Features

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල භූමියේ පසුගිය දිනවල සිදුකළ පුරාවිද්‍යා කැණීම් මඟින් පොළොව මට්ටමේ සිට අඩි 12ක් පමණ ගැඹුරින් විහාර ආරාම සංකීර්ණයක සාධක මතු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිශ්ශංක අලකේශ්වරයන් විසින් පළමුවරට නිර්මාණය කරන ලද කෝට්ටේ බලකොටුව අවසන් වරට ලංකාව එක්සේසත් කළ ඍධ් වැනි පැරකුම්බා රජු විසින් වාස්තු විද්‍යාත්මක සියලු අංග සහිතව අංග සම්පූර්ණ බලකොටුවක් බවට පත් කරන ලදී. අද වනවිට එම වාස්තු විද්‍යාත්මක අංග අතුරින් සුරැකිව ඇත්තේ පොළොවෙන් උඩට මතුවූ ස්මාරක අවශේෂ කොටස් කිහිපයක් පමණි. වෙහෙරකන්ද අලකේශ්වර නටබුන් හා කොටු පවුර ඒ අතරින් ප්‍රධාන වෙයි.

මේ ආරාම සංකීර්ණය කෝට්ටේ යුගයේ ඉදිකළ වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතරින් අංග සම්පූර්ණ නිර්මාණයක් ලෙස හමුවන පළමු නිර්මාණය වෙයි.

බොරදම් මකර තොරණ සහිතව ප්‍රධාන ප්‍රවේශය උතුරු දිශාවට යොදා සකස් කළ බිත්ති සහ පියස්ස පිහිටි ගලේ හාරා මතුකළ කුටියකි. මෙහි කබොක් පියස්ස රැඳවීම සඳහා කබොක් ගලින්ම වෘත්තාකාර හැඩයෙන් යුත් කණුවක් සකස් කර ඇත. කුටිය අභ්‍යන්තරයේ දකුණු දිශාවට වන්නට සමාන පරතරයෙන් හා විවිධ ගැඹුරින් යුත් කණු වළවල් 8ක කුටියට ආසන්න වන්නට පේසා තුනකින් හා ගර්භය සහිතව පිහිටි කබොක් ගලින් සකස් කළ චෛත්‍යයකි. ගර්භයේ කොටසක් කැඩී ගොස් ඇති අතර මෙහි පේසා තුනෙහි තැනින් තැන කණු වළවල් 9ක් දක්නට ඇත. පිහිටි පොළොව මට්ටමේ සිට විහාර ආරාම සංකීර්ණය වෙත ගමන් කිරීම සඳහා කබොක් ගලින් සකස් කළ සඳකඩපහණක් සහිත පියගැට පන්තියක් වෙයි. කෝට්ටේ යුගයට අයත් සඳකඩපහණක් හමුවන ප්‍රථම අවස්ථාවද මෙයයි.

-චාමිණී ගම්මන්පිල_මව්බිම

චීන ශ්‍රී ලංකා සබඳතාවලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවස පටන් දෙරටේ සබඳතා ගොඩනැගීම පිළිබඳ ලිඛිත සාධක හමු වුවද අලිඛිත සාධක හා ඓතිහාසික පුරාවෘත්තවලට අනුව එය තවත් වසර දහස් ගණනක පටන් පැවත එන්නක් බව තහවුරු වෙයි. මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලංකා සමාජයේ ස්ථාපිත වූ බුදු සමය කේන්ද්‍ර කොට ගනිමින් චීන ශ්‍රී ලංකා සබඳතා වඩාත් තහවුරු වීමට පටන් ගත් බවට ලිඛිත සාක්ෂි දෙරටින්ට හමුවීම සුවිශේෂීය. ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසේ ලංකාවට වැඩම කළ චීන ජාතික ෆාහියන් භික්ෂුවගේ දේශාටන වාර්තා දෙරටේ ඓතිහාසික සබඳතා පිළිබඳත්, සංස්කෘතික හා සාමාජීය වටපිටාව පිළිබඳත් වැදගත් තොරතුරු රැසක් හෙළි කරයි. එහි දී ථේරවාදී බුදුදහම හඳුනා ගනිමින් එය චීනයට රැගෙන ගිය පුවත ඉතිහාසඥයන්ගේ විශේෂ අවධානයට හා අධ්‍යයනයට ලක්ව තිබේ. වසර දෙකක් පමණ ලංකාවේ වැඩ වාසය කරමින් ෆාහියන් භික්ෂුව කළ අධ්‍යයනයන් දෙරටේ මානවීය සබඳතාවලට මූල බීජය වන්නට ඇති බවට සැක නැත.

එසේම බෞද්ධ මෙහෙණි සස්න ඉතා ප්‍රචලිතව ලංකාවේ පැවති අනුරාධපුර යුගයට සමගාමීව චීනයේ මෙහෙණි සස්න ආරම්භ වීම දෙස බැලීමේදී ද සාධක සහිතව අපට තහවුරු කර ගත හැකි කාරණයක් වන්නේ මෙරටේ මෙහෙණි සස්නේ ආරම්භයට ද වර්ධනයට ද ලංකාවේ බලපෑම හේතු වූ බවය.

චීන ඉතිහාසය පිළිබඳ ගවේෂණය කරන්නට වටිනා තොරතුරු රැසකට මූල බීජය සපයන ඓතිහාසික ග්‍රන්ථයක් වන්නේ ලියන්සු නැමති ග්‍රන්ථය යි. එහි සඳහන් තොරතුරුවලට අනුව ක්‍රි.ව. 405 ලංකාවේ රජ කළ පළමු වැනි උපතිස්ස රජතුමා විසින් චීන අධිරාජ්‍යය වෙත බුදු පිළිමයක් පරිත්‍යාග කොට තිබේ. චීනයත් ශ්‍රී ලංකාවත් අතර අන්තර් සහයෝගීතාවයේ ඓතිහාසික වටිනා යුගය ලෙස සඳහන් වන්නේ ටාන් රාජ්‍ය සමය යි. ටාන් සමයේ චීනයේ බෞද්ධ භික්ෂූන් විශාල පිරිසක් ලංකාවට වැඩම කොට බුදු දහම පිළිබඳ හැදෑරීම් සිදු කළ බවට සාක්ෂි හමුවෙයි.

ලෝකයේ බොහෝ රටවල් අතර වන සබඳතාහි ඓතිහාසික තොරතුරු ගවේෂණයේදී අපට හමුවන පොදු සාධනීය කරුණක් වෙයි. එනම් ඒ ඒ රටවල් අතර අන්තර් සබඳතා ගොඩනැගී ඇත්තේ ආර්ථීක හෝ යටත්විජිතකරණය සමඟ බවය. එය වුවද චීනය සහ ලංකාව අතර මානවීය සබඳතා විමසීමේදී ඉතා පැහැදිලිව එහි සමාරම්භය ආගමික මුහුණුවරක් ගත්තක් බව තහවුරු වෙයි.

අර්ධ වැඩවසම් අර්ධ යටත් විජිතවාදයෙන් චීනය නිදහස ලබන විට සමීපතම සගයෙකු ලෙස ලංකාව දෑත දිගු කොට ඓතිහාසික සබඳතා අර්ථපූර්ණය කිරීමට වග බලා ගත්තේ ලෝකය හමුවේ වූ අභියෝගයන්ට හිස නොනමමිනි. නව චීනය 1949 ඔක්තෝබර් පළමු දිනයේ පිහිටුවමින් චීනය ලැබූ ජයග්‍රහණය පිළිගැනීමට ලෝකයේ රටවල් මැලි වෙද්දී ලෝකයේ පිළිගත් රාජ්‍යයන් ලෙස චීනය සමග අත්වැල් බැඳගත් මුල්ම රාජ්‍යයන් අතර ලංකාව ද විය. එසේම දෙරටේ ඓතිහාසික මිත්‍රත්වයෙන් බලවත්කමට ඇති වැදගත් සාධකයක් වන්නේ දෙරට අතර තානාපති සබඳතා ඇති කර ගැනීමට පෙර ගිවිසුම්වලට එළැඹීමයි. එය දෙරටේ මානවීය සබඳතාවලට ද වටිනා උත්ප්‍රේරණයක් එක් කළ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක් වෙයි.

