Features

පොතකුයි, පෑනකුයි අරගෙන මම බිම ඉඳගත්තා. හිතට එන හැම දෙයක්ම ලියැවෙන්න ඉඩ හැරියා. මම මටම සීමා දාගන්න ගියෙ නැහැ. ශරීර කූඩුව සිරකරලා තියනවා මදිවට හිතත් හිරකරලා දාන්න වුවමනාවක් මට තිබුණෙ නැහැ. එක දිගට මම ලියාගෙන ගියා. දවසක් ජේලර්වරයෙක් යකඩ කූරු අතරින් ඇස් දික්කරන් පොත දිහා බලාගෙන ඇහුවා ‘ ඒ ගමන උඹ කවි ලියන්න පටන් ගත්තද? ‘. කියලා.

මො.ල සෙනෙවිරත්න ‘ හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න‘ නම් සිය කාව්‍ය සංග්‍රහය ලියන්න පටන් ගත් විදිය ගැන කියන්නෙ ඒ විදිහයට. මෙසේ සිරගත කිරීමෙන් හෝ වධ බන්දනවලට ලක් කිරීමෙන් මැඩ පවත්වා නිහඬ කළ නොහැකි මිනිසුන් ද අතලොස්සක් හෝ ලොව සිටින බවට සාක්ෂි ඉතිහාසයෙන් සොයා ගත හැකි ය. තාප්පවලින් වටකළ අඳුරු සාපලත් හිරකුටියක සිය ජීවිතයේ හොඳ ම කාලය දිය කර හරින එබඳු දේශ පාලන සිරකරුවෝ, බොහෝ විට නිදොස් කොට නිදහස් කරනු ලබන්නේ, එසේ සිරගතව ගතකළ කාලයට වගකිවයුත්තෙක් පිළිබඳ සඳහනක් හෝ නොකරමිනි. වියට්නාම් විමුක්ති අරගලයේ ක්‍රියාකාරිකයකු වූ හෝචිමින් වියට්නාම් කවියෙකි. ඔහු කවියෙකුට එහා ගිය කවියෙකි. කවි ලිවීම පමණක් නොව, අඩු ම තරමින් වියට්නාමයේ නිදහස උදෙසාවත් බොහෝ දේ කිරීමට ඇති බව ඔහු විශ්වාස කළේ ය. මේ අරගලය නිසා ඔහු සිරගත කරන ලද අතර, ඔහුගේ සිරගත දිවිය බුද්ධිමය මැදිහත්වීමෙන් හා සැළකිලිමත්භාවයෙන්ද, වේදනාව හා කෘතඥභාවය ද, අරලගලය හා නිවැරැදි කර ගැනීම්වලින් ද පිරී පැවතුණු බව පසු කලක ඔහු හෙළි කළේ ය. ඔහු සිරගතව සිටිය දී ලියූ ”‍ප්‍රිසන්ස් ඩයරි ”‍නම් කෘතියේ ”‍ වසන්ත රාත්‍රිය”‍ නම් කවක අවසාන භාගය මෙසේ ය.

ඇතිරිළි රහිත
නිරාවරිත මේ රාත්‍රිය
ගල් ගැහුනු සිරුර
දරා ගත නොහැකිය පාදවලට..
එළියේ
හිමෙන් වැසුණු කෙසෙල් පත් මත
සඳ එළිය දිදුලයි
වලසෙක් හිම මත පැද්දෙයි...
මේ හිම පතනයට පසුව
යහපත් කාලගුණයක් එළඹේ
විශ්වයම මඩ ගසා බසා නැගිටින
මිටියාවතම මලින් ගැවසෙන..
හෙට යහපත් දිනක් එළඹේ
යුක්ති ගරුක භාවයේ චක්‍රය
නැවතීමක් නැතිව කැරකෙන..
සියලූ‍ ම සියොතුන් කූජන නගනු ඇත
සත් වග නැවත උපදින ලෝ දහම ලෙස
දුක කෙළවර සතුට ඉපදෙන. ..

මේ කවියෙන් පෙනෙන්නේ යහපත් හෙටක් පිළබඳ ඔවුන් කැපවුණු අරගලය පිළිබඳහෝචිමින් තුළ වූ අචල විශ්වාසයයි. මො. ල සෙනෙවිරත්නගේ කවි ද, හෝචි මිංගේ කවිවලට සමීපයැයි මට සිතුණේ වරක් දෙකක් නොවේ. මේ අර්ථයෙන් ගත් කළ කවියකුට එහා ගිය කවියෙකි. මෙබඳු මිනිසුන් සිරගත කරන්නේ ඇයි?

දෘශ්ටිමය වශයෙන් ද, භෞතික වශයෙන් ද සෝදාපාලූ‍වට ලක්ව බිඳ වැටීගිය සමාජයක, දිනෙන් දින පිරිහෙන ජන විඥානය අවදි කිරීමට තැත් කිරීම බොහෝ විට මේ සමාව දිය නොහැකි දේශපාලන වැරැද්ද වේ. වෙනත් විදිහකට කියනවානම්, මිනිස්සුන්ට ආදරය කිරීමයි. ඒ සඳහා භාවිත කරන අරගලයේ ක්‍රමවේදය කුමක් වුව ද, අවසාන අරමුණ යහපත් හෙට දිනක් ගැන ඇති අසීමිත බලාපොරොත්තුවයි.

මො. ල. සෙනෙවිරත්න ජනතාව ඉදිරියට එන්නේ, පත්තරකාරයකු ලෙස ය. පත්තරකාරයන් සේවය කරන පත්තර පිටුපස ඇති ප්‍රාග්ධනයට, හැම විටම ධනවත්, බලවත් දේශපාලකයකුගේ සෘජු සම්බන්ධයක් තිබේ. එනිසා, පත්තරවලට අනන්‍ය පක්ෂ දේශපානයක් තිබේ. එහෙත්, මීට පිටින් යමින් මො.ල සෙනෙවිරත්නලා එකළ ජනප්‍රිය මාධ්‍යයක් වූ විකල්ප ධාරාවේ ටැබ්ලොයිඩ් පත්තරවල වැඩ කළහ. එය සැක නැතිවම අභියෝගාත්මක වෘත්තියක් විය. මේ ප්‍රගතිශීලී පත්තර රස්සාවෙන් ලැබුණු සමාජ දැක්ම, ඔහු ගේ කවි පිටුපස දැවැන්ත හෙවනැල්ලක් සේ ඇති බව පෙනේ.

බොහෝ විට සිරගත දිවිය ගැන ඇතුළේ දී හෝ එළියට ඇවිත් ලියන ලේඛන තුළ, පොදු ලක්ෂණයක් තිබේ. බොහොමයක් තමා යෙදී සිටි දේශපාලනය පිළිබඳ කරන පාපොච්ඡාරණ වේ. එහෙත්, මො. ල සෙනෙවිරත්නගේ මේ කවි තුළ පාපොච්ඡාරණයක ඡායාවකුදු නැත. එපමණක් නොව, ඉදිරියටත් ඔහුගේ ඒ වෙනුවෙන් ඇති කැපවීම පිළිබඳ සහතිකයක් ද මේ කවි පිටු අතර අමුණා ඇති සේ ය. මෙයට හේතුව වන්නේ, ඔහු නියෝජනය කළ දේශපාලන කළාපය පිළිබඳ ඔහුගේ දෘෂ්ටියේ නිරවද්‍යතාව පිළිබඳ ඔහුගේ නොසැළෙන විශ්වාසයයි.

මේ කෘතියේ එන සියලු ම කවි එක ම ධාරණාවක් කරා යොමුවේ. ඒ ඔහුගේ අතීත ක්‍රියාකාරකම් මඟින් ගොඩනගන ලද, ඔහු ජීවත්වන වර්තමානය පිළිබඳ ඇති අභියෝගයයි. ඒ, වර්තමානයේ ජීවත් වන ඔහු ඇතුළු ඔහු නියෝජනය කරන සමාජ පංතියේ ඇති වේදනාවයි. ඔහු මේ කවි සඳහා ප්‍රස්තුත කර ගන්නේ, . මො. ල සෙනෙවිරත්න නියෝජනය කරන මේ සමාජ පංතිය කුමක්ද? පහුගිය දසක කීපය තුළ පහර දී වට්ටනු ලැබූ සහ පරාජයට ලක් කළ සමාජ ජීවිතයේ දී සමාන ප්‍රශ්නවලට මුහුණ දෙන, සාපේක්ෂව එක ම ඉරණමකට මූණ දෙන මිනිස් ප්‍රජාවකටයි.

මේ ඔහුගේ ‘ මල් එක පැහැති‘ නම් කවියේ උපුටා ගත් කොටස් කීපයකි.

සුළඟ හා කැටිව
ඇවිද යන විට
එරබදු ගසක් පාමුල
මලක් මියගොස් තිබිණි

මොහොතකට
ළංව බැලීමි
විසුළ පෙති මත
වෙඩි සලකුණක් විය. ..........

තවත් දිනක
දකුණේ සිට උතුරට
ඇවිද යන විට
සුළඟ සමඟින්
මියැදුන
මැයි මලක්
හමුවුණි
හිස අහිමි තල් ගසක් පාමුල .............
මේ මල්
වෙන වෙනම පිපුණාට
නෙක ජාති ගස් සිරස
එක ම රතු පාට ය
එක ම බිමකට බර දරන

මේ ඔහු නියෝජනය කරන සටන් තීරුවයි. එක ම රටක උතුරු, දකුණු පළාත්වල එක ම ඉරණමකට ගොදුරු වුණත්, මේ මිනිස් ප්‍රජාව තම ගැටලුව හඳුනාගෙන නොමැත. එනිසා ම, තමන්ට තමන්වත් අහිමි වී ඇති බව නොදන්නා මොවුහු, අනෙකාගේ විනාශය ප්‍රාර්ථනා කරති. මේ සමාජයට ‘කවි‘ වැදගත්කමක් ගෙන නොඑන බව ඔහු නොදන්නවා නොවේ. එහෙත්, හඬකට ඉඩ නොදෙන හිරකුටියක් තුළ, දේශපාලනය කළ හැකි එක ම ආකාරය කොළ කෑලිවල සිතුවිලි ලියා තැබීමයි. කවියා මේ නිර්මාණ හරහා මතු කරන උත්ප්‍රාසය දෙස බලන්න. මේ, 'පුණරුත්ථාපනය වීම' නම් කවියේ උපුටාගත් කොටස් කීපයකි.

