Wednesday, 11 October 2017 08:42

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන්ට අසාධාරණයක් - බන්දුලගෙන් විග්‍රහයක්!

මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉතා ඉහළ මට්ටමක පැවැතීමෙන් සිසුන්ට විශාල අසාධාරණයක් වී ඇති බැවින් ඉකුත් රජය යෝජනා සම්මත කර තිබූ පරිදි ශිෂ්‍යත්ව ප්‍රමාණය 25000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නැයි හිටපු අධ්‍යාපන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

ඉකුත් රජයේ 2015 අය වැය යෝජනාවක් ලෙස පහ වසර ශිෂ්‍යත්ව ප්‍රමාණය 15000 සිට 25000 දක්වා ඉහළ දැමීමටත්, ශිෂ්‍යත්ව මුදල රුපියල් 500 සිට 1500 දක්වා වැඩි කිරීමට අවශ්‍ය මුදල්ද වෙන් කර තිබූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම කරුණු අනාවරණය කළ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“අපේ රටේ දෙමාපියන් නොදන්න ලකුණු ක්‍රම තුනක් මේ ශිෂ්‍යත්ව විභාගය තුළ තිබෙනවා. එකක් තමයි ශිෂ්‍යත්වය සමත් ලකුණු සීමාව. එය ලකුණු 70ක් ලෙසයි පිළි ගන්නේ. ලකුණු 70ක් ලබාගත් හැම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම ශිෂ්‍යත්වය සමත් බව සඳහන් කරලා අපේ රජයෙන් සහතිකයක් දෙන්නත් පටන් ගත්තා. දෙවැනි ලකුණු සීමාව තමයි කඩඉම් ලකුණු සීමාව. මේ ලකුණු ගණනය කරන්නේ ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ශිෂ්‍ය සංඛ්‍යාව අනුවයි. මෙවර එය ඉහළ අගයක් ගෙන තිබෙනවා. ඒක දරුවන්ට සිදු වූ අසාධාරණයක්. ඒ නිසයි අපි රජයට කියන්නේ මෙවර අය වැයෙන් මේ ශිෂ්‍යත්ව සංඛ්‍යාව 25000 දක්වා වැඩි කරන්න කියලා. එහෙම වුණොත් කඩඉම් ලකුණු සීමාව 150-155 අතරට ගන්න පුළුවන් වේවි.“

“අනෙක් ලකුණු සීමාව තමයි ජනප්‍රිය පාසල් අනුව ලකුණු තීරණය කිරීම. මේ ආකාරයට පහ වසර ශිෂ්‍යත්වයේ ලකුණු සීමා තුනක් තිබෙනවා“ යැයිද ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.

නවතම පුවත්

Stats

There are 28593 listings, 821 categories and 101 owners in our website