චීනයත් ශ්‍රී ලංකාවත් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වන්නේ 1957 පෙබරවාරි මාසයේදීය. චීන අගමැති චව් එන් ලයි මහතා සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එදින ප්‍රකාශයට පත් කළේ, දෙරටේ සිතුම් පැතුම් පිළිගෙන ඒවාට ගරු කරමින් සහයෝගිතාවය වර්ධනය කරගත යුතු බවයි. ශ්‍රී ලංකාවත් චීනයත් අතර මානවීය හුවමාරුවේ වටිනාම අවස්ථාවක් ලෙස 1979 දී දෙරට අතර අත්සන් කළ සංස්කෘතික සහයෝගිතා ලේඛණය ඉතිහාසයට එක් වෙයි. ඉන් කලා, සංස්කෘතික, අධ්‍යාපන ඇතුළු බොහෝ අංශයන් හා හුවමාරු වැඩසටහන් සඳහා නිශ්චිත රාමුවක් සහිතව දෙරට තැබූ පියවර අනගිභවනීය ය.

දෙරටක් අතරේ සහයෝගිතාවය වර්ධනය කිරීමේදී ඔවුනොවුන්ගේ සිතුම් පැතුම්, හඳුනා ගැනීම වැදගත්ම සාධකය වෙයි. ඒ සඳහා ප්‍රධානම මෙවලම වන්නේ භාෂාවය. චීන භාෂාව සිංහල භාෂාව හා සමීප බවක් නොදක්වයි. ඔවුන් චීන භාෂාව දකින්නේ කඨෝර භාෂාවක් ලෙසය. එසේ වුවද දෙරටේ ඇති මානවීය සබැඳියාව නිසාම සිංහලයන් චීන භාෂාව ද චීන ජාතිකයන් සිංහල භාෂාව ද ඉගෙන ගැනීමට දක්වන උනන්දුව පුදුම සහගතය. ඒ වෙනුවෙන් චීනයේ ඛෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආරම්භ කරන ලද සිංහල අධ්‍යයන අංශයට වසර 56 ක් සම්පුර්ණ වී තිබේ. චීන අග්‍රාමාත්‍ය චව් එන් ලයි මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මෙම සිංහල අධ්‍යයන අංශයට පිහිටුවීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කළේය.

ලංකාවෙන් චීනයට ගෙන්වා ගත් සිංහල භාෂා ගුරුවරයෙකුගෙන් ආරම්භ වූ මෙම සිංහල අධ්‍යයන අංශය ගෙවී ගිය දශක පහකට අධික කාලය තුළ අධ්‍යාපනික වශයෙන් ඉටු කළ මෙහෙවර දශක ගණනක් පුරා දෙරටේ අධ්‍යාපනය නගා සිටුවීමටත්, භාෂා අධ්‍යාපනයටත් පිටුබලයක් සපයන බව පැහැදිලි වෙයි. චීන සිසුන් ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන කටයුතුවල නිරත වීමට මින් ලබාදී ඇති සහ අද වන විටත් ලබා දෙන දායකත්වය මහත්ය. එසේම ශිෂ්‍ය හුවමාරු, ගුරු හුවමාරු වැඩසටහන් රාශියක් ද සිංහල අධ්‍යයන අංශය කේන්ද්‍රස්ථානය වී තිබේ.

මීට අමතරව චීනයේ චීන ජනසන්නිවේදන විශ්වවිද්‍යාලය, චොන් චින් ගුරු පුහුණු විශ්වවිද්‍යාලය යන ආයතනවලද චීන සිසුන්ට සිංහල භාෂාව ඉගැන්වීමේ අවස්ථාව උදා කරදී තිබේ.

අන්තර් හුවමාරු අධ්‍යාපන ක්‍රමය නිසා දෙරටේ විද්‍යාර්ථීන්ට නිවැරදි සහ පහසු අධ්‍යාපන අවස්ථා උදාවී තිබීම පැසසිය යුත්තක් වෙයි. චීන ශ්‍රී ලංකා ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන වර්තමානයේ ඉතා සාර්ථකව සිදු වන්නකි. 1975 වර්ෂයේදී චීන රජය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව එරටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව ලබාදීම ආරම්භ කළ අතර ශිෂ්‍යත්ව හතකින් ආරම්භ කළ මෙම වැඩසටහන තුළින් අද වන විට වසරකට චීන රජයේ ශිෂ්‍යත්ව සියයක් පමණ ලංකාවේ විද්‍යාර්ථීන්ට ලබාදීමට කටයුතු කරනු ලබයි.

උසස් ඩිප්ලෝමා පටන් දර්ශන විශාරද උපාධි දක්වා ශිෂ්‍යත්ව අවස්ථා මේ තුළින් උදා වී තිබේ.

චීන ශ්‍රී ලංකා මානවීය සහයෝගීතාවය වර්ධනය කිරීමට කොම්ෆියුසියස් ආයතන විසින් ලබා දෙන දායකත්වය ඉතා වැදගත් වෙයි. ලෝකය පුරා චීන සංස්කෘතිය ප්‍රචලිත කිරීම හා හඳුන්වා දීම මූලික පරමාර්ථ කොට ගනිමින් චීන රජය කොම්ෆියුසියස් ආයතන ආරම්භ කිරීමට කටයුතු කොට තිබේ.

ලෝකයේ බොහෝ රාජ්‍යයන් ඒ ඒ ආණ්ඩු සමඟ සබඳතා පවත්වා ගෙන යන්නේ ආර්ථීක, දේශපාලන හා සමාජයේ බලය මත පදනම්වය. එසේ වුවද චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතා පිළිබඳ ඓතිහාසික සාධක විමසීමේදී උක්ත න්‍යාය පමණක් දෙරටටම අදාළ වී නැති බව පැහැදිලි වෙයි. පවත්නා තත්ත්වයන්ට අනුව චීනය ලොව බලවතුන් සමඟ සමව සිට ගනිමින් වුවද ලංකාව දෙස බලා ඇත්තේ බලය කේන්ද්‍ර කර ගත් අරමුණු හා අපේක්ෂාවලට මූලිකත්වය ලබා දී නොවේ. ඔවුනොවුන් කෙරෙහි වූ ගෞරවයත් ඓතිහාසික සමීප බවත් හේතු කොට ගෙනය.

චීන ශ්‍රී ලංකා දෙරටේ සහයෝගීතාව වර්ධනය වී ආරක්ෂා වී ඇත්තේ අත්සන් කළ ගිවිසුම් හෝ ඇති කරගත් තානාපති සබඳතා මතම පමණක් පදනම්ව නොවීම දෙරටේම ආඩම්බරයට හේතු වන්නකි.

ජනතා සිතුම් පැතුම් පිළිබඳ රාජ්‍යයන් දෙකෙහි ඇති අනුකූලතාවය අතීත මග ශක්තිමත් කරන්නකි. ශ්‍රී ලංකාවේ 7 වැනි නිදහස් දින සමරුවට සහභාගි වීමට ලංකාවට ගිය චීන අගමැති චව් එන් ලයි මහතා සම්බන්ධ සිදුවීමක් දෙරටේ ජනතා හදවත් තුළ මුල් බැස ගෙන තිබේ. නිදහස් දිනය වෙනුවෙන් චීන අගමැතිවරයා ලංකාවේ ජනතාව ආමන්ත්‍රණය කරමින් සිටින විට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට පටන් ගෙන තිබේ. ඒ අසළ සිටි ආරක්ෂකයෙකු චීන අගමැතිවරයාට කුඩයක් ඇල්ලීමට සැරසුන අවස්ථාවේ අගමැතිවරයා ප්‍රකාශ කළේ, මහ ජනතාව වැස්සෙන් තෙමෙන විට මට කුඩයක් අවශ්‍ය නැත. මම ද මහජනතාව මෙන්ම වැස්සෙන් තෙමෙමි, යන්නයි.

ශ්‍රී ලාංකික ජනතාවගේ ජන විඥානය තුළට චව් එන් ලයි අගමැතිතුමා එතරම් කිඳා බැස්සේ අන් කිසිවක් නිසා නොව දෙරටේ වසර දස දහස් ගණනක් පුරා අවිචින්නව පැවත ආ මානවීය නිසා බව පැහැදිලි වෙයි.

