සෙනසුරාදා, 02 මැයි 2020 11:06

ඇඟලුම් සේවිකාවන්ට මොනවා වෙයිද?

ඈත ගම්වල සිට කලාපයේ රස්සාවට ආ තරුණියන්ට තිබුණේ ලස්සන හීනය. ඒ හීනවලට පෙම් බැඳ ඔවුන් බියගම, කොග්ගල, කටුනායක ඇතුළු ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ නිදහස් වෙළෙඳ කලාපවලට ඇතැමුන් රැකියාවට ආවේ ජීවත් වන්නට වෙන රස්සාවක් නැති කලය.

වෙළෙඳ කලාපයේ සිටින බහුතරය කසාද බඳින්නට කනකර බඩුද හදාගන්න සල්ලි නැති නිසා, අතරමග නැවතුණ ගෙදර අත්තිවාරම උඩ බිත්ති හතර නග්ග ගන්න, අතේ වාරු නැතිවෙන තුරු මැෂින් පාගන අයය. ඔවුන් බොහෝ දෙනාගේ අරමුණ කීයක් හෝ වැඩියෙන් හරිහම්බ කරන් ගමේ ගොස් එහේ පවුල් පන්සල් වෙන එක මිස අඟහරුවල ජනාවාස හැදීම නොවේ. විසිදාහක, විසිපන්දාහක මූලික පඩිය ගන්නා ඔවුන්ට හතළිස්දාහක, හතළිස් පන්දාහක පඩියක් අතට ගන්න වෙන්නේ දහදිය මහන්සිය බාහු බල වීර්යයත් වැයකර කරන යුද්ධයකින් පසුවය. ඕ.ටී. එක රුපියල් හාරදහසකි. ශ්‍රේණිගත දීමනා හා නිෂ්පාදන දිරිදීමනා දෙදාහකි. පැමිණීමේ දීමනා පන්දාහකි. මිනිස් බලයෙන් නොව අශ්ව බල වේගයකින් වැඩ කර මේ පඩිය ගන්නට පුළුවන්ය. කෑලි ගලවා මස් කරන්නට වී ඇත්තේ මේ පඩියය. කොරෝනා නිසා මේ අයට දැන් වැලේ වැල් නැති වී ඇත.

මේ පිරිස පමණක් නොව ලංකාවේ ඇඟලුම් කර්මාන්තවල රැකියාව කරන ලක්ෂ ගණනක් සේවක සේවිකාවෝ දැන් මුහුණ පා ඇත්තේ මේ මාසයේ පඩි නැති ප්‍රශ්නයට වඩා බරපතළ ගැටලුවකටය. ඒ ඔවුන්ගේ රැකියා අහිමි වීමේ අවදානමටය.

එවැනි අවදානමක් මුලින්ම තිබුණේ G.S.P.+ සහනය යුරෝපයෙන් අපට නැතිව ගිය කාලයේය. ඒ ප්‍රශ්නය විසඳාගෙන ඇඟලුම් කර්මාන්ත අංශය ඔළුව උස්සන්නට උත්සාහ කළා පමණි. තවත් පොලු පාරක් වැදුණේය. ලංකාවේ ඇඟලුම් කම්හල් ඇරඹෙන්නේ 77 විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමගය. ආයෝජන කලාපවල ඇරඹි ඇඟලුම් කර්මාන්ත ශාලා සඳහා ආණ්ඩුව බදු සහන ඇතුළු වරප්‍රසාද රැසක් දුන්නේය. මුල් කාලයේ සිටම ඇතැම් ඇඟලුම් කම්හල් හිමියන් කළේ සේවක ශ්‍රමය සූරාකෑමක් බව කවුරුත් දන්නා රහසකි. එහෙත් පසුකලෙක ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන්ගේ පහසුකම් වැඩි වූයේ ඔවුන්ට ඇති ආදරයටම නොවේ. G.S.P.+ සහනය දෙන විට සේවක සුබසාධනයද සොයා බලන බැවිනි.

