සදුදා, 27 අප්‍රේල් 2020 10:43

මා ගැන පැතිරෙන කතාව බොරුවක්

කොරෝනා වසංගතයත් සමග බස්නාහිර පළාතේ ජනතාව තවමත් සිටින්නේ ඇඳිරි නීතිය යටතේය. ඒ අතරේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැනද ආන්දෝලනයක් ඇතිවිය. කොළඹ කෙසෙල්වත්තෙන් පොකුරු පිටින් ආසාදිතයන් හමුවීමත් සමග රෝගීන් ගණන ඉහළ ගියේය. මේ සිද්ධිය වෙත්දී ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූයේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති හා කොරෝනා මර්දන කාර්යසාධක බළකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සේවා කාලය අවසන් බවය. ඔහු මේ කාරණා ගැන ‘සතිඅග අරුණ’ ට අදහස් දැක්වූයේ මෙසේය.

කොරෝනා ගැන රටේ එක එක කතා පැතිරෙනවා. ඇත්තටම දැන් රටේ ඇත්ත තත්ත්වය කොහොමද?

අද දක්වා යම්කිසි සැලසුමකට අනුව තමයි අපි මේ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළේ. කෙසෙල්වත්තෙන් වැඩිවුණු රෝගීන් ගණන එකම තැනකින් ආවේ. මේ පිරිසගෙන් පිටත තවත් සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා. පොදුවේ ගත්තොත් අපි මේ පිරිස අතරේ සිටින රෝගීන් සොයාගෙන තියෙනවා. අලුතින් රෝගියෙක් පිටතින් එහෙම නැත්නම් මේ පිරිසගෙන් පිට ආවත් අපිට සොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒක පිටිපස්සේ ගිහිල්ලා නිරෝධායනය කරන්න පමණයි තියෙන්නේ. පොදුවේ ගත්තොත් අපි සති පහක් මේක පාලනය කරගෙන ආවා.

ඇයි එකපාරටම රෝගීන් වැඩි වුණේ?

සමහර පුද්ගලයන් හැසිරුණ විදිහ නිසා තමයි මේ තරම් පැතිරුණේ. කෙසෙල්වත්තේ කාන්තාවක් රෝගය හැදිලා උත්සන්න වෙනකන් රෝහලකට ගිහින් තිබ්බේ නැහැ. එතැන යම්කිසි අඩුපාඩුවක් තියෙනවා.

ඇයි එතැනදී මේ තරම් පැතිරුණේ?

සමහර තැන්වල නිවාසවල ප්‍රශ්න තියෙනවා. නිවාස තියෙන විදිහ අනුව ස්වයං නිරෝධායනය වෙන්නවත් ඉඩක් නැහැ. ඒ නිසා තමයි අපි ඔවුන්ව නිරෝධායනයට අරන් යන්නේ. ඒ අතරේ රෝගය වැළඳුණු අය සොයාගන්නා තෙක් ඔවුන් පදිංචි වෙලා සිටි ප්‍රදේශයේ රෝගය පැතිරෙන්න හැකියාවක් තියෙනවා.

මේ වගේ සිද්ධීන් පාලනය කරගන්න හැකියාවක් තිබෙනවාද?

දැනට යම්කිසි ස්ථාවරයක තියෙනවා. අපි බුද්ධි අංශ, හමුදාව, සෞඛ්‍ය සේවය යොදලා පසුපස හඹායන නිසා තමයි මේ වගේ පාලනය කරගන්න හැකි වුණේ.

මෙම සතියේ ඇඳිරි නීතිය ලිහිල් කරන්න ගියේ සමාජයේ විවිධ කතිකා ඇති මොහොතකයි. ඇඳිරි නීතිය ඉවත් කරන්න ගියේ පොදුවේ සියලු දෙනාගේ මැදිහත් වීමෙන්ද?

