ඉරිදා, 02 මැයි 2021 10:00

කොරෝනා වසංගතය හමුවේ කෙළවරක් නොවන අධ්‍යාපන අවුලට උත්තර අවශ්‍ය බව නොදන්නා ගුරු සංගම් නායකයින් Featured

කොරෝනා වසංගතය හමුවේ පාසල් අරිනවාට වඩා වහන මේ රටේ, අවුරුද්දක් පුරා ඒ සම්බන්ධව කතා කරන ගුරු සංගම් නායකයෙකු මට තවම සොයා ගන්නට නොහැකිව ඇත.

ඒ අතර ප්‍රධාන නගරවල දෙමාපියන් “ඔන්ලයින් ඉගැන්වීම්” ගැන නැවත කතා කිරීමට පෙළඹී ඇත. මීට ඉහතින් බස්නාහිර පළාත හැර සෙසු පළාත්හි පාසල් අර්ධ වශයෙන් විවෘත කළ විටද “ඔන්ලයින් ඉගැන්වීම්” ගැන ලොකු උනන්දුවක් නාගරික මැදපංතිකයින් අතර තිබුණි. ඒ දිනවල ගුරු සංගම් නායකයින්ගේ ප්‍රමුඛතාව වූයේ ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැන කතා කිරීමය. එදා “ඔන්ලයින් ඉගැන්වීම්” ගැන මා “අධ්‍යාපන ලොක්කන් නොදන්නා ඔන්ලයින් අධ්‍යාපනය” මැයෙන් සමාජ මාධ්‍ය ජාලයන්හි සටහනක් තැබුවෙමි. එහි වූයේ අන්තර්ජාලය හා රූපවාහිනිය ඉගැන්වීමට යොදා ගැනීමේදී සිදුවන දෝස ගැන දළ සටහනකි.

 

දැන් අපි තුන්වන රැල්ලටද හසුවෙමින් සිටිමු. ළමුන්ගේ අධ්‍යාපනයට සිදුවන්නේ කුමක්දැයි කොතැනකවත් වැදගත් කතාවක් නැත. ගුරු සංගම් නායකයින් මේ අවුල් ගැන මොලෝ හසරක් නොදන්නා බව අලුතින් කිව යුත්තක් නොවේ. එහෙත් පසුගිය දිනවල එවැනි අඩුපාඩු ගැන දෙමාපියන් කිහිප දෙන ලියා තිබුණි. ඔවුන් ඇතැමුන්ගේ ප්‍රවේශයන්හි ඉතා සියුම් වූවත් නිශ්චිත වූ ආත්මාර්ථකාමයක් මම දුටිමි. අනෙක් දරුවන්ට කුමක් වූවත් තමන්ගේ දරුවන් ගොඩ දා ගැනීමේ යෝජනාවන් මම එහි කියවීමි.

 

කොරෝනා වසංගතය සමග පසුගිය අවුරුද්දේ මාර්තු සිට මේ වනවිට අවුරුද්දක් පමණ පාසල් අධ්‍යාපනය මුළුමනින් අඩාල වූ පසුබිමක ගුරු සංගම් නායකයින් කියා ගන්නාවුන් සොයන්නටවත් නැති සමාජයක, ඔන්ලයින් ඉගැන්වීම් සඳහා නාගරික සමාජයේ යළි ඉල්ලුමක් වර්ධනය වීම අසාමාන්‍ය නොවන්නකි. වැඩි දෙනෙකු දිගු විස්තර කියවීමට අකමැති හෙයින් ඉතා කෙටියෙන් ඒ පිළිබඳ මගේ පැහැදිලි කිරීමේ සටහන් මෙසේ තබන්නට සිතුවෙමි.

01. දැනට කෙරෙන ඔන්ලයින් ඉගැන්වීම් වලට මගේ ඇති විරෝධය එය කොර ගසා ඇවිදීමට කෙරෙන ඉගැන්වීමක් බඳු ඉගැන්වීමක් වනවාට අමතරව, ඉන් ළමුන් අති බහුතරයක්ද අත හැරෙන හෙයිනි.

ඇත්ත තත්ත්වය නම්, දෙලක්ෂ පණස්දාහකට ආසන්න ගුරු සේවාවේ අති බහුතරයක් “ඔන්ලයින් ඉගැන්වීම්” ගැන හරියාකාරව නොදන්නවා පමණක් නොව, ඔවුන්ගෙන් බහුතරයක් ස්මාට් ෆෝනයක් හරියට පාවිච්චි කරන්නට දන්නේද නැත. ගුරු සේවාවේ බහුතරයක් අන්තර්ජාල වෙබ් භාවිතයට හුරුවී ඇත්තේද නැත. මේ බහුතරයට ඊ-මේල් ලිපිනයක් හෝ නැත. එවැනි භාවිතයක් තනිව හුරුකර ගැනීමට කාලයක්ද ඔවුන්ට ඇත්තේ නැත.

