සදුදා, 20 අප්‍රේල් 2020 09:49

කොරෝනාවෙන් මිදෙන්න ඇමෙරිකාවට බැරි ෆෙඩරල්වාදය නිසා

දිනෙන් දින ඉහළ යන ආසාදිතයින්ගේ සංඛ්‍යාව අනුව ගත්තත්, දිනෙන් දින ඉහළ යන මරණ සංඛ්‍යාව අනුව ගත්තත්, කොරෝනා වසංගතයෙන් වැඩිපුමම බැට කන රට ඇමරිකා එක්සත් ජනපදය වන බව පෙනේ. දැන් දැන් එරටින් වාර්තා වන දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 2000 ට ආසන්න වෙමින් පවතී. ඔවුන්ගේම සංඛ්‍යා-පුරෝකථන අනුව අගෝස්තු මාසය වන විට ඇමරිකානුවන් 80,000 ක් පමණ කොරෝනා රෝගයෙන් මිය යනු ඇතැයි අනාවැකි පළවී තිබේ.

මේ අතර ඇමරිකාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුනුත්, නගරාධිපතිවරුනුත් වසංගතය ඇමරිකාව තුළ පාලනය කරගැනීමට අසමත් වීමේ වගකීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මත පටවමින් සිටී. මේ අතර ජනාධිපති ට්‍රම්ප් ඊට ප්‍රති උත්තර දෙමින් මෙසේ පවසයි.

‘‘ඇමරිකාව තුළ කොරෝනා පාලනය කර නොගැනීමට වග කිව යුත්තා මා නොව; ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ය… කොලරාඩෝ, ඉන්ඩියානා වැනි ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සතුටුදායක මට්ටමින් එය පාලනය කර ඇති බවක් පෙනුණත්, නිව්යෝර්ක්, නිව්ජර්සි, මිචිගන්, කැලිෆෝනියා, ඇතුළු ප්‍රාන්ත වැඩි ප්‍රමාණයක ආණ්ඩුකාරවරුන් එය මුළුමනින්ම වරද්දාගෙන තිබේ…’’

මේ අතර පසුගියදා ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ නිව්යෝර්ක් ආණ්ඩුකාරයා වන ඇන්ඩෘෘ කියුමෝ අතර ප්‍රසිද්ධියේ ම සිදුවූ ‘ට්විටර් පණිවුඩ ගැටුමක්’ ද දැකගත හැකි විය.

‘‘මම හිතන්නෙ නිව්යෝර්ක් ආණ්ඩුකාර ‘කියුමෝ’ වඩා වැඩියෙන් මහන්සි වෙමින්, වසංගත තත්ත්වය පාලනය කරත යුතු බවයි…’’ යනුවෙන් මුල්ම ට්විටර් පණිවුඩය නිකුත් කළේ ජනාධිපති ට්‍රම්ප් ය.

ඊට පිළිතුරු දෙමින් නිව්යෝර්ක් ආණ්ඩුකාර කියුමෝ මෙසේ කීවේ ය.

‘‘මම ද වැඩියෙන් වැඩ කරන්න ඕන…? නැහැ… ඔබයි වැඩියෙන් වැඩ කළ යුත්තෙ… මොකද ඔබ තමයි මේ රටේ ජනාධිපති…’’

එවිට ට්‍රම්ප් නැවතත් ඊට ප්‍රතිචාර දැක්වූයේ ට්විටර් පණිවුඩයකිනි.

‘‘මම පිටුපසින් සිට උදව් දෙන්නම්… නමුත් ඔබ එය ඔබේ වැඩක් ලෙස ගෙන කළ යුතු යි…’’

කෙසේ වෙතත්, නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාරයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා මේ ආකාරයට ‘එකි‘නෙකා මත වරද පටවමින්‘ සිටින අතරතුර නිව්යෝර්ක් ප්‍රාන්තයේ පමණක් පුරවැසියන් ලක්ෂ එක හමාරක් පමණ කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇත. නිව්යෝර්ක් වලින් පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාවද 6000 ඉක්මවමින් තිබිණ.

