Wednesday, 09 October 2019 19:07

අපිට ක‍ාගෙවත් ඉත්තෙක් වෙන්න අවශ්‍ය නෑ - මහේෂ් සේනානායක

සුදුස්සාට සුදුසු තැන හිමිවන අධ්‍යාපනය විප්ලවයක් රට තුළ ඇති කරන බව හිටපු යුද හමුදාපති, ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසයි. පවතින විෂය නිර්දේශය වෙනස් කරනවා නොව ආර්ථික ක්‍රියාදාමයට සෘජුව දායකත්වය ලබාදිය හැකි අධ්‍යාපන ක්‍රමයක් මේ තුලින් අපේක්ෂා කරන බව මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේය.

ජාතික ජනතා ව්‍යාපාරය ජනපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද (09) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්හ.

මල්වතු මහා විහාරයට ගිය ඒ මහතා මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් වහන්සේ බැහැ දැක තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළහ. මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව අපේක්ෂකවරයා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දුටුවහ.

අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය ඒ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දුටුහ.

අනතුරුව මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළහ.

විධායක බලතල නොමැතිව ජනාධිපතිවරයාට කිසිවක් කළ නොහැකි බව ප්‍රකාශ කළ ද පවතින බලතල අනුව ජනාධිපතිවරයාට කාර්යභාරයක් රාශියක් ඉටු කළ හැකියි. රටට විශාල බරක් වන කැබිනට් මණ්ඩලය කොපමණ ප්‍රමාණයකින් සමන්විත විය යුතුද යන්න තීරණය කළ හැක්කේ ජනාධිපතිවරයාටයි.

ජනාධිපති අපේක්ෂකධුරයට මා ඉදිරිපත් වුණේ කාගෙවත් අපේක්ෂාවක් ඉටු කිරීමට නොවෙයි. රට තුළ නාස්තිය දූෂණය පැහැදිලිව දක්නට ලැබෙනවා. ඊට තිත තැබීම තුළින් විශාල මුදලක් ඉතිරි කරගත හැකියි. එමෙන්ම රට ලබා ගන්නා ණය මුදල් ඵලදායි ලෙස ආයෝජනය කළ යුතු අතර ලබාගන්නා ණය හැකි උපරිම අයුරින් පාලනයකට ලක් කර ගත යුතුයි.

රටේ ජාතික ආරක්ෂාව, ත්‍රස්තවාදය පාලනය, පිරිසිදු භාවය, සෞඛ්‍යය සුරක්ෂිත ආදිය පිළිබඳව මම දැඩි අවධානයක් යොමු කරනවා. මම යුද හමුදාවෙන් ඉවත් වී ගතව ඇත්තේ මාසයක පමණ කාලයක් පමණයි. මේ වනතෙක්ම රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු වී තිබෙනවා.

නමුත් ලෝකයේ කිසිම රටක් ආරක්ෂිත යැයි සෑම අවස්ථාවකදීම කියන්න බැහැ. එක් අයකු හෝ යම් වරදක් සිදු කළහොත් ඒ තුළින් රටට දැවැන්ත අනාරක්ෂිත බවක් ඇති විය හැකි යැයි හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා, සිනමා නළු කමල් අද්දරආරච්චි මහතා, මහනුවර පුරවැසි හවුලේ කැඳවුම්කරු සුදන්ත සේනානායක මහතා, ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ෂයේ නියෝජිත නීල් ඩයස් මහතා ඇතුළු පිරිසක් මෙම හමුවට එක් විය.

(LNW)

නවතම පුවත්

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website