එකල කෙසේ හෝ ඇමරිකාව ඇතුළු යුරෝපයට ඇඟලුම් අපනයනය කෙරුණි. එහෙත් කොරෝනා වලිගය ගිනි තබාගත් හනුමන්තා සේ යුරෝපයටත්, ඇමරිකාවටත් ගිනි තැබුවේය. ඒ ගින්න නිසා යුරෝපයේ සමහරක් රටවල් ලොක්ඩවුන් විය. හැම රටක්ම එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතයට තහංචි දැම්මේය. හැමෝම හැකි පමණින් තම තමන්ගේ ඉබිකටු තුළට රිංගා ගත්තෝය. මේ ඔළුව ගිනි අරන් ඇති මොහොතේ ඉබි කට්ටෙන් එළියට බැස ඇඳුම් ගන්නට ෂොපින් මෝල්වලට යන්නට සුද්දෝ හිතන්නේ නැත. සරලවම කිව්වොත් මේ දවස්වල ඇඳුම්වලට ඉල්ලුමක් නැත. ඉල්ලුමක් නැති තැන ඒ ඒ රටවල්වලින් ලංකාවට ඇඳුම් ඉල්ලා ඕඩර් දෙන්නේ නැත.

එසේ දුන්නද අපේ රටේ ඇඟලුම් කර්මාන්ත ශාලා නැවත පෙර පරිදි ආරම්භ කිරීමට හැකියාවක් ලැබී නැත. ඊට එක් හේතුවක් වන්නේ ‘දුන්න දුනුගමුවේ, ඊතල කිතලගමුවේ’මෙන් නිමි ඇඳුමක් නිමවෙන්නට අවශ්‍ය කරන සමහරක් . කර්මාන්ත ශාලා මෙන්ම සේවකයන්ද දෙරණ පුරා දසත විසිරී සිටින නිසාය.

කෙසේ නමුදු මේ වනවිට ඇතැම් ඇඟලුම් කම්හල්වල වැඩ ඇරඹී ඇත්තේය. මේ වන විට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හල් හතළිහක් පමණ වැඩ ආරම්භ කර ඇති බව සඳහන්ය.

අපිට මේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්න වෙන්නෙ සෞඛ්‍ය අංශ දෙන උපදෙස් යටතේ. ඒ අනුව සමාජ දුරස්ථකරණය අනිව​ාර්යෙන් තියා ගන්න ඕන දෙයක්. අපි හිතමු තේ වත්තක තේ නෙළන අයට කුරුඳු වත්තක කුරුඳු තලන අයට මේ කියන සමාජ දුරස්ථකරණය පවත්වාගෙන යන්න පුළුවන්. ඒත් විශාල යන්ත්‍ර සූත්‍ර පද්ධතියක් භාවිත කරමින් පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලාවල සමාජ දුරස්ථකරණය කොහොමටත් පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා අපිට සේවකයන් ගන්න වෙන්නෙ අවම වශයෙන් 30% උපරිම වශයෙන් 50%යි. යැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ සඳහන් කර සිටියේය.

ඇඟලුම් කම්හල් හිමියන් සේවකයන් අස් කරන්නට යෝජනා කළද වෙළෙඳ කලාපවල වෘත්තීය සමිති නායකයකු වන ඇන්ටන් මාකස් දරන්නේ වෙනත් අදහසකි.

කොවිඩ් 19 එන්න කලින් ඇඟලුම් ක්ෂේත්‍රයේ පැන නැගී තිබුණු තත්ත්වය තමයි බරපතළ සේවක හිඟය. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෑතකදී නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකට අනුව යන්ත්‍ර ක්‍රියාකරන අයගේ 74000ක ඇබෑර්තු තිබුණා. ඒ නිසා සේවක සේවිකාවන් පිටරටින් ගෙන්වා ගන්න පවා හාම්පුතුන් හිටපු ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා තිබුණා. ඒකට අවසරත් ලැබිල තිබුණා.

ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ම පිළිගෙන තියෙනව මාස හයක් විතර යනකොට යුරෝපයෙ හා ඇමෙරිකාවෙ සාප්පු සංකීර්ණ විවෘත වෙයි කියල. එතකොට ඉදිරි ශීත කාලයට අවශ්‍ය ඇඟලුම් ඕඩර් ලැබෙන මේ වෙලාවෙ ඇති සේවකයන්ට පඩි ගෙවන එය. අපි හිතමු මාස හයක් මේ අර්බුදය තියනව කියල. අපි යෝජනා කරනව මාස හයක් මාස තුනක් ඒ කියන්නේ මාර්තු, අප්‍රේල් මැයි පඩිය හාම්පුතුන්ට ගෙවන්න කියල. ඉතුරු මාසවල පඩි ගෙවන්න හාම්පුතුන් එකතු වෙලා ආණ්ඩුවෙන් නිශ්චිත ඉල්ලීමක් කරන්න ඕනේ මේකට යම් සහනයක් දෙන්න කියල. ආණ්ඩුව ඒ සහනය ලබාදීම ගැන සලකා බැලිය යුතුයි කියල. මේ අවස්ථාවේ කිසිම සේවක කප්පාදුවක් කරන්න අවශ්‍යතාවක් නෑ’’ ඔහු කියන්නේය.

ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ගෙන් සියයට 30ක පමණ ප්‍රමාණයක් පමණක් යළි කර්මාන්ත ශාලා ආරම්භ කිරීමේ දී සේවයට කැඳවීමේ අරුත සියයට හැත්තෑවකට රැකියා අහිමි වන බවය. එය කොපමණ කාලයකටදැයි කියැවෙන්නේ නැත. ඒ අතරේ ඇඟලුම් කම්හල හිමියන් ආණ්ඩුවට යෝජනා කරන්නේ මාස හයක් යනතුරු සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් නොගෙවීමටත් අවස්ථාව දෙන ලෙසය.

එහෙත් කම්කරු කොමසාරිස් (සේවක අර්ථසාධක අරමුදල) ලලිත් පෙරේරා ප්‍රකාශ කළේ පනතට අනුව සේව්‍ය, සේවක දෙපාර්ශ්වයට දායක මුදල් ගෙවිය යුතු බවයි. එහි වෙනසක් විය යුතු නම් අදාළ පනත සංශෝධනය කළ යුතු බවය. එසේ වුවත් සේවක භාර අරමුදලට දායක මුදල් ගෙවීම ප්‍රමාද වෙන විට අය කෙරෙන අධිභාරය සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කළ හැකිය. ඒ කියන්නේ කොරෝනා පෙන්වා හාම්පුතුන්ට ඊ.පී.එෆ්. නොගෙවා ඉන්න බැරි බවය.

ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලාවල ලක්ෂ හතරකට පමණ ඍඡු රැකියා ලබා දෙන අතර වක්‍ර රැකියා ගණන ලක්ෂ පහළොවකි. කොරෝනාව මේ සියලු ජොබ් හබක් කරන්න හදන්නේය.

අපි හිතනව අපේ මුළු ශ්‍රම බළකායෙන් ලක්ෂයක් එක් ලක්ෂ පහළොස්දාහක් වගේ ගණනකට මේක බලපාවි කියලා. ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ස්වභාවය ගත්තොත් 70%වක විතර මුළු ආදායම ලබන්නෙ 25%ත් 30%ත් අතර සමාගම් සංඛ්‍යාවක්. ඒක අපිට ශක්තියක්. ඒකෙම දුර්වල පැත්තතමයි මේ කර්මාන්තයේ 30% ආදියම 70% වෙච්ච සමාගම් විශාල ප්‍රමාණයක් අතර බෙදිල යනවා. කුඩා සමාගම් ප්‍රමාණයකට මේ වගේ ශොක් එකක් දරාගන්න බෑ. දැනටමත් අපේ සමාගම් සීයකට වැඩි ප්‍රමාණයක් කම්කරු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා. රජයට අපි කියල තියෙනවා සේවකයන් 3000කට අඩු සමාගම්වලට සේවකයන්ට අනිවාර්යෙන්ම මොකක් හරි සහනයක් දෙන්න කියලා. 3000කට වැඩි අයට අප සහනකාරී ණයක් ඉල්ලනව අවශ්‍ය සැලරි ගෙවන්න. ඒත් අනිවාර්යෙන්ම ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ වැටුප් කප්පාදුවක් වෙනව යැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් ටියුලි කුරේ සඳහන් කර සිටියේය.

