බදාදා, 06 මැයි 2020 09:46

පොලිතින් කුටියේ ඉදන් බස් පදවන කාලෙ ඇවිත්

‘කොරෝනා්‍’ නිසා මාස එක හමාරක් තිස්සේ එක තැන නැවතී තිබුණු රට යන්තමින් පණගැන්වෙන්නේ දැන්ය. ඒ අදියර කිහිපයක් යටතේ ක්‍රම ක්‍රමයෙන් ඇඳිරිනීතිය ලිහිල් වෙමින් පවතින නිසාය. ඒ අනුව ගෙවුනු සතියේ පිට පළාත්වලට ද උදේ 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරිනීතිය ඉවත් කෙරුණි. මේ අතර ආණ්ඩුව පවසන ආකාරයට එළැඹෙන සතියේ දී කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම වැනි අධි අවදානම් දිස්ත්‍රික්කවල ද දිවා කාලය සඳහා ඇඳිරිනීතිය ඉවත් කෙරෙනු ඇත.

මේ ආකාරයට දැන් දැන් රජයේ සහ පෞද්ගලික අංශයේ විවිධ රැකියා කරන පුද්ගලයන් ද, නොයෙකුත් ව්‍යාපාර ආදියෙහි නිරත වන ව්‍යාපාරිකයන් ද, නොයෙකුත් සේවා සපයන්නන් ද, සිය දෛනික කටයුතු වෙනුවෙන් එළි බැස තිබේ. මාස එක හමාරක් තිස්සේ එක් තැන්ව සිටි මේ අයගෙන් සාතිශය බහුතරයක් තම තමන්ගේ සේවා ස්ථාන වෙත යා යුතු වූයේ පොදු ප්‍රවාහන සේවයෙනි.

එහෙත් පසුගිය සතියේ ඇඳිරිනීතිය ඉවත් කෙරුණු පිට පළාත් වාසී රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් සැලකිය යුතු පිරිසකට ඉකුත් සතියේදීත්, බලාපොරොත්තු වූ පරිද්දෙන් ‘වැඩට’ යාමට හැකි වූයේ නැත. ඒ එම පළාත්වල සැලකිය යුතු ප්‍රමාණයකින් බස් ධාවනය නොවුණු නිසාය. මේ අතර ගතවූ සතියේ දී දිස්ත්‍රික්ක අතර පොදු ප්‍රවාහනය ද ඇරඹී නොතිබිණි. එවිට එක් දිස්ත්‍රික්කයක සිට තවත් දිස්ත්‍රික්කයක වැඩට වාර්තා කළ යුතු අයට ද සිදු වූයේ, සිය ආයතන ප්‍රධානීන් දැනුම්වත් කර තවදුරටත් ගෙදරට ම වී සිටීමටය.

‘‘පසුගිය සතියේ පිට පළාත්වල ලංගම බස් රථ 4100 ක් විතර ධාවනය වුණා… ඊට අමතරව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන දිස්ත්‍රික්කවල තවත් බස් රථ 1600 ක් පමණ ඉදිරි සතියේ දී ධාවනය වීමට පටන් ගන්නවා… එතකොට ලබන සතියේ දිවයින පුරාම ලංගම බස් රථ 5700 ක් පමණ ධාවනය වෙනවා… කොහොම වුණත්, ලංගම බස් රථ මගින් පමණක් සිදු කරන ප්‍රවාහනයේදී රැකියා සඳහා පිටත්ව යාමට බලාපොරොත්තු වන හැම කෙනකුගේම ප්‍රවාහන අවශ්‍යතාව සපුරන්න බැරි වේවි… නමුත් ලබන සතියේ සිට දිස්ත්‍රික්කාන්තර දුම්රිය ගමන් වාර ගණනාවකුත් සිදු වෙන හින්දා ගිය සතියට වඩා එළැඹෙන සතියේ තත්ත්වය යම්තාක් දුරට හොඳ වේවි…’’

මේ අතර ලබන සතියේවත් ‘ලංගම පමණක්’ නොව, පෞද්ගලික අංශයේ බස් රථ ද ගමනාගමනයේ යෙදෙන්නේදැ‘යි සොයා බැලීමට වුවමනා විය. ඒ ලංගම බස් 5700 ට පෞද්ගලික අංශයේ තිබෙන බස්රථ 10,000 ද එක් වූ පසු රට පුරා දුවන්නට බස් 16,000කට ආසන්න සංඛ්‍යාවක් ම තිබෙන නිසාය. ඒ අනුව ‘අරුණ‘ කළ විමසුමකට පිළිතුරු දෙමින්, පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෙසේ පැවසුවේය.

‘‘දැනට නම් අපේ කවුරුවත් පිට පළාත්වල බස් දුවවන්නෙ නෑ… ලබන සතියේ දහවල් ඇඳිරිනීතිය ඉවත් කරන කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්කවලත් අපේ බස් දුවවනව ද, නැද්ද කියන එක සම්බන්ධයෙනුත්, තවමත් තීරණයක් නෑ… ආණ්ඩුව කියන විදියට එක වරකට 25 ක් ගෙනියන්න බස් එකක් පාරට දානවා කියන්නෙ විශාල පාඩුවක්… ඒ නිසා මේ සැරේ බස් එක පාරට දැම්මොත්, බස් එකේ රියැදුරාටයි, කොන්දොස්තර මහතාට යි ගෙවන්න වෙන්නෙත් අපටම යි… ඒ නිසා අපි සංගමයක් හැටියට ආණ්ඩුවෙන් ඉල්ලලා තියෙනවා, ඉන්ධන ගාස්තුවෙන් 50% සහනයක් වත් දෙන්න කියලා… ඒ කියන්නෙ රුපියල් 100 ට තිබෙන ඩීසල් ලීටරයක් රුපියල් 50ට ත්, රුපියල් 102 ට තියෙන ඩීසල් ලීටරයක් රුපියල් 51කට ත් දෙන්න කියලා… මේකට යහපත් ප්‍රතිචාරයක් ලැබුණොත්, අපිත් හැකිතාක් ඉක්මනින් අපේ බස් රථ ටිකත් මහ පාරට ගේනවා…’’