නායකයින් අතර සිදුවන මෙවැනි වාද විවාද මැද, දිනෙන් දින වළපල්ලට යන ඇමරිකාව දෙස බලා සිටින දේශපාලන විචාරකයින් පෙන්වා දෙන පරිද්දෙන් මෙය පුද්ගලිකව ජනාධිපති ට්‍රම්ප්ගේ අසමත්භාවයකටත් වඩා, වෙන වෙනම ආණ්ඩුකාරවරුන් විසින් දක්වන අසමත්භාවයකටත් වඩා එහා ගිය ‘ආණ්ඩුකරණ සහ ව්‍යවස්ථාමය අර්බුදකාරීත්වයක’ ප්‍රතිඵලයකි.

‘‘කොරෝනා වෛරසය හමුවේ අපේ අසාර්ථකත්වයේ වගකීම එක්කෝ ජනාධිපති ට්‍රම්ප් මත හෝ නැත්නම් ඒ ඒ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් මත පටවමින් අප කිසිවෙකුටත් නිදහස් වන්නට බෑ… මේ අර්බුදය හමුවේ අප නැගී සිටිය යුත්තේ සමස්ත ඇමරිකාවම එක මිටට යි… මට පෙනෙන හැටියට මෙම අර්බුදය හමුවේ අප පරාජය වීමට ප්‍රධාන හේතුව වන්නේ අප තුළ ඒකීයත්වයක් නොතිබීම යි… පනස් ආකාරයකට වැඩ කරන ප්‍රාන්ත පනහකටයි, තවත් ආකාරයකට වැඩ කරන මධ්‍යම ආණ්ඩුවකටයි එකට එකතු වෙලා කිසි දෙයක් කරගන්න බැරි වුණා… අප වෙනත් ආක්‍රමණයකට, යුද්ධයකට මුහුණ දුන්නත් සිද්ධ වෙන්නේ ඔය ටිකම යි… ඒ නිසා මේ අවස්ථාව පාඩමකට අරගෙන රටක් හැටියට අප වහාම විශාල දේශපාලන පරිවර්තනයකට යා යුතු යි… ප්‍රාන්ත පනහක් හැටියට වෙන වෙනම වැඩකරනවා වෙනුවට එක රටක් හැටියට එකට වැඩ කරන්න පටන් ගත්තොත් මිසක් මින් ඉදිරියට ඇමරිකාව වඩ වඩාත් අසමත් වෙයි…’’ ඇමරිකාවේ ප්‍රධාන ධාරාවේ ප්‍රතිපත්ති සම්පාදිකාවක මෙන් ම එරට ආණ්ඩුක්‍රම විශාරදවරියක් ද වන ආචාර්ය ඈන් මේරි ස්ලෝටන් පවසයි.

මීට සමාන අදහසක් ඵල කරන එක්සත් ජනපදයේ එමෝරි විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ නීති අංශයේ විශේෂඥ කණ්ඩායමක් පෙන්වා දෙන හැටියටත්, කොරෝනා වෛරසය හමුවේ ඇමරිකාව අත්විඳිමින් තිබෙන ඛේදජනක ඉරණමට වගකිව යුත්තේ, එහි පවතින ෆෙඩරල් පාලනය යි. නොඑසේ නම්, එරට ශක්තිමත් මධ්‍යගත පාලනයක් නොතිබීම සහ ප්‍රාන්ත සියල්ලට ම සමාන වූ ‘එක් ජාතික වැඩපිළිවෙළක්’ නොමැති වීම ය.

‘‘සෞඛ්‍යය ක්ෂේත්‍රය අතින් ගත්තොත්, ඇමරිකාව තුළ මධ්‍යම ආණ්ඩුවට ත්, ප්‍රාන්ත ආණ්ඩුවල සහ නගර සභාවලටත් අදාළ වූ වෙන වෙනත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු 2684 ක් තියෙනවා… ඒ වගේම ඒවා අතර කිසිම සෘජු සන්නිවේදනයක් නෑ… එක එක දෙපාර්තමේන්තු වැඩ කරන්නෙ ඒවාට ම ඕනෑ හැටියට යි… විශේෂයෙන් ම කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන්වත්, ඔවුන්ට එක වැඩපිළිවෙළක් තිබුණෙ නෑ… මේ කියන ආයතන අතර කිසිම බැඳීමකුත් නෑ…’’ එමෝරි විශ්ව විද්‍යාලයේ විශේෂඥයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් මොවුන්ගේ මතය නැවත වතාවක් ආචාර්ය ආචාර්ය ඈන් මේරි ස්ලෝටන්ගේ මතය සනාථ කරයි. මේ මොහොතේ ඇමරිකාවේ පොදු මහජනතාව අතර ද මෙම අදහස ‘පොදු පිළිගැනීමක්’ බවට පත්වෙමින් තිබෙනවා විය හැකි ය.