‘රජතුමනි !
ත්‍රස්තවාදී
මම
පුනරුත්ථාපනය වීමි

නොබලමි
අනුන් දෙස
උන්ගේ දිවි ගැන

නොඅසමි කෙනෙකුගේ දුක
ඉකිබිඳින හඬකට හෝ
නොතබාම ඉඩ
සවන් වසමි ......

මහ රජ
මම ඔබ පැතූ
මිනිසා වෙමි

පුනරුත්ථාපනය කිරීමෙන් ඉල්ලා සිටින්නේ, මෙබඳු දීන මිනිසෙකි. එහෙත්, පුනරුත්ථාපනය නොවී දිගටම සිය ස්ථාවරය දැරීමට, විශාල අධිෂ්ඨානයක් වුවමනා ය. එනම්, තව දුරටත් සියල්ලම අහිමි වූ පසුත්, මිනිසුන්ට ආදරය කිරීමට අප්‍රමාණ ශක්තියක් අවශ්‍ය කෙරේ. එහෙත්, වීරත්වය යනු පාවාදීමට එරෙහිව නැ‍ඟීසිටීම බව කවියාට නිරවුල් සත්‍යයකි.

ජුදාස්
දෙවියන්ගෙ මිත්‍රයා
පාවානොදෙන්න
පනම් තිහකට
ක්‍රිස්තු
මිය යන්නට තිබුණා
සදහටම

ජේසුස් ක්‍රිස්තු නොමියෙන මිනිසකු වන්නේ, ජුදාස්ගේ පාවාදීම තුළ බව මො. ල සෙනෙවිරත්න පවසන්නේ එහෙයිනි. එහෙයින් ම, වීරත්වය යනු ඓතිහාසික සංසිද්ධියකි. එය සමාජය විසින් සමාජය තුළ ඇතිවන ඒකාධිපතිත්වයට, පාදඩකමට, මනුෂ්‍යත්වයට, ජාතිවාදයට, වර්ගවාදයට, ගෝත්‍රවාදයට එරෙහිව මතුවන්නකි. මො. ල සෙනෙවිරත්න මෙසේ ලියයි.

මේ යුගයේ
කැරලිකරුවකු නම්
ඔහු
සිටිනු ඇත්තේ සිරගෙයකය
නැතිනම් මළවුන් අතරය
‘ වඩා ම වැදගත් දෙය ජීවිතය අත නොහැරීමයි. මො. ල සෙනෙවිරත්න සිරගෙය දකින්නේ මෙසේ ය.
‘ජීවිතය ගැන සිහින දකින්න
කදිමය
සිරගෙය
අලුත් වන මිනිසකුට'

මේ කවි සම්මත විචාර දඬු මඟින් විචාරයට ලක් කිරීම පිටි, සීනි වැනි ද්‍රව්‍යය ලීටර්වලින් මැනීම වැනි කටයුත්තකි. එම නිසා, මේ කවි සනීප අලංකාරිකයන්ගේ නිර්මාණ අච්චුවේ දමා බැලීම නිශ්ඵල කටයුත්තකි. ශ්‍රී ලාංකේය කවි අතරට වෙනස්ම හැඩයක, වෙනස් ම පාටක කවි කීපයක් එකතු කළ මො. ල සෙනෙවිරත්නට සුබ පැතුම් එකතු කරමින්, මේ සටහන නිමා කරමි.

-ජයන්ත කහටපිටිය_දිනමිණ

අපි අද ශ්‍රීලංකාවේ දියුණුව සම්බන්ධව කොතෙකුත් විවේචන එල්ල කලත් එදා සිට මේ රට දක්වා දේශීය හා විදේශීය ණය ලබාගෙන කොච්චර දියුණු කර ඇද්ද යන වග මෙම වීඩීයෝව නැරඹීමෙන් අවබෝධ කර ගත හැකිය.

අද ලෝකයේ නෙදියුනු අප්‍රිකානු රටවල් පවා එදා අපි සිටී තත්ත්වයට වඩා අද දියුණු ය. රටක් දියුණු කිරීමට අනිවාර්යයෙන්ම විදේශ ආයෝජන විදේශ ණය අත්‍යවශ්‍යයි.

එහෙත් පසුගිය වසර දෙක තුල ශ්‍රීලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය දල ජාතික වාර්ෂික නිෂ්පාදනට වඩා එනම් 70% සිට 82% දක්වා සීයයට 13% කින් වැඩි වී ඇත.

එහෙත් රටේ ජනතාවට දැනෙන පෙනෙන මහා පරිමාණයේ කිසිම සංවර්ධනයක් සිදු වී නැත.

වීඩියෝව පහතින්.

_ලංකාසීනිවුස්

දකුණු ඉන්දීය සිනමාවෙන් බිහිවන සුපිරි සිනමා අත්දැකීම Baahubali 2 හි පූර්ව ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට නිකුත්වූවා.

සුපිරි නළු නිලියන් රැසකගේ රංගනයෙන් හැඩවන මෙම නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය මිලියන විසිහයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට නරඹා තිබීම විශේෂතාවක්.

Bahubali 2: The Conclusion නමින් අප්‍රේල් 28 වැනිදා ලොවපුරා තිරගත කිරීමට නියමිතයි.

ඉන්දීය සිනමාවේ මෙතෙක් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලස්තුවේ තුන්වන තැන හිමි බහුබාලී (Baahubali: The Beginning) තෙළිගු සිනමාපටය එස්.එස්. රාජ්මෝලිගේ සිනමා නිර්මාණයක්.

_මිරර්ආර්ට්ස්

කරුණා හෙවත් විනයාගමූර්ති මුරලිදරන් නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අණදෙන ප්‍රධානියා බවට පත්වෙත්දී ඔහුට යන්තම් වයස අවුරුදු 20 සපිරුණා පමණි. කුඩා වයසේදීම සටනට නායකත්වය දිය හැකි ලක්ෂණ පෙන්වූ නිසාවෙන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහතැන වූ ප්‍රභාකරන්ගේ විශ්වාසය දිනාගැනීම නිසා මෙකී බාරදූර වගකීම අඩු වයසේදීම ඔහුට ලැබුණි. ඒ ලැබුණේ එක්තරා අහඹු සිදුවීමක් නිසාවෙන් බව පසුගිය සතියේ ලියවුණි. එහෙත් තමන්ගේ නායකයාගේ අණ අනුව යමින් එකී අහඹු සිදුවීම සූක්ෂම අයුරින් නැවත නොවරදින ආකාරයට වෙනස් කරගන්නට කොටි සාමාජිකයින් 11 දෙනෙකු බිලිදුන් කතාවද ගත වූ සතියේ ලියවුණි…

ඒ කාලේ නැගෙනහිර පළාතේ වැඩිපුරම හිටියේ එස්.ටී.එෆ්. එක. අපි උතුරේදී හමුදාව නිතර දැක්කාට නැගෙනහිර ඒක වෙනස් වුණා. මේ කාලේ උතුරේ හමුදාවට අණ දුන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව එක්ක විජය විමලරත්න. අපි අහලා තිබුණා හමුදාවේ කොල්ලෝ ඒ දෙන්නාට ගොඩාක් ගරු කරනවා, ඒ නිසා එයාලා එක්ක ප්‍රහාරයකට ආවොත් කොහොම හරි ගහනවා කියලා. අනිත් පැත්තට ඩෙන්සිල් කොබ්බෑකඩුව කළ ප්‍රහාර සියල්ලම වගේ සාර්ථක වෙලා තිබුණා.

වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වුණේ මේ කාලේ. ඒ නිසා මට ආයෙත් උතුරට යන්න වුණා. මුලින්ම කළුකොටි සංවිධානය හැදුවේ මම උතුරට ගිය දවස්වල. මට මතක හැටියට මිල්ලර් කියන කෙනා තමයි කළුකොටි සංවිධානය හදලා ඒකෙන් කළ පළවෙනි ප්‍රහාරය එල්ල කළේ. මුලින්ම ගැහුවේ නෙල්ලිඅඩි හමුදා කඳවුරට. නෙල්ලිඅඩි පාසලේ තමයි කඳවුර තිබුණේ. අන්තිමට හමුදාව පලාලි කඳවුරටම පසුබැස්සා…

වඩමාරච්චි මෙහෙයුම මෙරට ඉතාම තීරණාත්මක මෙහෙයුමක් විය. මෙහෙයුම ක්‍රියාත්මක වන අතරවාරයේදීම ඉන්දියාවද මෙරටට අත දැමීම හේතුවෙන් කාරණා තවත් දුරදිග යන්නට විය.

සෙන්පති ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මෙහෙයවීමෙන් 7000 ක භට පිරිසක්‌ වඩමාරච්චි මෙහෙයුම දියත් කරනු ලැබීය. අවසානයේ එක්තරා මොහොතක මෙහෙයුමේ මැද ප්‍රභාකරන් සෙබළුන් කිහිපපොළක්ද සමඟ කොටු විය. ප්‍රභාකරන් කොටුවී සිටියදී වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නැයි අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව කියා සිටියේය. මේ පසුබිම මැද 1987 ජුනි 03 දා උතුරේ ජනතාවට මානුෂික ආධාරයැයි කියමින් රතුකුරුස ධජය සහිත බෝට්‌ටු රැසකට යාපන අර්ධද්වීපය අසල මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට ඉඩ දුන්නේ නැත.

මේ නිසා ඉන්දීය රජය කෝපයට පත්විය. 1987 ජුනි 4 දා එනම් සහනාධාර රැගත් බෝට්‌ටු හරවා දිනක් ඇතුළත ඉන්දීය විදේශ කටයුතු ඇමැති නත්වාර් සිං ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයා කැඳවා අනතුරැ අඟවමින් කියා සිටියේ “අපි යාපනයට ගුවනින් සහනාධාර දමනවා. එම සහනාධාර රැගත් යානාවලට වෙඩි තැබීමට නුඹලා ක්‍රියා කළහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවෙයි* යනුවෙනි. මෙම තර්ජනයෙන් විනාඩි කීපයකට පසු ඇන්ටනොව් 32 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා පහක්‌ මිරාජ් ප්‍රහාරක යානා හතරක රැකවරණ මැද බැංගලෝරයේ සිට යාපනයට එවනු ලැබීය. ඉන්දීය යානා පැය දෙකකට පසු ටොන් 25 ක ආහාර ද්‍රව්‍ය පැරෂුට්‌ මගින් යාපනයට හෙළීමට ක්‍රියා කළේය. යාපනයට ගුවනින් ආහාර දැමීමේ මෙහෙයුම ඉන්දියාව දියත් කළේ පුමලෙයි මෙහෙයුම නමිනි.

