Wednesday, 15 May 2019 08:35

ත්‍රස්තවාදය තුරන් කරන්න ඕනෑම සහයක් ලබාදෙනවා

චීන ජනපති ශ්‍රී ලංකා ජනපතිව උණුසුම් ලෙස පිළිගනිමින්. ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය

- චීන ජනපති ශ්‍රී ලංකා ජනපතිට සහතික වෙයි

* ආරක්ෂක කටයුතුවලට කෝටි 260ක පරිත්‍යාගයක්
* ජනපති ඉල්ලීමට ජීප් රථ 100ක් පොලිසියට
* දෙරටේ ආරක්ෂාවට අවබෝධතා ගිවිසුමක්
* නවීන තාක්ෂණික උපකරණ සමඟ දැනුම

ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබා දෙන බව චීන ජනාධිපති ෂි ජින් පින් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහතික වෙයි. චීනයේ එක් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපතිවරයා අතර නිල හමුව ඊයේ(14) පස්වරුවේ චීන ජනාධිපති මන්දිරයේ දී පැවැති අතර එහිදී මේ බව අවධාරණය කෙරිණි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ මතු වූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝට් 260ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ද චීන රජය පියවර ගෙන ඇත.එමෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝට් 150ක් වටිනා ජීප් රථ 100ක් ඇතුළු පහසුකම් වහාම ශ්‍රී ලංකාවට ලබා දීමට ද චීන ජනාධිපතිවරයා එකඟතාවය පළ කැර තිබේ.

මේ අතර දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙම රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව සිදු විය.

ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා චීන ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.

චීන ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කෙළේ ලොව කොතැනක වුව ද ම්ලේච්ඡ ත්‍රස්තවාදය තමා දැඩි ලෙස හෙළා දකින බවයි. අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ මෙහිදී සිය බලවත් අප්‍රසාදය පළ කළ චීන ජනාධිපතිතුමා එහිදී අසීරුතාවයට පත්වූ සියලු ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සිය කණගාටුව පළ කෙළේය.ත්‍රස්ත අභියෝගය ජය ගනිමින් යළි නැඟි සිටින ශ්‍රී ලංකාව සමඟ චීන රජය සෑමවිටම අත්වැල් බැඳගෙන සිටින බව මෙහිදී අවධාරණය කළ චීන ජනාධිතිතුමා ඒ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම සහයක් උපරිම ලෙස ලබාදීමට කටයුතු කරන බව ද කියා සිටියේය.අප්‍රේල් 21 වැනි දා සිදුවීම සහ එහිදී ගත් පියවර මෙන්ම ශ්‍රී ලංකාවේ නව ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා චීන ජනාධිපතිතුමා සමඟ විශේෂ කරුණු රැසක් සාකච්ඡා කෙළේය.

දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතා වැඩපිළිවෙළ ශක්තිමත් කැර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කැර ගැනීම සාකච්ඡාවට බඳුන් කෙරිණි.

එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ, ත්‍රස්තවාදය මැඩලීමේ දී මෙන්ම අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සැඟවී සිට ත්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදු කරන්නන් හඳුනා ගැනීමටත්, එම අපරාධ වළක්වා ගැනීම වෙනුවෙනුත් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශ්‍රී ලංකාවට නොමැති බවයි.

එම උපකරණ සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට කඩිනම් ලබාදීමට මෙහිදී එකඟතාවය පළ කළ චීන ජනාධිපතිතුමා ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

චීන ණය ආධාර මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළ අතර එම සංවර්ධන ව්‍යාපෘති බොහොමයක කටයුතු කඩිනමින් නිමා කිරීම තම අපේක්ෂාව බව ජනාධිපතිතුමා සඳහන් කෙළේය.එමෙන්ම චීන ආධාර යටතේ පොළොන්නරුවේ ඉදිකෙරෙමින් පවතින වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාව සෑමවිටම අවංක මිතුරකු ලෙස චීනයට ලබා දෙන සහය ද මෙහිදී චීන ජනාධිපතිතුමාගේ විශේෂ පැසසුමට ලක් කෙරිණි.

එමෙන්ම මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දියත් කළ වැඩපිළිවෙළ පිළිබඳව ද සිහිපත් කළ චීන ජනාධිපතිතුමා එම අභියෝගය ද ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවට විශ්වාසය පළ කෙළේය

(දිනමිණ)

නවතම පුවත්

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website