සෙනසුරාදා, 23 ජනවාරි 2021 10:17

කොරෝනා ගෝලීය භීතිකාව ඇත්තක්ද? ඩෙංගු වසංගතය මීට වඩා බරපතල නැද්ද?

“The global burden of dengue: an analysis from the Global Burden of Disease Study 2013” නම් අධ්‍යනයට අනුව ගෝලීය පරිමානව ඩෙංගු පැතිරීම 1990 දී රෝගීන් මිලියන 8.3 ක සිට 2013 වන විට මිලියන 58.4 දක්වා රටවල් 126 ක සත් ගුණයකින් ඉහළ නැග තිබිණ.

ඩෙංගු උණ පැතිර ගියේ ඝර්ම කලාපීය රටවල ය. යුරෝපීය හා උතුරු ඇමෙරිකානු රටවලට ඩෙංගු උණ කිසිදු බලපෑමක් නොවුනි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඩෙංගු උණ ගෝලීය තර්ජනයක් යැයි ප්‍රකාශයට පත් නොකළේය.

චීනයේ වූහාන්හී 2019 දෙසැම්බරයේදී පැතිර ගිය කෝවිඩ්-19 ඉන්පසු 2020 ජනවාරි 20 වන දින දකුණු කොරියාවෙනුත් පෙබරවාරි 21 වන දින ඉතාලියෙනුත් වාර්තා විය. 2020 මාර්තු අවසානය වනවිට යුරෝපයේ බලසම්පන්න රටවල් වන ජර්මනිය (42,288), ප්‍රංශය (28,786), බිරතාන්‍යය (11,662), ස්විට්සර්ලන්තය (10,714) ඇතුලු රටවල් 18 ක ආසාදිතයින් 2,67,287 ක් වාර්තා වූහ. මිය ගිය සංඛ්‍යාව 15,789 ක් විය.

ඒ කාලය තුල ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින් 68,334 ක් හා කැනඩාවේ 3,556 ක් වූහ. දෙරටේ මරණ සංඛ්‍යාව 1,026 ක් විය.

රටවල් 126 ක 2013 දී ඩෙංගු රෝගීන් මිලියන 58.3 ක් ඉක්මවා වාර්තා වූවත් යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ 2020 මාර්තු අවසානය වනවිට කෝවිඩ්-19 ආසාදිතයින් 3,39,000 ඉක්මවා පැතිරීම තරම් ඒ ඩෙංගු උණ, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනතුරුදායක නොවීය.

කෝවිඩ්-19 ගෝලීය වසංගතයක් යැයි මාර්තුවේදී ප්‍රකාශ කළ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ අතර වාරයේ කෝවිඩ්-19 සම්බන්ධ විවිධාකාර වැඩසටහන් විවිධ ජාත්‍යන්තර සංවිධාන හා රටවල් සමගින් ආරම්භකර තිබිණ. ඒවා මගින් පාසල්වල, වැඩබිම්වල, කාන්තාවන් හා තරුණයින් අතර, අනාථයින් අතර කෝවිඩ්-19 පාලනය සම්බන්ධව දැනුවත් කිරීම් හා සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් හඳුන්වාදීම වැනි ක්‍රියාකාරකම් වෙනුවෙන් මුල පිරූහ. නිරතුරුව කෝවිඩ්-19 පාලනය පිළිබඳ සෞඛ්‍යාරක්ෂණ පිලිවෙත් දියුණු කරමින් ප්‍රකාශ නිකුත් කළහ.

මැයි 04 වන දින යුරෝපා සංගමය විසින් “කෝවිඩ්-19 මෙවලම් සඳහා අවකාශ” (Access to COVID-19 Tool – ACT) ව්‍යායාමය වෙනුවෙන් සහායට පැවැත් වූ එකමුතුවට සහභාගි වූ රටවල් 40 ක් කෝවිඩ්-19 සඳහා එන්නතක් හැදීමටත් ඒ වෙනුවෙන් පර්යේෂණ සඳහාත් යුරෝ බිලියන 7.4 ක ප්‍රතිඥාවක් දුන්හ.