මේ කාලේ ලංකාවේ දකුණේ ජේ.වී.පී. එක මිනිස්සු මරන්න පටන් ගත්තා. පොලීසිවලට ගහලා, බස් ගිනි තියලා, කඩවල් වහලා ගොඩාක් ප්‍රශ්න කළා. අන්තිමට ජේ.ආර්.ට උතුරේයි දකුණේයි දෙකේම ප්‍රශ්න විසඳන්න වුණා. අන්තිමට එයා කළේ ඉන්දියාවත් එක්ක ගිවිසුමක් ගහලා ඉන්දියාවට උතුරු දීලා හමුදාවට කිව්වා ගිහින් දකුණ බලාගන්න කියලා…

ඉන්දීය අගමැති ගාන්ධි ජූලි 29 දා මෙරටට පැමිණ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබීය. මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉන්දීය “රෝ” බුද්ධි සේවාවේ එවකට ප්‍රධානියා වූ වර්මා කොළඹට පැමිණ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හමුවී සාකච්ඡා කළේය. ගිවිසුම අත්සන් කර පැය 24 ක්‌ ගතවීමටත් මත්තෙන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් භට පිරිස්‌ ඇන්ටනොව් යානා මගින් පලාලි ගුවන්තොටුපොළට පැමිණියහ. ඉන්දීය හමුදා පලාලි වෙත එනතුරු කඳවුරේ අණදෙන නිලධාරියා ඒ බව දැන සිටියේ නැතැයිද කියවේ. එකල පැවති එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ මෙරට ත්‍රිවිධ හමුදාව පත්වූයේ අතිශය අසරණ තත්ත්වයකටය. එක් පසෙකින් කොටි සංවිධානය තමන් නෝංජල් කරන අතර අනෙක් පසින් ඉන්දීය හමුදාවද මෙරට ත්‍රිවිධ හමුදාව බල්ලන්ට දමා තිබුණි.

මේ තත්ත්වය මැද අගෝස්‌තු 2 දා යාපනයට පැමිණි ඉන්දීය හෙළිකොප්ටර් යානාවක්‌ ප්‍රභාකරන්ව රැගෙන ඉන්දියාවට ගියේය. එහිදී ප්‍රභාකරන් ඉන්දියාව බලා යන්නේ එතරම් කැමැත්තකින් නොවන අතර ඉන්දියාව බලා නොගියේ නම් ශ්‍රී ලංකා හමුදාව තමන් අල්ලාගන්නා බවට (හෝ ඉන්දීය හමුදා තමන්ව ඔවුනට බාරදෙන බවට) ප්‍රභාකරන් හට ප්‍රත්‍යක්ෂ විය. ඉන්දියාව පැවසූ පරිදි ඉන්දු ලංකා ගිවිසුමට ප්‍රභාකරන්ගේ අනුමැතිය ලබාගැනීම එම ගමනේ අරමුණයි. ඉන්දියාවේ අශෝක් හෝටලයේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රඳවා සිටි ප්‍රභාකරන් අගෝස්‌තු 4 වැනිදා ආපසු යාපනයට පැමිණියේය. ඔහු නවදිල්ලියේ දී රජිව් ගාන්ධි සමඟ රහස්‌ සාකච්ඡා පවත්වා තිබිණි.

අපිට කිව්වා කොටි සංවිධානය සතු සියලුම ආයුධ ඉක්මනින්ම ඉන්දීය හමුදාවන්ට බාරදෙන්න කියලා. අපේ ළඟ තිබුණ පරණ AK47, G3 රයිෆල්, මෝටාර් වෙඩි, රොකට් විදින වගේ පාවිච්චි කරන්න බැරි ඔක්කොම අරගෙන ගිහින් යාපනේ ගුවන් හමුදා කඳවුරක ගොඩ ගැහුවා. ඒත් අපි ඔක්කොම අවි බාරදෙන බව පෙන්නන්න යාපනෙයි, නැගෙනහිරයි හිටිය ඔක්කොම කොටි නායකයෝ ළඟ තිබුණ රිවෝල්වර පවා එකතු කළා. එකතු කරපු එකක්වත් බාරදුන්නේ නෑ. ප්‍රභාකරන් කිව්වා අපි වටේටම සතුරෝ ඉද්දි ආයුධ බාරදීලා මැරෙනවාට වඩා ආයුධ එක්ක සටන් කරලා මැරෙන එක හොඳයි කියලා.

මේ අතර අගෝස්‌තු 5 වැනිදා දහවල් යාපනයේදී කොටින් අවි බාරදීමේ උත්සවය පැවැත්විණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එවකට ආරක්‍ෂක ලේකම් වූ සේපාල ආටිගල ඉන්දීය සාමහමුදාව නියෝජනය කරමින් ජනරාල් හරිකිරාත් සිං ද න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් හා යෝගි ද එකී උත්සවයට පැමිණ සිටියහ. එහෙත් ප්‍රභාකරන් පැමිණියේ නැත. මෙම අවි බාරදීමේ උත්සවයේදී කොටි බාර දුන්නේ අබලන් වූ අවි යැයි ඉන්දීය සාමහමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියා වූ කර්නල් කිරාන් පසුව හෙළි කළේය. මුලින් කී පරිදි මේ වනවිට 48000 ක ඉන්දියානු භට පිරිසක්‌ මෙරටට පැමිණ සිටියේය.

ප්‍රභාකරන් ඉන්දියාවට ගොස් අත්සන් කර පැමිණි සාම ගිවිසුම අනුව කොටි සංවිධානය කිසිදු යුධ ක්‍රියාමාර්ගයක් නොගත යුතුව තිබුණි. එහෙත් කොටි ත්‍රස්‌තවාදීන් මේ ගිවිසුම බිඳ දමමින් චීන වරාය ප්‍රදේශයේ සිංහල හා මුස්‌ලිම් ජනතාවට පහරදුන් අතර චීන වරාය පොලිස්‌ ස්‌ථානාධිපතිද කොටි පහර කෑමට ලක්‌විය. ඉන්දීය සාම හමුදාව නිහඬව සිටියදී චීන වරාය පන්සලේ නාහිමියන්වද ඝාතනය කිරීමට කොටි ක්‍රියා කළහ. මේ පසුබිම මැද ප්‍රභාකරන් කෙරේ තිබූ විශ්වාසය බිඳ වැටී ඇතැයි වාර්තා විය. මේ නිසා රජිව් ගාන්ධි එවකට කොළඹ සිටි ඉන්දීය මහ කොමසාරිස්‌ ජේ.එන්. ඩික්‌සිත් කැඳවා “ප්‍රභාකරන් ගැන මට විශ්වාසයක්‌ නැහැ.

ඔහුට වෙඩි තබන ලෙස අණදෙන නිලධාරියාට කියන්න” රහසිගත නියෝගයක්‌ දුන්නේය. ඩික්‌සිත්ද රාත්‍රියේම ඉන්දීය සාම හමුදා ප්‍රධානියා වූ මේජර් ජනරාල් කිරාත් සිං අමතා ප්‍රභාකරන්ට වෙඩි තියන්නැයි රජිව් ගාන්ධි නියෝග කළ බව කීවේය. “ඉන්දීය හමුදාව පසුපසින් වෙඩි තියන්නේ නැහැ. මට ගාන්ධිගේ නියෝගය ක්‍රියාත්මක කරන්න බැහැ යැයි කිරාත් සිං ඔහුට ප්‍රතිඋත්තර දුන් බව අතීතයේ ලියැවී තිබේ. විශ්‍රාම යෑමෙන් පසු හරිකිරාන් සිං රජිව්ගේ මේ නියෝගය හෙළි කළේය.

හැබැයි ඉතින් එදා හරිකිරාත් සිං ප්‍රභාකරන්ට වෙඩි තැබුවා නම් සමහරට විට රජිව් අදටත් පණ පිටින් ඉන්න තිබුණා… මේ අතර ප්‍රභාකරන්ව මරා දැමීම ප්‍රතික්‍ෂේප කළ මේජර් ජනරාල් හරිකිරාත් සිං විශ්‍රාම යෑමෙන් පසු මෙතෙක්‌ හෙළි නොකළ සිද්ධියක්‌ අනාවරණය කළේය. ඒ ප්‍රභාකරන් හා රජිව් ගාන්ධි අතර නවදිල්ලියේදී සාකච්ඡා පැවැත්වෙන අවස්‌ථාවේ කිරාත් සිං ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ යාපනයේ තෙල්ලාලි ගම්මානයේ සිට ඇත.

හදිසියේම මතුවූ කොටි සාමාජිකයින් සිය ගණනක් ආයුධද සහිතව ඔහුගේ රථය වට කර ගෙන තිබේ. ඔවුන් කෑගසමින් අපි අවි බිම තබන්නේ නැහැ. අපේ නායකයා ඕනෑ කියා සිටියෝය. තවත් මොහොතකින් ඔවුන් අතින් ඉන්දීය හමුදාවේ සුවිශේෂී ජෙනරාල්වරයෙකු ඝාතනය වීමට නියමිතව තිබියදී සති 2 ක්‌ තුළ ප්‍රභාකරන් යාපනයට එන බවට ප්‍රතිඥවක්‌ දුන් මේජර් ජනරාල් හරිකිරාත් සිං කොටින්ගෙන් ගැලවී ඇත.

උපුටා ගැනීම දේශය පුවත්පත.

ශිරානි මාලිකා ජයසූරිය පිළිබඳව පසුගිය දා කතාබහට ලක්වූයේ ලංකාවේ ඉපදී අධ්‍යාපනය ලබා වෛද්‍යවරියක වී ඇමෙරිකාවට ගොස් ඇයට භාරවුණ රෝහල මධ්‍යම අත්ලාන්තික් ප්‍රාන්තයේ අංක එකේ රෝහල බවට පත්කරන්නට සමත් වූ පුවතත් සමගයි.

එමෙන්ම එම රෝහල ඇමෙරිකාවේ ජනාධිපති කවයට අයත් රෝහල් පහ අතරින් එකක් බවටද පත්වුණා.

ඇගේ සැමියා ඉංජිනේරුවකු වූ අර්ල් පෙරේරා වන අතර එකම පුතා රවිඳු පෙරේරා ගුවන්යානා පියාසර නිලධාරියෙකි. වෛද්‍ය මාලිකා ජයසූරිය ලියූ ‘සුදු අයියා’ නවකතාව අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිර්දේශ කළ පාසල් කියැවීම් ‍පොතක් ද වනවා.

