Features

අයුක්තියට අසාධාරණයට එරෙහිව පළමු වෙඩිමුර සරසවි සිසු ප්‍රජාව විසින් එල්ල කළ කාලයක් තිබිණි. පාලකයන්ගේ අත්තනෝමතික තීරණ නිසා සිසු අයිතිවාසිකම් උල්ලංඝනය වන විට සරසවි සිසුහු පාරට බැස්සහ. නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා ජීවිත පරදුවට තබා සිසු නායකයෝ ක්‍රියාකළ අභිමානවත් සරසවි ඉතිහාසයක් ගැන අපට මතකය.

නිවටකම් බිඳ දමමින් සාධාරණ අරමුණක් උදෙසා කැප වූ අතීත සරසවි සිසුන්ට අප හදවතේ ගෞරවයක්ද ඇත.

වර්තමානය වන විට සරසවිවලින් ඇසෙන කතා හේතුවෙන් වත්මන් සරසවි සිසු පරපුර ගැන අපට ආඩම්බර විය නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

සරසවි සිසුන් පමණක් නොව පාසල් සිසුන්ද ශිෂ්‍ය භාවයට පටහැනි ක්‍රියාවන් කිරීම හේතුවෙන් වත්මන් පාසල් සිසුන් ගැනද අපට ඇත්තේ කලකිරීමකි.

පොලු - මුගුරු අතැතිව තවත් පාසලකට පහරදීම්, ආදරය වෙනුවට ලිංගිකත්වයට මුල් තැන දී ක්‍රියා කිරීම ආදී පාසල් සිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් ගැන පසුගිය කාලසීමාවේම අපට අසන්නට දකින්නට ලැබිණි.

ශිෂ්‍ය ප්‍රජාවේ ආසන්නතම නොමනා ක්‍රියාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉකුත් 19 වැනි දින වාර්තා වුණේ තිරශ්චීන සරසවි නවක වධය උඩු යටිකුරු කරවමිනි.

මෙතෙක් කල් සරසවි තුළ ශිෂ්‍ය නේවාසිකාගාර තුළ සිදුවූ නවක වධය ඉන් ඔබ්බට ගොස් නිවෙසක් කුලියට ගෙන සිදු කරන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇදුරුවරුන්ට තොරතුරු ලැබෙන්නට විණි.

"ළමයි රංචු රංචු ගෙනත් රෑ ඉඳන් එළිවෙනකල් දස වධ දෙනවා" ආචාර්යවරුන්ට කුලී නිවෙසේ පවත්වාගෙන ගිය වධකාගාරය ගැන තොරතුරු ලැබිණි.

හොර රහසේ පවත්වාගෙන ගිය වධකාගාරය වැටලීමේ මෙහෙයුම විශ්වවිද්‍යාල ආචාර්යවරු විසින් සකස් කළහ.

දිනය ඉකුත් 19 වැනිදා ඉරුදිනය. ඇඳිරි වැටෙත්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පීඨාධිපති මහාචාර්ය ගාමිණී පුෂ්පකුමාර, විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ආචාර්ය ගාමිණී හිටිනායක, නියෝජ්‍ය විනය පාලක (කෘෂි පීඨය) ආචාර්ය සුරංග කොඩිතුවක්කු, විශ්වවිද්‍යාලයේ වැඩබලන ආරක්ෂක ප්‍රධානී දීපාල් රත්නායක යන ඇදුරුවරුන් සහ නිලධාරීන් කුලී නිවෙස පිහිටි පේරාදෙණිය ‍දොලුව, මෙගොඩ කළුගමුව ප්‍රදේශයට පිටත් වූහ.

මෙම කණ්ඩායමට විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් විස්සකට අධික පිරිසක් සහභාගි වූ අතර සියල්ලෝම කුලී නිවෙස ආසන්නයට ගොස් දැඩි විපරමින් කටයුතු කළෝය.

නිවෙස තුළ සිදුවන හිංසනයේ ක්‍රියා වීඩියෝ ගත කිරීමටද සූක්ෂම වූ එම කණ්ඩායම රාත්‍රි දහය පසුවී විනාඩි කිහිපයක් පමණ ගත වනවාත් සමඟම නිවෙසට කඩා පැන්නේය.

සිසුන් අට දෙනකු නිරුවතින්ය. තවත් සිසුන් පහළොස් දෙනකු ඔවුනට දසවධ දෙමින්ය.

ආචාර්යවරුන්ගේ දැනුම් දීමකට අනුව පේරාදෙණිය පොලිසියේ කණ්ඩායමක්ද කුලී නිවෙසට පැමිණියහ.

සිදුවූයේ කුමක්දැයි සිතා ගත නොහැකි නවක වධය ලබාදුන් සිසුන් පහළොස් දෙනා සියලු තතු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කරන්නට වූහ.

එම සිසුහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබති.

"අද උදේ අපි නුවර නගරයේ කැට ව්‍යාපාරයකට සහභාගි වුණා. ඒ වැඩේ ඉවර කරලා හවස දෙකට වගේ තමයි මල්ලිලාට මේ ගෙදරට එන්න කිව්වේ" සියලු විස්තර පොලිස් පොතෙහි සටහන් වන්නට පටන් ගත්තේය.

'කැට ව්‍යාපාර' යනු සරසවි සිසුන් මහජනතාවගෙන් මුදල් එකතු කිරීමය. 'ඉගෙන ගන්න ළමයිනේ' යන අදහස් ඇතිව බහුතරයක් වූ දෙනා සරසවි සිසුන් ඔවුන් ළඟට රැගෙන එන කැටයට මුදල් ආධාර ලබා දෙති.

මිනිසුන්ගෙන් මුදල් එකතු කොට අවසානයේදී මොවුන් පැමිණ ඇත්තේ ඔවුන් හොර රහසේ පවත්වාගෙන යන කුලී නිවෙසේ වධකාගාරයටය.

ඉන් අනතුරුව දුරකතන ඔස්සේ ඔවුන් කෘෂි පීඨයේ පළමු වසරේ සිසුන් අට දෙනකුට විවිධ ස්ථානවලට පැමිණ සිටින ලෙසට දන්වා ඇත.

සමහර සිසුන්ට නුවර මාලිගාවටත්, නුවර රෝහල අසලටත්, ගලහ මංසන්ධිය අසලටත් පැමිණෙන ලෙසට දන්වමින් පැය කිහිපයක් ඔවුහු සිය නවක සිසුන්ව රස්තියාදු කර තිබේ.