ඔව්, කව්රුත් තනියෙන් මේ වගේ තීරණයක් ගන්නේ නැහැනේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැමෝගේම අදහස් අරගන්නවා. කර්ෆිව් අයින් කරන්න කලින් රටේ තියෙන තත්ත්වය කොහොමද, සෞඛ්‍ය අංශ මොනවද කියන්නේ මේ ඔක්කොම අදහස් අරගෙන විශ්ලේෂණය කරලා තමයි තීරණයක් ගන්නේ. හැම ක්ෂේත්‍රයකම නිර්දේශ අරන් තමයි අවසාන වශයෙන් ජනාධිපතිතුමා ඒ තීරණය ගත්තේ.

රටේ බහුතර ප්‍රදේශවල ඇඳිරි නීතිය අයින් කරන්න යන දවසේම, මැයි 22 දා තමයි කොළඹින් මේ වැඩිම ආසාදිතයන් ගණන වාර්තා වුණේ. එවැනි තත්ත්වයක් බලාපොරොත්තු වුණාද?

ඇඳිරි නීතිය කොළඹ ඉවත් කරන්න හිටියේ 27 වැනිදා. ඒ අනුව 22 ත් කොළඹට ඇඳිරි නීතිය දාලා තිබුණේ. කෙසේ නමුදු මෙවැනි සංඛ්‍යාවක් බලාපොරොත්තු වුණේ නැහැ. මේ කාන්තාවගේ රෝගය වැලඳුණු දින වකවානු අනුව මෙතරම් ගණනක් බලාපොරොත්තු වුණේ නැහැ. එක තැනක තමයි මේක වුණේ. බලාපොරොත්තු නොවුණත් යථාර්ථය මේකයි.

තවමත් කොවිඩ් ආසාදිතයන් සොයන අඛණ්ඩ බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවද?

අනිවාර්යයෙන්ම එය සිදුවෙනවා. බුද්ධි අංශ විතරක් නෙවෙයි සෞඛ්‍ය සේවයේ අනෙකුත් අංශත් ක්‍රියාත්මක වෙනවා. මේක අවසන් කරනකන් මේ බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

රෝගය පාලනයට මහජනතාවගෙන් ලැබෙන සහාය කොහොමද ඔබ දකින්නේ?

පොදුවේ බහුතරයක් මේකට සහාය දෙනවා. මහජන සහාය නැතිවන්නේ ඇඳිරි නීතිය ඉවත් කළාම. එතැනදී මහජනතාව අතින් වගකීම් අමතක වී යනවා. සුළු සංඛ්‍යාවක් වගකීමෙන් පිට ක්‍රියා කරනවා. බහුතරයක් හරි දේ කරනවා.

දහවල් කාලයේ ඇඳිරි නීතිය අයින් කරලා රෑට දානවා. එතැනදී දහවල් කාලයේ යන ගමන් බිමන් ගැන සහතික වන්නේ කොහොමද?

ජනතාව කොහොමද හැසිරෙන්නේ කියලා යමක් පටන් අරන් බලන්න ඕන. අපිට යම්කිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. උපදෙස් දීලා බලන්න පුළුවන්. ඒක ක්‍රියාත්මක නොවෙනවා නම් ඊ්‍ට හේතු මොනවාද? ඒවාට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා බලන්න ඕන. මේක කොරෝනා එක පාලනය කරන්නේත් ඕෆ් ද ජොබ් ට්‍රේනින් කරනවා වගේ. මේක ඕෆ් ද ජොබ් කේස් එකක්. උපදෙස් දීලා මිනිස්සු හැසිරෙන විදිහ බලනවා. එහෙම නොවෙන්න හේතුත් බලාගෙන ඉන්නවා. පොතක ලියලා මේක කරයි කියලා හිතන්න බැහැ කියන දේ නොකරන මිනිස්සුත් ඉන්න හින්දා. ඒ නිසා යම්කිසි ප්‍රශ්නයක් ඇතිවන අවස්ථාවන් අඩු කරගන්න ඒක තමයි කරන්න ඕනා.

මේ හැමදෙයක්ම හමුදාවට දුන්නා නම් හරියටම කරනවා කියලා සමහරු කියනවා නේද?