එන්නත් හැදීම සඳහා අවශ්‍ය ආයෝජන, ව්‍යාපාරික හවුල්, පර්යේෂණ, සම්පත්, රාජ්‍ය අනුග්‍රහ වැනි සියල්ල සම්බන්ධීකරණය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙහෙසක් නොබලා මැදිහත් වූහ.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොස්තරිකාව සමග රටවල් 30 ට වැඩි සංඛ්‍යාවක් එකතුකර ගනිමින් “සහයෝගිතා ක්‍රියාකාරකම්” වෙනුවෙන් පිහිටවූ ස්වේච්ඡා ගොනුවට හවුල් වන ලෙස ආණ්ඩු, පර්යේෂණ හා සංවර්ධන ආයෝජකයින්, පර්යේෂකයින් හා ව්‍යාපාරිකයින්ට ඉල්ලීම් කරනු ලැබිණ.

කෙටියෙන් කියන්නේ නම්, කෝවිඩ්-19 පිළිබඳ විශාල බියක් ගෝලීය මට්ටමින් වර්ධනය කරන්නට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත්ව මැදිහත් වෙමින් සිටියහ.

ඩෙංගු උණ සඳහා නොවුනු කෝවිඩ්-19 වසංගතය සඳහා වන මේ උනන්දුව ගෝලීය fඖෂධ මාෆියාවේ සිට හැම රටකම වාගේ දේශීය ව්‍යාපාරිකයින්ටද ලාභ උපයා ගැනීමේ අවස්ථා සැපයූවකි. ඩෙංගු මදුරුවන් තලා උපයාගත නොහැකිවූ ලාභ කෝවිඩ්-19 වසංගතය වෙනුවෙන් පීසීආර් හා ක්ෂණික ඇන්ටි-ජෙන් පරීක්ෂණ කට්ටල නිෂ්පාදනයෙන් හා ආනයන අපනයන වෙළඳාමෙන්ද මුහුණු ආවරණ, අත් වැසුම්, සනීපාරක්ෂණ දියර, පෞද්ගලික සනීපාරක්ෂක කබා නිෂ්පාදනයෙන්ද ලැබිය හැකි විය.

ඒ හැර, ඩෙංගු රෝගයට මෙන් කෝවිඩ්-19 වසංගතයට විශේෂ ප්‍රතිකාර නොමැත. ජාත්‍යන්තරව යෝධ ව්‍යාපාර හැදී ඇත්තේ ප්‍රතිකාරක fඖෂධ සෙවීමට නොව, එන්නත් හැදීමටය. ඒ සඳහා පර්යේෂණ මිනුම් දඬු හා තත්ත්ව නිර්ණායක කෙතරම් ඒ අත මේ අත නවා ඇති දැයි අපි නොදනිමු. එහෙත් අපි එක් දෙයක් දනිමු. එන්නතක් මනුෂ්‍ය භාවිතය සඳහා යොදා ගැනීමට සුදුසු යැයි ජාත්‍යන්තරව පිළිගත් හා අවශ්‍ය අනුමැතියෙන් තොරව, “හදිසි අවශ්‍යතා” සඳහායැයි දේශීය රටවල අනුමැතියට යටත්ව පාවිච්චි කිරීමේ අවසරය පසුගිය නොවැම්බරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව විශාලම fඖෂධ සමාගම් වන ෆයිස, බයෝ-එන් ටෙක්, මොඩනා, ඇස්ට්‍රා සෙනෙකා වැනි සමාගම් වෙත ලබා දුන්හ.

