සදුදා, 11 ජනවාරි 2021 07:33

50 දශකයේ එක් නොමැකෙන සටහනක් වූයේ හම්බෙගමුවේ කංසා සංහාරයයි

එවකට මා පාසැල් යන දරුවෙක් වුවත් පුවත්පත් වාර්තාවලින් දැනගත් එම සිද්ධිය තවමත් මගේ මතකයේ රැඳී තිබෙනවා.


එහිදී කංසා සංහාරයට එහා ගිය මිනිස් දඩයමකුත් සිදුවු බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ බවත් යන්තමින් මතකයි.

මේ යුගය වන විට මත්පෙති පිළිබඳ කතිකාවතක් නොතිබුනත් මත්පැන් පානයට මිනිසුන් බොහෝ ලෙස පුරුදු වීම කැපී පෙනෙන දෙයක් වුණා.
පාන් වලින් බටර් වෙන් කළ නොහැකි සේ මත්පැන්වලින් තොර උත්සවයක් ගැන හිතන්නවත් බැරි තරම් යුගයකට සමාජය කෙමෙන් තල්ලු වුණා.

ජනතා නියෝජිතයින් ලෙස පත්ව ඉන් ලබන බලය ස්කාගාර බලපත්‍ර සඳහාත් නිෂ්පාදන අලෙවි කිරිම සඳහා සුරාසැල් ද රට පුරා පැතිර ගියේ වසංගතයක ආකාරයෙන්.
සමහරවිට කංසා සංහාරය වෙනුවෙන් දේශපාලන හස්තය මැදිහත්වන්න ඇත්තේත් සුරා සැල් වලට වැඩි වැඩියෙන් ජනතාව අද්දවා ගැනීමේ අරමුණෙන් විය හැකියි.

නියපොත්තෙන් කඩන්නට තිබූ දෙය දැන් පොරවෙන් වත් කැපිය නොහැකි තත්ත්වයට පත්ව ඇත.

අලි මදිවට හරක් කිව්ව වගේ මත්පැන් වලට අමතරව මත්කුඩු කුඩු ලංකාව පුරා බෙදා හරින්නේ තැපැල් සේවයටත් වඩා ඉක්මනින්.
මත්පැන් පානයටත් කුඩු භාවිතයටත් දරුණු අන්දමින් ගොදුරු වී තිබෙන්නේ අවුරුදු 20-30 ටත් අතර වයස් කාණ්ඩයේ අය බව පැහැදිළියි.
රැකියා උත්පාදන කරනවා කියා විශේෂයෙන්ම පාසල් හැර යන තරුණ පරපුරට බොරු පොරොන්දු දෙන වංචනික දේශපාලකයා එම තරුණ පරපුර රට ගොඩනංවන ශ්‍රම බලකායට එකතු කරනවා වෙනුවට ක්‍රම දෙකකින් මේ තරුණ පිරිස් විනාශ කිරීමට කටයුතු කරමින් සිටිනවා.

1. ඊනියා වාමාංශික ව්‍යාපාර තුළට තරුණ පිරිස් ඈඳා ගැනීමට සලස්වා ඔවුන් නොමඟ ගිය විට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කාරයන් ලෙස හංවඩු ගසා හිරේ විලංගුවේ දමා නන්නත්තාර කිරිම හෝ කැරලිවලට පොළඹවා සමූහ වශයෙන් මරාදැමීම

2. මත්පැන් හා මත්ද්‍රව්‍ය තුළින් කායික වශයෙන් මොළයට හානි පැමිණවීම මෙන්ම මානසික වශයෙන්ද කඩා බිඳ දමා රැකියාවක් කිරීමට නුසුදුසු බවට පත් කිරීම

දිනපතාම අැල්ලුවා යැයි කියන කෝටි ගණන් වටිනා කිලෝ දහස් ගණන් මත්කුඩු පිළිබඳ වෘතාන්තය රාත්‍රි ප්‍රවෘත්ති විකාශන තුළින් ප්‍රේක්ෂක ජනතාවට විකුණයි.
යම්කිසි තරුණ කොට්ඨාශයක් දේශපාලනයෙන් තොරව හෝ මෙම සමාජ විරෝධී අපරාධකාරී සංස්කෘතියට එරෙහිව කිසියම් ව්‍යාපාරයක් දියත් කළ හොත් එය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වා නිහඬ කරන ලද දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරති.
මෙය ඇත්තෙන්ම රුදුරු චක්‍රයකි (vicious circle ).
ඉතාම සුළු භික්ෂූන් පිරිසක් මේ රුදුරු චක්‍රය බිඳ දැමීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස සැපයුමට ඇති ඉල්ලුම වළකාලන්න තරුණ පරපුර පෙළ ගැස්සුවත් එවැනි ව්‍යාපාර දැන් පණ අදිමින් සිටී.
දූෂිත දේශපාලුවන්ගේ ප්‍රාණ මිත්‍රයින් බවට පත්ව ඇති නමට පමණක් වන භික්ෂූන් අසහනයෙන් සිටින තරුණ පරපුරට නිවන් මාර්ගය මවා පෙන්වති.
ඔවුන්ගෙන් ඇතැමෙක් අබිංකා මත් වූවාසේ සතර සතිපට්ටානයෙන් හා පටිච්ච සමුප්පාදයෙන් පිළිතුරු දෙමින් තමුනුත් රැවටෙමින් අනුන්වත් රවටමින් සිටිති.

අපි කුඩා කාලයේ අපේ වැඩිහිටියන් නාම මාත්‍ර අබුද්දස්ස කාලයක් ගැන කතා බහ කළා මට මතකයි.
දැන් සිදුවෙමින් පවතින සියලුම කරුණු කාරණා බුද්ධිමත්ව එකිනෙක ගලපා බැලූ විට අපි මේ ගෙවන්නේ "අබුද්දස්ස " නමින් හැඳින්විය හැකි සංක්‍රාන්ති කාලය බව පසක් වෙනවා.
මෙහි ඇති ලොකුම ඛේදවාචකය එය පටන්ගත් යුගය අපට පැහැදිලි නමුත් එය අවසන් වන්නේ කවදාද කියා අපට හිතා ගැනීමටවත් බැරිවීමය.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා ) 11.01.2021

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 102 owners in our website