"මාලිගාව ගාවද ඉන්නේ, ඔතැන ඉන්න එපා. හොස්පිට්ල් එක ගාවට එන්න. එතැන තව කෙනෙක් ඉන්නවා. එතැනට යන්න" නවක සිසුවකු එලෙස රස්තියාදු කරයි.

"කැම්පස් එක ගාවද දැන් ඉන්නේ, බස් එකේ නැඟලා ‍ෙදොලුවට එන්න" තවත් නවක සිසුවකු එලෙස රස්තියාදු කරයි.

ජේ‍යෂ්ඨ සිසුන්ගේ අණට කීකරු වූ නවක සිසුන් අට දෙනා පැය කිහිපයක් මහමඟ රස්තියාදු වෙන්නට විය.

රාත්‍රිය එළැඹෙත්ම දෙවැනි වසරේ සිසුන් මුහුණ වසා ගත් හෙල්මට් පැලඳ යතුරුපැදි තුනක නැඟී වධකාගාරයට නවක සිසුන් අට දෙනා කඳවාගෙන පැමිණියහ.

"රෑ 8.30 ට වගේ අපිව ගෙදරකට එක්කන් ආවා. අපෙන් එක එක ප්‍රශ්න ඇහුවා. ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වුණොත් එක ප්‍රශ්නයකට එක ගාණේ ඇඳුම් ගලවන්න අණ කළා."

නවක වදයට ලක්වූ සිසුන් පොලිසිටය පැවසුවේය.

නවක සිසුන් අට දෙනාගේ කමිස, බැනියම්, කලිසම්, යට ඇඳුම් ගැලවූ දෙවැනි වසරේ සිසුන් ඉන් අමුතු තාලයේ සතුටක් ලැබූහ.

පොලු තුනක් අතැතිව නවක සිසුන්ට පහර දෙමින්, ඔවුන්ව බිම නිදි කරමින් අමානුෂික ලෙස වධ හිංසාවන්ට ලක් කළහ.

ජේ‍යෂ්ඨ සිසුන්ගේ නියෝගවලට අවනත වෙමින්, මරණයට බියවූ මුව පොව්වන් ලෙසින් කටයුතු කිරීමට සිදුවූ නවක සිසුන් අවසානයේදී විශාල ඛේදවාචකයක් වීමට පෙර බේරා ගැනීමට සරසවි ආචාර්යවරුන්ට හැකි විය.

නවක සිසුන් පිරිස ආචාර්යවරුන්ගේ භාරයටත් නවක වධය ලබා දුන් කෘෂි පීඨයේ දෙවැනි වසරේ සිසුන් 15 දෙනා පොලිස් අත්අඩංගුවටත් ගත්තේය.

අදාළ කුලී නිවෙසද ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කනිෂ්ඨ සේවකයකුගේය.

තවමත් සම්පූර්ණයෙන් වැඩ නිම කොට නැති එම නිවෙස මසකට රුපියල් දස දහසක මුදලකට එම සිසුන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ගෙන ඇති බවද පරීක්ෂණවලදී හෙළි විය.

ඉකුත් ජනවාරි 06 වැනි දින සිට මාස තුනක කාලයකට එම නිවෙස කුලියට ගෙන ඇත.

ගෘහ නිර්මාණ ශිල්පීන් යැයි පවසමින් සිසුන් හත් දෙනකු එම නිවෙස මෙලෙස කුලියට ගෙන තිබූ බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි විණි.

මාස තුනකට අදාළ මුදල්ද ඔවුන් විසින් ගෙවූ බව නිවෙසේ හිමිකරු පොලිසියට පවසා ඇත.

ඉතා සංවිධානාත්මක ලෙස මුදල්ද වියදම් කරමින් කුලී නිවාසය ගෙන නවක සිසුන්ට හිංසා කිරීම සඳහා කටයුතු කළ සරසවි සිසුන් පහළොස් දෙනා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත එහි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රපාල, උප පොලිස් පරීක්ෂකවරුන් වන තුෂාර කරුණාරත්න, බන්දුල විජේකෝන්, පොලිස් සැරයන්වරුන් වන සෙනවිරත්න (11547), වජිර (30508) ඇතුළු පොලිස් කණ්ඩායම මේ පිළිබඳ විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් නවක වධය ලබා දුන් සිසුන් පහළොස් දෙනාට පන්ති තහනමක්ද මේ වන විට පනවා ඇත.

මෙකී නවක වධ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේද විශේෂ අවධානය යොමුවී ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් ගතවූ මාස තුනක කාල සීමාව තුළ නවක වධය ලබා දීමේ සිද්ධීන් තුනක් පේරාදෙණිය පොලිසියට පැමිණ තිබිණි.

එම සිද්ධිවලට අදාළව සරසවි සිසුන් හත් දෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

"ලැජ්ජාව නැති කරන්නයි අපි රැග් කළේ" කුලී නිවෙසේ වධකයෝ අවසානයේදී පොලිසියට පැවසූහ.

බල්බයක් කටින් පිඹ නිවීමට දීම, ගසක් සමඟ තනියෙන් කතා කිරීම, ගැහැනු ළමයකුට ආදරේ ප්‍රකාශ කිරීම ආදී සුන්දර නවක වධ අතීතයේ සරසවි සම්ප්‍රදායේ තිබිණි.

නමුත් සියල්ල උඩු යටිකුරු වෙමින් නවක සිසුන් කෘෘරත්වයට හා මානසික හිංසනයන්ට පමුණුවමින් කරන නවක වධ හේතුවෙන් සරසවි සිසුන්හට ජීවත්වීමේ අයිතිය පවා අහිමි වූ අවස්ථා ඇත්තේය. සමහර සිසුන් නවක වධය ඉවසිය නොහැකිව සියදිවි හානිකර ගත්තේය. තවත් සමහරු විශ්වවිද්‍යාලවලට සමුදී යළි නිවෙස්වලට පැමිණියහ.

නවක සිසුන්ට සරසවි ජීවිතයට හුරු කිරීම, මිතුරන් සමඟ සුහදව කටයුතු කිරීමට හුරු කිරීම, නව මිතුරන් හඳුනා ගැනීමට අවස්ථා එක්කර දීම, නම්බුනාම පසෙකලා එකාවන්ව සරසවි තුළ ජීවත්වීම ආදියට සුන්දර ලෙස 'නවක වධය" භාවිත කිරීම සාපේක්ෂිතය.