ස්වේච්ඡාවෙන් සේවය කළ පළමුවැනි වෛද්‍යවරිය වන්නේ ද ඇයයි.

ඇය සිය ජීවිතය ගොඩ නැගුණු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පළ වන පුවත්පතකට අදහස් දක්වා ඇති අතර එහිදී පළ කළ අදහස් පහතින් දැක්වෙනවා.

“මගෙ ගම බණ්ඩාරවෙල. මම ඉගෙන ගත්තේ මුලින්ම බණ්ඩාරවෙල විශාඛා විද්‍යාලයේ. ඊට පස්සේ දේවි බාලිකා විද්‍යාලයේ. පේරාදෙණිය විශ්වවිද්‍යා‍ලේ වෛද්‍ය පීඨයෙන් තමයි වෛද්‍ය උපාධිය ලබන්නේ. ගාල්ල කරාපිටිය රෝහලෙන් සීමාවාසික පුහුණුව සම්පූර්ණ කරලා මහනුවර මහ රෝහලෙත්, කොළඹ ජාතික රෝහලෙත් වැඩ කළා. ඔය අතරේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ පුහුණුවීම පටන් ගත්තා. ඒ කා‍ලේ තමයි මං මුලින්ම ඇමෙරිකාවට යන්නේ.

ඇමෙරිකාවේ විවිධ රෝහල් අතරේ කායික පුනරුත්ථාපනය සඳහා හෙල්ත් සවුත් කෝපරේෂන් එකේ කරන රෝහල් ජාලයක් තියෙනවා. ඒ රෝහල් ජාලයට රෝහල් 140ක් අයිතියි.ඇමෙරිකාවේ ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 10 ගානේ අහුවෙන්න පළාත් පහක රෝහල් 28 ගානේ මේ රෝහල් 140 පිහිටුවලා තියෙනවා.

මේ රටේ අය විවිධ රෝගාබාධයන්ට රෝහල්ගතවෙලා සුවය ලැබුවත් සම්පූර්ණම සුවය ලබන තුරු ගෙවල්වලට අරන් යන්නේ නෑ. රෝහලින් පිටවන රෝගීන් ඉන්පසුව එන්නේ කායික පුනරුත්ථාපන රෝහල්වලට. එහිදී ඔවුන් හොඳින් බලා කියාගෙන සම්බාහනවලින් තවදුරටත් ප්‍රතිකාර ලබාදීලා රෝගියා සම්පූර්ණයෙන් සුව කරලා කායික නිරෝගීතාවයෙන් මෙන්ම මානසික සතුටෙනුත් යුතුව ගෙදර යවන එක තමයි මේ රෝහල්වල වගකීම.

2013 වසරෙදි මම ලාස් වේගාස් පුනරුත්ථාපන රෝහ‍ලේ වැඩ කළා. ඒ රෝහලට මම යනකොට රෝහ‍ලේ තත්ත්වය පහළටම වැටිලා තිබ්බේ. හැම දෙයක්ම නරක පැත්තට තිබුණේ. එතකොට පාලන අධිකාරිය වැඩ කරන්නේ නෑ. රෝගීන් එන්නෙ නෑ. ඉන්න රෝගීනුත් ගෙවල්වලට යවනවා සුවපත් වෙන්නේ නැති නිසා. ඔහොම වෙනකොට ඒ පළාතේ තියෙන අනෙක් රෝහල්වලටත් ඒ ලෙඩේ බෝවෙනවා.

මම ඊට පස්සේ 2014 ලංකාවට ආවා. අවුරුද්දක් ලංකාවේ හිටියා. ඒ ආවේ දිගටම ලංකාවේ ඉන්න හිතාගෙන. මම කලින් අවුරුදුවල වරින් වර ලංකාවට ආවා. ගොඩක් සමාජ සත්කාරක වැඩ කළා. ස්වේච්ඡා වෛද්‍යවරියක් ලෙස හමුදාවට වැඩ කළා. මම තමයි ස්වේච්ඡාවෙන් යුද්ධය තියෙන පැත්තේ වැඩ කරපු පළමුවැනි වෛද්‍යවරිය.

ඒත් මම, මගේ සේවය අත්දැකීම් ලංකාවට දෙනවට සමහරු කැමැති වුණේ නෑ. ඔය අතරේ ලංකාවේ ඉන්නකොට මට හෙල්ත් සවුත් එකෙන් කතා කළා රොක්හිල් රෝහල භාරගන්න කියලා. ඒ වෙනකොට රොක්හිල් රෝහල් පහතටම වැටිලා තිබුණේ. ගණන් බැලුවා නම් රෝහල් 140න් 139 වැනියට වගේ ඉඳලා තියෙන්නේ. එහෙම වුණාම මුළු ප්‍රදේශයේම රෝහල්වලට ඒ නරක තත්ත්වේ බලපානවා. මම යන්නෙ නැතුව ඉඳලා 2015 දෙසැම්බර් 01දා ආයෙත් ඇමෙරිකාවට ආවා. ඒ ඇවිත් මධ්‍යම අත්ලාන්තික් ප්‍රාන්තයේ රොක්හිල් පුනරුත්ථාපන රෝහ‍ලේ වෛද්‍ය අධ්‍යක්ෂ විදිහට වැඩ භාරගත්තා.

එතකොට ඒක තිබ්බෙත් ලාස් වේගාස් රෝහල වගේ නරක අතට. එහෙම වුණාම ලෙඩ්ඩු දෙන්නේ නෑ. මෙහේ ඉස්පිරිතාලවල වෛද්‍යවරු කැමැති වෙන්න ඕනෑ රෝහල්වලට එවන්න. රෝහලට නමක් තියෙනවා නම් ඕනෑ තරම් ලෙඩ්ඩු එනවා.රොක්හිල් රෝහ‍ලේ ඇඳන් 60ක් තියෙනවා. මම යනකොට රෝගීන් හිටියේ 29ක් තිහක් වගේ. ඒ ඉන්න අය සුවපත් වෙන්නෙත් නෑ, ඉක්මනට ගෙදර යවන්න.

මට ගොඩක් මහන්සි වෙන්න වුණා. මම රෝහ‍ලේ ඉහළ ඉන්න කෙනාගේ ඉඳලා පහළම ඉන්න කෙනාට යනකල් අවබෝධ කරලා දුන්නා සේවයේ වටිනාකම. ඒ අයව එකට බැඳීමකින් බැඳලා තියන්න උත්සාහ ගත්තා.මම කියලා දුන්නා හැමදෙනාම සතුටෙන් සිටියොත් තමයි හැම දෙයක්ම ඵලදායී වෙන්නේ කියලා. මම රෝහ‍ලේ ඒ ඒ දෙපාර්තමේන්තුවලට කතා කළා. ඔවුන්ගේ ආතතිය නැති කළා. පරතරය නැති කළා. ඔවුන්ගේ සිත් සතුටු කරලා සියල්ල ඵලදායී තත්ත්වයට ගෙනාවා.

මම ගොඩක් වෙලාවට අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවන්ගේ බණ අහනවා. ඒ පිළිවෙත් මම මෙහේ අයට උගන්වනවා. අපිට ජීවිතයේ වැදගත්ම මොහොත මේ මොහොත. වැදගත්ම පුද්ගලයා වන්නේ මේ මොහොතේ මා සමග ඉන්න කෙනා. වැදගත්ම දේ මොකක්ද කිව්වොත් තමන් එක්ක ඉන්න කෙනාට දක්වන සැලකිල්ල. ඒවත් එක්ක මං කාර්ය මණ්ඩලයට කියන්නේ ගෙදර යනකොට මේ සියල්ල අමතක කරන්න. තමන්ගේ පෞද්ගලික ජීවිතේ ගත කරන්න. ලෙඩා එක්ක ඉන්කොට ඒ මොහොත වැදගත් කරගන්න කියලා.

ඒ අතරේ මම ලෙඩ්ඩු රෝහලට ගත්තා. එයාලට හොඳට සැලකුවා. ඉක්මනින් සුවපත් කරලා ගෙදර යවන්න පුළුවන් වුණා. එතකොට ලෙඩාට ආණ්ඩුවෙන් ගෙවන ගාණ විධිමත් පාලනයකින් වියදම් කරලා රජයට මුදල් ඉතුරුත් කරලා දුන්නා. ඒකෙන් ලෙඩත් හොඳ වෙනවා. මුදලුත් ඉතුරු වෙනවා. රෝහල හැමෝටම ප්‍රසන්න තැනක් කළාම කවුරුත් වැඩ කරන්න කැමැතියි. ඒ නායකත්වය යටතේ. මම රොක්හිල් රෝහල උඩට අරන් ආවේ ඒ විදිහට.

අවුරුද්දකට වතාවක් මේ රෝහල්වල ප්‍රමිතිය බලනවා. ඒ ප්‍රමිතිය බලන එකට කිසි කෙනකුට බලපෑම් කරන්න බෑ. වෙනමම සමාගම්වලින් කෙරෙන්නේ. මේ වසරේ මධ්‍යම අත්ලාන්තික් ප්‍රාන්තයේ හොඳම තත්ත්වයෙන් උසස් රෝහල රොක්හිල් පුනරුත්ථාපන රෝහල ලෙසටත්, හොඳම වෛද්‍ය අධ්‍යක්ෂ ලෙසට මමත් අංක එකට තේරෙන්නේ. ඒ අතරේ ඇමෙරිකාවේ ජනාධිපති කවයට තේරුණ රෝහල් පහ අතරේ මේ රෝහලත් එකක්.

මට ඉතින් ආඩම්බරයි. උත්සාහය, ආත්ම විශ්වාසය තියෙනවා නම් ලෝකේ කොතැනක ඉඳලා හරි අපිට දිනන්න පුළුවන්.”

Shiranee_Malika_Jayasooriya_doctor-2.jpg

Shiranee_Malika_Jayasooriya_doctor-3.jpg

Shiranee_Malika_Jayasooriya_doctor-4.jpg

බරපතළ ගණයේ අපරාධකරුවන් බන්ධනාගාරවල සිට අධිකරණ වෙත රැගෙන යෑමේදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ පුහුණුව ලත් බන්ධනාගාර ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. පසුගියදා පොලිස්පතිවරයා හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පැවැත්වූ සාකච්ඡාවකින් පසු බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම ඒකකය පිහිටුවීමට අදහස් කර ඇත. මේ සඳහා දැනට දිවයින පුරා බන්ධනාගාරවල රාජකාරි කරන සුදුසුකම් සහිත නිලධාරීන් මෙන්ම අලුතින් බඳවාගන්නා නව නියාමකවරුන් ද යොදාගන්නා බව මේ පිළිබඳ කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සිළුමිණට කීවේය.

