බදාදා, 13 මැයි 2020 09:58

පළිබෝධ නාශක නිසා හරකත් ලෙඩ වෙලා

2009 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන්වන කාලයේ උතුරු මැද පළාතේ මරණ බහුතරයක් සිදු වන්නේ යුද්ධයෙන් නොව වකුගඩු රෝගයෙන් බව වාර්තා විය. 2012 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් කළ පර්‌යේෂණයකින් හෙළි වූයේ උතුරු මැද පළාතේ හාරලක්ෂයකට වැඩි පිරිසක් වකුගඩු රෝගයෙන් පෙළෙන බවයි. අද වන විට මෙම රෝගය රජරටට පමණක් සීමා වූවක් නොවේ. අනෙක් පළාත්වලත් 2-3% ක අනුපාතයකින් ව්‍යාප්ත වෙමින් පවතී. එහෙත් උතුරු මැද සහ ඌව පළාත්වල 15% – 23% ක අනුපාතයකින් මෙම රෝගය ව්‍යාප්තවන බව නොයෙකුත් පර්‌යේෂණ තුළින් අනාවරණය වී ඇත.

2011 වර්ෂයේදී රජරට විශ්වවිද්‍යාලයේ පර්‌යේෂණ කණ්ඩායමක් විසින් කළ අධ්‍යයනයකින් හෙළි වූයේ වකුගඩු රෝගය බහුල ප්‍රදේශවල ජල සම්පත් අතිශයින් දූෂණය වී ඇති බවත්, එය අධික ලෙස හා අඛණ්ඩව යොදන කෘෂි රසායන ජලයට එකතු වීම නිසා සිදුවන බවත්ය. එම පර්‌යේෂණයේ ප්‍රතිඵලවලට අනුව උතුරු මැද පළාතේ ජල සම්පත්වල ආසනික් සහ රසදිය ඉතා ඉහළ ප්‍රමාණයක් ඇති බව වාර්තා වුණි. එම වසරේදීම කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පර්‌යේෂණ කණ්ඩායමක් විසින් කළ අධ්‍යයනයකින්ද මෙයට සමාන ප්‍රතිඵල සහ නිගමන වාර්තා වුණි.

එහෙත් 2011 වර්ෂයේ පැවති Crop Life Sri Lanka නමැති පුවත්පත් සාකච්ඡාවේදී කෘෂි රසායන සමාගම් 26 ක නියෝජිතයන් කණ්ඩායමක් කැලණිය සහ රජරට විශ්වවිද්‍යාලවලින් ගෙනගිය පර්‌යේෂණ දැඩි ලෙස විවේචනයට ලක් කළෝය. කෘෂි රසායන සමාගම්වල නියෝජිතයන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ භාවිතවන පළිබෝධනාශකවල ආසනික් නොමැති බවයි. මෙම පර්‌යේෂණ කණ්ඩායම් දැඩි මාධ්‍ය උපහාසයටද ලක් විය. අවසානයේ රජයේ තීරණය වූයේ වකුගඩු රෝගයට මුල්වන “සැබෑ හේතුව” විද්‍යාත්මකව තහවුරු වී නැති බවයි. මෙම සංවාදයෙන් “සැබෑ හේතුව” පිළිබඳ කුතුහලයක් මිස, වකුගඩු රෝගයට හේතුවන පුළුල් දේශපාලන හා ආර්ථික සන්දර්භය නොවේ. එහෙත් 2012 වර්ෂයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කළ පර්‌යේෂණයකින් හෙළි වූයේ පොහොර සහ පලිබෝධනාශක විධිමත් ලෙස භාවිත නොකිරීමත් නිසා ජලයේ ඇති බැර ලෝහ ප්‍රතිශතය වැඩිවීම වකුගඩු රෝගයට ඍජුව බලපාන බවයි.