අධ්‍යාපන අමාත්‍යාංශයද අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමේ හා සැලසුම් කිරීමේ වගකීමක් ඇති ජාතික අධ්‍යාපන ආයතනයද (NIE) මෙතෙක් ගුරුවරුන් සඳහා ඔන්ලයින් ඉගැන්වීම් පුහුණු කිරීම ගැන වැදගත් අවධානයක් යොමු කර නැත. එනිසාම ඔන්ලයින් ඉගැන්වීම් යැයි කෙරෙන පාඩම් පාසලින් පාසලට පමණක් නොව, එකම පාසලේ පංතියෙන් පංතියටද එකම අච්චාරුවකි.

එවගේම දැනට කෙරෙන ඔන්ලයින් ඉගැන්වීම් යනු “පුළුවන් එකා පුළුවන් විදියට අල්ලා ගිනිවී” යැයි හඳුන්වා දී ඇති ඉගැන්වීම් ක්‍රමයකි. එය පාසල් ළමුන් ලක්ෂ 42 කින් බහුතරයක් ළමුන්ට ඉගෙනීමේ අවස්ථා අහිමි කිරීමකි. ඉතා කෙටියෙන් කියන්නේ නම්, සියලු ළමුන්ට “සමාන තත්ත්වයන් හා සමාන අවස්ථා” සමග සහතික කළ යුතු “අධ්‍යාපන අයිතිය” මේ ඔන්ලයින් ඉගැන්වීමෙන් බරපතල ලෙස අහෝසි කෙරෙන්නේය.

එබැවින් ඔන්ලයින් ඉගැන්වීම් මොන මට්ටමෙන් පටන් ගත්තද එය හැමට හැම පංතියකම සමාන තත්ත්වයකින් ලබාගත හැකි සමාන අවස්ථා සමගින් මිස ආරම්භ නොකළ යුත්තකි.

 

02. ග්‍රාමීය පමණක් නොව නාගරිකවද අන්තර්ජාල පහසුකම්, කොම්පියුටර්, ස්මාට් ෆොන්, ටැබ් නොමැති ළමුන් අති විශාල සංඛ්‍යාවක් ඇත. ග්‍රාමීය සමාජයේ බහුතරයක් දෙමාපියන්ට දරුවන්ගේ එවැනි අවශ්‍යතා ගැන අවබෝධයක් ඇත්තේද නැත. එවැන්නක් දැරීමට ආදායම් ඇත්තේද නැත. මැදපංතික සමාජයේ විශේෂයෙන් රාජ්‍ය සේවයේ නියුතු දෙමාපියන්ගේ දරුවන්ට පවා එවැනි පහසුකම් ලබා ගැනීම බරපතල අපහසුවකි. දරුවන්ට ඔන්ලයින් පාඩම් ඉගෙනීම සඳහා තම ජංගම දුරකතන ගෙදර තබා රැකියාවට යන දෙමාපියන් විශාල සංඛ්‍යාවක් ඇත.

විද්‍යුත් මෙවලම් සඳහා එවැනි තාවකාලික විසඳුම් සොයා ගත්තද බොහෝ දෙමාපියන් මුහුණ දෙන ගැටළුව වන්නේ දරුවන්ට ඔන්ලයින් ඉගෙනීමට අවශ්‍යවන අන්තර්ජාල පහසුකම් - ඩේටා - මාසිකව ලබා දීමය. විශේෂයෙන් පාසල් යන ළමුන් දෙන්නෙක් හෝ තුන් දෙනෙක් ඉන්නා පවුලක එය බරපතල අමතර වියදමකි.

මේ ආර්ථික අපහසුව පියවා ගැනීමට නාගරික හා අර්ධ නාගරික පරිසරයන්හි ඇතැම් කොමියුනිකේෂන් හල් විවිධ පැකේජ ණයට ලබා දෙති. ඒවායේ ඒ සමග ළමුන් ලිංගික අතවරයන්ට ගොදුරුවන බවට පාසල් ගුරුවරුන් අතර පමණක් නොව දෙමාපියන් අතරද කතා ඇත. ඊට අමතරව, නාගරික හා අර්ධ නාගරික පරිසරයන්හි විශේෂයෙන් ඉහළ ශ්‍රේණිවල ඇතැම් සිසුවියන් දැනටත් නොයෙකුත් අනිසි භාවිතයන්ට හුරුපුරුදුව සිටිතැයි ගුරුවරු කියති. ඇතැම් සිසු සිසුවියන් එවැනි ඇබ්බැහිවීම් සමග පාසල් නොපැමිණෙන බවද වාර්තා වන්නේය. අන්තර්ජාලයට පිවිසෙන්නට “සිග්නල්” සොයා ගන්නට පිරිමි ළමුන් ගස් බඩ ගෑමත් වතුර ටැංකි මත නැගීමත් ඔවුන් ඉගෙනීමේ වීරයින් ලෙස හුවා දැක්වීමත් එවැනි තවත් අභාග්‍ය කතා ය.

