Monday, 19 February 2018 11:27

ජෝ සෙනෙවිරත්න

ජෝ සෙනෙවිරත්නයන් පිළිබඳව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් ඔහුගේ මුහුණ පොතේ තබා ඇති සටහන

මා රැඩිකල් දේශපාලනය යනු කුමක්දැයි ඊට ක්‍රියාකාරීව සහභාගී වෙමින් හදුනාගනිමින් සිටි කාලයේ මුණ ගැසුනු අපගේ පරපුරට අයත් කුඩා කණ්ඩායමක එක් පරමාදර්ශී චරිතයකි ඊයේ අප අතරින් සදහටම සමුගත් ජෝ සෙනෙවිරත්න සහෝදරයා. ඇත්තවශයෙන්ම මට ඔහු පිළිබද සටහනක් ලිවීමට සිත් වූයේ මා තුළ ඔහු සම්බන්ධව ඇති ඉතාම සංවේදී අතීත වේදනාත්මක මතක ගොන්නක් නිසාය. රැඩිකල් දේශපාලනය නම් වූ අතිශයින් දුරවබෝධ සහ ඇතැම් විට ලෝකය තුළ ම පැවැති වෙනම ලෝකයක් බදු වූ ඒ විශ්මලන්තයට මා කැදවා ගිය පිරිසෙන් එක් අයෙකි ජෝ. ඒ අපූරු සමාන්තර ලෝකය තුළ වෙනම අවකාශයක්, වෙනම කාලයක් මෙන්ම වෙනම ගැහැණුන් මිනිසුන් වෙනම ආකාරයේ සබදතා, වෙනම ආකාරයේ භාෂාවක් යනාදී සාමාන්‍ය ලෝකයට අයත් නොවූ, සාමාන්‍ය ලෝකයට තේරුම්ගත නොහැකි වූ සංඝඨක පැවැතිණි. ජෝ එහි අපූරු පුරුකක් විය.

මා ඔහු මුළින්ම හදුනාගත්තේ අපි එකළ නිතර ඇළ වූ පොස්ටරයක පැවැති නමක් ලෙසයි. පොස්ටරය තුළ සදහන් වූයේ මෙවැන්නකි. "ඉන්දික ගුණවර්ධන ජෝ සෙනෙවිරත්න ඇතුළු දේශපාලන සිරකුරුවන් නිදහස් කරනු!" ඉන් පසුව ඔහු සිර ගෙයින් නිදහස් වීමට පෙරම ඔහු සිරගත කර සිටි මැගසින් බන්ධනාගාරයේ මාසයක් කාලයක් රැදී සිටීමේ වරප්‍රසාදය මට ද උදා විය. එය වරප්‍රසාදයක් වන්නේ සිර ගත වීම රැඩිකල් දේශපාලනය තුළ භෞතීෂ්ම විමක් වැනි අත්දැකීමක් නිසාය. එම අත්දැකීම විදින අවස්ථාවේ, විශේෂයෙන් 1987 වැනි කාලයක එය බෙහෙවින් අමිහිරි අත්දැකීමක් වුව ද, පසුව එම අත්දැකීම ලැබීම කොතරම් වරප්‍රසාදයක් ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. සිරගතව සිටීම රැඩිකල් දේශපාලන ගෝත්‍ර තුළ විශේෂ කණ්ඩායමකට අයත් වීමට සුදුසු කමකි. ජෝ සහෝදරයා එලෙස සිරගතව සිටියේ මට වඩා බෙහෙවින් ඒ සුදුසුකම ලබා ගනිමිනි. 

ජෝ සහ රාම් (මානික්කලිංගම්) උපතින් කිතුබැතිමතුන් වීම නිසා ඉරිදා දිනයේ ඔවුන් රදවා සිටි විශේෂ සිර කුටියෙන් පිටතට ගෙනැවිත් ඉරිදා දේවමෙහෙයට සහභාගී විමේ අවස්ථාව ඔවුන්ට ලැබී තිබිණි. අප වැනි සාමාන්‍ය රැදැවියන්ට ද ආගමික් භේදයකින් තොරව ඊට සහභාගී වීමට හැකි වීම නිසා ජෝ සහ රාම් මුණගැසීමේ හැකියාව සෑම ඉරිදාවකම මට හිමිවිය. ඒ හමු වීම් අතිශයින් ආශ්වාදජනක ඒවා වීය. ලග එන විප්ලවය පිළිබද සිහිනය තවමත් තදින් දරා සිටි මා වැන්නන්ට ඒ අපූරු ලෝකය තුළට ගමන් කිරීමට විවෘත වූ දොරටුවක් වැන්න ඒ හමු වීම්. 
ජෝ සිරගෙයින් නිදහස් වූ ඉක්බිතිව ටික කළකට උතුරු-නැගෙනහිර පලාත්සභාවේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළේය. එකළ දකු‍ෙණ් දේශපාලන ක්‍රියාධරයින්ට ඊපීආර්එල්එෆ් සංවිධානයේ මෙහෙයවීම යටතේ ආයුධ පුහුණුව ලැබීමේ අවස්ථාව ලැබුණි. මට ද ඒ අවස්ථාව උදාවිය. ඒ සදහා අපට ජෝගේ උදව් ඉතා වැදගත් විය. ආයුධ පුහුණුව ලැබූ මුල් කණඩායමේ සාමාජිකයෙක් වූ මට තවත් වැදගත් අත්දැකීමක් වූයේ අමාත්‍ය ධූරය හෙබවූ ඔහුගේ සහ ඔහුගේ කොමියුනිස්ට් පාක්ෂික ඇමති සගයා වු අබු යූසුප් හමුවී එහි පැවැති ඉතාම සංකීර්ණ දේශපාලන වාතාවරණය පිළිබදව ඍජු අත්දැකීම් රැසක් ලබාගැනීමට හැකියාව ලැබීමයි.
එකළ ජෝ කිට්ටුවෙන් ඇසුරු කිරීමට වඩාත් ලැබුණේ අප විසින් ගොඩනැංවීමට උත්සාහ කළ "සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ව්‍යාපාරය" නම් සංවිධානයේ ක්‍රියාකාරිත්වය තුළයි. එම සංවිධානය මගේ දේශපාලන අදහස් විශේෂයෙන්ම, සම්ප්‍රදායික ලෙනින්වාදී රාමුවෙන් පිටතට යොමුකරවීමට බෙහෙවින් ඉවහල් විය. ඒ මගින් විවිධ ස්ථානවල පැවැත්වූ දීර්ඝ දේශපාලන කදවුරු බුද්ධිමය වශයෙන් බෙහෙවින් ආකර්ශනීය විය.