නමුත් 'වධ' යන අරුතටම නවක සිසුන් ශාරීරික සහ මානසික හිංසනයන්ට, පීඩාවන්ට පත් වන්නේ නම් එය මනුෂ්‍ය සමාජයකට උචිත නැත.

බුද්ධිමතුන් බිහිවන සුන්දර සරසවිය නවක වධයන් නිසා අපායක් කර ගත යුතුද.....?

තීරණය ජේ‍යෂ්ඨ සිසුන් අතේය.

_මව්බිම

සෙනසුරාදා, 25 පෙබරවාරි 2017 10:49

හිට්ලර්ගෙන් පසුව නරකම දවස්

ක්ෂමා සංවිධානයේ වාර්තාව කියයි...

මියන්මාරයේ සිට ප්‍රංශය දක්වා ලොව රටවල් 159 ක සිවිල් නිදහස උල්ලංඝනය වී ඇති අයුරු පෙන්වාදෙමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නස්ටි ඉන්ටර්නැෂල් හි 2016 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව නිකුත් විය. එවැනි බොහෝ තත්ත්වයන්ට ආයතනික විරෝධී දේශපාලනඥයන් වගකිවයුතු බව ඉන් පෙන්වා දේ. අමෙරිකා නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙන්ම තුර්කි, හං‍ගේරියානු සහ පිලිපීන නායකයන්ගේ නම් ද එහි සඳහන් කර ඇත. පිටු 40 කින් යුතු එම වාර්ෂික වාර්තාව අවධාරණය කරන පරිදි 2016 වසර, ඇ‍ඩොල්ෆ් හිට්ලර් බලයට පත්වූ 1930 වර්ෂයෙන් පසු මානව හිමිකම් සම්බන්ධයෙන් උදා වූ අභාග්‍යසම්පන්න වසරකි.

ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් හි මහ ලේකම් ෂලීල් ෂෙට්ටි පෙන්වා දෙන්නේ නව ලෝක රටාව තුළ මානව හිමිකම් යනු ජාතික අභිලාෂයන්ට එරෙහි බාධකයක් ලෙස සලකා ක්‍රියාකරන බවය. මේ පසුබිම මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් සලකනවිට අඳුරු කාලසීමාවක් උදාකිරීමට හේතුවී තිබේ.

ජනාධිපති ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය තුළ උපයෝගීකරගත් වදන් විෂසහිත ඒවා බවද එය සඳහන් කරන්නේ හංගේරියා අගමැති වික්ටර් ධර්බාන්, තුර්කි ජනාධිපති එර්ඩොගාස් සහ පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝඔටරෙට් ද විෂසහිත න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් සිටිතැයි චෝදනා නඟමිනි.

මේ තත්ත්වය වඩාත් බෙදුණු මෙන්ම අන්තරාදායක ලෝකයක් බිහිවීමට බලපා ඇති බව ඇම්නස්ටි ජාත්‍යන්තරයේ අදහසය. ඇතැම් මිනිසුන් අන් අයට වඩා පහත් අය යන අන්තරාදායක අදහස ලජ්ජාවකින් තොරව ඉදිරිපත් වෙමින් පවතී . එය සමාජගත කිරීමේ වගකීම පැවරෙන්නේද දේශපාලනඥයන්ටමය .

සංක්‍රමණිකයන් මුහුණ දී සිටින තත්ත්වය ගැනද වාර්තාවෙන‍් පෙන්වා දී ඇත. සරණාගතයන් සහ සංක්‍රමණිකයන් ආපසු හරවා එවීමට රටවල් බොහොමයක් කටයුතු කරයි. නීතියට පටහැණි අන්දමින් ඔවුන් හරවා එවන රටවල් 36ක් සංක්‍රමණිකයන්ගේ සහ සරණාගතයන‍ගේ අයිතීන් අනතුරේ හෙළා ඇති බවද වාර්තාවෙන් පෙන්වා දී තිබේ. ජනාධිපති ට්‍රම්ප් පසුගියදා අත්සන් කළ විධායකය නියෝගය ද මෙහිදී අවධානයට ලක්ව ඇත.

ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අරගල කිරීම වෙනුවට බොහෝ නායකයන් මානුෂීය විරෝධී න්‍යායපත්‍රයක් අනුගමනය කරමින් ‍දේශපාලනික පැවැත්ම කෙරෙහි උනන්දුවන බවටද ඇම්නස්ටි ජාත්‍යන්තරය සිය වාර්ෂික වාර්තාව මඟින් චෝදනා කර සිටී. ආර්ථික සහ සමාජයීය අයිතීන් තහවුරු කිරීමට ඔවුන්ට නොහැකිවී තිබේ.

ගෝලීය දේශපාලනය හැසිරී ඇති ආකාරය විමසනවිට 2016 වසරේදී මනුෂ්‍යත්වයට අත්වී ඇති ඉරණම කනගාටුදායකය. මෙහිදි දේශපාලනඥයන් ක්‍රියාකර ඇත්තේ ලජ්ජාවකින් තොරවය.

සමාන අයිතීන් සහිත මනුෂ්‍යයන් ලෙස සැලකීමට වඩා ජාතිය, ආගම, ස්ත්‍රී - පුරුෂභාවය ආදිය මත පදම්ව කටයුතු කිරීමට ලෝකය වැඩි නැඹුරුවක් දක්වමින් සිටී.

සිරියාව, යේමනය, ලිබියාව, ඇෆ්ගනිස්තානය, මධ්‍යම අමෙරිකාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, බුරුන්ඩි, ඉරානය, දකුණු සුඩානය සහ සුඩානය වැනි තැන්වල ගැටුම්කාරී අර්බුද දිග්ගැස්සෙමින් තිබේ. 2016 වසරේදී අවම වශයෙන් රටවල් 23ක යුද අපරාධ වාර්තාවූ බවද ඉන් පෙන්වා දී ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවා එහි නිත්‍ය සාමාජික රටවල් අතර ඇති ප්‍රතිරෝධතා ‍හේතුවෙන් මේ පිළිබඳ ක්‍රියා කිරීමේදී සතුටුදායක මැදිහත්වීමක් කිරීමට අපොහොසත්ව සිටී.

2017 වර්ෂය ආරම්භයත් සමඟ ලොව බලවත් රටවල් සිය ජාතික අභිලාෂයන් පිළිබඳ දක්වන සැලකිල්ල තියුණු වී ඇති පසුබිමක වඩා බිහිසුණු ලෝකයක් නිර්මාණය වෙමින් ඇති බව ඇම්නස්ටි ජාත්‍යන්තරයේ අදහසය.