චීනය සෑම විටම ශ්‍රී ලංකාවේ අන්‍යන්‍යතාව ගරු කරමින් කටයුතු කර ඇත්තේ සැබෑ මානවීය ගනුදෙනුවක් තුළින් ගොඩනැගුණු සබඳතාවල ශක්තිය වඩාත් ගෞරවනීය වන නිසාය. ඒ නිසාම චීනය ලංකාවේ ජනතාවගේ කුදු මහත් අවශ්‍යතා හඳුනාගනිමින් සහයෝගය දක්වමින් කටයුතු කොට තිබේ.

ජේ.ආර්.ජයවර්ධන යුගයේදී චීනයට ගිය ශ්‍රී ලංකාවේ එවකට අගමැති ආර්. ප්‍රේමදාස මහතාට එවකට චීන රජය ලබා දුන් පරිත්‍යාග ද සුවිශේෂීව දෙරටේ ඉතිහාසයට එක් වේ. ලංකාවේ විශේෂයෙන් ග්‍රාමීය ජන ජීවිතය 70 දශකයේ පැවතියේ දැඩි අසීරුකම් සහිතවය. එම තත්ත්වයෙන් ජන ජීවිතය ගොඩ ගැනීම සඳහා එදා ලංකාවේ අගමැතිවරයාට ලබා දුන් මූල්‍යාධාර ඉවහල් වූ බව දෙරටේ ඉතිහාසය විමසන බොහෝ තැන්වල දී විද්‍යාමාන වේ. විශේෂයෙන් ලංකාවේ දුකෂ්කර පළාත්වල ජන ජීවිතයට බලපෑ ජල ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලබා දීමට එදා ලංකාවේ රජයට චීනය විසින් දුන් පරිත්‍යාග ඉවහල් විය.

ශ්‍රී ලංකාවේ ගාලූ මුවදොර පිටියේ ඈත අහසේ ලෙළ දෙන සරුංගලයේ පටන් අනාගතයේ ගොඩනැගෙන ජාත්‍යයන්තර වෙළෙඳ නගරය දක්වාත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, උපරිමාධිකරණය, තැපැල් මූලස්ථානය, නෙළුම් පොකුණ ආදී පරිත්‍යාග ද චීනය විසින් ලංකාවට ලබා දී ඇත්තේ ගොඩනැගී තිඛෙන මානවීය සබඳතාවල ප්‍රතිඵල හේතුවෙනි.

චීන ශ්‍රී ලංකා සහෝදරත්වය සහයෝගීතාවය අර්ථවත් කිරීමට දෙරටේ මානවීය සහයෝගීතාවය ලබා දී ඇති ශක්තිය කිසිදු දෙයකින් සමානව දැකිය හැකි නොවේ. එය බැලු බැල්මට දක්නට ඇති සරල කාරණා ඉක්මවා ගිය ගැඹුරු දැක්මක් බව විමර්ශනය කරන විට පැහැදිළි වෙයි. වසර 60 ක් පුරා චීන ශ්‍රී ලංකා සහෝදරත්වය ශක්තිමත් කළේ ඒ මානවීය දැක්ම හා අවබෝධය හේතු කොටගෙන ය. එය තවත් වසර සිය ගණනක් දෙරටේ සහයෝගීතාව ආරක්ෂා කරන ගාමක බලවේගය බව ද අප විශ්වාස කරන්නේ එබැවිනි.

එබැවින් දෙරටේ පුරවැසියා සතු යුතුකම ද ඓතිහාසික වගකීම ද වන්නේ වඩ වඩාත් දෙරටේ මානවීය හුවමාරු සඳහා අවස්ථා උදා කිරීම හා ඒ වෙනුවෙන් වගවීමය.

සහය මහාචාර්ය මා චූන් වූ
ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ
උප පීඨාධිපති, ආසියා-අප්‍රිකා අධ්‍යයන පීඨය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය
- dinamina

කුහුලෙන් පිරි නිර්මාණයක් රස විඳීමට බොහෝ පාඨකයෝ කැමැත්තක් දක්වති. මෙය අපේ රටට පමණක් නොව, බටහිර රටවලට ද පොදු ය. මේ බව පසක් කර‍ෙගන ෂර්ලොක් හෝම්ස්ගේ කතා පෙළ ලොව පුරාම පාඨකයන් අතර ජනප්‍රියත්වයට පත් විය. ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කතා පිළිබඳ පාඨක කුහුල වර්ධනය වූයේ, ලේඛකයා තුළ තිබූ අපූර්ව ප්‍රබන්ධන ශඛ්‍යතාව නිසා ම ය.

ෂර්ලොක් හොම්ස් යනු සාහිත්‍ය නිර්මාණයක් මිස, සැබෑ ලොව ජීවත් වූ සැබෑ චරිතයක් නොවේ. එහෙත්, මේ කෘති කියැවූ පාඨක සිත් තුළ, මේ කෘති පිළිබඳ සිතිවිලි ගොඩනැගී ඇත්තේ, සත්‍ය ලොව ජීවත් වූ සත්‍ය චරිතයක් ලෙසට ය. එයට හේතුව, නිර්මාණකරුවා සතුව තිබූ, චරිත නිරූපණය හා සබැඳි අපූර්ව රචනා ශඛ්‍යතාව ය. වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ, සර් ආතර් කොනන් ඩොයිල්, මේ මැහැඟි කාර්යය මැනැවින් කළ අයුරු එමඟින් වුව පෙනී යයි.

කොනන්ඩොයිල්, ෂර්ලොක් හොම්ස් කතා පාඨකයා වෙත ගෙන යන්නේ, අපූරු සිදුවීම්වලින් සපිරි, කුතුහලය වඩවන, රහස් පරීක්ෂණ කතාවලිනි. ක්ෂණයකින්, එම ස්ථානයේ සැඟවී ඇති බොහෝ තතු සිය තීක්ෂණ බුද්ධි මහිමයෙන් වටහා ගැනීමට තරම් හැකියාවෙන් යුතු මේ චරිතය, බොහෝ දෙනාගේ ගැටලු විසඳා දීමට සමත් ය. මේ සූක්ෂ්ම හැකියා වර්ධනය කරගත් චරිතයක් ලෙස පාඨකයා වෙත පැමිණි මේ කෘති මාලාවෙන් 56ක් කෙටිකතා වූ අතර, නවකතා 04ක් ද ඇතුළුව සියලු කතා 60කි. මේ කතා තුළ එන විශේෂත්වය වනනේ, එම කතා පවසන්නේ ‍ෂර්ලොක් හොම්ස් නොව, ඔහුගේ රහස් පරීක්ෂණවලට අදාළ සියලු කටයුතු සඳහා නිරන්තරයෙන් ම සහය වන වෛද්‍ය වොට්සන් ය.

ෂර්ලොක් හොම්ස් රචනා කළ මේ කෙටිකතා 56, මේ වනවිට පොත් පිංචක් ලෙස පාඨකයා වෙත සමීප කිරීමට , ඇම්.ඩී.ගුණසේන සහ සමාගම කටයුතු යොදා ඇත.

ඒ අනුව, නිරංජන් චාමින්ද කරුණාතිලක විසින් ෂර්ලොක් ෙහාම්ස් කතා පෙළ, ඕනෑම තැනක සිට කියැවිය හැකි පරිදි කුඩා පොත් ලෙස රචනා කර තිබේ. මේවා , රතු ඔළු මිනිස්සු, සැඟවුණු රැජින, අභිරහස් දොඩම් ඇට, ගුප්ත බාප්පා සහ ඇඹරුණු තොල් ඇත්තා වැනි ආකාරයට නම් යොදා ඇත.

රතු ඔළු මිනිසුන්ට අවශ්‍ය වී තිබුණු අභිරහස් දෙයක් පිළිබඳ , රතු ඔළු මිනිස්සු කෘතියෙන් නිර්මාණය කර ඇත. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ කුමන අභිරහස් නිරූපණයක් ද යන්න මින් නිරූපිත ය. සාමාන්‍ය මිනිසුන්ට නොසිතෙන සරල දේවලට පවා අභිරහසක් ආරෝපණය කිරීමට, ෂර්ලොක් හෝම්ට අවශ්‍යව තිබුණි. ඒ බව, මේ පොත් පිංචවලින් ද පැහැදිලි වේ.

