ඉරිදා, 09 අගෝස්තු 2020 14:25

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුලූ පූජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යවරුන් සහ තේරී පත්වූ මන්ත්‍රීවරුන් ද පැමිණ සිටියා.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරුණේ කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා ඉදිරියේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ලැබුවේ.

දිවුරුම්දීමේ උත්සවය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැළණිය පුද බිම වෙත පැමිණියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද මෙලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසයි.

සිව් වැනි වරටත් අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 සිට 2015 දක්වා දෙවතාවක් විධායක ජනාධිපති ධූරය හෙබවූවා.

මහින්ද රාජපක්ෂ මහතා පනස් වසරක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියයි. 1970 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා 1995 වසරේ සිට 2004 දක්වා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සුවිශාල කාර්ය භාරයක් ඉටු කළා.

2004 අප්‍රේල් මස 06 වැනිදා පළමුවරට අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ඔහු 2018 ඔක්තෝබර් 26 වැනිදා දෙවැනි වරටත්, 2019 නොවැම්බර් මස 21 වැනිදා තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා.

වසර 10ක කාලයක් විධායක ජනාධිපති ධූරය හෙබ වූ මහින්ද රාජපක්ෂ මහතා තිස් වසරක පමණ කාලයක් පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වේගවත් සංවර්ධනයකට රට රැගෙන යාමටත් සමත් වුණා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මනාප 527,364ක් ලබා ගනිමින් මැතිවරණයකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ගෙන ඉතිහාසයට එක් වී සිටිනවා.

විධායක ජනාධිපති ධූරයේ දෙවරක් සේවය කොට අග්‍රාමාත්‍ය ධූරයට සිව් වතාවක් පවත්වූ පළමුවැන්නා ලෙස ද මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක් වෙයි.

(Neth)

Features

2021 අයවැය ඔක්තෝබර්...

සැප්තැම්බර් 17 2020
Image

Stats

There are 28796 listings, 889 categories and 103 owners in our website