සිරියාවේ අලෙප්පෝ නුවර පවතින තත්ත්වය පිලිපීනයේ මත්ද්‍රව්‍ය විරෝධී සංග්‍රාමය, චර්ෆුර්හිදී රසායනික අවි භාවිත වෙමින් තිබීම වැනි කාරණා ගැනද එම වාර්තාව විශේෂයෙන් සඳහන් කර තිබේ.

ඇම්නස්ටි වාර්ෂික වාර්තාව මඟින් මතුකර ඇති කාරණා ගැන ධවල මන්දිරය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. එක්සත් රාජධානියට වාර්තා මඟින් එල්ලවී ඇත්තේ විවේචනයකි. ගෝලීය සරණාගත අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත ඉන් දෝෂදර්ශනයට ලක්කර ඇත.

2016 වසරේදී මානම හිමිකම් කඩවීම් ලෙස වාර්තාවූ රටවල් අතර බංග්ලාදේශය, තායිලන්තය, හොන්ඩියුරාස් හ මියන්මාරයද ඇත.

ලන්ඩනය කේන්ද්‍රකොටගත් ඇම්නස්ටි ජාත්‍යන්තරය සිය වාර්තාව එළිදැක්වූයේ පැරීසියේදීය. ප්‍රංශය මුස්ලිම් ජාතිකයන් කෙරෙහි අනුගමනය කරන පිළිවෙතද ඉන් විවේචනය කර තිබේ. විරෝධතාකරුවන් 140 ක් නිවාස අඩස්සියේ තැබීමට හෝ ඔවුන්ට තහංචි පැනවීමට ප්‍රංශය පියවරගෙන ඇති බවද වාර්තා පෙන්වා දී ඇත.

මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල් අනුගමනය කරන පිළිවෙත ගැන සතුටු විය නොහැකිය. සෙසු රටවල මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන උස්හඬින් කතා කරන බලවත් රටවල මානව හිමිකම් වාර්තාවද ඊටත් වඩා අයහපත් එකක් බවට ඇම්නස්ටි වාර්තාව සාක්ෂි දරයි.

ඇම්නස්ටි ජාත්‍යන්තරය 2016 වාර්ෂික වාර්තාව මඟින් මානව හිමිකම් පිළිබඳ තත්ත්වය අළලා වත්මන් ප්‍රවණතා මෙන්ම පුරෝකථනයක්ද කරමින් ප්‍රධාන කාරණා 7ක් මතු කරයි.

රටවල් 1/5 ක පමණ සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය ඉන් එකකි. යුදායුධ වෙළෙඳාම තවත් කාරණයකි. ඉරාකය, ඊශ්‍රායලය, රුසියාව, දකුණු සූඩානය සහ සිරියාව යන රටවලට විශාල වශයෙන් අවි ආයුධ අලෙවි වී තිබේ. ජනාකීර්ණ ප්‍රදේශවලදී විශාල පිපුරුමක් ඇතිකරන අවි භාවිතය ගණනය කළ නොහැකි තරම් සිවිල් ජීවිත විනාශවීමට හේතුවක් වීම තවත් කාරණයක් ලෙස එහි සඳහන් ය.

ඉරානය, සෞදි අරාබිය, ඊජිප්තුව මෙන්ම තවත් රටවල අත්අඩංගුවට ගන්නා ඇතැම් ක්‍රියාකාරීන්ට හිංසාකාරී ලෙස සැලකීම, ඔවුන් අතුරුදහන්වීමද බොහෝ ආණ්ඩු උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිරෝධී පිළිවෙත ගැනද වාර්තාවෙන් අවධානය යොමුකර තිබේ. ඊජිප්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ක්වේටය ඉරානය වැනි රටවල් කෙරෙහි වාර්තාවෙන් අවධානය යොමු කරයි. ඉරානයේ ජනමාධ්‍යවේදීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ කාන්තා අයිතීන් පිළිබඳ හඬ‍නඟන ක්‍රියාකාරිණියක් අත්අඩංගුවේ සිටින බවද වාර්තාවේ සඳහන්ය.

සිරියානු සරණාගතයන්ගෙන් 95% කටම රැකවරණ ලබාදී ඇත්තේ රටවල් 5ක් පමණක් බවද වාර්තාවෙන් පෙන්වා දී ඇත.

සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 190,000ක් මිය ගොස් දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් සරණාගතයන් බවට පත්වුවද එ. ජා. ආරක්ෂක මණ්ඩලය අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් ව සිටින බවද වාර්තාව තවදුරටත් පෙන්වාදී ඇති කාරණයකි. සිරියාවේ පමණක් නොව ඉරාකයේ ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ තත්ත්වය පිළිබඳ ආරක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක වී නැත.

2016 වර්ෂය සඳහා වූ ඇම්නස්ටි ජාත්‍යන්තරයේ මෙම මානව හිමිකම් වාර්තාව මනුෂ්‍යත්වය මැන බැලීම පිළිබඳ දර්ශකයක් ලෙස සලකන්නේ නම් ලෝකය සිටින්නේ සතුටුවිය හැකි තැනක නොවන බව ඉතා පැහැදිලිය. මානව හිමිකම් ගැන බොහෝ රටවලට ඇත්තේ දෙබිඩි කියැවීමක් බවද ඉන් ගම්‍ය වේ. සෑම වර්ෂයකට නිකුත් වන මෙම වාර්තාවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැනද යෝජනා කරතත් තත්ත්වය වඩා අයහපත් අතට හැරීම මිස ප්‍රගතියක් ඇතිවී නැත.

මිනිස්කමට ගරු කරන්නැයි උස් හඬින් කෑ ගසා කියද්දී කන් වසා සිටින, නොමිනිස්කමට එරෙහිවන්නැයි අතදිගු කර පෙන්වද්දී ඇස් වසා සිටින ලෝක රටාවක් අප ඉදිරිපිට තිබේ. ඛේදවාචකයේ තරම කෙතරම් දැයි 2017 වාර්ෂික වාර්තාව නිකුත් වූ විට ලෝකයට තවත් දැනෙනු ඇත.

-ධම්මික සෙනෙවිරත්න_දිනමිණ

සිකුරාදා, 24 පෙබරවාරි 2017 10:13

මහා ශිව රාත්‍රී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් අද (24) මහා ශිව රාත‍්‍රී දිනය සමරනවා.