පළිබෝධනාශක සහ පොහොර අධික ලෙස සහ නිසි නියාමනයකින් තොරව භාවිතවන නිසා, මිනිසුන්ට පමණක් නොව අනෙකුත් ජීවීන්ටද හානි ඇති වී තිබේ. උතුරු මැද පළාතේ යම් මත්ස්‍ය විශේෂ වඳවී ගොස් ඇත. ගවයන්ට Interstitial nephritis වැළඳී ඇත. රසායනික ද්‍රව්‍ය ජල පද්ධතියට එකතු වීම නිසා උභයජීවීන්ද හානියට ලක්වී ඇත. කෘෂි රසායන ද්‍රව්‍ය හා සම්බන්ධ පාරිසරික සහ සමාජයීය විනාශයේ ගැඹුරු සහ දිගුකාලීන බලපෑම් ජෛව වෛද්‍ය ප්‍රවේශයකින් පමණක් බැලීම ප්‍රමාණවත් නොවේ. අප එය දේශපාලන, ආර්ථික දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුයි. කෘෂි කර්මාන්තයේ කාර්මීකරණය සහ එයින් මතුවන සමාජ සහ ආර්ථික ව්‍යුහය ගවේෂණය කළ යුතුයි.

අප මෙම අර්බුදයට ගොදුරු වූයේ කෙසේද? ඒ සඳහා අපේ ඉතිහාසය මඳකට ආවර්ජනය කළ යුතුයි.

යුරෝපීය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාවේ බලය අල්ලා ගැනීමත් සමග අපනයන භෝග මූලික කරගත් ‘නවීන’ කෘෂි ආර්ථිකයක් මධ්‍යම කඳුකරය ආශ්‍රිතව ආරම්භ කෙරිණි. එතැන් පටන් ශ්‍රී ලංකාවේ භූමිය, ශ්‍රමය සහ රාජ්‍ය අනුග්‍රහය සියල්ල අපනයන භෝග කරා යොමු විය. වියළි කලාපය ආශ්‍රිත වී ගොවිතැන්, හේන් ගොවිතැන් කෙමෙන් පරිහාණියට ලක් විය. එහෙත් බ්‍රිතාන්‍ය ආණ්ඩු සමයේ දීම මෙහි විපාක පෙනී ගියේය. වී ගොවිතැන නොසලකා හැරීම හේතුවෙන් වැඩිවන ජනගහනයට සරිලන සහල් රට තුළ නිෂ්පාදනය කිරීමට නොහැකි විය. එනිසා පිටරටින් සහල් ආනයනය කිරීමට බ්‍රිතාන්‍යයන් තීරණය කළෝය.

පශ්චාත් යටත් විජිත යුගයේ ශ්‍රී ලංකා රජය විසින් වී නිෂ්පාදනයට නව ජීවයක් දෙනු ලබන්නේ ගල්ඔය වැනි කෘෂිකාර්මික ජනපද බිහි කිරීමෙනි. මෙම ජනපද තුළින් ගොවීන් කිහිප දෙනකුගේ ජීවිත සමෘද්ධිමත් වූ නමුත්, පසු කාලීනව ඇති වූ දේශපාලන මැදිහත් වීම නිසා මෙම ජනපද විභේදනයට ලක් විණි. එමෙන්ම සාම්ප්‍රදායික ශ්‍රම බෙදාහැරීමේ ක්‍රමවේද සහ ප්‍රජාව පදනම් වූ ජීවන රටාව වෙනුවට වඩාත් තරගකාරී සහ ඒක පුද්ගලවාදී (Individualistic) ප්‍රවේශයක් කෙමෙන් සමාජගත විය.

1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තියට අනුගත වීමෙන් පසු ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට, සමස්ත ජල පද්ධතියට සහ වකුගඩු රෝගයේ ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධක 2 ක් නිර්මාණය විය. පළමු වැන්න කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියයි. මෙම දැවැන්ත වැඩසටහන වසර 30 කින් අවසන් කිරීමට ගත් මුල් තීරණය වෙනස් වී 1977 න් පසු මේ ව්‍යාපෘතිය වසර 6 කින් අවසන් කිරීමට රජය තීරණය කළේ ය. ඇළ, වේළි සහ ජලාශ ඉදිකිරීමේදී ගත් ඉක්මන් තීරණ හේතුවෙන් මධ්‍යම කඳුකරයේ පාරිසරික සමතුලිතතාවට අහිතකර බලපෑමක් එල්ල වී ඇතැයි සමීක්ෂණ තුළින් වාර්තා වේ. ජපන් සහ ලාංකික විද්‍යාඥයන් පිරිසක් 2010 වර්ෂයේ කළ පර්‌යේෂණයකින් තහවුරු වන්නේ වකුගඩු රෝගය බහුල ප්‍රදේශවල ජලයේ ඇති අධික ලවණතාව මින් දශක දෙකකට පෙර ආරම්භ වූ විශාල වාරිමාර්ග යෝජනා ක්‍රමය නිසා සිදු වූවක් විය හැකි බවයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, පරිසරය සහ ජනතාවගේ සෞඛ්‍යයට බලපාන දෙවැනි සාධකය වන්නේ හරිත විප්ලවයෙන් (Green Revolution) පසු සමාජගත කළ කෘෂි රසායන සහ බීජ මත යැපෙන කෘෂි ආර්ථිකයයි.

