධදී මරාදැමීමක් පලමු වරට චිත්‍රපට ගතවූයේ ඔහුට වධදී මරාදැමීම පටිගත කල වීඩියෝවෙන් වීමයි. එය අලුත්ලෝක වාර්තාවකි.

මේ මුලු කථාවේ පැතිකඩ සහ කථාංග ගනනාවක් තිබුනත්,මා ගෙනහැර දැක්වූයේ මූලික සිද්ධි දාමය පමනකි.

හමුදා පාලනයන් ඉල්ලා සිටින සැමට මේ සිද්ධීන් තුලින් විශාල අනතුරු හැගවීමක් පෙන්නුම් කෙරේ.පලමුව​,තම ඉල්ලීම් වලට සවන් දෙන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ කවුද යන්න කෙරේ කිසිඳු පාලනයක් ඉල්ලන්නන්ට නොමැති වීමයි.දෙවන අනතුර නම්,හමුදා පාලනයක් අනිවාර්‍යයෙන්ම බිහිවන්නේ හමුදා කුමන්ත්‍රනයකින් පමනක් වීමයි.තෙවැන්න නම්,එවැන්නක් කවුරුන් විසින් කෙසේ කරනු ඇද්ද යන්න ගැන කිසිවෙකුටත් අනුමාන කල නොහැකි වීමයි.සිව්වැන්න​,එසේ පත්වන්නා කෙසේ පාලනය කරයිද​,කිමම් ආකාරයක පාලකයෙකු වේදැයි කිසිවෙකුටත් පූර්වේක්ශනය කල් නොහැක්කක් වීමයි.

දශක පහක හමුදා කුමන්ත්‍රන සහ පාලනයන් අධ්‍යයනය තුලින් මා එලඹ සිටින මතය වන්නේ "හොඳම හමුදා පාලනයට වඩා නරකම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යහපත් වේ" යන මා අතීතයේදී අසා තිබූ ප්‍රකාශයට මම මුලුමනින්ම එකඟ බවයි.

(LNW)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website