මේ අනුව 2017 වසරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා නවක නියාමකවරුන් 800ක් පමණ බඳවා ගැනීමට නියමිත අතර එයින් තෝරාගන්නා අය ද මෙම විශේෂ ඒකකයට ඇතුළත් කරති.

මෙම බන්ධනාගාර නිලධාරීන් විශේෂිත එස්. ටී. එෆ්. පුහුණුව ලබාදීමට පොලිස්පතිවරයා කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව පුහුණුව ලැබු මොවුන් දිවයින පුරා පිහිටි රිමාන්ඩ් බන්ධනාගාර 23කට යොදවන බව උපුල්දෙණිය මහතා අවධාරණය කරයි.

විශේෂ ගණයේ සිරකරුවන් බන්ධනාගාරවල සිට අධිකරණය තෙක් ගෙන යෑමේදී අවශ්‍ය ආරක්ෂාව ලබාදීම පොලිස් නිලධාරින්ගේ හිඟතාව මත හරිහැටි සිදු නොවීය. පසුගියදා පාතාලයේ කෙරුමෙකු වන සමයං ඇතුළු පාතාල සාමාජිකයන් අධිකරණයට ගෙන ඒමට පොලිස් ආරක්ෂාව ඉල්ලු මොහොතේදී ද නිලධාරීන්ගේ හිඟතාව නිසා පොලීසිය ආරක්ෂාව ලබාදී තිබුණේ නැත. මේ පිළිබඳ කළ විමසීමේදී පොලිසිය පැවසුවේ ආරක්ෂාව ඉල්ලු විට ලබා දෙන්නේ අවි ගත් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය බවත් මෙවන් පාතාල ප්‍රහාරයකදී එම දෙදෙනාගේ සේවය කෙතරම් දුරට සෑහේ ද යන්න මෙහිදී හොඳින් සලකා බැලිය යුතු බවය.

ඒ නිසා මීට වඩා පුළුල් ආරක්ෂාව එවැනි පාතාල සිරකරුවන් ගෙන යාමේදී හා ගෙන ඒමේදී ලබාදිය යුතුව ඇතැයි පොලීසිය බන්ධනාගාරයට පෙන්වා දී ඇත.

මේ අනුව ඉදිරියේදී එස්. ටී. එෆ්. පුහුණුව ලත් අවි පුහුණු බන්ධනාගාර නිලධාරීන් 200ක කණ්ඩායමක් දිවයින පුරා පිහිටි රිමාන්ඩ් බන්ධනාගාර 23කට යොදවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකයා කියයි.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු කණ්ඩායමක් ඉකුත් ආසියාතික සමුළුවකට සහභාගි විය. ඒ බන්ධනාගාර තුළ පවත්නා අඩුපාඩුකම් හා ඉදිකිරීම් පිළිබඳ සාකච්ඡාවක් සඳහාය.

මේ අනුව ඉදිරියේදී බන්ධනාගාරවල කෙරෙන නීති විරෝධි ක්‍රියා, පාතාල ක්‍රියාකාරකම්, ජංගම දුරකථන භාවිතය ආදිය තුරන් කිරීමට අලුත් වැඩපිළිවෙළ කිහිපයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

-කීර්ති මෙන්ඩිස්_සිළුමිණ

ජීවිතය කොතරම් කාර්යබහුල වුණත්, මිනිස්සු මිනිස්සුන්ට සලකන ආකාරය කොතරම් දරුණුද කියලා ජනමාධ්‍ය හරහා අහන්නට ලැබුණත් සුරතල් සත්තු නම් තමන්ගේ ආධිපත්‍යය තවමත් පවත්වාගෙන යනවා. සාමාන්‍යයෙන් “ආධිපත්‍යය” තරම් උත්තරීතර ගාම්භීර වචනයක් ගැලපෙන්නේ සුනඛයන්ට වුණත්, එයාලා අපි ස්වාමියා ය, එයා යැපෙන්නා ය කියලා දන්නවා. හිට්ලර්ගෙන් පැවත එන බළලුන්ට නම් එහෙම එකක් නැහැ. ඒකාධිපති ඤාව්වෝ හිතන්නේ එයාලා දෙවියෝ ය, අපි එයාලට පුද සත්කාර කරන්නට ඕන ය කියලා යි. හුරතල්භාවයේ නාමයෙන් ඒකට සමාව දුන්නාට සමහර දවස්වලදී මෙයාලා රෝන්දෙ ගහන්න ගිහින් දවස් ගාණක් තිස්සේ එයාලා එනකම් දුකෙන් හොය හොයා හිටපු දවස් ඔබටත් තිබිලා ඇති. වයර් එහෙමත් නැත්නම් තාක්ෂණය, මේ ආදර කථාවේ අකුරු අතට පිවිසෙන්නේ අන්න ඒ ප්‍රශ්නය විසඳන්න යි.

ස්කොලාර් කියන්නේ සුරතල් සතුන්ගේ ගෙලෙහි පැළඳිය හැකි කරපටියක්. එය ඔබේ දුරකතනය හා සම්බන්ධ වන්නට ද සමත් වෙමින් වැඩ කටයුතු බොහොමයක් සඳහා හැකියාවන් දක්වන ස්මාර්ට් එකක්. නිල් සහ රතු වර්ණයන්ගෙන් යුතු මෙහි බළලුන්ගේ සහ කුඩා ප්‍රමාණයේ බල්ලන්ගේ ගෙල බැඳිය හැකි කුඩා තිරයක් ද තිබෙනවා. සාමාන්‍යයෙන් අපි දකින ස්පර්ශ තිරය වෙනුවට බැටරි බලය තවත් ඉතිරි කර දෙන එය ටිකක් තදින් තට්ටු කිරීමට ප්‍රතිචාර දක්වමින් එහි පෙන්වන දේවල් වෙනස් කර ගන්නවා. දින 30ක බැටරි බලයක් සහිත මෙම කර පටිය බසරයක්, ජී.පී.එස්, බ්ලූටූත් සහ එල්.ඊ.ඩී බල්බ පද්ධතියක් සහිතව හැකියාවන් රැසක් වැඩි කාර්යක්ෂමතාවකින් කර දෙමින් සුරතල් සතුන් ඇති කිරීම සඳහා නව මානයක් ගෙන එනවා.

ඇති වැඩකුත් නැති හෙමින් ගමනකුත් නැති සුනඛයන්ට වගේ ම බළලුන්ටත් හෙමින් හෙමින් යන්නට හොර ගමන් එමට තිබෙනවා. ඉතින් කන්න දෙන්න ඕන වුණාම ගිරිය කඩාගෙන “පූස් පූස් ඉසීසී” කියලා අඬගහලා එන්නේ නැති වුණාම ශුද්ධ සිංහලත් මතක් වෙන්නේ අපේ හදවත පතුලේ තිබෙන ලාංකීයත්වය ගෙන හැර පාන අතරේමයි. ඒත් ස්කොලාර් නිසා මේ වැඩේ පහසුයි. බළල් තඩියා පේන්න නැති නම් ඔබ කළ යුත්තේ දුරකතනය අතට ගෙන මේ සඳහා වූ ඇප් එක විවෘත කිරීමයි. එතකොට උන්දැ ඉන්න තැන විතරක් නෙවෙයි, එතනට ගියපු අඩි පාරත් එක්කම හොර අල්ලගන්න පුළුවන් වෙන විදියට ඇප් එකෙන් සියලුම විස්තර ඔබට සිතියම් සමඟ පෙන්වනවා. ඒ වගේ ම රෑට හොරා වගේ පූසා ඇඳට ආවොත් මේ කර පටියේ තිබෙන නයිට් මෝඩ් එකේ එල්.ඊ.ඩී බල්බ හරහා ඒ බව පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්.

බළලුන්ට මෙන් ම බල්ලන්ට ලෙඩ හැදෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එවන් අවස්ථාවලදී ඔවුන්ට නිසි වේලාවට බෙහෙත් යෙදිය යුතු වන අතර අපේ අනෙකුත් වැඩත් එක්ක ඒවා බොහෝ වෙලාවට අමතක වී යනවා. ඊට පස්සේ අපිට මතක් වෙලා මෑන්ස්ව හොයන කොට උන්දැ කොහේ හරි රෝන්දෙ ගහන්න ගිහින් ආයෙ එන්න කන බොන වෙලාවට තමයි. ඒත් ස්කොලාර් එක්ක එය තවදුරටත් ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ බෙහෙත් යෙදිය යුතු වේලාවන් දුරකතනයේ ඇති ඇප් එක හරහා සකසා තැබූ විට එය ඔබට නිසි අවස්ථාවේදී සිහිපත් කරන්නට එය වග බලා ගන්නවා.

අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නෙ කපුටන්ට තිබෙන්නේ නිමා නොවන කුසගින්නක් කියලානෙ. එළඟි තෙල් එහෙම පොඟවපු පහන් තිර කපුටන්ට දීලා වස් දොස් යවා ගන්නෙත් මේ නිසා ම තමයි. ඒත් ඒ ලෙඩේ තිබෙන්නේ කපුටන්ට විතරක් ම නෙවෙයි. බළලුන්ටත් ඔබ අනන්ත වතාවක්, කොච්චර කන්න දුන්නත් ආයෙ වැඩි වෙලාවක් යන්න කලින් ඌට ආයෙත් බඩගිනි වෙනවා.

දෙන තරමක් ආයුබෝවන් කියන්න වගේ අපි දෙන කෑම ටිකත් කාලා බිත්තියේ ඉන්න හූනෙකුටත් බිම ඉඳගෙන සත්තමක් දැම්මේ නැත්නම් ඌ නොට්ටිගෙ බළලෙක් ය. මෙන්න මේ වෙලාවට තමයි ස්කොලාර් එකේ තිබෙන ආහාර ලබා දීමේ සටහන වැදගත් වෙන්නේ. ඔබ ගෙදරින් බැහැරව ගිය වෙලාවක බළලාට කන්න දෙන්න කියලා දරුවෙක්ට පවරලා ගිහින් ආයෙත් ගෙදර ආවාම කිටියා නිකං දවසෙම බඩගින්නෙ හිටියා වගේ රඟපෑමක් කරනවාද කියලා මේ සටහන් තැබීමත් සමඟ හොයා ගන්නට පුළුවන්.