මේ අතර ‘පෞද්ගලික බස්’ කර්මාන්තය මුහුණ දෙන ‘අලුත් ප්‍රශ්න’ ගැන ද කතා කළ පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් පැවසුවේ, පෞද්ගලික බස් රථ යළි පාරට දැමීමට පෙර බස් රථ ඉදිරිපස කොටස ඝනකමැති පොලිතින් ආවරණයකින් වැසීමට ද, රියැදුරුට සහ කොන්දොස්තරට කිසිම හේතුවක් නිසා ඉන් එළියට නොපැමිණිය යුතු බවට උපදෙස් දීමට ද කටයුතු කරන බවයි.

‘‘අපි නැවත වැඩ පටන්ගත්තත්, එහෙම කරන්නෙ අපේ බස්රථ සේවකයන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කළාට පස්සෙ තමයි… රියැදුරා සහ කොන්දොස්තර යන දෙදෙනාට ආරක්ෂිතව ඉන්න බස් රථය ඉදිරි කොනේ ඝනකම පොලිතින් කුටියක් හදනවා… ටිකට් නිකුත් කරන්නෙත් කුඩා කවුළුවකින්…’’

මේ ආකාරයට ඉදිරියේදී රාජකාරී කටයුතු සඳහා යන ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා පෞද්ගලික බස්රථ ඉදිරිපත් වුවත්, එහි ගමනාගමන කටයුතු සිදුකෙරෙනු ඇත්තේ, කිසිදා නුවූ විරූ ආකාරයකට ය. ප්‍රවාහන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ අනුව බස් රථයකට මගීන් 25 කට වඩා නංවා ගත නොහැකිය. එමෙන් ම එක් ද්විත්ව ආසනයක අසුන්ගත හැක්කේ එක් අයෙකුට ය. එමෙන් ම ඉදිරියේ සිට පිටුපස දක්වා මගීන් අසුන්ගත යුත්තේ ද ‘සිග් සැග්’ ක්‍රමයටය. මගීන්ගෙන් කිසිවකුටත් සිටගෙන යා නොහැකි වන අතර එසේ එය තහනම් කර ඇත්තේ, සිටගෙන යන සෑම කෙනකු ම අසුන්ගෙන යන අයෙකුට සමීපව සිටගන්නා බැවින්, එවිට දෙදෙනකු අතර පරතරය ‘මීටරයට’ වඩා අඩු වන නිසාය. කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, මෙකී මාර්ගෝපදේශ කඩ කරන බස්රථවල මගී ප්‍රවාහන බලපත්‍ර අනිවාර්යයෙන් ම අහෝසි කරන බවයි.

මේ අතර ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, එළඹෙන සතියේ සිට, සති දෙකක් සඳහා බලපැවැත්වෙන පරිදි බස්රථ පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වන්නේ, රාජකාරී කටයුතු සඳහා පිටත්ව යන්නන් සඳහා පමණක් වන බව ය.

‘‘ඉදිරි සති දෙක ගත වනතුරුත් මේ ආකාරයට බස් රථ භාවිත කරමින් ගමන් කළ හැක්කේ රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යයාල සේවකයින්ට පමණයි… ඒ වගේම ඒ සියලුදෙනාම රාජකාරී හැඳුනුම්පත ගෙලෙහි පැළඳ සිටීම ද, රාජකාරී හැඳුනුම්පතක් නැති කෙනකු ආයතන ප්‍රධානියාගේ ලිපියක් හෝ අත තබා ගැනීම ද වැදගත් වෙනවා…’’ ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු’ අරුණ’ට පැවසීය.

ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග පොදු ප්‍රවාහනයට එක්වන අනෙක් සේවය වන්නේ දුම්රිය සේවය යි. දුම්රිය ගමනාගමන අධිකාරියේ ප්‍රකාශකයකු ද, මැයි 4 වැනිදා සිට දුම්රිය ප්‍රවාහන කටයුතු සිදුවන ආකාරය මේ ආකාරයෙන් පැහැදිලි කළේ ය.

‘‘බස්රථ ගමනාගමනය දිස්ත්‍රික්කයක් තුළට සීමා වුණත්, දුම්රිය ප්‍රවාහනයේදී රාජකාරී අවශ්‍යතා මත දිස්ත්‍රික්ක අතර ප්‍රවාහනයටත් ඉඩ ලැබෙනවා… නමුත් වෙනදාට 2500 ක් 3500 ක් අතර සෙනඟක් ප්‍රවාහනය කළ දුම්රියට මැයි 4 වැනිදා සිට ඇතුළත් කරගන්නේ උපරිම 250 ක පමණ සෙනගක්… ඒ අයටත් පරීක්ෂා කරන අවස්ථාවක පෙන්වන්න රාජකාරී හැඳුනුම්පත හරි ආයතන ප්‍රධානියාගේ ලිපියක් හරි තිබීම අවශ්‍ය වෙනවා… මේ විදියට හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට සෑම දුම්රිය ස්ථානයකම හමුදාව, පොලිසිය වගේම දුම්රිය ආරක්ෂක අංශයත් රඳවලා තියෙනවා…’’

(Aruna)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website