සදුදා, 29 ජූනි 2020 08:13

ජනාධිපතිවරණයෙන් යහපාලනය දිනුවා නම් රට විනාශයි – අගමැති මහින්ද රාජපක්ෂ

ජනාධිපතිවරණයෙන් යහපාලයන් දිනුවා නම් රට විනාශ කර අවසන් බවත්, පවතින දෙස් විදෙස් කුමන්ත්‍රණය තීරණාත්මකව පරාජය කිරීම සඳහා ප්‍රබල ජනවරමක් අවශ්‍ය බවත් අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කරමු යන තේමාව යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පවසන අගමැතිවරයා එහි මෙසේද සඳහන් කළේය.

’’1970 දී මේ රටේ බලයට ආවේ සමාජවාදී ආණ්ඩුවක් වුණාට කවුරුවත් කිව්වේ නැහැ ඒක රුසියාව, චීනය, මැදිහත්වෙලා හදපු ආණ්ඩුවක් කියලා. ඒ වගේම 1977 දී බලය ගත්තෙ ධනවාදී ආණ්ඩුවක් වුණාට අපි කිව්වෙ නෑ ඒක ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය මැදිහත්වෙලා හදපු ආණ්ඩුවක් කියලා. නමුත් 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ කවදාවත් අපි අත්දැකපු නැති තරමට විදේශීය අතපෙවීම් තිබුණා. මේ රටේ දේශපාලනයට බරපතළ විදියට විදේශීය රටවල් අතපොවන්න පටන් ගත්තේ 2009 අපි යුද්ධය දිනුවට පස්සේ. අපේ රටට එරෙහි විදේශීය බලවේග කවදාවත් හිතුවේ නෑ ඒ යුද්ධය අපි දිනයි කියලා.

මුලින්ම මේ මැදිහත්වීම වුණේ 2010 ජනාධිපතිවරණයේදී. නමුත් මේ රටේ ජනතාව ඒ උත්සාහය තීරණාත්මක විදියට පරාජය කළා. නමුත් 2015 දක්වා දිගටම ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. 2015 දී එක්සත් ජාතික පක්ෂයේ නායකයා තරගයෙන් ඉවත් වෙලා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයි කියලා තීරණය කළේත් කවුද කියලා ඔබ දන්නවා. 2015 දී යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ හතුරු හමුදාවක් විසින් ලංකාව ආක්‍රමණය කරලා බලය අල්ලගත්ත වගේ තත්ත්වයක් තමයි ඇතිවුණේ. රට බෙදීමට විරුද්ධ මුළු ජාතිකවාදී කඳවුරටම ඒගොල්ලෝ පහර දුන්නා. මේ රටත් ජාතියත් සුරකින මහා සංඝරත්නය යටත් කර ගන්න ප්‍රධාන භික්ෂූන් වහන්සේලා බොරු චෝදනා මත හිරේ දැම්මා. වැඩියෙන්ම පැන්නුවේ පන්සල්වල ඉන්න අලි ඇතුන් පස්සෙ. ඒ බෞද්ධයන්ගේ පෙරහර සංස්කෘතිය ඉවර කරන්න.

ත්‍රස්තවාදය පරාජය කරලා රට රැකපු සන්නද්ධ හමුදා අකර්මණ්‍ය කරන්න පහළම සොල්දාදුවාගේ ඉඳලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා දක්වා තෝරාගත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා මත සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් බන්ධනාගාර ගත කරලා බොරු නඩුත් පැවරුවා. එහෙම කළේ, මේ රණවිරුවෝ නොවෙයි, හොරු සහ මිනීමරුවො කියන අදහස ලංකාවේ මිනිසුන්ගේ ඔළුවලට දමලා ලෝකය පුරාත් ප්‍රචාරය කරන්න.

ජාතිකවාදී කඳවුරේ දේශපාලනඥයන්ටත් දෙන්න පුළුවන් සියලුම දඬුවම් දුන්නා. විමර්ශන කොමිසම් පත් කළා, පොලිසියට ගෙන්නුවා, මාස ගණන් රිමාන්ඩ් කළා, බොරු නඩු පැවරුවා. මේ සේරම කළේ මේ රටේ ජාතිකවාදී කඳවුර සහමුලින්ම විනාශ කරල අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරලා රට බෙදලා ඉවරයක් කරන්න. යුද්ධයෙන් කරන්න බැරි වුණ දේ, මේ විදියේ දේශපාලන මෙහෙයුම් වලින් කරන්න හැදුවා.

