Monday, 12 August 2019 07:11

පො.පෙ නායක - මහින්ද ජනාධිපති අපේක්ෂක - ගෝඨාභය

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (11) නම් කළේය. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික මහා සම්මේලනයේදී එම පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අභිනව නායකයා ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා නම් කිරීමෙන් අනතුරුව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ‍එළිදැක්විණි. පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් නම්කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජ්‍ය පක්ෂයේ සහ ජනතාවගේ ආශිර්වාද මැද ගෝඨාභය රාජපක්ෂ මහතා වේදිකාවට පිවිසුණේය.

ඡායා - විමල් කරුණාතිලක සහ සුදත් මලවීර අනතුරුව සිය වැඩිමල් සොයුරු මහින්ද රාජපක්ෂ මහතාගේත් ආශිර්වාද ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ගොස් සුහදතාව පළ කළේය.

ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි, විනයගරුක රටක් ගොඩ නැගිය හැකි අපේක්ෂකයා ලෙසින් තමන් ගෝඨාභය තෝරාගත්තේ රටේම ජනතාවගෙන් ලද ඉල්ලීම මත බව මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුවට යා හැකි දුර දැන් තීන්දු වී අවසන් බව පැවසූ රාජපක්ෂ මහතා තමන් බලයට එන්නේ වෛර පිරිමසා ගැනීමට යැයි බොහෝ අය සිතුවත් තමාට වෛර කර දිනාගන්නට දෙයක් නැති බව පැවසීය. තමාට ලැබුණු අපේක්ෂකත්වය අනාගත දේශපාලනයේ විප්ලවීය වෙනසක් කරන්නට පැවරුණු යුග මෙහෙවරක් ලෙස දකින බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

බාර දෙන ඕනෑම වගකීමක් නොපැකිලව ඉටුකිරීමට කටයුතු කළ තමා ජනතාව ඉදිරියේ අද පැවරුණු වගකීමත් නොපිරිහෙළා ඉටුකිරීමට කැප වන බවත් හෙතෙම පැවසීය. සිය රජයක් තුළ රට තුළ ප්‍රථම කාර්යභාරය වන්නේ පූර්ණ ආරක්ෂාව තහවුරු කිරීම බවත් රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව තමා භාර ගන්නා බවත් ඒ මහතා කීවේය.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික පූජ්‍ය පක්ෂයත්, ඒකාබද්ධ වික්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත්පාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(Dinamina)

නවතම පුවත්

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website