පොහොර, හෝමෝන, පාංශු ප්‍රතිකාර සහ පළිබෝධනාශක ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ 1970 දශකයේදීය. විවෘත ආර්ථිකයේ ආනයන ලිහිල් කරණය වීම හේතුවෙන් 1983 සිට 1997 දක්වා කාලය තුළ කෘමි නාශක, වල් නාශක සහ දිලීර නාශක ආනයනය දස ගුණයකින් වැඩි වී ඇත. කෘෂිකර්මාන්තයේ Commoditization (භාණ්ඩකරණය) සහ කාර්මීකරණය (Industrialization) නිසා පළිබෝධනාශක භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. වර්තමානයේ ගොවිතැනට භූමිය සකස් කිරීමට ප්‍රථම Paraguat යන රසායන ද්‍රව්‍යයද, පසුව වල් නාශක දෙකක්ද භාවිත කරයි. එසේම නව සහල් ප්‍රභේද සාම්ප්‍රදායික ප්‍රභේදවලට වඩා වැඩි අස්වැන්නක් ලබා දුන්නත්, ඒවාට අධික ලෙස පොහොර සහ වල් නාශක යෙදිය යුතුය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා ඇතුළු විද්‍යාඥයන් පිරිසක් 2009 වසරේ කළ පර්යේෂණයක නිගමනය වූයේ ශ්‍රී ලංකාවේ කුඹුරුවල ජලය බැස යන කාලයේදී පසෙහි රසායනික අන්තර්ගතය ඉතා ඉහළ බවයි. මෙම රසායනික ද්‍රව්‍ය කාන්දු වීමෙන් සමස්ත භූගත ජල පද්ධතිය දූෂණය වන බවත් තහවුරු විය. එම පර්යේෂණයෙන් තවදුරටත් හෙළිවන්නේ කන්නයට නිර්දේශ කොට ඇති යූරියා පොහොර සහ ටීඑස්පී ප්‍රමාණයන් දෙගුණයක් ගොවීන් භාවිත කරන බවයි. මෙලෙස අධික ලෙස පොහොර සහ අනෙකුත් කෘෂි රසායන භාවිතයට ගොවීන් නැඹුරු වී ඇත්තේ රජය විසින් ලබාදෙන පොහොර සහනාධාරය නිසාත්, එම පොහොර ඉතා අඩු ගුණාත්මකතාවයෙන් යුතු නිසාත්, පොහොර සහ කෘෂි රසායන භාවිතය කිසිදු නියාමනයකින් තොරව සිදුවන නිසාත්ය.

රසායනික පළිබෝධ නාශකවල මූලාරම්භය වනුයේ දෙවැනි ලෝක යුද්ධයයි. එහිදී Nazi ජර්මනිය, Malathion සහ Parathion යන රසායන ද්‍රව්‍ය යුදෙව්වන්ගේ ස්නායු පද්ධතිය විනාශ කිරීමට Chemical Weapons ලෙස යොදා ගනු ලැබිණි. බටහිර රටවල විවිධ කාලයන්හි ජනතාව විසින් කළ උද්ඝෝෂණ හේතුවෙන් වඩාත් අහිතකර පළිබෝධනාශක එම රටවල් විසින් සීමාකොට හෝ තහනම් කර ඇත. එහෙත් සංවර්ධිත රටවල්වලින් ඉවත දමනු ලබන ප්‍රමිතියෙන් බාල කෘෂි රසායන, සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල අලෙවි කිරීමට බටහිර රාජ්‍යයන් සහ බහු ජාතික සමාගම් උත්සුක වී ඇත.