තමා ආධ්‍යාත්මික ශික්ෂණය පතා උපවාසයෙන් හා නිදිවර්ජිතව රැය පහන් කිරීම ශිව දෙවියන් වෙත තම කෘතවේදීත්වය පළ කරමින් පුද පූජා පවත්වමින් හින්දු බැතිබතුන් මහා ශිව රාත‍්‍රී දිනය සමරනු ලබනවා.

මහා ශිව රාත‍්‍රී දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ සියලූම ආගම්වල ප‍්‍රමුඛතම අපේක්ෂාව සහ අරමුණ වන්නේ සභ්‍යත්වයක් සහිත මිනිසුන් වශයෙන් සියල්ලන් ජීවත් විය යුතුය යන්නයි.

සියලු ආගමික වතාවත් හා සැමරුම් පවත්වන්නේ එකී ආගමික හරයන් පිළිබඳ ඉගැන්වීම් සිහිකැඳවනු පිණිස බවද එම නිවේදනයේ සඳහන්.

මිනිසා තුළ ඇති අවිද්‍යාව නම් අඳුරත් අහංකාරයත් දුරලා සාමය සහ ආදරය ඔවුන් වෙත ළඟාකර දීමේ අරමුණින් කලානූරූපව විවිධ ආගමික උත්සව පැවැත්වීම වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

නවීන තාක්ෂණික ලෝකය තුළ පවා මිනිසාට මිනිසත් බවේ අභිමානය රැක ගනිමින් ජීවත් වීමට එවැනි ආගමික උත්සව වෙසෙසින්ම ඉවහල් වී ඇති බව ද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

_නෙත්

බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2017 16:55

මවු කිරිවල අධි ප්‍රෝටීන් දරුවා ලෙඩ කරලා

මවගේ කිරිවල ඇති අධි ප්‍රෝටීන් තත්ත්වය හේතුකොට ගෙන ස්නායු දුර්වල වූ රෝගී දැරියක් පළමු වතාවට වේයන්ගොඩ, කුඹල්ඔළුව ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

ශ්‍රී ලංකාවෙන් මෙවැනි රෝගී දරුවකු සොයාගෙන ඇත්තේ ප්‍රථම වතාවටයි.

මෙලෙස රෝගී තත්ත්වයට මුහුණ පා ඇත්තේ වේයන්ගොඩ, කුඹල්ඔළුව ප්‍රදේශයේ පදිංචි වීරක්කොඩි අප්පුහාමිලාගේ සුභාෂ් වීරක්කොඩි හා ඔහුගේ බිරිය වන අනූෂා රසාදරී යන අයගේ දෙවැනි දියණිය වන වෙනුනි ලිතුමියා නමැති අවුරුදු 1යි මාස 4ක දියණියකි.

දියණියගේ මවුපියන් පවසන්නේ 2011 පෙබරවාරි 10 දින පළමු දුව ඉපදිලා මාස දෙකකින් කිරි වමනය දමන්න පටන් ගත්තා. නිතරම දුව අඬන්න පටන් ගත්තා. එක පාරටම දුවට පිට් එක හැදෙන්න ගත්තා. පසුව දුව කොළඹ රිජ්වේ ළමා රෝහලට අරගෙන ගියා. එහිදී පද්මකාන්ති යන වෛද්‍යවරිය ප්‍රතිකාර කළා. ප්‍රතිකාර කරන අතරතුර කිරි දුන්නේ බටයක් ආධාරයෙන්. අවුරුදු එකයි මාස හතරක් වෙනකොට දුව මිය ගියා.

පසුව අපට මේ රෝගීව ඉන්න දුව ලැබුණේ ලොකු දුව මිය ගොස් අවුරුදු තුනකට පසුව 2015 සැප්තැම්බර් 2 දිනයි. ඉපදිලා මාස 3ක් නිරෝගීව හිටියා. මාස හතර ලබනකොටම ලොකු දුවගේ රෝග ලක්ෂණ මේ දුවටත් මතුවෙන්න පටන් ගත්තා. මේ දුවත් කොළඹ රිජ්වේ ළමා රෝහලට ගෙන ගියා. වෛද්‍ය පද්මකාන්ති මහත්මියට පෙන්නුවා.

ලොකු දුවගේ රෝග ලක්ෂණ ඇති බවට වෛද්‍යවරියට පැවසුවායින් පසු වෛද්‍යවරිය දුව රාගම රෝහලට ඇතුළත් කරන ලෙස අපිට දැනුම් දුන්නා. එහිදී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට දුව භාජන කළා. රුධිර සාම්පල් කිහිපයක් පරීක්ෂණ සඳහා ඉන්දියාවට යැව්වා. එම රුධිර සාම්පල් අනුව වෛද්‍යවරුන් කියා සිටියේ දුවගේ ශරීරයේ ප්‍රෝටීන් ශීඝ්‍රයෙන් වැඩෙන බවත් ඒ අනුව ශරීරයේ ස්නායු දුර්වලතාවක් හටගෙන ඇති බවත්ය.

ඒ අනුව දැරියට දෙන මවුකිරි නවතා කැරට්, වට්ටක්කා අර්තාපල්, ගෝවා මල් වැනි එළවළු වර්ග තම්බා දෙන ලෙසත් එයට අමතරව දීම සඳහා කිරි පිටි වර්ගයක් නියම කර දුන්නා. එම කිරි ලංකාවේ මිලට ගැනීමට නැහැ. ඇමෙරිකාවේ පමණයි තියෙන්නේ. කිරිපිටි ටින් එකක මිල රුපියල් නව දහසක් වෙනවා. මසකට කිරිපිටි ටින් 6ක් යනවා. මෙපමණ කලක් අසල්වැසියන්ගේ උදවු මත මෙම කිරිපිටි ඇමෙරිකාවේ ඉන්න යාළුවෙක් මාර්ගයෙන් ගෙන්වා ගත්තා.

ස්නායු නැවත යථා තත්ත්වයට පත්වෙන්නේ මෙම කිරිපිටිවලින් පමණක් බව වෛද්‍යවරුන් නිගමනය කර තියෙනවා. දුවගේ රුධිර සාම්පල් පරීක්ෂණ සඳහා මසකට රුපියල් 12,800ක් යනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දුවගේ ජීවිතය බේරාගැනීම සඳහා අපට යම් මුදලින් දායක වන්න පුළුවන් නම් මහජන බැංකුවේ මීරිගම ශාඛාවේ ගිණුම් අංක 198200130035006 සුභාෂ් වීරක්කොඩි නමින් ඇති ගිණුමට මුදල් බැර කිරීමට කාරුණික වන්න කියලා අප ඉල්ලා සිටිනවා.