කෙසේවෙතත් කොරෝනා වෛරසය ඇමරිකාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තය ගිල දමන්නට පටන්ගත් මුල් අවස්ථාවේ පටන් මේ වන තුරුත් ඔවු‘නොවුන් වැඩ කරමින් සිටින්නේ ‘පනස් විදියකට’ ය. සැන් ෆ්රැන්සිස්කෝව මුල්තැන දී තිබෙන්නේ, එකී ප්‍රාන්තයේ ජීවත්වන ‘නිවාස නැති, අඩු ආදායම්ලාභීන්‘ ට තාවකාලික නිවාස තනාදීමටත්, ඔවුන් ඒවායේ පදිංචි කරවීමට ත් ය. මේ අතර නිව්යෝර්ක් දින 90 ක් සඳහා අන්තර් – ප්‍රාන්ත සංචරණ සීමාවක් පැනවීමට කටයුතු කළ අතර ඇතැම් ප්‍රාන්ත පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමද්දී ඇතැම් ප්‍රාන්ත එසේ නොකළේ ය. මේ අතර තවත් ප්‍රාන්ත කිහිපයක් වෛරස ව්‍යාප්තිය මුලදීම දුම්රිය, බස් ඇතුළු පොදු ප්‍රවාහනය සීමා කළ අතර ඇතැම් ප්‍රාන්ත එසේ නොකළහ. මේ අතර එක් ප්‍රාන්තයක් තුළ වුව ද ක්‍රියාත්මක වූ ‘නාගරික ප්‍රතිපත්ති‘ තවදුරටත් විවිධ සහ විසම විය. ඇතැම් නගර වල නගරාධිපතිවරුන් සිය පුරවැසියන් සඳහා ‘ආහාර වවුචර්’ නිකුත් කරන්නට පටන්ගෙන තිබුණු අතර ඇතැම් නගරාධිපතිවරුන් කළේ, සිය පුරවැසියන් සඳහා ‘වෛද්‍යාධාර පැකේජ’ හඳුන්වාදීම යි.

මේ අතර චීනය කොරෝනා වෛරසයේ බලපෑම මත මාස දෙක හමාරක් තිස්සේ වසා දමා තිබුණු ‘වූහාන් පළාත’ පසුගියදා නැවතත් මහජනතාවට විවෘත්ත කරනු ලැබීය. සිංගප්පූරුව, තායිවානය මෙන් ම අපේ රට (ශ්‍රී ලංකාව) වැනි කුඩා ජාතික රාජ්‍යයන් ද වෛරසයට වඩා ඉදිරියෙන් සිටිමින්, ‘හොඳ සටනක් දෙමින්’ සිටින බව පෙනේ. බොහෝ විට, ඊට හේතුව වන්නේ ඒවායෙහි පවතින දැඩි මධ්‍යගත පාලන ක්‍රමයක් පැවතීම ත්, එ‘නිසා ම වෛරසයට විරුද්ධව එකම ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබී තිබීම ත් විය හැකි ය.

කෙසේවෙතත්, මෙවර කොරෝනා වෛරසය හමුවේ ඇමරිකාව කඩා වැටෙමින් තිබෙන්නේ, ඔවුන් ‘මහා දෙයක්’ ලෙස සැලකූ ‘ෆෙඩරල්වාදය’ ද කුඩුපට්ටම් කරගෙන ය. ඔවුන් සුළුකොට තැකු ‘ඒකීය රාජ්‍ය සමග පෑහෙන මධ්‍යගත පාලනයේ වටිනාකම’ උත්කර්ෂයට නඟමින් ය.

(Aruna)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website