යුරෝපයේ රජ පවුල් දෙකක් අතර ඇතිවීමට තිබූ මහත් අර්බුදකාරී තත්ත්වයක් සහ අපකීර්තියක් ෂර්ලොක් හෝම්ස් ට වැළැක්වීමට හැකි විය.

ඒ අනුව, බොහෝ සිද්ධි උපක්‍රමශිලීව විසඳන ආකාරය මේ කතාවලින් නිරූපිණය කිරීමට ඔහු උත්සුක වී ඇත. ෂර්ලොක් හෝම්ස් විසින් රචනා කරන ලද මේ කෘතිය, මෙවැනි කුඩා කතා පොත් පෙළක් ලෙස සරල අයුරින් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවේ. මේ භාරධූර කාර්යය ඉතාමත් නිවැරැදිව කිරීමට ලේඛකයා කටයුතු කර ඇත. එක් භාෂාවකින්, විශාල කතාවක් ලෙස රචනා වූවක්, එහි රසාස්වාදය නොනැසෙන අයුරින් සාරාංශගත කිරීම අපහසු ය. එසේ ම, එයඅන් භාෂාවකට පරිවර්තනය කිරීමට ද හොඳ සංයමයක් හා භාෂා ඥානයක් තිබිය යුතු ය.

'විවාහයෙන් පසුව මම මගේ බිරිඳ සමඟ ලන්ඩනයේ එක් කොටසක ජීවත් වෙමි. මගේ මිතුරා, ෂර්ලොක් හොම්ස් බේකර් වීදියේ සිය නවාතැනේම ජීවත් විය. 1890 වසරේ සරත් සෘතුවේ එක් දිනෙක මම මගේ මිතුරා හමු වන්නට තීරණය කළෙමි. නමුත් මා එහි යන විටත් ඔහු හමුවන්නට අමුත්තකු පැමිණ සිටියේ ය. පැමිණ සිටි මහල්ලා අමුත්තෙකි. තරබාරු වූ ඔහුගේ මුහුණ රත් පැහැ විය. නමුත් ඔහුගේ වඩාත් අමුතු දෙයක් වූයේ හිසකෙස් ය. ඔහුගේ හිසකෙස් ද රතු පැහැයෙන් යුක්ත විය.'

මේ ලේඛකයාගේ භාෂා ශෛලියයි. එය ඕනෑම කෙනකුට කියවා රසවිඳිය හැකි ය.

මේ අයුරින්ම ගුප්ත බාප්පා පිළිබඳත්, අභිරහස් දොඩම් ඇට , ඇඹරුණු තොල් ඇත්තා යන කතා පුවත් ද අභිරහස් බවින් හෙබි සරල ආකෘතියකින් යුක්තව නිර්මාණය කර ඇත. මුළු කතා පෙළින්ම කුතුහලයක් මතු කරයි. ඊළඟ මොහොතේ සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ පාඨකයා නොවිසිලිමත් වේ. ඒ සඳහා මේ ලේඛකයාගේ භාෂා රටාව බෙහෙවින් ම බලපා ඇත.

බොහෝ ලේඛකයෝ ගුප්ත බව අනුව යමින් නිර්මාණ කරති. එහෙත් ඒ සාර්ථකත්වය කොතෙක් ද යන්න රඳනුයේ පාඨකයා දක්වන ප්‍රතිචාරය මතය. පාඨක ප්‍රතිචාරය හීන වන්නේ නම් නිර්මාණය කෙතරම් හොඳ වුවත් ඉන් පලක් නැත. ‍මේ නිසා, වෙනත් භාෂාවකින් රචිත රහස් පරීක්ෂක කතාවක්, සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී වඩාත් සුපරික්ෂාකාරී විය යුතු ය. එම සුපරීක්ෂක බව ඇතිව මේ පරිවර්තකයා මේ කුඩා පොත් පිංච නිර්මාණය කර ඇති බව කිව යුතුය.

මේ පොත් මාලාවේ ඇති විශේෂත්වය පිළිබඳ ලේඛකයා සිය කෘතිවල පෙරවදනේ මෙබඳු සටහනක් දක්වා ඇත.

'මෙම පොත් මාලාවේ ඇති විශේෂත්වය වන්නේ, මේවායේ ඇති අභිරහස්, ගුප්ත රසයට හානියක් නොවන සේ සංක්ෂිප්ත කොට ඉදිරිපත් කිරීම ය.... කාර්ය බහුල ජීවිත ගෙවන, පොත් කියැවීමෙන් දුරස් වෙමින් සිටින බොහෝ පිරිසකට වඩාත් ඉක්මනින් කියවා රසවිඳ ඔවුන් තුළ ඇති රසිකත්වය පුබුදුවාලීම මෙවැනි පොත් මාලාවක අරමුණ ය.'

ඔබටත්, ගමනක් යනවිට , පාළුව, තනිකම මකා ගැන්මට , මේ පොත් පිංච මහත් පිටිවහලක් වේවි. එය ඔබේ කුඩා පසුම්බියේ වුව තබාගත හැකි වීම නිසා, මෙවන් ගමනක් බිමනක් යනවිට, එමඟින් අපූර්ව රසයක් විඳ ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

-රූපාන්ති_දිනමිණ

දසක ගණනාවකට පසු ශ්‍රී ලංකාව මුහුණදුන් දැඩි ඉඩෝරය නිසා හටගත් ගැටලු තවම මුළුමනින්ම පහවී ගොස් නැත. පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණ රාශියක් නියඟයේ ගැටලු විසැඳීම අරමුණු කරගත් ඒවාය.

අනාගත ඉඩෝරයක පෙර නිමිති මුලින්ම දක්නට ලැබුණේ පසුගිය සැප්තැම්බර් අග භාගයේ සහ ඔක්තෝබර් මුල් භාගයේදීය. එම කාල පරාසය සාමාන්‍යයෙන් මාස් මෝසම් වැස්ස ආරම්භ වන කාලය වන නමුත් මෙවර මෝසම් වැසි පමාවිය. ඒ පමාව තවම යථා තත්ත්වයට පත්ව නැත.

මෝසම් වැසි පමාව නිසා තමතමන්ගේ වගාකටයුතු නිසි කලට කරගත නොහැකිවේ යැයි ඒ සමඟ ගොවි ජනතාව මැසිවිලි නගන්නට වූහ. මාස් මෝසම යනු දැවැන්තම වගා කන්නයයි. යල කන්නයට වඩා මාස් මෝසමේ වී වගාවට යටවන බිම් ප්‍රමාණය වැඩිය. එම නිසා වී අස්වැන්න ද ඉහළ මට්ටමක පවතී. එහෙයින් මාස් මෝසම අඩාලවීම ආහාර සුරක්ෂිතභාවය අඩුවීමට මෙන්ම, ලක්ෂ ගණනක ගොවි ජනතාවගේ දිවි පැවැත්ම අවුල් කිරීමට ද හේතුවන්නකි.

මේ නියං තත්ත්වය කඩාපාත්වූයේ ශ්‍රී ලංකාව ඇගේ දැවැන්තම වී නිෂ්පාදනය ලබාගෙන වාර්තා පිහිටුවීමත් සමඟය. 2015 වසරේ ශ්‍රී ලංකාව ලබාගත් වී අස්වැන්න මෙට්‍රික්ටොන් දස ලක්ෂ 4.8කි. මෙය 2014ට සාපේක්ෂව සියයට 42.6ක වර්ධනයකි. එසේම අස්වැන්න නෙළාගත් ශුද්ධ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 1088374 කි. එසේම හෙක්ටයාරයට කි. ග්‍රෑම් 4428ක අස්වැන්නක් ලබාගැනීම ද විශේෂ කරුණකි.

මෙවර නියඟය නිසා ශ්‍රී ලංකාව සහල් පිටරටින් ගෙන්වන තරමට අමාරුවේ වැටී තිබේ. රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පිටරටින් සහල් ගෙන්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කෙළේ 2016 දෙසැම්බර් 20 වනදාය. ඒ අනුව පෙබරවාරි 26 වනවිට සහල් ටොන් 113000ක් ආනයනය කරනු ලැබ තිබේ. හෙක්ටයාර් 114000ක වී වගා වැනසීම නිසා මෙ. ටොන් 344839ක වී අස්වැන්න නියඟයට බිලිවී තිබේ.