හමුදාවට දුන්නොත් වැඩේ වෙනවා කියන මිනිස්සුන්ගේ තියෙන මතය ජනතාව හිතන විදිය. නමුත් හමුදාව විතරක් නෙවෙයි මේකෙදි වැඩ කළේ. රටේ ජනාධිපතිගේ ඉඳලා, අගමැතිගේ ඉඳලා රජය, සෞඛ්‍ය සේවයේ පී.එච්.අයි.ලා, පොලිසිය මේ සියලු දෙනාම මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. ඔක්කෝටම වඩා ජනතාව තමයි මේකේ වැදගත් කණ්ඩායම. ජනතාවට මේක පාලනය කරන්නත් පුළුවන්, ව්‍යාප්ත කරන්නත් පුළුවන්. කොවිඩ් රටෙන් ඉවත් කරගන්නවා කියන එක ජනතාවගේ අතෙයි තියෙන්නේ. ජනතාව හරියට වැඩ කරනවා නම් ආමි, පොලිස් දාන්න ඕනේ නැහැ. වැරැද්දක් දැක්කා නම් වැරැද්ද පෙන්නලා දෙන්න ජනතාවට යුතුකමක් තියෙනවා

මේ තත්ත්වය එක්ක කොළඹ ඇඳිරි නීතිය තව කෙතරම් කාලයකට ඇදෙයිද කියලා කියන්න පුළුවන්ද?

ඒක නම් කියන්න බැහැ. අපේ රටේ ඉවර වුණත් ලෝකේ කොච්චර කල් යයිද කියලත් දන්නේ නැහැනේ. මේ වගේ වෛරස් තත්ත්වයකදී එහෙම කාලයක් කියන්න අපහසුයි. අද චීනෙත් තාමත් තියෙනවනේ. සිංගප්පූරුව ඉවරයි කියලා කරගත්ත දේ පේනවනේ. කාල වකවානු කියන්න නම් කාටවත් පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් අපේ අරමුණ හැකි ඉක්මනින් මේක රටෙන් තුරන් කිරීමයි. පැතිරී යාම අවම කරගැනීමයි. ඒකට කිසිසේත්ම කාල වකවානුවක් කියන්න බැහැ මේ අවස්ථාවේ හැටියට.

මහ මැතිවරණය ජුනි 20 තියන්න මැතිවරණ කොමිසම සූදානම් වෙනවා. මේ කාලයේදී ඡන්දය තියන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවද?

කොවිඩ් වසංගතය පාලනය කිරීමට නම් සියලුම දේ අපි කරමින් යනවා. ඉදිරි කාලයේදී මේක තුරන් කරන්න හැකිවෙයි කියලා විශ්වාසයෙන් තමයි අපි වැඩ කරන්නේ. මේක ඉක්මනට කරලා ඉවර කරන්නත්, පැතිරීම වළක්වන්නත් තමයි අපි වැඩ කරන්නේ. මේ තාම අප්‍රේල් මාසය. ඉස්සරහට තව මාස දෙකක් තියෙනවා. අපි උත්සාහ කරන්නේ රෝගය හැකි ඉක්මනින් පාලනය කරගන්න තමයි.

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන ඒමත් සිදුවෙනවා. මෙය යළි රටට අභියෝගයක් වෙයිද?

අපිට රට ඉන්න අපේ අය අමතක කරන්න බැහැ. ඒ අයට ඉන්න රටවල භයානක තත්ත්වයක් පේනවා ඇති. ඉන්න තත්ත්වය හොඳ නැතිනම් එයාලට මේ රටේ හොඳ පාලනයක් වෙනවා ඇති කියලා හිතලා තමයි එන්න හදනවා ඇත්තේ. සරල, සාධාරණ දෙයක් ඒ අයගේ ඉල්ලීමත්. අපිට මේක වහගෙන ඒ අය ගෙන්වන්නේ නැතිව ඉන්නත් බැහැ. ඒ නිසා මේ අයගෙන් ආසාදිතයන් නොඑන විදියට නිරෝධායනයක් කරන්න ඕනා.