ඔබේ මේසයට, කැමතිම පුටුවට, කුස්සියේ මේසය උඩට බළලා එනවාට අකමැති නම් හෝ බල්ලා රෑ තිස්සේ කනක් නෑහෙන්න බුරනවා නම් ඒක නවත්වා දෙන්නත් මේ කර පටියට පුළුවන්. ඒ මෙහි යොදා තිබෙන බසරයක් හරහා යි. මෙම කරපටිය සමඟ ලබා ගත හැකි අනතුරු හැඟවීමේ කාඩ්පත් ඔබ සුරතල් සතා ළඟා වනවාට අකමැති ස්ථානවල තැබූ විට ඔවුන් එම ස්ථානවලට යන්නට තැත් කළ වහා කර පටිය දෙදරන්නට පටන් ගන්නවා. එමඟින් ඔවුන් එම ක්‍රියාව නවත්වාලන නිසා ඔබට සතුන්ව සර්කස් එකකට යවන්න තරම් ඉතා ම පහසුවෙන් පුරුදු පුහුණු කර ගන්නත් පුළුවන්. මොකද, හැඳි නොගාපු හොද්ද රහ නැහැ කියනවානෙ. ඒත් ඉතින් හොද්දෙ හොඳ නරක කියන්න බළලා ඒකට හොස්ස පෙව්වොත් හැන්දත් නොදන්න හොද්දෙ රස රහස තවත් කෙනෙක්ගේ දිව අගට යනවා.

වෙනම ආරෝපණය කළ හැකි පෝර්ටබල් බැටරියක් මේ සමඟ ලැබෙන නිසා කර පටිය ආරෝපණය කරන්නට එය ගැලවීමට අවශ්‍ය වන්නේත් නැති ‘ස්කොලාර් මිනි’ නම් කුඩා කර පටිය රුපියල් පහළොස් දහසක් පමණ මුදලකට මේ වසරේ අගෝස්තු මාසයේදී වෙළෙඳපොළට පැමිණීමට නියමිතයි.

ඉතින් අපි යන එන තැන් සේරම දැනගන්න ඔබට තිබෙන අයිතිය මොකක්ද, ඒකෙන් අපේ බළල් හිමිකම් උල්ලංඝණය වෙනවා කියලා බළල් උද්ඝෝෂණයකුත් අත ළඟ වෙන්න පුළුවන්.

Cats_Tracker.jpg

-තඹරු විජේසේකර_දිනමිණ

ප්‍රසන්න ජයකොඩි සිනමාවේදියා සංකාරා චිත්‍රපටය දෙදහස් හය වර්ෂයේ දි නිර්මාණය කරනු ලැබූවක් වුවද වර්තමාන අන්තර්ජාලීය තරුණ පරපුරේ බහුතරයකට “සංකාරා” චිත්‍රපටය නරඹන්න අවස්ථාව ලැබුණේ නෑ කියලා අපිට විශ්වාසයක් ගොඩනගාගන්න පුළුවන්. මොකද ඒ කාලේ අන්තර් ජාල පහසුකම්,ස්මාර්ට් ෆෝන් තිබුණේ නෑ බහුතරයකට.ඊටත් වඩා 1990 වර්ෂයේ ඉපදුණ කෙනෙක්ට ඒ කාලේ වෙනකොට අවුරුදු දාසයක් විතර වෙන්නේ. ඉතින් ඒ හේතු නිසා අපි හැමෝටම සංකාරා මිස් වුණා. ඒත් ඊයේ පෙරේදා පෞද්ගලික රූපවාහිණී නාලිකාවක සංකාරා චිත්‍රපටය පළමු වරට ප්‍රදර්ශනය කළා.ඒ නිර්මාණයේ ප්‍රබල ප්‍රධාන චරිතයන් ද්විත්වය එක්ක නිහඬ එහෙත් ප්‍රබල චරිතයක් කරන නිලූප හීන්කෙන්ද ආරච්චි සමඟ සංවාදයක යෙදෙන්නේ බොස්ටන් ලංකා අපිට පුළුවන් වුණා.

නිලූප ව අපිට මතක හිටින්නේ එක් සම්මානනීය සිනමා නිර්මාණයකින්.ඊට පස්සේ ඔබට මොකද වුණේ ?

මිනිහෙකුගේ ඇගේ ඕනෑවට වඩා “Art”තිබුනම, කලාවෙ විතරක් නෙමේ සාමාන්‍ය ජීවිතෙ ගෙනියන්නත් අමාරුයි. Art ඇගේ තියෙනවා කියන්නෙ sense හොදට වැඩ කරනවා කියන එකනේ. ලංකාවේ මම කියන art බහුල නෑ.ඒ නිසා නළුවෙක් වශයෙන් ගොඩනැගෙන එක ලේසි නෑ.ඒක market එක අල්ලගෙන Art එක අමතක කරලා යන්න ඕනා ගමනක්. සංකාරා කලාට පස්සෙ මටත් ආරාධනා කිහිපයක් ආවා.ඒ අතර හොද ඒවට වඩා යමක් ගන්ඩ පුළුවන් දේවල් තිබුනේ නෑ.ඒ වෙනකොට මම මිතුරන් කිහිප දෙනෙකු සමග ව්‍යාපාරයක් ආරම්භ කරලයි තිබුනේ,ඒ නිසා මගේ යැපීම ගැන ප්‍රශ්නයක් තිබුනේ නෑ.ඒ නිසා මම වේදිකා නාට්‍ය කිහිපයකට ඔය කාලේ සම්බන්ධ උනා.හොද ටෙලියක් දෙකක් කලා.අවාසනාවට අපේ ව්‍යාපාරය කඩා වැටුනා.විශාල ණය ගොඩක් එක්ක.ඒවා settle කලාම,මට මුකුත් ඉතිරි උනේ නෑ.මගෙ පවුල වෙනුවෙන් මගෙ නළු ආශාව කැපකලා.මම රැකියාවකට එංගලන්තේ ආවා.

ඔබ ආවේ ලේසි පහසු මාර්ගයක නොවෙයි,ධර්මසේන බණ්ඩාරණායක,ධර්මසේන පතිරාජ,මහේන්ද්‍ර පෙරේරා වැන්නන්ගේ ආශ්‍රය කොයි විදිහේ අත්වැලක් ද සැපයූවේ ඔබේ නිර්මාණ ජීවිතයට ?

උසස් පෙළ කරලා මම පොඩි කොලේජ් එකක් සෙට් කරන් ජපානෙට පැනගත්තා. ඒ කොලේජ් එකේ ඉගැන්නුවෙ ජපන් බාසාව,ඕකට fees ගෙවන්න මම අවුරුදු ගානක් tokyo නගරයේ රුසියානු අවන්හලක පිගන් හේදුවා.ටික කාලයක් යද්දි මගේ ඇගේ තියෙන art මට වදදෙන්න ගත්තා.මම tokyo නගරයේ කලාගාර වලට රිංගුවා.කබුකි නාට්‍ය බැලුවා.එන්කා සින්දු ඇහුවා.ජපන් කෙල්ලන්ට ආදරය කලා.මම දන්නෙ නැතිවම මගේ viza ඉවර උනා.දවසක් immigration එකෙන් පැනලා ඒ ලොකු ගෙදර හිටපු සේරමල්ලා අල්ලලා ලංකාවට පැටෙව්වා.ඊට පස්සෙ තමා මම මහෙන්ද්‍රන් පෙරේරා ගාවට වැටෙන්නෙ අවුරුදු 5ක් විතර අපි acting හෙව්වා.රස්තියාදු ගැහුව්වා.නාට්‍ය බැලුවා,ෆිල්ම්ස් බැලුවා,තර්ක විතර්ක කරා.ඔන්න ඔය කාලෙදි තමා මට ධර්මසේන පතිරාජ,ධර්මසිරි බණ්ඩාරනායක,ජෙරොම් ඩ් සිල්වා විතරක් නෙමේ අනෝජා වීරසිංහගේ වැඩමුළු වලටත් සම්බන්ධ වෙලා ඉගෙන ගත්තා.පසුව ඔවුන්ගෙ නිර්මාණ වලට සම්බන්ධ වුණා.

ඒ අතීතය දෙස අද මෙතන ඉඳලා ආපහු හැරී බැලුවොත් නිලූප සැහෙන්න අසාධාරණයක් ලාංකේය රසිකයාට කළේ කියලා මම චෝදනා කළොත් ඔබ කොහොම උත්තරයක් ද දෙන්නේ ?

අසාධාරණයක් කරන්න තරම් ඒ වෙනකොට රසිකයා මාව දැනගෙන හිටියේ නෑ.මෙලෝ රහක් නැති දේවල් වලට සම්බන්ද වී රසිකයාට කොකා පෙන්නනවාට වඩා එක අතකින් ඒකෙ ටිකක් ඈත් වෙලා හිටියමත් රසිකයාට යම් සාධාරණයක් වෙනවයි කියලා හිතන්නත් පුළුවන්,කොහොම උනත් මම බිම දාගෙන ආදරය කරපු Art වලින් ඈත්වීමට සිදුවීම,රසිකයාට වඩා මගෙ අධ්‍යාත්මයට කරන අසාධාරණයක්.මොකද කිසිම ශිල්පියෙක් කලාවට සේවයක් කරනවා,රසික මනදොළ පුරවනවා කිව්වට ඒ සේරම කරගන්නෙ තමා කියන පුද්ගලයා මූලික කරගෙන. එවැනි මිනිස්සුන්ට කලාවට කල සේවය වෙනුවෙන් කියලා සම්මාන දෙන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ.ඒක නිකන් හරියට අපි ළඟදි මැරෙන්න ඉන්න මිනිහෙක්ට වැඩිපුර සලකනවා වගේ වැඩක්. කලාකරුවා අනිත් හැම වෘත්තිකයාටම වඩා උතුම් කියන එක ලංකාව වගේ රටක තවදුරටත් වලංගු නෑ. ඔවුනුත් මේ ක්‍රමයෙම ජරා වලේ පංගුකාරයෝ වෙලා ඉවරයි. මහා කලාකරුවොත් මේ ක්‍රමයෙම හෙළුවැල්ලෙන් ඉන්නෙ කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා බිස්නස්කාරයා.පොලිස් කාරයා.දොස්තරයා.නඩුකාරයා වගේම කලාකාරයා ඔක්කොම මේ යුගයේ එකයි.කලාවෙ සළුපිළිවලින් ඒ හෙළුවැල්ල වහන්න බෑ.