විදේශයන්ගෙන් ආධාර වශයෙන් ද සහල් තොග කීපයක්ම ලැබුණි. දේශීය වෙළෙඳ පොළේ සහල් අර්බුදයක් ඇතිවූ නිසා විවිධ නීතිරීති පැනවීමට ද සිදුවිය. ගිය සතියේ කැබිනට් මණ්ඩලය තීරණය කෙළේ මසකට මෙට්‍රික්ටොන් 20,000 බැගින් සහල් ආනයනය කිරීමටය.

පසුගියදා තායිලන්තය නියං ආධාර ‍සඳහා ශ්‍රී ලංකාවට රුපියල් 8,496176/=ක මුදලක් පරිත්‍යාග කළ අතර තවත් රටවල් සහ ආයතන ද ශ්‍රී ලංකාවට ආධාර උපකාර කළහ. එක්සත් ජාතින්ගේ සංවිධානය ද ඒ අතර වේ.

විනිමය ප්‍රශ්න

ලෝක ආහාර සංවිධානය කියා සිටියේ ශ්‍රී ලංකාව අඩුම කෘෂිකාර්මික නිෂ්පාදනය මේ වසරේ වාර්තා කරන බවයි. තවත් වාර්තාවකට අනුව දිස්ත්‍රික්ක 23ක් නියඟයට හසුව තිබේ. 900,000ක් දෙනාට ජලය සපයාගැනීමේ දුර්වලතා මතුව ඇත.

වගා හානි සඳහා වන්දි ගෙවීමට ආණ්ඩුවට රුපියල් දසලක්ෂ 82ක් අවශ්‍ය වන අතර ඉන්ධන සඳහා බිලියන 50ක අමතර වියදමක් යන බව ද වාර්තාවේ.

නියඟයෙන් ශ්‍රී ලංකාව මෙතරම් පීඩාවට ලක්වන විට ඒ සියලු වියදම් දැරීමට සිදුවන්නේ භාණ්ඩාගාර අරමුදල් මඟිනි. සංචාරක කර්මාන්තය සහ විදේශීය සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මඟින් ලැබෙන ආදායම සතුටුදායක නමුත්, තේ, පොල්, රබර් යන කර්මාන්ත තුනම පවතින්නේ පුනරුත්ථාපනය වන අවධියකය. ඒ අතර ඉඩෝරය නිසා තේ කර්මාන්තයේ නිෂ්පාදනය අඩුවෙමින් තිබේ.

මෙවැනි තත්ත්වයක් මැද දැන් සහල් අානයනය සඳහා ද විනිමය වැය කළ යුතුව තිබේ. නැවත දේශීය වී නිෂ්පාදනයක් බලාපොරොත්තු වන්නේ ළඟදී ඇරැඹෙන යල කන්නයේදී ය.

නියඟය නිසා වී අස්වනු අඩාලවීම ඉදිරි කන්නයන්හි වගා කටයුතුවලට ඍජුවම බලපාන දෙයකි. මේ අනුව බලන කළ 2017 යල කන්නය සහ 2017/18 මාස් කන්නයේ වී වගා කටයුතු සඳහා අවශ්‍ය බිත්තර වී සපයාගැනීමේදී ගැටලු ඇතිවේ. කැබිනට් මණ්ඩලය ගිය සතියේ මේ ගැන සාකච්ඡා කළේය. සාමාන්‍යයෙන් යල කන්නය යනු එළවළු සහ අතිරේක භෝග වගාවන් සඳහා මුල්තැන දෙන කන්නයකි. වී සඳහා භාවිතාවන ඉඩම් ප්‍රමාණය යල කන්නයේදී අඩුවීම මෙරට වගා රටාවයි. 2014/ 2015 මාස් කන්නයේ වී වගාව සඳහා යටවූ බිම් ප්‍රමාණය හෙක්ටයාර් 772626ක් වූ නමුත් යල කන්නයේ වගා කරන ලද්දේ හෙක්ටයාර් 480662ක අඩු භූමි ප්‍රදේශයකි. එහෙයින් මහට වඩා යල කන්නයේ වී අස්වැන්න ද අඩුය.

දැන් එළැඹෙන්නේ යල කන්නයයි. අනතුරුව 2017/18 මහ කන්නයයි. මේ කන්න දෙක සඳහා කිසිදු හිඟයකින් තොරව බිත්තර වී සැපයීම ආණ්ඩුව කරපිට වැටී ඇති ලොකුම වගකීමකි. මාර්තු මැද සතිය වනවිට යල කන්නයේ වී වගා ඇරැඹේ. දළ වශයෙන් අක්කරයකට බිත්තර වී බුසල් 2ක් අවශ්‍ය වේ. හෙක්ටයාරයට බිත්තර වි බුසල් 5ක් අවශ්‍ය වේ.

ගිය වසරේ යල කන්නයේ වගාවට යටවූ භුමි ප්‍රමාණය වූ හෙක්ටයාර් 4,80,000 මෙවරත් වගාවන්නේ නම් බිත්තර වී බුසල් ලක්ෂ 24ක් පමණ අවශ්‍ය වේ. මේ බිත්තර වී ප්‍රමාණය නිපදවාගැනීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය බාරගෙන තිබේ.

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් තවත් තීරණයක් වූයේ පහතරට තෙත් කලාපයේ දැනට අතහැර දමා ඇති කුඹුරු ඉඩම් නැවත වගාවට යොදාගෙන ආහාර නිෂ්පාදනයට එම ඉඩම් ද දායක කර ගැනීමටය.

පානීය ජලය

නියං තත්ත්වය නිසා පානීය ජල සම්පත හිඟවීම දිස්ත්‍රික්ක 14 කට ඍජුව බලපා තිබේ. අනුරාධපුර, කිලිනොච්චි, ගම්පහ, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, මොනරාගල, මුලතිව්, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය, මහනුවර, වව්නියාව සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි ජනතාවගේ පානීය ජල ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු වූ අතර ජල උල්පත් සහිත බිම් ගිනි ගැනීම් නිසා ජල මූලාශ්‍ර සිඳීයෑමේ තර්ජනයක් ද එල්ලවිය.

ඉහත කී දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 87ක පවුල් 129601ක පුද්ගලයන් 493386ක් පානීය ජල ප්‍රශ්නයට මුහුණදී ඇති බව දෙසතියකට පෙර වාර්තා විය. මේ පුද්ගලයන්ගේ පවස සංසිඳුවීම සඳහා මේ වනවිට ජල ටැංකි 4798ක් හා ට්‍රැක්ටර්, ලොරි, බවුසර් 349ක් සපයාදීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය පියවර ගෙන තිබේ. එසේම තවත් ට්‍රැක්ටර් සහ බවුසර් මිලට ගැන්මට ද නියමිතය.

ජල සම්පත රැකගැනීම සඳහා ගෘහස්ත ජල සංරක්ෂණය, වැසි ජලය එකතු කර ගැනීම ආදි ක්‍රියාවන් ප්‍රචලිත කිරීම ද සිදුවේ. වැසි ජලය එකතු කිරීමේ වැඩකටයුතු දිස්ත්‍රික්ක රාශියක ක්‍රියාත්මක වන අතර ජලය එකතු කරගත හැකි ජල ටැංකි 3000ක් සපයාදීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපත්ව සිටී. මේ සඳහා අවශ්‍ය වන රුපියල් දසලක්ෂ 300ක ප්‍රතිපාදන ශ්‍රී ලංකාවට සපයාදීමට ඉන්දීය රජය කැමැත්ත පළකර තිබේ. ඒ සඳහා වූ ගිවිසුම්වලට ද එළැඹී තිබේ.

හම්බන්තොට, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක දැන් වැසි ජලය එකතුකර ගැනීමට ජනයා දිරිමත් කරනු ලැබේ. අප්‍රිකාව සහ මැදපෙරදිග රටවල් රාශියක නියඟ සහ ජල හිඟයට පිළියමක් ලෙස වැසි ජලය එකතු කර ගැනීම භාවිතාවට ගැනේ.

කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අඩුම තරමින් හෙක්ටයාර් 26,122ක් තරම් කුඹුරු ප්‍රමාණයක් පුරන්ව තිබෙන බව කෘෂිකර්ම සේවා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබේ. මේ ඉඩම්වල වී, එළවළු සහ වෙනත් භෝග වගා කළ හැකිව තිබියදී ඒවා පුරන්ව යෑම සුදුසු නැත. මේ ඉඩම් ප්‍රමාණය සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

ඉහත සඳහන් භූමි ප්‍රදේශ සඳහා ද අවශ්‍ය බීජ සපයාගත යුතුව තිබේ. රජයේ දෙපාර්තමේන්තු පෞද්ගලික සමාගම් මෙන්ම ගොවි මහතුන් විසින් ද බීජ වී නිපදවනු දැකීමට පිළිවන. තමතමනට අවශ්‍ය බිත්තර වී නිපදවාගන්නා ගොවි මහත්වරුන් සිටියද කන්න තුන හරකට වතාවක් බිත්තර වී වෙනස් කර ගත යුතුය. පැරැණි ක්‍රමයට තමතමනට අවශ්‍ය බිත්තර වී තමන් විසින් ම නිපදවා ගැනීමේ වැඩපිළිවෙළ දියුණු කිරීමෙන් වාසි රැසක් සිදුවන බව කියයි.

යල කන්නයේදී අමුමිරිස්, රතුලූනු, ලොකුලූනු, මිරිස්, කව්පි ආදිය මෙන්ම සෙසු එළවළු වර්ග ද වගාකරනු ලබයි. එහෙයින් ඒ සඳහා ද හිඟයකින් තොරව බීජ ලබාගත යුතුව තිබේ. නිදහස ලබා දසක හතක් ගෙවී ගිය ද තවම අපට අවශ්‍ය බීජ සපයාගැනීමේ දී අපට වඩා පසුපසින් සිටි බංගලිදේශය වැනි රටවල් දෙසට හැරීමට අප රටට සිදුව තිබේ.

ලොකු ලූනූ නිෂ්පාදනය

අප්‍රේල් මාසය වනවිට ලොකුලූනු වගා ඇරැඹේ. ලූනු බීජ හිඟය මැකීම සඳහා උසස් තත්ත්වයේ ලොකුලූනු බීජ මෙ. ටොන් 6200ක් ඉන්දියාවෙන් ගෙන්වා ගොවීන් අතට පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. දේශීය වශයෙන් නිපදවනු ලබන දඹුලුරෙඩ් වර්ගයේ ලූනු බීජ ගොවියන් විසින්ම නිපදවා ගැනීම සාර්ථකව කරගෙන යන බව ලූනු වගාවේ නියුතු දඹුල්ල කාසල් ගොවිපොළේ විඩී ප්‍රනාන්දු මහතා කියයි.

දඹුල්ලේ දිගම්පහතහ ලොකුලූනු බීජ නිපදවන්නන්ගේ ගොවි සමිතිය ද ලූනු ඇට හෙවත් ලූනු බීජ නිපදවන්න්ගේ සංවිධානයකි. එහි සභාපති පහළගෙදර ප්‍රියන්ත රත්නායක මහතා පවසන්නේ බීජ ගොවීන් 60 දෙනකු සහිත තම සමිතිය සතු බීජ කිලෝ 4000ක් පමණ සූදානම් කර ඇති බවයි.

ජල සම්පාදන යෝජනා ක්‍රම රාශියක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව දැනටම තීරණය කර ඇත. අනාගත පානීය ජල හිඟය සහ වගාවට අවශ්‍ය ජල සැපයුම තහවුරු කිරීම යෝජනාවන්හි අදහසයි.

හැඩඔය ජලාශ යෝජනා ක්‍රමය මඟින් හැඩඔය, විල්ඔය, සහ කරදඔය පහත් නිම්නයන්හි තිබෙන පැරැණි හා අලුත අස්වැද්දීමට නියමිත ඉඩම් හෙක්ටයාර් 5308කට වාරි ජල පහසුකම් සැපයීමට නියමිතය.

එසේම පොතුවිල්, ලාහුගල සහ පානම පානීය ජල අවශ්‍යතා සහ ගෘහාශ්‍රිත ජල පහසුව සඳහා ජලය සැපයීමටත්, මේ ජල සම්පාදන යෝජනා ක්‍රමය මඟින් හැකියාව ලැබේ.

ජල සම්පාදන ක්‍රම

විදේශ අරමුදල් සොයාගනිමින් හැඩඔය ජල සම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගිය සතියේ තීරණය කෙළේය. ඒ සමඟම තවත් ජල සම්පාදන යෝජනා ක්‍රමයක් වූ යාන්ඔය ජලාශ යෝජනා ක්‍රමයේ වම් ඉවුර ප්‍රධාන ඇළ සැලසුම් කර ඉදිකිරීම කඩිනම් කිරීමට ද තීරණය කර ඇත. යාන්ඔය ජලසම්පාදන යෝජනා ක්‍රමය යටතේ අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක දෙකේ වෙසෙන ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිවේ. දැඩි ජල හිඟයකට මුහුණදෙන ඉඩම් හෙක්ටයාර් 4190 කට වගා සඳහා ජල පහසුව ලබාදෙන මේ වම් ඉවුර ප්‍රධාන ඇළ ව්‍යාපෘතිය වසර 2 කින් නිමකිරීම ආණ්ඩුවේ ඉලක්කයයි.

කුඹුක්කන් ඔය ජලාශ යෝජනා ක්‍රමය ද අනාගත ජල අවශ්‍යතා සපුරන ව්‍යාපෘතියකි. මෙමඟින් නව ඉඩම් හෙක්ටයාර් 42800කට හා දැනට වගාවට යොමුව ඇති ඉඩම් හෙක්ටයාර් 1255 කට වාරි ජල පහසුකම් හිමිවේ. මේ ව්‍යාපෘතිය ද කඩිනම් කිරීමට නියමිතය. එසේම වයඹ ජල හිඟයට පිළියම් සපයන ජල සම්පාදන යෝජනා ක්‍රමයක් සහිත දැදුරුඔය සංවර්ධන යෝජනා ක්‍රමය සහ මල්වතු ඔය පහළ සංවර්ධන යෝජනා ක්‍රමය ද ගොවිජන සුබසෙත ‍සඳහා අනාගත ව්‍යාපෘති කීපයකි.

-කරුණාරත්න අමරතුංග_දිනමිණ

බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ සෝමාවතිය චෛත්‍ය තුළ තැන්පත් කිරීමට පෙර, තැන්පත් කළ බව පැවසෙන ස්ථානය සොයා ගෙන තිබෙනවා.

ඒ, මැදිරිගිරිය මහා තලකොළවැව පුරාණ රජමහා විහාරස්ථානයෙන්.

මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ක‍්‍රියාත්මක පුරා විද්‍යා හා මානව වංශ විද්‍යා ගවේෂණය යටතේ මෙම ස්ථානය හඳුනාගෙන තිබෙනවා.

එහි කැණීම් කටයුතු ආරම්භ කිරීම ඊයේ සිදු කෙරුණේ මහා සංඝරත්නයේ ද ආශිර්වාද මධ්‍යයේයි.

බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කළ බව පැවසෙන අදාළ ස්ථානයේ කාල වකවානුව නිර්ණය කිරීම ඇතුළු වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීම එහි අරමුණයි.

කැණීම් සිදු කිරීමෙන් පසුව එම ස්ථානයේ ඇති පිළිම ගෙය හා ඉපැරණි හිටි පිළිම වහන්සේ ඇතුළු ගල් කණු සංරක්ෂණය කිරීමට ද පියවර ගන්නා බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන සඳහන් කළා.

- nethnews

Sunday, 05 March 2017 13:18

සුදත් ගේ ‘TWO25 CROWS’

දෘශ්‍ය කලාවේ නව ප්‍රවණතා නිර්මාණය කරන ශ්‍රී ලාංකේය දෘශ්‍ය කලා නිර්මාණ ශිල්පියකු ලෙස පිළිගැනීමට ලක්ව සිටින සුදත් අබේසේකරගේ ‘TWO25 CROWS’ ස්ථාපන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය 2017 මාර්තු 10 සහ 11 දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වෙයි.

‘කපුටා නමැති අමුතු ජීවියා‘ යන තේමාව යටතේ සමාජ දේශපාලනික කරුණු පිළිබඳ සිය විශ්ලේෂණාත්මක දෘෂ්ටිය දෙස් විදෙස් දෘශ්‍ය කලා රසික ප්‍රජාව සමඟ ඛෙදාහදාගැනීම සඳහා සුදත් විසින් පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය මෙරට දෘශ්‍ය කලා ප්‍රදර්ශන අතරට නව මානයක් එක් කරනු ඇත.

