Thursday, 11 July 2019 03:29

පාස්කු ප්‍රහාරයට සැක සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර

ස්වර්ණා‍ විජේකෝන්, රෝෂන් තුෂා‍ර, චමිර ඇල්ලදෙණිය

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සැකකරුවන් 168ක් ද රක්ෂිත බන්ධනාගාර ගතව 167 ක්ද සිටින බවත් මෙම සිදුවීම් මාලාවට සම්බන්ධ සියලු පිරිස් වලට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත නීත්‍යානුකූලව කටයුතු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම සිදුවිමෙන් පසුව කුලියාපිටිය හා හෙට්ටිපොල ප්‍රදේශ වල සිදුවූ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන්ද මේවන විට පුද්ගලයින් 39 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් අගමැතිවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන්ද අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව මේ වන විට රැදවුම් භාරයේ සැකකරුවන් 168ක් ද රක්ෂිත බන්ධනාගාරගතව සැකකරුවන් 167 දෙනෙකුද සිටිනවා.

එම අත් අඩංගුවේ පසුවන සැකකරුවන් මේ සිද්ධියට සෘජු හා වක්‍රව සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා‍.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 99 දෙනෙකු මේවන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව නීතිපතිතුමාගේ උපදෙස් මත ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරනවා. කුලියාපිටිය හා හෙට්ටිපොල සිදුවූ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයින් 39 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් ආධාර අනුබල ලබා දුන් අය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. වැරදි කළ අයට නිසි දඬුවම් ලැබෙන බව ස්ථීරයි‍.

(දිනමිණ)

නවතම පුවත්

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website