2019 නොවැම්බර් මාසේ, අපි ජනාධිපතිවරණයෙන් දිනපු නිසා ඒ සැලසුම අවසානය දක්වා ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණකාරයෝ තවම වැඩේ අතෑරලා නැහැ. අලුත් ජනාධිපතිවරයා පත් වෙලා දවස් කිහිපයක් ඇතුළත බටහිර තානාපති කාර්යාලයක සේවිකාවක් පැහැරගෙන ගිහින් ප්‍රශ්න කළාය කියලා රඟ දක්වපු බොරු නාඩගම අපි කවුරුත් දැක්කා. අලුත් ආණ්ඩුවට හුස්මක් ගන්නවත් ඉඩ දෙන්න මේ කුමන්ත්‍රණකාරයෝ සූදානම් නැති බව ඒකෙන් පෙනුණා.

2015 මේ රටේ බලය අල්ල ගත්ත යහපාලන කුමන්ත්‍රණකාරයෝ ඒගොල්ලන්ගෙ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු පත්‍රය තමයි 2015 ඔක්තෝබර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කරගත්ත 30/1 යෝජනාව. ඒකෙන් ඉස්සෙල්ලාම කළේ, ලංකාවේ හමුදාව යුද අපරාධ කරයි කියලා පිළිගන්න එක. ඊට පස්සේ ඒ යුද අපරාධ චෝදනා විභාග කරන්න විදේශීය විනිශ්චයකාරවරුන් හා පරිචෝදකයන් සහිත විශේෂ අධිකරණයක් පිහිටුවන්න එකඟ වුණා. උසාවියේ නඩුවක් ගොනු කරන්න තරම් සාක්‍ෂි නැති වුණත්, මානව හිමිකම් උල්ලංඝනය කළාය කියල සැකයක් හරි තියෙන සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලන ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කරන්නත් ඒගොල්ලෝ භාරගත්තා. මේකෙ අරමුණ වුණේ, ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ජීවගුණය බිඳලා අකර්මණ්‍ය කරලා දාන්න. 30/1 යෝජනාවේ ප්‍රධානම පොරොන්දු කියපු ආකාරයටම ක්‍රියාත්මක කරන්න බැරි වුණත්, ඒවා වෙනත් ආකාරයට ක්‍රියාත්මක කරන්න යහපාලන ආණ්ඩුව අලුත් නීති සම්මත කරලා තියෙනවා. 2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොදී යහපාලකයෝ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කරගත්ත. ‘කාර්යාලයක්’ කිව්වට ඒක ඇත්තටම සිතාසි නිකුත් කරන්න, සාක්ෂි කරුවන් කැඳවන්න, විභාග පවත්වන්න බලය තියෙන විනිශ්චය සභාවක්. ඒකෙ නිලධාරීන්ට ඕනෑම හමුදා කඳවුරක්, පොලිස් ස්ථානයක්, බන්ධනාගාරයක් වරෙන්තු නැතුව සෝදිසි කරලා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගන්න පුළුවන්. රාජ්‍ය රහස් පනතේ විධිවිධානවලට පටහැනිව වුවත්, බුද්ධි අංශ, සන්නද්ධ හමුදා ඇතුළු සියලුම රජයේ ආයතන මේ අතුරුදන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය දක්වන්න නීතියෙන් බැඳිලා ඉන්නවා.

පොඩි පොඩි සිල්ලර කාරණා මත ඡන්දය දෙන්න ගියොත් අපේ රටත්, ජාතියත්, ආගමත්, සංස්කෘතියත්, මතු පරම්පරාවේ අනාගතයත්, සියල්ලම ඉවර වෙලයි නවතින්නෙ. ජනතාව හැම විටම මෙනෙහි කරන්න ඕනි මේ රට සාර්ථකව පාලනය කරන්න, ආර්ථික දියුණුව ඇති කරන්න, ත්‍රස්තවාදය තුරන් කරලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කාටද? මැතිවරණ කලට වේලාවට පවත්වල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න පුළුවන් කාටද? මතු පරම්පරාවට නිදහසේ ජීවත් විය හැකි, ආඩම්බර විය හැකි ලංකාවක් ගොඩනගන්න පුළුවන් කාටද? කියන ප්‍රශ්නයයි. ඒකට උත්තරය මොකක්ද කියලා මම කියන්න ඕනෑ.’’ නැහැ. හැම ශ්‍රී ලාංකිකයකුම දන්නවා.

(Lanka Leads)

Features

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website