කෙසේ නමුදු ඇඟලුම් කම්හල්වල විධායක නිලධාරීන්ට වඩා වැලේ වැල් නැති වී ඇත්තේ මැෂිම පාගන අයටය.

කොරෝනා නිසා මුලින්ම ජොබ් නැති වූයේ දවස් පඩියට වැඩ කරන මෑන් පවර් සේවකයන්ටය. කොරෝනාව ලංකාවේ පැතිරෙන්න පටන් ගත් දා සිට ඔවුන්ට හරියට පඩි ලැබුණේ නැත. අප්‍රේල්, මාර්තු ලැබී ඇත්තේ මූලික වැටුපය. ඇතැමුන්ට මූලික වැටුපත් නැත. ඒ නිසා ඔවුන් අත මුදල්ද නැත. ඒ නිසා මෑන් පවර් ඇඟලුම් සේවිකාවන් මුහුණ පා ඇත්තේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ කරදරයකටය.

‘‘දැන් මෙහේ නතර වෙලා ඉන්න ඇඟලුම් සේවිකාවෝ නොවිඳිනා දුක් විඳිනවා. බෝඩින්වලින් මාර්තු මාසේ, අප්‍රේල් මාසවල කුලිය ඉල්ලනවා. ලයිට් බිල්, වතුර බිල් ඉල්ලනවා. වෙළෙඳ කලාපේ අය කඩේකින් මාසය පුරා බඩු අරගෙන පඩි ගත්ත දවසට ඒක ගෙවලා දානවා. පඩි නැති නිසා ඒගොල්ලෝ අසරණ වෙලා.

මේ ඇඳිරි නීතිය නිසා කටුනායක, ජයවර්ධනපුර, ආඬිඅම්බලම, සීදුව වෙළෙඳ කලාපවල 2000 කට අධික පිරිසක් හිරවෙලා ඉන්නේ. ඒගොල්ලන්ට හරියට කන්න නෑ, බොන්න නෑ. දැන් ගොඩක් අය දවසට එක වේලයි කන්නේ. කොස් තම්බන් කාලා ජීවත් වෙන අයත් ඉන්නවා. ගෑනු ළමයින්ට සනීපාරක්ෂක තුවා නෑ.

මේ රෝගය වෙළෙඳ කලාප ඇතුළට ආවොත් ඒක ගොඩාක් දරුණු ප්‍රතිවිපාක ගෙනේවි. ඒ නිසා අපි පළමුවෙන් ඉල්ලා සිටින්නේ ෆැක්ටරි ඇතුළේ වගේම බෝඩින්වල සෞඛ්‍ය ආරක්ෂාව. අනිත් එක කඩ බිල්, බෝඩින් බිල්, වතුර බිල් ගෙවාගෙන ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක්. ඒ වගේම පන්දාහේ දීමනාව. යැයි කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂවරියක වන චන්ද්‍රා දේවනාරායන සඳහන් කළාය.

අපේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ඇති වෙලා තියෙනවා. සමහරුන්ට මාර්තු මාසෙ සැලරි ගෙවල නෑ. තවත් අයට භාගයක් විතරයි ගෙවල තියෙන්නෙ. සමහරුන්ට ඔහේ පොඩි ගාණක් දීල. මෑන් පවර් කට්ටියට හරියට කන්න බොන්නත් නැතුව බෝඩිම්වල හිරවෙලා. මේක සෞඛ්‍ය ආරක්ෂාව පැත්තෙනුත් ඒ මිනිස්සුන්ට තර්ජනයක්. මේ වෙලාවේ රැකියා අහිමි වීම, වැටුප් නොගෙවීම වගේ ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉන්නෙ. මේ හැමෝටම නීතිමය සහනයක් අවශ්‍ය වෙනවා. යැයි වෙළෙඳ කලාප සේවිකාවන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වන අශිලා දන්දෙණිය කියා සිටියාය. ඇඟලුම් සේවිකාවන්ගේ රැකියා පිළිබඳ උද්ගත වී ඇති තත්ත්වයත් නීතිමය පසුබිම අපිට විස්තර කළේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉසුර ලක්පුරය.