විද්වත් අධ්‍යන වලින් ආරම්භ වී අනුමැතිය දක්වා අදියර 08 කින් යුක්ත සමස්ථ ක්‍රියාවලිය අවසන එන්නතක් වෙළඳපලට නිකුත් කිරීමට ගතවන කාලය සාමාන්‍යයෙන් මාස 12 ත් 18 ත් අතර යැයි ජාත්‍යන්තර විශේෂඥ අදහස වන්නේය. එහෙත් මේ කෝවිඩ්-19 එන්නතට මාර්තු සිට නොවැම්බර දක්වා ගතව ඇත්තේ මාස 08 ක පමණ කාලයකි. මෙය මෙතෙක් ඉතිහාසයේ මනුෂ්‍ය භාවිතය සඳහා එන්නතක් හැදීමට ගත කෙරුණු අවම කාලය විය යුතුය. මේ අයුරු නිපැයූ එන්නත් වාර බිලියන 40 ට වැඩි ප්‍රමාණයක් මිලට ගෙන හා ඇණවුම්කර ඇත්තේ ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය, යුරෝපා සංගමය, ඉන්දියාව, සවුදි අරාබිය, කටාරය, කුවේටය, බ්‍රසීලය, ඊශ්‍රායලය වැනි ඉහළ හා ඉහළ මැද මට්ටමේ ආදායම්ලාභී රටවල්ය.

මේ ගෝලීය ගෝසාව මැද අපට ඉතිරිවන ප්‍රශ්නයක් ඇත. අපට බරපතල සෞඛ්‍යාරක්ෂිත අවදානමක් වූයේ ඩෙංගු උණ පැතිරීමද නැතිනම් මේ කෝවිඩ්-19 වසංගතය පැතිරීමද?

අපේ රටේ පසුගිය මාස 10 ඇතුළත 2021 ජනවාරි 22 වන දින වනවිට කෝවිඩ්-19 ආසාදිතයින් යැයි සනාථ කෙරුණු සංඛ්‍යාව 56,076 කි. ඉන් 47,984 දෙනෙකු දැනට සුවවී නිවෙස් වෙත ගොස් ඇත. ඩෙංගු උණ ආසාදිතයින්ට මෙන් කෝවිඩ්-19 ආසාදිතයින්ට කෙරෙන විශේෂ ප්‍රතිකාරයක්ද නැත. එහෙත් කෝවිඩ්-19 ඇසුරෙන් මෙතෙක් මිය ගිය සංඛ්‍යාව 276 ක් යැයි නිල වාර්තා කියයි.

අපේ රටේ සෙමින් සෙමින් වසංගතයක් බවට පත් වූ ඩෙංගු උණ, 2009 දී රෝගීන් 35,008 ක් සමග මිය යෑම් 346 ක් වාර්තා කළේය. ඉන් පසු වසර කිහිපයේ 29,700 සිට 47,500 දක්වා ඩෙංගු රෝගීන් සංඛ්‍යාවන් දෝලනය විය. නැවත 2016 දී රෝගීන් සංඛ්‍යාව 55,150 දක්වාත් මිය යෑම් 97 දක්වාත් ඉහළ ගියේය. 2017 වසර ඩෙංගු උණ රෝග ව්‍යාප්තියේ බරපතලම වසර විය. එම වසරේ රෝගීන් 1,86,101 ක් සමග මරණ 440 ක් වාර්තා විය. නැවත 2019 දී රෝගීන් 1,05,049 ක් සමග මරණ 90 ක් වාර්තා විය.

ඩෙංගු උණ පාලනයේදී මදුරුවන් තැලීමේ ලාභ ලබන ව්‍යාපාර නොතිබුණද, ලෝක සෞඛ්‍ය සංවිධානය ඩෙංගු උණ පාලනයේදී නොකඩවා යෝධ මැදිහත්වීම් නොකෙරුවද, එය අපට කෝවිඩ්-19 ට වඩා අවදානම් සහගත වසංගතයක් නොවුනිද? එවැනි ප්‍රශ්නයක් මට දැන් මතුව ඇත.

කුසල් පෙරේරා
2021 ජනවාරි 22 වන දින

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 102 owners in our website