Wednesday, 11 October 2017 08:44

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට කොන්දේසි මත ඇප හිමිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ හෙලෝ කෝප් සමාගමේ විත්තිකාරියක ලෙස නම් කොට සිටිය දී අධිකරණය මඟ හැර විදේශගතව සිටි අත්අඩංගුවට ගනු ලැබු ඉරේෂා ද සිල්වා කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද(10) නියම කළේය.

විත්තිකාරියට ඇප දිම සම්බන්ධයෙන් නිතිපතිවරයා විරුද්ධත්වයක් නොදැක්වීම හේතුවෙන් රුපියල් ලක්ෂ පහක මුදල් සහ ලක්ෂ 50 ක් වටිනා ශරීර ඇප මත මුදා හැරිමට නියෝග කළේය.

මේ අතර ඇයගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදීමට නියෝග කළේය.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබේ.

නඩුව විභාගය පෙබරවාරි 16 වැනි දා පැවැත්වීමට නියමිතය.

ඉරේෂා ද සිල්වා අබුඩාබියේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

මීට පෙර ඉරේෂා ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු ද නිකුත් කර තිබිණි. ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා සිටි අතර, ඒ අනුව අබුඩාබියේදී ඇය අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත. පසුව ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපලට පැමිණි පසු ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට බාර දුන්නේය.

2013 ඔක්තොබර් පළමු වැනිදාත් 2014 අගෝස්තු 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධීකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

නවතම පුවත්

Stats

There are 28592 listings, 821 categories and 101 owners in our website