මේ වගේ අවස්ථාවක මේකට බලපාන්නේ 1971 අංක 45 දරන පනත. මේකට සාමාන්‍ය ව්‍යවහාරයේ දී කියන්නේ සේවය අවසන් කිරීමේ පනත කියලා. ඒකෙ ප්‍රතිපාදනවලට අනුව තමයි ආයතනවලට කටයුතු කරන්න වෙන්නේ. ඒකෙ කියනව වන්දි සූත්‍රය. ඒ සූත්‍රයට අනුව සේවකයන්ට වන්දි ලැබෙනවා. නමුත් අවුරුද්දට වඩා අඩු සේවා කාලය තියන අයට හා සේවකයන් පහළොස් දෙනාට වඩා අඩුවෙන් සේවය කරන ආයතන මේ පනත යටතේ ආවරණය වෙන්නෙ නෑ.

යම්කිසි ආයතනයක් 1971 අංක 45 දරන පනතේ වන්දි සූත්‍රයට විරුද්ධව කරනවා නම් ඒ සේවකයන්ට පුළුවන් සේවයෙන් පහකළ දිනයේ සිට මාස හයක් ඇතුළත කම්කරු කොමසාරිස්ගෙන් මේ ගැන ඉල්ලීමක් කරන්න. මෑන් පවර් සේවකයෙක් නම් ඔවුන්ට තමන්ගේ මෑන්පවර් ආයතනයයි තමන් සේවය කළ ආයතනය දෙකම වගඋත්තරකරුවෝ කරලා කම්කරු කොමසාරිස්ගෙන් ඒ ඉල්ලීම කරන්න පුළුවන්.

සේවය කළ ආයතනයයි මෑන් පවර් ආයතනයයි දෙකම වගඋත්තරකරු කරලා කම්කරු කොමසාරිස්වරයාට ඉල්ලුම් පත්‍රයක් යොමු කරන්න පුළුවන්.

ලංකාවේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් බේසික් එක අනිත් එක තමයි දිරි දීමනා ආදී දීමනා. සරලවම කිව්වොත් එල්ලපු කෑලි ටික. මේ එල්ලපු කෑලි සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්වරයාට සෘජු බලයක් නෑ. හුඟක් ආයතන කරන්නෙ අස් කිරීමට කලින් විකල්පයක් විදියට මේ එල්ලපු කෑලි එහෙම නැත්නම් එලවුන්ස් ටික අඩු කරනවා. එහෙම අඩු කරලා ගෙනියන්න බලනවා. එහෙමත් බැරි වුණොත් තමයි අස් කරන තැනට යන්නෙ.

දැන් සමහර ආයතන මාර්තු මාසෙ 19, 20 වෙන කොට වැහුව. ආයතනයක් නීත්‍යනුකූලව බැඳිල ඉන්නෙ වැඩ කරපු දවස් ටිකට ගෙවන්න. අප්‍රේල් මාසෙ වැඩ කළේම නෑනෙ. එහෙම අවස්ථාවක ආයතනයක් ස්වේච්ඡාවෙන් ගෙවනවා මිසක් නීතිමය වගකීමක් නෑ. මම දන්න තරමින් කම්කරු කොමසාරිස්වරයාටත් මැදිහත් වෙන්න බෑ. මොකද කම්කරු කොමසාරිස්වරයාට මැදිහත් වෙන්න පුළුවන් උපයපු වැටුපක් ගෙව්වෙ නැති වුණාම.

මේ ගැටලුකාරි භාවය ඉවරවෙලා නැවත කර්මාන්තශාලා පටන් ගන්නකොට මේ නිසා සේවයෙන් ඉවත් කළ කෙනෙක් නැවත ඒ ආයතනයට අයැදුම් කලා කියලා හිතමු ඒ අයට ප්‍රමුඛස්ථානය දෙන්න ඕන කියල නීතියක් නෑ. ඒත් රීතියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඒ ඒ ආයතන වුණත් කැමතියි ඔවුන්ට පුහුණු ශ්‍රමයක් තියන නිසා. එසේ ඉවත් කළ අයටම ප්‍රමුඛස්ථානය දෙන්න යැයි ඔහු සඳහන් කළේය.

(Aruna)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website