ඔබ එක් අවස්ථාවක දේශපාලනයට පැමිණීම ඒකට හේතුවක් වෙන්න බැරිද

මම අවුරුදු 25 දී ආපු ඉල්ලීමක් අහකදාන්න බැරිකමට මීගමුව මහනගර සබාවට යූ එන් පී එකෙන් ඡන්දය ඉල්ලුවා ,හැබැයි මිනිස්සු අපිව පරද්දලා ඒ කාලේම ඡන්දේ ඉල්ලපු නිමල් ලන්සලාව දිනවලා නගර සබාවට ඇරියා.කොහොම උනත් මගෙ දේශපාලන කියවීම මේ වෙනකොට මුහුකුරා ගිහිල්ලා තියෙන්නේ,ඡන්දෙ ඉල්ලන්න ගත්ත තීරනය හදිසි එකක්,ඒක එදා මගේම වටපිටාවට මාව ප්‍රකාශ කරන්න ගත්ත වෑයමක් කියලයි දැන් මට හිතෙන්නෙ.කොහොමත් මේ රටට තියෙන ආදරෙ මගේ නොවෙනස් එකක් මගෙ ආර්ථික අර්බුද හමුවේ එංගලන්තයේ ඉන්නවා තරම් විකල්ප අවස්තාවක් මට නෑ.නමුත් මගෙ රටේ මගෙ මිනිසුන් වෙනුවෙන් කරන්න පුළුවන් සීමාසහිතව හෝ කරන්න මම සුදානම්.

ලංකාවේ සිනමාවේ අතීතකාමයෙන් පම්පෝරි ගහන අවස්ථා එමටයි,උදාහරණ විදිහට හැත්තෑව දශකයේ සිනමා නිර්මාණ පිළිබඳ සෑහෙන්න විශාල පම්පෝරියක් බහුතරයක් දෙනා ගහනවා,මේ පම්පෝරිමය වින්දනයට ඔබ එකඟද ? එහෙම නැත්නම් ඔබ මගේ අදහසට විරුද්ධද ?

ඇත්තටම අතීත කාමය නෙමෙයි ඔතන තියෙන්නෙ අතීත මතකයන්ට ආදරය කිරීමක්.සිනමාව පැත්තෙන් ගත්තොත් ලෙස්ටර්,පතිරාජ,වසන්ත,වගෙ අයගේ අපි හොද සිනමාව කියලා වරග කරන චිත්‍රපට වගේම ලෙනින් මොරායස්ලා වගේ අයගේ ජනප්‍රිය රැල්ලෙ චිත්‍රපට බලපු පරම්පරාව තාම මේ රටේ ජීවත් වෙනවා,ඔය කියන චිත්‍රපට වලට පස්සෙ චිත්‍රපට කරපු පිරිස අසමත් වෙලා තියෙනවා ඒ මතකයන් අභිබවා යන නිර්මාණ කරන්න.ඒකයි අපි හැම දාම 70 දශකයක් ගැන කියවන්නෙ.මේකට හේතුව හොද සිනමාවට සමාන්තරව අපි ජනප්‍රිය සිනමාව කොන් කරලා දැමිම.ඒ පැත්ත අපි දීලා තියෙන්නෙ කිසිම රසක් නැති පිරිසකට,ඒ අය චිත්‍රපට කියලා මොනවද එකක් මිනිස්සුන්ට දුන්නා.අර පතිරාජ් නවත්තපු පැත්තෙන් පටන් ගත්තා කියපු අධ්‍යක්ෂකවරු එකම style එකේ චිත්‍රපට කලා,නමුත් ,පතිරාජගේ,ලෙස්ටර්ගෙ සිනමාවේ විවිධ කතා තේමා තියෙනවා,කොටින්ම ලෙස්ටෙර් The god king කියලා epic ‍ෆිල්ම් එකකුත් කලා.මේ අයගෙන් අපේ සිනමාව කර්මාන්තයක් වශයෙන් උඩ තියන්න පුළුවන් නිර්මාණ බිහි වෙන්නෙ නෑ.අල්ලපු රටේ ගත්තත් මනි රත්නම්ලා විවිද තේමා කරනවා.ගිය අවුරුද්දෙ ස්ටීවන් ස්පිල්බර්ග් animation ‍ෆිල්ම් එකකුත් කළා,පහුගිය කාලෙම දකින්න ලැබුනේ ශුෂ්ක කලාපෙ ගහක් දෙකක් තියෙන කාන්තාරයක් වගේ ප්‍රදේශයක ඈත ඉදන් ශූට් කරපු මළමිනි වගෙ එහාට මෙහාට බයිසිකල්වල,නැත්නම් පයින් යන මිනිස්සු දෙතුන් දෙනෙක් ඉන්න චිත්‍රපට කියලා මොනවද ටිකක්.ඒවා ඉතින් කොහෙ හරි ලෝකේ තියෙන ඊනියා චිත්‍රපට උළෙලවල් වලින් සම්මාන ලැබුණයි කියලා මෙහෙ ඉන්න ඔය ප්‍රබුද්ද කියන ප්‍රෙක්ෂකයාගෙ ඔළුවෙ ගහනවා.ඊට පස්සෙ ඒ කුලේම අයිති සෙට් එක විචාර ලියනවා.ඕක තමා හැමදාම,ඊට පස්සෙ සිනමාව රැකගමු කියලා රැස්වීම් තියෙනවා.

වාණිජ මට්ටමේ සිනමා කෘති බිහි වෙන යුගයක,අතීත කතා,රජ කතා,දේව කතා සිනමාව ට අරක් ගන්න කලින් ඔබ “සංකාරා” වගේ නිර්මාණයක් හරහා එළියට එනවා. ඒක ඔබට ලැබුණු වාසනාවක් ද ?

සංකාරා කියන්නෙ එක චිත්‍රපටයක්,ඒක මට ලැබුණු අවස්ථාවක්.චිත්‍රපට තියෙනවා තනිකරම අධ්‍යක්ෂකවරයාගෙ දැක්මෙන් විතරක් ගොඩ යන, සංකාරා කියන්නෙ අන්න ඒ වගේ ‍ෆිල්ම් එකක්.ඒ චිත්‍රපටයේ රදවාගෙන යායුතු ටෙම්පෝ එක අධ්‍යක්ෂවරයා ට අභියෝගයක් මම හිතන්නෙ ඒක ඔහු හොදින් කළා.කලින් කිව්වා වගෙ අපේ රටේ වර්තමාන හුගක් චිත්‍රපට වල නළු නිළියන්ට කරන්ඩ දෙයක් නෑ. මම කලින් කිව්වා වගේ නිකන් ඔහේ එහේට මෙහේට ඇවිදින්න තියෙන්නෙ.භාව ප්‍රකාශන ඕනෑවට වැඩියි,සක්‍රීයව ඇක්ට් කරන්න ලැබෙන පිටපත් නෑ.රජකතා ඉතිහාස කතා ගැන මට කියන්න තියෙන්නෙ ඒවා සිනමාවට වඩා සාහිත්‍යය කෘති ලියවෙනවනම් වඩා හොදයි,අපි නොදැකපු හා හරියට නොදන්න කාලවකවානුවක් චිත්‍රපයකට නැගීම ලේසි නෑ. ඒක බොහොම දැවැන්ත් වැඩක්. අපේ ප්‍රෙක්ෂකයා රෝම අධිරාජ්‍යය ගැන හොලිවුඩ් චිත්‍රපටත් බලන එකේ අපිට ඔය තිබුණා කියන ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් තිබුනානම්,පහුගිය කාලේ හැදුණු ඒ වර්ගෙ චිත්‍රපට වලින් උනේ අපි බොරුවට හරි මනසින් මවන් හිටපු ඔය කියන මහා ඉතිහාසයි,ඒකෙ හිටපු රජවරුයි අපේ මනසේ විකාර කරපු එක විතරයි. රඟපෑවත් ,අධ්‍යක්ෂණය කලත් ඇදුමක් නිර්මාණය කලත් අපි කරන වැඩේට අවංක වෙන්න ඕනා. එහෙම නැතිව මොන වැඩේ කලත් අවුල්.

වාණිජ සිනමා කෘති,කලාත්මක හෝ සම්භාව්‍ය සිනමා කෘති ලංකාවේ සිනමාවේ ඕන තරම් තියෙනවා.ඒත් ලංකාවේ රසිකයාගේ බලාපොරොත්තුව නිදන්ගත වෙලා තියෙන්නේ ශෘංගාරාත්මක (erotic)සිනමා කෘති අස්සේ කියලා මම කීවොත් ඔබේ අදහස මොකක් ද ඒ ගැන

මුලින්ම චිත්‍රපට වාණිජ,කලාත්මක,ඔය කියන සම්භාව්‍යය කියන එක නෙමේ අදාල,ඒක සිනමා කෘතියක් කියන එකයි අදාල.ඔන්න ඔය වගේ ගොන් බෙදීම් කරපු ගොන්නු හින්දා තමා,අපේ සිනමාව කඩා වැටුනේ.ඉතිහාසෙ ඉදලා බිහිවුණු එක එක ගුරුකුල තමා ඔය අපරාධය,කලේ.වර්තමාන ය වෙනකොට ඒවා කුඩුපට්ටම් වෙමින් පවතින එක සතුටට කරුනක්,අන්තර්ජාලය හරහා මහා දක්ෂයි කියලා පෙනීඉන්න මහා චරිත කවුරුවත් දන්නෙ නැති එකෙක් ඇවිල්ලා නටලා ගයලා,රගලා පුදුම කරලා කුඩු කරලා දානවා.ඉදිරි ලෝකයේ නියම වැඩකරුවන්ට විතරයි පවතින්න පුළුවන්,erotic සිනමාව කියන එක මුළු ලෝකෙම තියෙනවා,sex කරන එක මිනිසුන්ගෙ අත්‍යවශ්‍ය දෙයක් ,ඒ හේතුකොටගෙන ආදරෙ බැදෙන සිනමාවකට මිනිස්සු ආකර්ශනය වෙනවා.Hollywood කෙසේ වෙතත් Bollywood වල පමණක් නෙමේ දෙමළ,මලයාලම්, චිත්‍රපටත් දැන් දැන් erotic චිත්‍රපට කරනවා.අපිට වුණේ අපි පෙන්නන්න යන්නෙ කාන්තාවන්ට වන ලිංගික සූරාකෑම විතරයි.හැමදාම සම්මාන දුන්නෙ ඔන්න ඔය ගෑනිගෙ චරිතෙ කරපු නිළියන්ට විතරයි.අපිට තාම බැරිවෙලා තියෙනවා හොද සෙක්ස් scene එකක් කරන්න,අනිත් එක google ගිහින් sex හොයලා හැම අවුරුද්දෙම කප් ගහන එකේ හොද erotic ෆිල්ම්ස් ටිකක් කළත් කර්මාන්තෙට හොදයිනේ.හැබැයි ඉතින් ඒවට සමාජෙ ආකල්ප ඉදලා වාරණ මණ්ඩල වල ඉන්න ගොයියන්ගෙත් ඔළු වෙනස්වෙන්න ඕනා. අනික වෙනස් විදිහට හිතන නිර්මාණකරුවොත් ඉන්න ඕනා,සෙක්ස් කරන්න පුළුවන් ඇදේ විතරක් නෙමේනෙ,කොට්ටෙ තියන්න පුළුවන් ඔළුවට විතරක් නෙමේනෙ.