කොස්ගමදී රෝගී වූ හමුදා සෙබළා කොවිඩ් වැලඳුණු කෙනෙක් බව කියවුණා. ඊට පස්සේ එවැන්නක් නොවුණ බව කියවුණා. මොකක්ද මේකේ ඇත්ත කතාව?

ඒ සෙබළා නිවාඩු ඇවිත් මිතුරන් එක්ක වළක් කපන්න ගිහිල්ලා තිබුණා. හතර දෙනකුට කොරෝනා රෝගය තිබුණා. තවමත් එයාට රෝගය වැලඳිලා නැහැ කියලා තමයි වෛද්‍ය වාර්තාවල එන්නේ. එයාට රෝගය වැලඳෙනවා නම් ආපු හතර දෙනාගෙන් තමයි එන්න තිබුණේ. ඒ අයගේත් ලේ සාම්පල චෙක් කළා. ඒ අයටත් කොවිඩ් නැහැ කියලා ආවා. කකුලේ තුවාලයක් එයාගේ තිබිලා තිබුණා.

ඔබගේ සේවා කාලය අවසන් කියා සමාජ ජාලාවල කියවුණා. හදිසියේම ඒක මොකක්ද?

කිසිසේත්ම නැහැ. මගේ ධුර කාලය අවසන් කියලා බොරු ප්‍රචාර පැතිරෙනවා. මගේ කාලය අවසන් නැහැ. මට තව සේවයේ රැඳී ඉන්න කාලපරිච්ඡේදය තියෙනවා. මට එක්ස්ටෙන්ෂන් අවශ්‍යතාවක් තියෙනවා කියලා සමහරු බොරු ප්‍රචාර ගෙනියන්න පටන් අරන් තියෙනවා.

යුද හමුදාව වගා සංග්‍රාමයත් අතට ගන්නද යන්නේ?

අපිට කුඹුරු කරන්න අතෑරපු ඉඩම් දෙන්න කියලා ජනාධිපතිතුමා ඉදිරියේදී දිසාපතිලාගෙන් මම ඉල්ලුවා. මේ කොවිඩ්වලින් පස්සේ අපි රටක් වශයෙන් වගා කරන්න ඕනා. මේකෙන් පස්සේ රටින් ගේන දේ අඩු කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. අපිට පරිප්පු නැතිනම් මුංඇට හරි රටේ තියෙනවා. අපිට එළවළු තියෙනවා. අපිට ඕවාවල ප්‍රශ්නයක් නැහැ. මුහුද වටේම මාළු තියෙනවා. අපි දේශීයත්වය ඉහළ නංවන්න තමයි දැන් උත්සාහ කරන්න ඕනා. තමුන්ට ඉඩමක් තියේනම් වගා කරන්න හැමෝටම අවස්ථාවක් උදාවෙලා තියෙනවා.

කොවිඩ් සමග රටේ සංස්කෘතියත් වෙනස් කරගෙන යනවාද?

අපි පොඩි කාලේ භූමිතෙල් කරත්තේ ගේ ළඟට එනවා. මාළු වෙළෙන්දා ගේ ළඟට එනවා. දැන් ඒ සංස්කෘතිය තමයි ඉස්සරහටත් වෙන්නේ. අපි කෑම්ප් එකට භාණ්ඩ දීලා ගමේ අයටත් දෙනවා. අපේ වටපිටාවේ ගෙවල් ටික හරි බලාගන්න පුළුවන් නම් ඒක වටිනවා. ඉදිරි මාස හයේදී අපි මේක කරනවා මිනිස්සුන්ට අඩු ගාණට කන්න බොන්න දෙන්න. එළවළු මාකටින් කියලා එකක් හදන්න ජනාධිපතිතුමා සමග පැවැති සාකච්ඡාවේදී යෝජනා වුණා. හැමතැනම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් යටතේ වගා කරන්න යනවා. අපි ස්වයංපෝෂිත වුණොත් කිසිම නැවක් ගේන්න ඕන නැහැ. පෙට්‍රල්, ඩීසල්, බෙහෙත් විතරයි ගෙන්න ගන්න ඕනා.

(Aruna)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website