හරිත විප්ලවය තුළින් ප්‍රවර්ධනය කරන ලද දෙමුහුන් බීජ ප්‍රභේධවලට ජලය අධික ලෙස අවශ්‍ය වේ. කුඹුරුවල විශාල ජල ප්‍රමාණයක් රඳා පවතින නිසා කෘමීන් බෝවීම උග්‍ර වේ. කාලයක් ගතවන විට කෘමීන් සහ අනෙකුත් පළිබෝධ කෘෂි රසායනවලට ප්‍රතිරෝධී වෙමින් වඩාත් ශක්තිමත් වේ. මෙනිසා වඩා බරපතළ කෘමි රෝග සහ වල් පැලෑටි වර්ධනය වීමක් දක්නට ලැබේ. වර්තමානයේ කුඩා වතුහිමියන් පවා පළිබෝධනාශක විෂම චක්‍රයකට (Vicious Cycle) එමගින් හසු වී තිබේ. මේ හා සම්බන්ධ තවත් කරුණක් වන්නේ පළිබෝධනාශක භාවිතය නිසා හානිකර කෘමීන් පමණක් නොව, හිතකර බැක්ටීරියා පවා විනාශ වීමයි. මෙමගින් පසේ සරු බව රකින පෝෂය පදාර්ථද විනාශ වී පරිසර පද්ධතියේ ඇති සියුම් සමබරතාව කඩා බිඳ දමා ඇත. මෙම කෙටි කාලීන ප්‍රවේශයන් ඉක්මන් ප්‍රතිලාභ ලබන නමුත්, පාරිසරික තිරසරභාවයට ඍජුවම තර්ජනයක් එල්ල වේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food & Agriculture Organization) 2005 වර්ෂයේ කළ අධ්‍යයනයකින් වාර්තාවන පරිදි පුද්ගලික අංශය විසින් අලෙවිකරනය සඳහා ලියාපදිංචි පළිබෝධනාශක ප්‍රභේද 1000 කට අධික ගණනක් ලංකාවේ ඇත. පළිබෝධනාශක වැඩියෙන් අලෙවි වන්නේ පුද්ගලික සමාගම් අතර ඇති තරගකාරීත්වය, විකුණුම් ඉලක්ක සහ ණය පහසුකම් වටා බිහි වී ඇති සංස්කෘතියයි.

1980 දශකයේ සිට ශ්‍රී ලංකාවේ ගොවීන් ඉතා පහසුවෙන් සහ නියාමනයකින් තොරව පළිබෝධනාශක මිලදී ගැනීමටත්, භාවිත කිරීමටත් හුරු වී ඇත. සමහර එළවළු ගොවීන් කෘමීන් මතුවීමට පෙර පූර්වාරක්ෂක පියවරක් ලෙස පළිබෝධනාශක යොදා ගනී. එළවළු සහ පලතුරු නෙළීමට සහ අලෙවිකරණයට පෙරද රසායනික ද්‍රව්‍ය යෙදවීමට හුරු වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ වගා කරන බහුතරයක් එළවළු, පලතුරු සහ සහල් රසායනික ද්‍රව්‍යවලින් පිරී තිබෙන බව විවිධ සමීක්ෂණවලින් හෙළි වී තිබේ. අධික ලෙස රසායනික ද්‍රව්‍ය ආහාර නිෂ්පාදනයට යොදා ගැනීමේ අවදානම ගොවීන් දැන සිටියත් මෙම පුරුද්ද අත්හැරීමට ඔවුන් පසුබට වේ.

කාබනික සහ සාම්ප්‍රදායික කෘෂිකර්මය කෙරෙහි විශ්වාසයක් හෝ උනන්දුවක් ගොවීන් තුළ නැත. හුදෙක් රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණයි. කෘෂි රසායන ද්‍රව්‍ය කෙතරම් දුරට ඔවුන්ගේ ජීවිත තුළ මුල් බැසගෙන තිබේද යත්, එම කෘෂි රසායන භාවිතය නිසා ගොවීන්ට ඇතිවන අහිතකර සෞඛ්‍ය ගැටලු පිළිබඳ ඔවුන් සැලකිලිමත් නොවේ. සුළු පළිබෝධනාශක විෂ වීමෙන් කෙටි කාලීනව නාසයේ ලේ ගැලීම්, කරකැවිල්ල, හිසරදය සහ Depression ඇතිවිය හැකි බවත්, දිගුකාලීනව පිළිකා සහ පාකින්සන් වැනි රෝග වැලඳිය හැකි බවත් විවිධ පර්‌යේෂණ තුළින් සොයාගෙන ඇත.