-මීගමුව - ප්‍රියපේම මානික්කරත්න_මව්බිම

බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2017 10:15

රණ විරුවොයි මිනී මරුවොයි

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදීම සම්බන්ධයෙන් හමුදාවේ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත. සිදුවීමෙන් වසර අටකට පසුව ඒ පිළිබඳව තොරතුරු සොයා ගැනීමට සමත්ව ඇති බව කියති. පසුගිය රජය සමයේ මෙය පැවතියේ නොවිසඳුණු අපරාධයක් වශයෙනි. පාලනය වෙනස් වීමෙන් පසුවද තොරතුරු සොයා ගැනීමට කලක් ගතවී ඇත. කෙසේ වෙතත් මේ වන විට හෝ එම තොරතුරු හෙළිදරව් වීමත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් වැදගත්ය.

මෙම අපරාධයේ සැකකරුවන් හමුදා සෙබළුන් හා නිලධාරීන් වීම නිසා එය දේශපාලන වශයෙන් විකෘති කිරීමේ උත්සාහයක් ද පවතින බව පෙනෙන්නට තිබේ. ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම දැනටමත් කියන්නට පටන්ගෙන ඇත්තේ මෙය ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමක් බවය. ඔවුන් කියන ආකාරයට ආණ්ඩුව එය කරන්නේ බටහිර රටවල වුවමනාවටය. නැතහොත් ඉන්දියාවේ වුවමනාවටය. එලෙස හමුදාවට දඬුවම් කරවීමට එම රටවලට අවශ්‍ය වී ඇත්තේ මේ හමුදාව විසින් එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීම නිසා බව මොවුහු කියති. ඔවුන් මේ වෙලාවේ අරඹන දේශපාලන ගුලිය එබඳුය.

මේ හදන්නේ ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායමට දේශපාලනය කරගෙන යන්නට ජාතිවාදය ඉස්මතු කර ගන්නටය. ඒ සඳහා මෙබඳු කතන්දර ගෙතීම විපක්ෂයේ දිගුකාලීන උත්සාහයකි. එසේ වුවද මෙය කිසිදු පදනමක් නැති පච වැලක් බව තතු දත් ජනතාව දනිති.

කොටි සංවිධානය ගැන ජාත්‍යන්තර බොරු

එල්.ටී.ටී.ඊ. ය රැක ගැනීමට ඇමෙරිකාවට හෝ බටහිර රටවලට අවශ්‍යව තිබුණා යැයි කීම අමුම පචයකි. ඇමෙරිකා එක්සත් ජනපදය එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකා තහනම් කළේ 1997 දීය. ඒ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සමයේය. ඔස්ලෝ සාම සාකච්ඡාවලින් එල්.ටී.ටී.ඊ. ය ඉවත් වූ විට ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමෙරිකාව කීවේ දැන් ‘යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ. ය තහනම් කළ යුතුයි’ කියාය. යු‍රෝපා සංගමය එල්.ටී.ටී.ඊ. ය තහනම් කොට එහි ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තා පමණක් නොව ඔවුන්ගේ බැංකු ගිණුම් ද තහනම් කළේය. එලෙස තහනම් කළ ගිණුම්වල තිබුණේ එල්.ටී.ටී.ඊ යට අවි ගන්න එකතු කළ මුදල් ය. මුදල් එකතු කිරීමට ද ඉඩ දුන්නේ නැත. යුරෝපා රටවල් ත්‍රස්තවාදයට එරෙහිව සටනට දායක වුණේ එහෙමය.

එකල අප රටට තුබූ ප්‍රබල තර්ජයක් වූයේ එල්. ටී. ටී.ඊ.ය නැව්වලින් රහසේ අවි රැගෙන ඒමයි. එම නැව්වලට ගහන්නට ‘සයුර’ යුද නැව අපට දුන්නේ ඇමෙරිකාවෙනි. ඒ පමණක් නොවේ. අවි පැමිණීම ගැන ඔත්තු ලබාදීම ද සිදුවූ බව දන්නෝ දනිති. ඉන්දියාවද එසේම ක්‍රියාත්මක වීය. ඇතැම් එල්.ටී.ටී.ඊ නැව්වලට ප්‍රහාර එල්ල කළේ ඉන්දියාවයි. මේවා ඉතිහාසයේ සඳහන්ය. එල්.ටී.ටී.ඊ යට ගුවන් ප්‍රහාර එල්ල කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මිග් යානාවලට ඉන්දීය ගුවන් කලාපයට ඇතුළුවන්නට ඉඩ දී තිබීමද විශාල වාසියක් වී තිබිණි. මේ රටවල් එල්.ටී.ටී.ඊ යට සහය දුන්නා කීම අමු පචයක් කියන්නේ ඒකය.

අනෙක් අතට ඔවුන් යමක් කීවත් ශ්‍රී ලංකාව එය කරන්නේ අහවල් බැඳීමක් නිසාද යන්න ප්‍රශ්නයකි. ඔවුන්ගෙන් අපට වෙනත් විශාල අනුග්‍රහයක් නැත. විපක්ෂ කණ්ඩායම් වරෙක කියන්නේ ආණ්ඩුව ඉන්දියාවට රට විකුණන බවයි. තවත් විටෙක කියන්නේ චීන කොලනියක් කරනවා කියාය. මෙලෙස ඒකාබද්ධ විපක්ෂය විසි වරකදී විසිපහක් දේ කියන්නේ එකිනෙකට ගැළවීමක් හෝ නැතිවය. ඔවුනට දැන් තියෙන්නේ එදා වේල දේශපාලන කතන්දර පමණකි. වෙනත් දේශපාලන දැක්මක් ඔවුනට ඇත්තේ නැත.

රණවිරුවන් යැයි අපරාධකාරයන් වීරත්වයට නංවන්නට හැදීමද ඒකාබද්ධ විපක්ෂයේ තවත් බංකොලොත් ක්‍රීඩාවකි. රණබිමේ ඉදිරියට ගොස් සටන් කළ භටයන්ට සටන වෙනුවෙන් ජීවිත පූජාකළ උදවියට මේ රටේ ජනතාව ගෞරවයෙන් සලකන බවට සැකයක් නැත. ඒ ඔවුන්ගේ වීරත්වයටය. ඒ අතර සටන් බිම මඟහැර සිටි පිරිසක් ද වන බව හමුදාවේ තොරතුරු දත් උදවිය කියති. සමහරු දේශපාලන අනුග්‍රහයෙන් කොළඹට වී දිවි ගෙවූහ තවත් සමහරු බලවතුන්ගේ අවශ්‍යතා ඉටු කළෝය. මේවා සත්‍ය කතාය.