කපුටාගේ ගතිසිරිත්, පුරුදු සහ හැසිරීම් රටා සියුම්ව නිරීක්ෂණය කරමින් ඒ ඇසුරින් සමාජ දේශපාලන චර්යාවන් විමසුමට ලක් කිරීමට දරන උත්සාහයක් ලෙස ඉදිරිපත් කෙරෙන මෙම ස්ථාපන ප්‍රදර්ශනය මඟින් යථාර්ථය වෙනත් කෝණයකින් හඳූනාගැනීමේ අවස්ථාව සහෘද කලා රසියකයින්ට පිරිනැමෙයි.

මෙයට පෙරද දෙස් විදෙස් දෘශ්‍ය කලා ප්‍රදර්ශන රැසක් පවත්වා ඇති සුදත් අබේසේකර Contemporary Youth (2000) David, Lotus and Butterfly (2003)Media Barbeque (2004) Media Stress (2010), Baby Cot (2013) සහ Form Dform (2014) ඇතුළු ස්ථාපන කලා ප්‍රදර්ශන ගණනාවක් ද පවත්වා ඇත.

ස්ථාපන කලාව පිළිබඳ විශේෂ අධ්‍යයන අවස්ථාවන් ලබමින් සහ ජාත්‍යන්තර පුහුණු සැසි සඳහා සහභාගි වෙමින් විශේෂඥතාවක් හිමි කරගෙන සිටින සුදත් එම විශේෂ කලා මාධ්‍යයෙහිලා පළ කළ ශක්‍යතාවන් උදෙසා ජාත්‍යන්තර ඇගයීම් රැසකින්ද පිදුම් ලබා ඇත.

ස්ථාපන කලාව පිළිබඳ සංකල්පය මෙරට ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව ඉදිරි කාලයේදීද මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් තවත් ස්ථාපන දෘශ්‍ය කලා ප්‍රදර්ශන පෙළක් පැවැත්වීමට ද සුදත් අපේක්ෂා කරයි.

මාර්තු 10 සහ 11 දිනවල ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවැත්වෙන ප්‍රදර්ශනයෙන් පසුව එය මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා මාසයක කාලයක් පුරා නුගේගොඩ ආර්ට්වේ කලාගාරයේදී පැවැත්වෙනු ඇත.

- mirrorarts

පාතාල නායක ‘සමයං’ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණ මරාදැමීමට අංගොඩ ලොක්කා සැලැසුම්කර ඇත්තේ ඔහුට සමයංගේ ගෝලබාලයින්ගෙන් සිදුවූ හිරිහැර නිසා බව පොලිස් පරීක්ෂණ කණ්ඩායම් අනාවරණය කරගෙන තිබේ.

අංගොඩ ලොක්කාට ඇපමත නිදහස්ව ඇවිත් නිදහසේ ජීවත්වන්නට සමයං අවස්ථාව ලබාදී නැති අතර ලොක්කාට උදව්කරන අය සොයමින් හිරිහැර කර ඇති බව පැවසේ.

සමයං කඩුවෙල, අතුරුගිරිය හා අංගොඩ යන ප්‍රදේශයන්හි බලය තහවුරු කරගෙන කොළඹ හා අවිස්සාවේල්ල යන ප්‍රදේශ දක්වා ඔහුගේ පාතාල මෙහෙයුම් දියත් කිරීමට සැලැසුම්කර තිබී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.

අතුරුගිරිය ප්‍රදේශයේ පාතාලයේ ක්‍රියාකාරියා ලෙස සිටින්නේ බාල්දි ප්‍රියන්ත නැමැත්තෙකු බව පැවසේ.

කවුද අංගොඩ ලොක්කා ?

අංගොඩ ලොක්කා නැමැත්තාද තවමත් වයස අවුරුදු 32ක අයෙක් බව පැවසේ.

ඔහු පාතාලයට එක්ව ඇත්තේ පාතාලයෙන්ම එල්ලවූ තර්ජන නිසා බවද වාර්තා වේ.

බන්ධනාගාර නිලධාරියකු ලෙස ඉල්ලුම්පත්‍රයක් දමා එම සේවයට යාමට දිනගණනක් තිබියදී තමන්ට හා හිතවතුන්ට හිසරදයක් වූ අංගොඩ මෝචා අහවර කර බන්ධනාගාරගත වීමෙන් පසුව ඔහු පාතාලයට ඇදවැටී ඇත.

අංගොඩ මෝචා පාතාලයේ ගෝඩ්ෆාදර් වූ කරාටේ ධම්මිකගෙන් පසුව බිහිවූ චන්ඩියෙකි.

වර්තමානයේ අංගොඩ ලොක්කා සමඟ සිටින රත්තරංගේ අයියාට ද මොචාගෙන් කරදර තිබූ බව පැවසේ.

අංගොඩ, මුල්ලේරියාව, වැල්ලම්පිටිය යන ප්‍රදේශවල බලය විහිදුවන අංගොඩ ලොක්කා දකුණේ පාතාලයේ ප්‍රබල චරිතයක් වන මාකඳුරේ මධුෂ්ගේ කිට්ටුම මිතුරෙකු බවද කියවේ.

මධුෂ්ගේ විරුද්ධ කල්ලිය වන කොස්ගොඩ සුජීගේ කල්ලිය සමයංට ළංවීම නිසා මධුෂ් අංගොඩ ලොක්කාට සම්බන්ධ වූ බව පැවසේ.

මධුෂ්ට එල්ලව ඇති චෝදනා අතර බරපතලම චෝදනාව සේ සැලැකෙන්නේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තෙටිය ඝාතනයේ මහ මොළකරු ලෙස කටයුතු කිරීමය.

මධූෂ් හා සුජී යන දෙදෙනාම මේවන විට විදෙස් රටවල්වල සිටින බවට පොලිසිය සැකකරනු ලබයි.

-srilankamirror

ඉංග්‍රීසීන් විසින් ද්‍රෝහීන් ලෙස නම්කර තිබූ ඌව වෙල්ලස්ස කැරැල්ලේ ඡාතික වීරයන් 82 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට පත්කිරීමට මහනුවර මගුල්මඬුවේ පැවැති ජාතික උත්සවයේදී අස්ගිරි පාර්ශවයේ නායක ස්වාමීන් වහන්සේ නමකගේ වටාපතේ වීර කැප්පෙටිපොළ ජාතික විරුවානන්ගේ ඡායාවක් වැටී තිබූ බවට කටකතාවක් පැතිර තිබේ.

වීරයන්ට පිං පැමිණවීම සිදුකළ අවස්ථාවේ මෙය සිදු වූ බවත්, බස්නායක නිලමෙවරුන් සියසින් දැක ඇති බවත්, ජනාධිපති කාර්යාල මාධ්‍ය අංශයෙන් අප කළ විමසීමකදී කියා සිටියේය.

එහි ප්‍රකාශකයකු පැවසුවේ මෙය මහා ප්‍රාතිහාර්යක් බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය මුලින්ම දැක ඇත්තේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා බවයි.

දේශප්‍රේමින් කිරීමේ උත්සවය ජනපති මෛත්‍රීපාල සිරියේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 01 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී සිදු විය.

වසර 1818 දී ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට දායකවීමේ හේතුව මත අධිරාජ්‍යවාදීන් මරණීය දණ්ඩනය පැමිණවූ හා රටින් පිටුවහල් කරනු ලැබූ විරුවන් දේශප්‍රේමීන් ලෙස මෙහිදී නම් කරනු ලැබීය.

එම අවස්ථාවේ වටා පතේ තිබූ කැප්පෙටි පොළගේ අවතාරයේ ජායාරූපයක් ඉරිදා රිවිර පුවත්පත ප්‍රකාශයට පත්කර ඇත.

එය පහත දැක්වේ.