මේ කවර ප්‍රතිවිපාක තිබුණද ගොවීන් කෘෂි රසායන භාවිතයට දරුනු ලෙස ඇබ්බැහි වී ඇත. මෙම ඇබ්බැහි වීම පිටුපස ඇත්තේ අලෙවිකරණ සාස්කෘතියෙන් (Sales & Marketing Culture) නිර්මාණය කළ ගැඹුරු මානසික බලපෑමකි. එම බලපෑම නිසා කෘෂි රසායන ‘නැතුවම බැරි’ දෙයක් ලෙස සිතීමට ගොවීන් පෙළඹී තිබේ.

කෘෂි රසායන අධික ලෙස භාවිත කිරීම ගෝලීය දේශපාලන ආර්ථික ක්‍රියාදාමයකින් මෙහෙය වන්නකි. බටහිර සංවර්ධිත රටවල ප්‍රධාන පෙළේ පුද්ගලික සමාගම් 10 කට ගෝලීය පලිබෝධනාශක වෙළෙඳපොළේ 90% ක අධිකාරයක් ඇත. මෙයින් ප්‍රධාන හය වන්නේ Syngenta AG (ස්විට්සර්ලන්තය), Bayer (ජර්මනිය), BASF SE (ජර්මනිය), Dow Agro (ඇමෙරිකාව), FMC (ඇමෙරිකාව), Adama (ඊශ්‍රායෙල් – චීන) යන සමාගම්ය. BASF se සමාගම ඇමරිකාවේ මතභේදාත්මක ගැටුමකට ලක් වූ Monsauto සමාගම අත්පත් කර ගන්නා ලදී. ගෝලීය වශයෙන් කෘෂි බීජ නිෂ්පාදනය සහ අලෙවිකරණය සඳහා ඉලක්ක කරගත් වෙළෙඳපොළවල් 50 හේ ආධිපත්‍යය දරන්නේද පළිබෝධනාශක සමාගම් 10 කි. මෙයින් අපට පෙනී යන්නේ ගෝලීය ආහාරදාමය ඒකාබද්ධ වීමක්. (Consolidation of the food Chain) එහි ආධිපත්‍යය දරන්නේ බහු ජාතික සමාගම් අතලොස්සකි. මෙම ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියට හේතුවන්නේ රාජ්‍යයන් සහ පළිබෝධනාශක බහුජාතික සමාගම් අතර පවතින සමීප මිතුරුකමිය. මෙය Revolving doors කැරකෙන දොරවල් ලෙස හැඳින්විය හැකිය. ඒ කෙසේද? ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල කෘෂි රසායන කර්මාන්තයේ හිටපු බොහෝ විධායකයන්, නීතිඥයන් සහ විද්‍යාඥයන් සේවය කරනු ලබන්නේ රජයේ ආයතනවලය. එතැන් සිට ඔවුන් කෘෂි රසායන කර්මාන්තය රැකීමට කටයුතු කරති. ඒ මේ අයට අමතරව බහුජාතික සමාගම් විසින් Lobbysts තැරැව්කරුවන් විශාල සංඛ්‍යාවක් වොෂිංටන් අගනුවර සහ වෙනත් රටවල ස්ථාපිත කොට ඇත. වාර්ෂිකව කෘෂි රසායන සමාගම් තම Lobby gro මාර්ගයෙන් ඩොලර් මිලියන 100 කට වැඩි මුදල් ප්‍රමාණයක් ඇමරිකානු දේශපාලනඥයන් වෙනුවෙන් වැය කරති.ඒ තම කර්මාන්ත ශක්තිමත් කිරීමට සහ එහි ගෝලීය ආධිපත්‍යය නඩත්තු කිරීමට හිතකර රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමට එමගින් රාජ්‍ය යාන්ත්‍රණය ඔවුන්ගේ ග්‍රහණයට ලක් වී තිබේ.