හමුදාවට බැඳී සිටි පමණින් කෙනෙකු රණවිරුවකු වන්නේ නැත. හමුදාවෙන් පලා ගිය සංඛ්‍යාවද දසදහස් ගණනකි. ඔවුන් අත්අඩංගුවට ගෙන සටන් බිමට යවන්නට ද හමුදාවට සිදුවීය. ඒ අතර හමුදා පොලිසිය මඟින් නඩු අසා දඬුවම් කිරීම ද සිදුවීය.

හමුදාවේ විනය පවත්වා ගන්නටද හමුදාපතිවරුන්ට හා නිලධාරීන්ට විශාල වෙහෙසක් දරන්නට සිදුවූ බවද රහසක් නොවේ. හමුදා නිල ඇඳුම යොදාගෙන විවිධ අපරාධ කිරීම එක් ප්‍රශ්නයකි. සටන් බිම මඟහැරීම, අමාරු සටන්වලදී ඉදිරියට නොයාම ආදී ප්‍රශ්න ද හමුදාවට තිබිණි. එකම හමුදා කණ්ඩායම තුළ පිරිසක් වීරෝධාර ලෙස සටන් කරද්දී තවත් පිරිසක් තමන් ආරක්ෂාවීමට යාමෙන් විරුවන් මෙන් සටන් කළ භටයන් ද අනතුරට ලක්කළ අවස්ථා ගැන සටන් බිමේ සිටි සෙබළුන්ගෙන් දැනගත හැකිය.

භාරදුන් සටන්වලදී අනවශ්‍ය ලෙස පසුබැසීම හා මඟ හැරීම වැනි සිදුවීම සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සිදුවූ බව ප්‍රසිද්ධ කාරණයකි. එවැනි උදවිය අත්අඩංගුවට ගෙන හමුදා අධිකරණයට ඉදිරිපත් කොට සිරගත කළ බව ද කියති. එයට එකල හමුදාවේ කීවේ ගල් පල්ලි යවනවා කියාය.

සැබෑ විරුෙවා් සහ ෙබාරු විරුෙවා්

ඒ කාලයේ හමුදාවේ ප්‍රචලිත වූ කියමනක් නම් 'ඉස්සරහට ගියොත් ජොනී පස්සට ආවොත් ෆොනි' යන්නයි. ‘ඉස්සරහට ගියොත් ජොනී’ කිවේ ජොනී බට්ටන්ට අහුවෙන එකටය. ‘පස්සට ආවොත් ෆොනී’ කීවේ සරත් ෆොන්සේකාට අහුවෙන එකටය. ජොනී බට්ටන් ගැන නොසිතා අභීත රණවිරුවන් ඉදිරියට ගියද තවත් පිරිසක් ඉදිරියට ගියේ පස්සෙහි එන ෆොනී අනතුරු වඩා බරපතළ නිසාය. යුද්ධයේ ඇත්ත කතාව ඒකය.

කෙසේ වෙතත් කුමන තත්ත්වයක් යටතේ වුවත් යුද්ධයට සම්බන්ධ වූ හා සටනේ සිටි හමුදා භටයන්ට රණවිරුවන්සේ සැලකීම යහපත් ක්‍රියාවකි. එය එසේ විය යුත්තේ තවත් විටෙක තවත් පිරිසක් රට වෙනුවෙන් ඉදිරියට පැමිණීම දිරි ගන්වන්නටය. එසේ නැතිව දේශපාලන වශයෙන් වාසි ලබන්නට නොවේ.

අනෙක් අතට තේරුම් ගත යුතු වන්නේ හමුදාවේ සිටි පමණින් හා බුද්ධි අංශවල සිටි පමණින් සියලු දෙනා විරුවන් නොවන බවයි. විශේෂයෙන්ම වෙනස් කරගත යුත්තේ හමුදාවේ නම හා නිල ඇඳුම භාවිත කරමින් අපරාධ ක්‍රියාවල යෙදුණු පිරිසයි. එම පිරිසට රණවිරුවන් කීම සැබෑ රණවිරුවන්ටද කරන නිගාවකි.

දැන් හෙළිදරව් වී ඇති තත්ත්වය නම් සැබෑ රණවිරුන් උතුරු නැගෙනහිර සටන්බිමේ දරුණු සටන්වල යෙදී සිටියදී හමුදා අංශවල තවත් පිරිසක් විවිධ අපචාරවල හා අපරාධවල යෙදී තිබීමයි. පුද්ගලයන්, පියවරුන් හා දරුවන් පැහැරගෙන කප්පම් ගත් කල්ලි පිළිබඳවද හෙළිදරව් වී ඇත. එමෙන්ම දේශපාලනඥයන්ගේ වුවමනා එපාකම් අනුව විවිධ අපරාධවල යෙදුණු කල්ලි ගැන ද හෙළිදරව් වී ඇත. ඇතැමුන් අපරාධ කළේ තමනගේ වුවමනාවටය. තවත් පිරිසක් කළේ දේශපාලනඥයන්ගේ හෝ බලවතුන්ගේ හෝ වුමනාවටය. දැන් අප තේරුම්ගත යුත්තේ මේ පිරිස රණවිරුවන්ගේ වර්ගයට අයත් නොවන බවය. මේ දෙවනුව කී පිරිස වැටෙන්නේ මිනීමරුවන්ගේ වර්ගයටය.

රටකට සැබැවින්ම හොඳින් ආරක්ෂාව සැලසිය හැකි වන්නේ එරට හමුදාව ඉතා හොඳින් විනයගත වූ විට බව ලෝකයේ පිළිගැනීමයි. හමුදාව විනය ගත නොවූ විට මහජන සහාය නොලැබීමෙන් අවසානයේ පරාජයට පත්විය හැකිය. ඒ නිසාම හමුදාවක විනය පවත්වාගෙන යාමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව පිළිගත් තත්ත්වයයි. හමුදා පොලිසි ක්‍රියාත්මක වන්නේ හා යුද්ධාධිකරණ ඇතිකර තිබෙන්නේ ද ඒ සඳහාය.