1990 දී යුක්තිය පුවත් පත ටැබ්ලොයිඩ් පුවත්පතක් ලෙස ආරම්භ වූ පසු ජෝත් මම ත් එහි කර්තෘ මණ්ඩලයේ සාමාජිකයින් වීමු. මට ජෝ අවසන්වරට හමුවූයේ ඔහු විසින් පරිවර්තිත ඔශෝගේ කෘති දෙකක් එළි දක්වන අවස්ථාවේය. එහි ප්‍රධාන කතාවක් කිරීමට ජෝ මට ආරාධනා කලේය. එදායින් පසු ඔහු මුණ ගැසීමට නොහැකි විය.

ඔහු පිළිබද ඇති අපූරු ම අත්දැකීම මට සිහිවේ. මීට අවුරුදු 25 කට පමණ පෙර ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සදහා වූ ව්‍යාපාරය නමුවූ සංවිධානයේ සංවිධායකයා වූ අභාවප්‍රාප්ත ජෝෂප් සහෝදරයා සුපුරුදු පරිදි උස්වැටකෙයියාව ප්‍රෙද්ශයේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධ රැස්වීමක් සංවිධානය කොට මටත් ජෝටත් කතිකයින් ලෙස ආරාධනා කළේය. අප දෙදෙනා රැස්වීම පැවැති ශාලාවට ඇතුල් වූ විට මගේ ඔළුව ගිණිගත්තේය. එහි වාඩිවී සිටියේ ළදරු පැසැල වයයේ සහ ඊට මදක් වැඩි වයස්වල ළදරුවන් පිරිසකි. ඔවුන් සමග ජනවාර්ගික ප්‍රශ්නය සාකච්ඡා කරන්නේ කෙසේද යන උභතෝකෝටික ප්‍රශ්නයට මා මුහුණ දුනි. "අපි ට්‍රයි එකක් දෙමු" යැයි ජෝ කීය. වෘත්තියෙන් පාසැල් ගුරුවරයෙක් ලෙස කටයුතු කර තිබූ ඔහුට එය මට තරම් දුෂ්කර අත්දැකීමක් නොවීය. වාසනාවට ජෝ ටයිටස් තොටවත්ත යැයි (ඔහුගේ රැවුල නිසා) ළමුන් වරදවා හදුනාගෙන සිටියේය. ඔවුන් එය ඍජුව ප්‍රකාශ නොකළ අතර "අංකල් ටීවී එකේ ඉන්නවා නේදැ" යි ඇසූ විට අප දෙදෙනාට එය පැහැදිළි විය. අප කිසිත් නොකියා සිටියෙමු. ජෝ ප්‍රශ්නයක් ඇසීය. "දුවල පුතාල දන්නවද ඔයාල අයිති වෙන්නෙ මොන ජාතියකටද කියල." ළමුන් දෙමළ සිංහල යනාදී විවිධ පිළිතුරු දිනි. ජෝ ගේ ඊළග ප්‍රශ්නය වූයේ "කොහොමද ඒ බව දන්නේ" යන්න විය. ළමුන් නිරුත්තර විය. සුළු නිහැඩියාවකින් පසු එක් ළමයෙක් අපූරු පිළිතුරක් ලබා දුණි. "විජය ආවනෙ". 

එදා පටන් මේ අත්දැකීම සහ ඒ ළමයාගේ පිළිතුර මගේ ප්‍රියතම පර්යේෂණ තේමාව වන "සිංහල ඓතිහාසික විඥානය" සකස් වන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමේද මම නිරතුරු භාවිත කරමි. මා ඒ අත්දැකීම දහස් වරකට වඩා මේ වන විට ප්‍රකාශ කර ඇත. ඒ සෑම අවස්ථාකම මට ජෝ සිහිවේ. ඉදිරියටත් මේ අවස්ථාව සිහිපත් කිරීමට මට සිදුවීම අනිවාර්යය වේ. ඒ නිසාම පමණක් වුවත් මට ජෝ අමතක කිරීමට නොහැකි වනු ඇත.

ළමුන් ටයිටස් තොටවත්ත ලෙස හදුනාගත් ටයිටස් තොටවත්ත මෙන්ම කිසිදා සිය අව්‍යාජ තුරුණු හදවත අහිමි කර නොගත් මේ අපූරු මිනිසාට මගේ ආචාරය!!!

නවතම පුවත්

Stats

There are 28588 listings, 863 categories and 101 owners in our website