මෙම බලපෑම සංවර්ධිත බටහිර රටවල් සහ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර අත්සන් කරන ද්වීපාර්ශ්වික ගිවිසුම් (bilateral agreements) හරහාද, අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන (International NGOs) ඔස්සේද දියත් කරන සංවර්ධන වැඩපිළිවෙළ තුළින්ද, ඉස්මතු වේ. ඒ කෙසේද යත් බටහිර රටවල නිෂ්පාදනය කරන පළිබෝධනාශක මිලදී ගැනීම මෙම ගිවිසුම්වල සියුම් කොන්දේසි පටිපාටියට ඇතුළත් කිරීමෙනි. අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනයට අනුබල දෙන ජාත්‍යන්තර සංවිධාන තුන්වන ලෝකයට පිරිනමන Crauts වල විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කොට ඇත්තේ පළිබෝධනාශක මිලදී ගැනීම සඳහාය.

අතීතයේ පළිබෝධනාශක නිෂ්පාදනය සම්පූර්ණයෙන් බටහිර සංවර්ධිත රටවල සිදු වුවත්, වර්තමානයේ බටහිර රටවල උප සමාගම් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල දීම පළිබෝධ නාශක නිපදවේ. ශ්‍රී ලංකාවේ දේශීය සමාගම් අතළොස්සක් සහ ඒවාට අනුබද්ධ සමාගම් රසායනික ද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළට සපයති. Hayleys, Harrisons Chemicals සහ CIC Crop Guard වැනි දේශීය සමාගම් Syngeuta Bayer, BASF/Monsauto, FMC …. වැනි බහුජාතික සමාගම්වල නිෂ්පාදන දේශීය වෙළෙඳපොළේ සමහර ප්‍රමුඛ පෙළේ දේශීය පළිබෝධනාශක සමාගම් බීජ නිෂ්පාදන, ජෛව තාක්ෂණය සහ ආහාර සැකසීම හා ඇසුරුම් කිරීම යන අංශ තුළද නිරත වේ. ශ්‍රී ලංකාව පුරා පළිබෝධනාශක පැතිරීමට හේතු වන්නේ ආක්‍රමණශීලී අලෙවිකරණය සහ ප්‍රාදේශීය වෙළෙඳුන් කරා පළිබෝධනාශක බෙදා හැරීමට ගන්නා උපාය මාර්ගයි. කෘෂි රසායන සමාගම් අලෙවිකරණය සඳහා විශාල අයෝජනයක් කරති. වෙළෙඳ දැන්වීම් සහ පෝස්ටර් ඔස්සේ ඔවුන් තම නිෂ්පාදන ප්‍රචලිත කරති. පුවත්පත් සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවලටද කෘෂි රසායන වෙළෙඳ දැන්වීම් තුළින් විශාල මූල්‍ය වාසියක් ලැබේ. එමෙන්ම කෘෂි රසායන සමාගම් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරින් සහ දේශපාලනඥයන් අතර දිගුකාලීන සමීපතාවක් සහ සහජීවනයක් පවතී. මෙම සම්බන්ධතා තුළින් පළිබෝධනාශක ගොවීන් අතර ප්‍රචලිත වේ. ප්‍රාදේශීය ගොවි සමිතිවල නායකයන් සහ සාමාජිකයන් සමගද කෘෂි රසායන සමාගම් සමීප සබඳතා පවත්වාගෙන යති. මෙම දිගුකාලීන සහ අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතා පළිබෝධනාශක අලෙවිය වැඩිකර ගැනීමට ගත් සාර්ථක ක්‍රියාමාර්ගයක් ලෙස සනාථ වී ඇත. මෙම සියුම් සහ ව්‍යාකූල යැපීම් ජාලාව (Dependency) ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව සහ නිකරගුවා වැනි රටවල ඉතා තදබල ලෙස මුල් බැස ගෙන ඇත.