හමුදාවක විනය ඉතා වැදගත් වන්නේ ඔවුන් අත අවි තිබෙන නිසා මෙන්ම නිල ඇඳුමේ නැතහොත් නිල බලයේ ආරක්ෂාව ද තිබෙන නිසාය. එම නිසාම එබඳු පිරිසකගේ විනය පවත්වාගැනීම රටකට ඉතා වැදගත්ය. නැතහොත් සිදුවන්නේ භීෂණ තත්ත්වයක් ඇතිවීම විය හැකිය.

ප්‍රකට පොලිස් නිලධාරියකුව සිටි වාස් ගුණවර්ධන අපරාධ සිදුකළ බව ඔප්පු වී ඇත. ඔහුද යුද සමයේ සැලකිය යුතු කාර්යභාරයක් කළ අයෙකි. එසේ වුවද ඔහු කළ අපරාධවලට දඬුවම් ලබන්නට දැන් සිදු වී ඇත. ඒ සියල්ල කළේ රජයෙන් දුන් අවිවලින් හා නිලයෙන් තිබූ ආරක්ෂාව නිසාය. එම නිසාම මෙබඳු පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යය.

කීත් නොයාර් පැහැරගෙනගොස් පහරදීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන් මරා දැමීමට තැත්කිරීම, පෝද්දල ජයන්ත පැහැරගෙන පහරදීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ආදී අපරාධ සිදුකළ කල්ලි මේ රටේ හමුදාවට සබඳකම් තිබූ පමණක් ඔවුන් රණ විරුවන් වන්නේ නැත. මොවුන් නම් දේශපාලනඥයන් හා බලවතුන් විසින් මෙහෙයවන ලද මිනීමරු කණ්ඩායම් ය. ඔවුන් කළේ නීත්‍යානුකූල රාජකාරී නොවේ. එමෙන්ම යුද්ධයට අවශ්‍ය සේවා ද නොවේ. ඔවුන් කළේ යුද්ධය තුළින් හොද්ද බොරකරගත් පිරිසක් වෙනුවෙන් විවිධ අපරාධවල යෙදීමයි. දැන් එළියට ඇදෙන්නේ පසුගිය කාලයේ යටපත්ව තුබූ එම අපරාධවල සුල මුලයි. මේ අත්අඩංගුවට පත් වන්නේ ඒ අපරාධවල යෙදුණු පිරිසයි.

ඒකාබද්ධයේ බියට හේතුව

එක අතකට ඒකාබද්ධ විපක්ෂය බිය වී ඇත්තේ මේ එළියට එන කුණු කන්දල්වලට අපරාධවලට සැබෑ වගකිව යුත්තන් සිටින්නේ ඔවුන් අතර වීම නිසා විය හැකිය. මේ හෙළිදරව් වන්නේ ඔවුන්ගේ පාලන කාලයේ රාජ්‍ය බලය හා දේශපාලන බලය යොදා කළ අපරාධයි. රණවිරු ඝෝෂාව දාන්නේ ඒ අපරාධ එළියට එන එක වළකා ඒවා යට ගහන්න දරන උත්සාහයක් වශයෙනි.

මේ අත්අඩංගුවට පත්වන පිරිස ඇත්ත වශයෙන්ම කාගේ හෝ අතකොලු බවට පත් වූ පිරිසකි. ඇත්ත අපරාධකරුවන් සිටින්නේ තිරය පිටුපසය. ඔවුන් එළියට ගැනීමට හැකිවේ දැයි කිව නොහැකිය. එසේ කළ නොහැකි වුවහොත් එය ද අපරාධයකි. එසේ වුවද මෙලෙස අපරාධ කළ පිරිසටද දඬුවම් හිමිවිය යුතුය. එසේ කළ යුතු වන්නේ තවත් පාලකයකුට හෝ බලවතෙකුට හෝ මෙබඳු පිරිසක් ගොඩනඟා ගැනීමට තිබෙන ඉඩකඩ අහෝසි කරන්නටය. ඒකාබද්ධ විපක්ෂයේ උදවිය රණවිරුවන් දඩයම් කරනවා කියමින් ගිරිය පුප්පා කෑගසන්නේ මේ මිනීමරුවන් පිටුපස සිටි ගෝඩ් ෆාදර්ලා රැක ගන්නටය. ඔවුන්ගේ අපරාධ හෙළිවීම වළක්වන්නටය. දේශපාලන වශයෙන් තවත් නිරුවත්වීමෙන් හා බංකොළොත් වීමෙන් ගොඩ යන්නට උත්සාහයක් වශයෙනි. එසේ වුවද එම උත්සාහයෙන් සිදුවන්නේ මේ මිනීමරුවන්ගේ අප්පච්චිලා හා බාප්පොච්චිලා කවුදැයි රටට තව තවත් හෙළිදරව් වීමයි. මේ රටේ ජනතාවට මේ කතාන්දරය දැන් හොඳට තේරෙනවාය. රටේ ජනතාව ඉල්ලුවේ මේ අපරාධකරයෝ සොයා දඬුවම් කරන්නටය. යහපාලනය හදාගත්තේ ඒකටය. එම ජනයා ආපසු නොහැරෙනු ඇත.

-සී. ජේ. අමරතුංග_දිනමිණ

බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2017 09:07

වසර එකසිය පනහක් ජාතිය පෝෂණය කළ අපේ තේ දල්ල

ශ්‍රී ලාංකේය දේශයේ ඉතිහාසය විමසන විට ජාතියේ ගමන් මගට සුවිශේෂී වූ සේවාවන් සිදු කළ සංධිස්ථානයන් බොහෝ හමුවෙයි. මේ රටේ තේ දල්ලේ ඉතිහාසය විමසන විටද එය රටට, සමාජයට කළ බලපෑම් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එක් ඵෙතිහාසික සංධිස්ථානයක් සේ සැලකීම යුක්ති යුක්තයි. අපේ රටේ තේ ‍වගාවට වසර 150ක් සම්පූර්ණ කෙරෙයි. දශක පහළොවක් යනු ඕනෑම ක්ෂේත්‍රයක් විෂයෙහි දැවැන්ත කාල පරාසයකි. පරම්පරා ලෙස ගත හොත් ගණනාවකි.

336 x 200 Sinhala

Features

සැබෑ නිදහස

ජනවාරි 10 2021
Image

Stats

There are 29038 listings, 909 categories and 102 owners in our website