ශෘංගාරාත්මක හෝ සම්භාව්‍ය සිනමා නිර්මාණයක් එළියට එද්දී ගැහැණියගේ කැප කිරීම පුරුෂයාට සාපේක්ෂව ඉහළ යන අවස්ථා තියෙන්න පුළුවන් සදාචාරය හෝ සංස්කෘතික කාරණා එක්ක.මෙන්න මේ සංස්කෘතික උපමානයක් ලංකාවේ සිනමාව කඩා වැටෙන්න කොයි විදිහටද දායක වුණේ..ඔබට අදහසක් තියෙනවද ඒ ගැන

ඔබ කියන ඔය නිලියන්ගෙ කැපවීම,නළුවර වඩා ඉහලයි වගෙ පේන්නෙ ලාංකීය සිනමාව තුළ,සමාජ සම්මත හදලා තියෙනවා ගෑනු නිරුවත් වීම පිරිමි නිරුවත් වෙන එකට වඩා කූජීතයි කියලා..ඒ නිසා ගෑනියෙක් සිනමාපටය වුවත් නිරුවත් වෙනවා බලන්න වැඩවසම් සමාජයක් කැමති නෑ.ඒනිසා ඒ නිලියව,සැබෑ ජීවිතය තුළත් වේසියක් කරලා බලන්නෙ.අනික පිරිමියාව නිරුවත් කරලා මාර්කට් කරන්න බෑ කියලා අපේ රටේ නිර්මාණයකරුවො දන්නවා.නමුත් ඉන්දියාවෙ උන් ජෝන් ඒබ්‍රහම් ,සල්මන් වගේ නළුවන්ව පුළුවන් තරම් ඇදුම් ගලවලා පෙන්නණේ ගෑනු , පිරිමින්වත් නිරුවතින් දකින්න කැමතියි කියලා දන්න නිසා.

කොහොමත් අපේ වගේ රටවල ගෑනියෙක් සිනමාපටයක් උදෙසාවත් නිරුවත්වීම ඇයට ජීවිතෙ යම් යම් යම් අපහසුකම් වලට පත්වෙන්න සිදුවීම වලක්වන්න බෑ,(පුද්ගලීක ජීවිතෙ තුල) ඒකම වටිනාකම් වලට හරවගත්තු නිලියොත් ඉන්නවා,ඒකට එඩිතරකමක් අවශ්‍ය,අනික බ්‍රා එකක් දැක්කත් බය වෙන නායකයොනේ අපි අපිව පාලනය කරන්න පත්කරගන්නේ

ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ සිනමාව තුළ ගැහැණිය ශ්‍රමයෙන් වගේම ලිංගිකවත් දැඩි සූරාකෑමකට ලක් වෙනවා.හැබැයි බහුතරයක් දෙනා මේ ගැන මුනිවත රකිනවා.ඇයි මිනිස්සු මේ ගැන කතා නොකරන්නේ..තමන්ට ලැබෙන්න තියෙන අවස්ථාවන් නොලැබී යයි කියලා බයට ද ?එහෙමත් නැත්නම් පුරුෂාධිපත්‍යයට ගැහැණිය අභියෝග කරයි කියලා බයට ද ?

ලාංකිය සිනමාවේ නිලියෙක්ට ඉස්සෙල්ලම කරදරය එන්නෙ රෙදි උනා දමා කරපු රගපෑමක් සමාජගත උනාට පස්සෙ නෙමේ.ඒක චිත්‍රපටය Per-Production තත්වයෙ ඉදල ම තියෙන,නිෂ්පාදකයෝ,අධ්‍යක්ෂ වරු විතරක් නෙමේ සමහර විට කැමරා ශිල්පීන්ට පවා මේ නිළියන්ට ලිංගික අල්ලස් දෙන්න වෙන අවස්ථා තියෙනවා.ඒක බොහෝම කනගාටුදායක තත්වයක්, නිළිකම විතරක් නෙමේ සෑම වෘත්තීයකම ඔය තත්වය ගොඩනැගිලා තියෙන්නෙ.ඉන්දියාවෙ කමල්හසන් වගේ නළුවෝ පවා මුල් කාලේ තමා සමග එකට රගපාන නිලියට එකඟ වුණේ ලිංගික බැදීමක අවසරය එක්කයි.Hollywood වල Jorge lucas වැනි අධ්‍යක්ෂ වරු ඒ දේවල් ප්‍රසිද්ධියේම කලා.අපේ අවුල තියෙන්නෙ සුචරිතවාදින් කියලා පෙනී හිටින එවුන් තමා වැඩියෙන්ම බලහතකාරකම් කරන්නෙ. පුරුෂාධිපත්‍ය කියන්නෙ ගෑනුන්ට ආර්ථික ව හා ලිංගිකත්වය මුලික කරන් පහතට ඇද දැමීමක් කියලා හිතුවොත් වර්තමාන ලෝකයේ පිරිමියා ගෑනිව යටත් කරන් ඉන්නෙ උගෙ ශාරිරික ශක්තියෙන් විතරයි,සෙක්ස් පැත්ත ගත්තම පිරිමි ගෑනුන්ගෙ වහල්ලු,ඔන්න ඔය තැනදී තමයි ගෑනිද? මිනිහද බොස් කියලා තීරණය වෙන්නෙ.

එංගලන්තයේ ජීවිතය ඔබට සිනමාව ගැන සේම ජීවිතය ගැන ආපහු හිතන්න සැලැස්සුවද ? අලුත් නිර්මාණයක් කරන්න හිතේ අදහසක් නැද්ද දැන්ම

එංගලන්තෙ ජීවිතේ මාව මගේ බිරිදගෙන් දරුවන්ගෙන් ඈත් කෙරෙව්වා.මගේ සහෝදරයින් නෑයන්.හිත මිතුරන්ගෙන් ඈත් කෙරෙව්වා.මහන්සි වෙලා මම ජීවිතේටම හිතපු නැති අකමැති රස්සාවල් කලා .මානසිකව වැටුණා.ඇඩුවා.ඒ නරක පැත්ත,මේ හොද පැත්ත මම සල්ලි ටිකක් හම්බකරන් ගෙයක් හදාගත්තා,ලන්ඩනයේ Raindance Film school එකේ ඉගෙන ගත්තා.

ජීවිතෙ ගැන මහ ලොකු බලාපොරොත්තු මට නෑ.මගෙ ජීවිතෙ පුරාවටම උනේ අනපේක්ෂිත දේවල්,ඉදිරියටත් එහෙම වෙයි.මම නිර්මාණයයක් කරයිද නොකරයිද කියලා මට කියන්න බෑ.මම ඉගෙනගන්න එකනම් නවත්වන්නෙ නෑ.

-සංඛ රඹුක්වැල්ල -bostonlankaradio-

බංග්ලාදේශයේ චිතගොං නගරයේ පිහිටි ආසියානු කාන්තා විශ්වවිද්‍යාලයේ අනුශාසක මණ්‌ඩලය සඳහා එක්‌වීමට එම විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් පිළිගෙන ඇතැයි වාර්තා වේ.

Bill and Melinda Gates moku" Open Society පදනම, IKEA පදනම වැනි හවුල්කාරීත්වයන් සහ කලාපීය සහයෝගිතාවෙන් ගොඩනගන ලද ආසියානු කාන්තා විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ලිබරල් කලා උපාධි වැඩසටහන තුළින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු සහ මැදපෙරදිග රාජ්‍යයන් 15 ක කුසලතා පූර්ණ කාන්තාවන් හට සේවා පදනම් කර ගත් නායකත්වයේ මාවත විවර කර දීම සඳහා කැප වෙයි.

විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් විවිධ සමාජ පසුබිම්වලට අයත් අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක්‌ විශ්වවිද්‍යාල වරම් හිමිකර ගත් පවුලේ පළමු සාමාජිකයන් වීමද විශේෂත්වයකි.

_ඒශියන්මිරර්

අධ්‍යාපනය වෙනුවෙන් පුද්ගලයා කරන කාලය, ශ්‍රමය, ධනය, ආයෝජනය සමාජයට දිගු කාලීනව ප්‍රතිඵල ලැබෙන ආයෝජනයකි.

මනා පෞරුෂයකින් හෙබි, නිර්මාණශිලී, මානසික හා කායික සෞඛ්‍යයෙන් පිරිපුන් ලාංකේය දරුවෙකු බිහිවීමට අධ්‍යාපනය පිටුවහලක් සපයයි.

කෙසේ වෙතත් අධ්‍යාපනයට ඇති අකමැත්ත සහ අධ්‍යාපනයේ අගය වටහා නොගැනීම නිසා මෙරට ළමයි 77,730 දෙනෙකු පාසල් නොයන බව ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

එය පාසල් නොයන සමස්ථ ළමයින් සංඛ්‍යාවේ ප‍්‍රතිශතයක් ලෙස ගතහොත් 17.2% කි.

ඉන් 48,099 ක් (20.8%) පිරිමි ළමයි වන අතර, 29,631 ක් (13.3%) ගැහැණු ළමයින් ය.

ආබාධිත බව නිසා 19,213 දෙනෙකු (4.2%) පාසල් නොයයි. මූල්‍ය දුෂ්කරතාවය නිසා ළමයි 14,922 දෙනෙකු (3.3%) පාසල් නොයයි.

උචිත පාසලක් නොලැබීමෙන් නිවසට වී සිටින ළමයි සංඛ්‍යාව 4,913 කි (1.1%). දීර්ඝ කාලීන රෝග නිසා ළමයි 4,709 දෙනෙකු (1%) පාසල් නොයයි.

පාසල් පරිසරය අනාරක්ෂිත බව නිසා 3,853 දෙනෙකු (0.9%) පාසල් නොයයි. ඉන් 2,712 ක් (1.2%) පිරිමි ළමයි වන අතර, 1,141 ක් (0.5%) ගැහැණු ළමයින් බව අදාළ වාර්තාව පෙන්වා දෙයි.

_ශ්‍රීලංකන්මිරර්

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website