මෙම යැපීම් ජාලයේ මූල හේතු සෙවීමට නම් කෘෂිකර්මාන්තයේ කාර්මීකරණය සහ ආහාර දාමය ඒකාබද්ධ කිරීම සඳහා බහුජාතික සමාගම් විසින් අතීතයේ ගත් සහ වර්තමානයේ ක්‍රියාත්මක කරගෙන යන උපාය මාර්ග පැහැදිලිව වටහාගත යුතුය. ස්වභාවික සම්පත් පුද්ගලීකරණය සහ තාක්ෂණික ආධිපත්‍යය තුළින් බහුජාතික සමාගම් විසින් ගෝලීය ආහාර දාමය තම පාලනය යටතට ගෙන ඇත. කෙටි කාලීනව මෙමගින් ඉහළ අස්වැන්නක් ලැබුණත්, මෙහි දිගුකාලීන ප්‍රතිඵලය වන්නේ සමෘද්ධිමත් කෘෂිකර්මාන්තයක් නොව, පාරිසරික හායනය, දරිද්‍රතාව සහ රෝගී වූ සමාජයක්ය.. මෙහිදී අපට ඇති විකල්ප මොනවාද?

කෘෂිකර්මාන්තයේ කාර්මීකරණය අත්හැර දැමිය නොහැකිය. කෘෂිකර්ම තාක්ෂණයේ සියලු අංශ බැහැර කළ නොහැකිය. එහෙත් පළිබෝධ නාශක භාවිත කිරීම වෙනුවට ස්වාභාවික ක්‍රම යොදාගත හැකි Integrated pest Management (IPM) සහ Effective Microorganism (EM) එවැනි ක්‍රම දෙක වේ. එහෙත් රසායනික ද්‍රව්‍ය අත්හැර කාබනික කෘෂිකර්මාන්තයේ යෙදීමට ගොවීන් පසුබට වනු නොඅනුමානය. තම ආදායමට අහිතකර බලපෑමක් ඇතිවේය යන බිය නිසා ඔවුන් රසායන ද්‍රව්‍ය කරා යනු ඇත. එනිසාම Organic agriculture කාබනික කෘෂිකර්මාන්තයට රජයේ පූර්ණ අනුග්‍රහය ලැබිය යුතුය. කාබනික කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවේ Mainstream (ප්‍රධාන ධාරාව) කිරීමට නම් එයට දිගු කාලීන ප්‍රතිපත්තියක් රජය විසින් සම්පාදනය කළ යුතුය. පර්‌යේෂණ, උපදේශනය සහ පොදු අධ්‍යාපනය තුළින් එය සමාජගත කළ යුතුය. මෙහිදී රජයේ මැදිහත් වීමෙන් කාබනික එළවළු, පලතුරු සහ සහල්වලට සාධාරණ මිලක් ගොවීන්ට ලබා දීමට සැලසුම් කළ යුතුය. මේ සඳහා පොදුවේ කෘෂි කර්මාන්තය පිළිබඳ පරිසර හිතකාමී සහ තිරසර දිගුකාලීන ප්‍රතිපත්තියක් රජය විසින් ගත යුතුය. මෙම ප්‍රතිපත්තිය ආණ්ඩු මාරුවීම සමග වෙනස් නොවීමටත්, කෘෂිකර්මය භාර මැති ඇමැතිවරුන් තේරීමේදී සදාචාරාත්මක පුද්ගලයන් පත් කිරීමටත් රජය වගබලා ගත යුතුය.

1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තියට අනුගත වීමෙන් පසු ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට, සමස්ත ජල පද්ධතියට සහ වකුගඩු රෝගයේ ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධක 2 ක් නිර්මාණය විය. පළමු වැන්න කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියයි.

කෘෂි රසායන අධික ලෙස භාවිත කිරීම ගෝලීය දේශපාලන ආර්ථික ක්‍රියාදාමයකින් මෙහෙය වන්නකි. බටහිර සංවර්ධිත රටවල ප්‍රධාන පෙළේ පුද්ගලික සමාගම් 10 කට ගෝලීය පලිබෝධනාශක වෙළෙඳපොළේ 90% ක අධිකාරයක් ඇත.

ආචාර්ය වගීෂා ගුණසේකර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේශපාලන අර්ථශාස්ත්‍රය විවෘත විශ්ව විද්‍යාලය

(Aruna)

Features

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website