-srilankamirror

උගන්ඩාවේ උතුරුදිග ප්‍රදේශවල දිවි ගෙවන කරමාජෝන්ග් ගෝත්‍රයට අයත් ජනයාගේ ඛේදනීය ජීවිතවල තතු අනාවරණය කෙරෙන වාර්තාවක් බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත් පත පසුගිය දා පළකර තිබිණ. දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශය පුරා පැතිර පවත්නා ආහාර හිඟය නිසා කරමාජෝන්ග් ජනයා දිනකට ආහාර වශයෙන් ගන්නේ එක ආහාර වේලක් පමණක් බව වාර්තාවෙහි දැක්වේ. ඔවුන් එසේ ලබාගන්නා ආහාරවේල වුව ඉතාමත් අපිරිසිදු මට්ටමක පවතින බව වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි. එනිසා කරමාජෝන්ග් ගෝත්‍රික ජනයා අතර වසංගත රෝග පැතිර යාමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බවත් සඳහන් වේ.

ඉතාමත් හුදෙකලා තත්ත්වයකට පත් ජන කොටසක් හැටියට සැලකෙන කරමාජෝන්ග් ගෝත්‍රික ජනයා බෙහෙවින්ම සරල ජිවන චර්යාවකට හුරුවුණු පිරිසකි. දල රෙදි කඩකින් විලි වසා ගෙන සැතපුම් ගණන් දුර බැහැර ගෙවා ජලය සහ ආහාර සොයා යන ජන කොටසක් හැටියටත් ඔවුන් ප්‍රකටය. ඇතැම් තැනෙක දැක්වෙන අන්දමට ඔවුන් දවසේ පැය විසි හතරෙන් පැය දහයක කාලයක් වත් ගමනෙහිම යෙදෙති. දැඩි අව්වෙන් වියළි පරඬැල් බවට පත් ගස් කොළන් අතර ඔවුන් දෙපා නඟන්නේ කෙසේදැයි කියා කෙනෙකුට සිතාගන්නටවත් බැරි තරම්ය. ඒ, මහා පොළොව ඒ තරමටම රස්නෙ බැවිනි. ඒ රස්නෙන් ඔවුන්ගේ පා ආරක්ෂා වන්නේ සමහරවිට යන්තමට පයෙහි රඳවා ගත් සම් කැබැල්ලක් හෝ අබලන්ව ගිය සෙරෙප්පු කුට්ටමක් හෝ වැනි දෙයකිනි .

අව් කාශ්ටයෙන් මිළාන වුණු පරිසරයක ජීවත් වුණත් කරමාජෝන්ග් ජනයා වර්ණවත් ජීවිතයක් ගත කරන පිරිසකි. නොයෙක් වර්ණ සහ හැඩවලින් යුත් පබළුවලින් තනන අබරණ අතෙහි, කනෙහි සහ ගෙලෙහි ලන්නට ඔවුහූ තද කැමැත්තක් දක්වති. එමෙන්ම ප්‍රමාණයෙන් විශාල අබරණ පලඳින්නටත් ඔවුහූ ආශා කරති. එය හුදෙක් පෞද්ගලික ආශාවකට එහා ගිය සංස්කෘතිකමය වැදගත්කමක් ඇති දෙයක් හැටියට ඔවුහූ දකින්නාහ. ක්‍රීඩාශීලි බව සිය ගතෙන් නිරන්තරයෙන්ම හුවා දැක්වීම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතය. එනිසා සිරුර පුරා තිත් සහිත රටා කෙටීම සම්ප්‍රදායක් හැටියට ඔවුහූ කරගෙන යති. වැඩිවිය එළඹුණු කල, කෙනෙකු පරිණත තත්ත්වයට පත්ව ඇති බව ඔවුන්ගේ සමාජයට දන්වා සිටින්නේ යටි ඇන්දේ ඉදිරි දතක් ගලවා දැමීමෙනි.

කරමාජෝන්ග් ගෝත්‍රික ජනයා අදටත් ගෙවන්නේ ගව පාලනය මුල් කරගත් ජීවන රටාවකි. ගවයන්ට කන්නට තණකොළ සහ බොන්නට වතුර සොයාගැනීම දැන් ඔවුන්ට කෙසේවත් කළ නොහැකි කාර්යයකි. දැඩි පෑවිල්ල නිසා වියළුණු තණ බිම් වෙත ගවයන් දක්කාගෙන යන ඔවුහූ ඉතිරිවී ඇති තණපත් උලා කන්නට ගවයන්ව නිදහස් කරති. ඒ අතර වාරයේදී බඩගින්නක්, පිපාසයක් දැනුණහොත් එළදෙනකගේ තන බුරුල්ලට කට තබා කිරි බිඳක් බොන්නට කරමාජෝන්ග් ගොත්‍රිකයන් මැලි වන්නේ ද නැත. ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත්වන අපට එය තරමක් නුහුරු අත්දැකීමක් වන්නට පුළුවන. නමුත් දිනකට පැය දහයක් ඇවිදිමින් සංචාරක ජීවිතයක් ගෙවන, තවත් එක මොහොතක් හෝ ජීවත්වන්නට වෙර දරන ඔවුන්ට එය එතරම් ගැටලුවක් නොවේ.

අද මේ ආකාරයට ඉතා හුදෙකලා සහ දුෂ්කර ජීවිතයක් ගත කළද දීර්ඝ ඉතිහාසයක් පුරා කරමාජෝන්ග් ගෝත්‍රික ජනයාගේ අක්මුල් විහිදෙන බව කිවයුතුය. ඔවුන් පිළිබඳ තොරතුරු මුලින්ම වාර්තා වන්නේ ක්‍රි. ව. 1600 තරම් ඈත භාගයේදීය. එකල ඔවුන් උගන්ඩාවේ ඊශාන දිග ප්‍රදේශවල ජීවත්වුණු බව කියැවේ. උගන්ඩා රාජ්‍යයට යටත් බිමෙන් දහයෙන් එකකට සමාන පෙදෙසක් පුරා එවක ඔවුන්ගේ නිජ බිම් පැතිර තිබුණු බව මානව විද්‍යාඥයෝ පවසති. මේ ජනයා උගන්ඩාවට සංක්‍රමණය වන්නට ඇත්තේ අද ඉතියෝපියාව වශයෙන් නම් කර ඇති ප්‍රදේශයෙන් යැයි කියා මතයක් ඇත.

- මංජුලා විජයරත්න-mail online ඇසුරෙනි_දිනමිණ

පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථානයට අයත් තිවංක පිළිමගෙයි බිත්ති මත සිතුවම් කොට ඇති පිටසක්වළ ජීවියකුගේ බව සැලකෙන චිත්‍රය විනාශයට පත්වෙමින් පවතින හෙයින් මෙය විදේශීය ශිල්පීන්ගේ සහාය ඇතිව සංරක්‍ෂණය කළ යුතුව තිබේ.

හිස්වැසුමක් පැලඳ සිටින අජටාකාශගාමියකුගේ හැඩයෙන් යුත් මිනිසකු මෙහි සිතුවම් කොට ඇති අතර මෙම චිත්‍රය පිළිබඳ මේ දක්වාම පුරාවිද්‍යාඥයන් මතයක් ප්‍රකාශ කොට නොමැත.

මෙවැනිම සිතුවමක් ඉන්දියාවේ ජේතවනාරාමයේද සිතුවම් කොට ඇති බව පැවැසෙන අතර මිසරයේ ඉපැරැණි සිද්ධස්ථානවලද මෙවැනි සිතුවම් දැකගන්නට ලැබෙන බව පැවැසේ.වෙනත් ග්‍රහලෝකවලින් පැමිණෙන ජීවීන් තිවංක පිළිමගෙයටද වරින්වර පැමිණි බවට සාක්කි ඇතැයි මෙම සිද්ධස්ථානයේ රාජකාරියේ නිරත පුරාවිද්‍යා මුරකරුවන් කිහිප වතාවකදීම මාධ්‍යවලට ප්‍රකාශ කොට තිබිණි.

පෙර අතීතයේ සිටම පිටසක්වළ ජීවීන් මෙම ස්ථානයට පැමිණි බවට මෙම සිතුවම් නිසා අනුමාන කළ හැකි බවද මෙම චිත්‍රය පරීක්‍ෂා කරන විදේශිකයන් සඳහන් කරන බව මෙහි රාජකාරියේ නිරත පුරාවිද්‍යා මුරකරුවෝ සඳහන් කරති.

- තමන්කඩුව - ගාමිණී ඔබේසේකර_මව්බිම

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website