සිසු සිසුවියන් අනිසි ඇබ්බැහිවීම් වලට ඇදී යාමේ සිදුවීම් ඇත්තේ අල්පයක් නොවේ. පාසල් ඇසුරෙහි, විශේෂයෙන් නගර ආශ්‍රිතව ඉහළ ශ්‍රේණිවල එවැනි හැඩ ගැසීම් මීට පෙර නොතිබුණාම නොවේ. නමුත් ඔන්ලයින් ඉගැන්වීම් නිසා අන්තර්ජාලයේ සරන්නට ලැබී ඇති නිල අවසරයත් සමග ළමුන් වැඩි සංඛ්‍යාවක් දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ අධීක්ෂණයෙන් පිට අසභ්‍ය “නිල් වෙබ් අඩවි” වෙත ගොඩ වන්නටත් ඒවා අත්හදා බලන්නටත් පෙළඹී ඇත. ඔන්ලයින් පාඩම් සඳහා මුදල් සෙවීමේ වගකීමෙන් දෙමාපියන් නිදහස්කර ඇතැම් ළමුන් එය තමන් වෙත පවරා ගැනීමත් මේ ලිංගික හැදියාවන් සාමාන්‍ය තත්ත්වයට පත් වන්නට හේතුවක් වී ඇත. පාසල් ළමුන්ගේ එවැනි විනය පිරිහීම් හා හැසිරීම් සඳහා පෙළඹවීම් පාලනය කිරීමට විසඳුම් නොමැතිව අපිළිවෙලකට අයාලේ කෙරෙන ඔන්ලයින් ඉගැන්වීම් තව දුරටත් නොකළ යුතුය.

 

03. පිරිහෙන විනය ගැන එතරම් අවධානයක් නොමැතිව ඔන්ලයින් හරියාකාරව ඉගැන්වීමට හැකි ගුරුවරුන් නොමැති බහුතර පාසල් සංඛ්‍යාවක් සමග තාක්ෂණික හා මානව සම්පත් සතු අසමානකම්, පරතර, දැනුවත්ව නඩත්තු කරමින් අඩාලෙට ඔන්ලයින් ඉගැන්වීම් කරගෙන යාමේ අනෙක් අසාධාරණය ඇත්තේ ජාතික තරග විභාග සඳහා ළමුන් ඉදිරිපත් කිරීමෙහි ය. දරුණු විෂමතා ඇතිව වසර ගණනාවක් ඔන්ලයින් ඉගැන්වීමෙහිදී අතහැර දැමුණු ළමුන්ද සමග අවසානයේ 11 හා 13 වසර අ.පො.ස ජාතික තරග විභාග පැවැත්වීම අතිශය අසාධාරණයකි. මේ ඔන්ලයින් ඉගැන්වීම් තව දුරටත් නොකළ යුත්තේද එනිසා ය.

 

මැදපංතික ඔන්ලයින් දොළදුක

ඉතා කුඩා කොම්පියුටර් හෝ ටැබ් තිරයකට සීමාවී පාඩම් ඉගැන්වීම ගැන කතා ආරම්භ වූයේ මීට දසකයකට හමාරකට පෙර දියුණු ජනප්‍රිය විදේශ විශ්ව විද්‍යාල ඔවුන්ගේ උපාධි මාඨමාලා අපේ රටේ අලෙවි කරන්නට පටන් ගැනීමත් සමග ය. මෙරට විශ්ව විද්‍යාල සීඝ්‍රයෙන් පිරිහීමත් ඒවායේ ප්‍රවේශය සඳහා තරග වැදීමේ වැදගත්කමක් නොතිබීමත් ඊට එකතු වූවකි. පොහොසත් කොළඹ මැදපංතික දෙමාපියන් එබැවින් ඔවුන්ගේ දරුවන් විදේශ අධ්‍යාපනයක් සඳහා සූදානම් කිරීමක් වශයෙන් ද්විතියික අධ්‍යාපනයට ඔන්ලයින් ඉගැන්වීම ඇතුළත් කිරීම ඉල්ලා සිටියහ. එය ආරම්භ වූයේ කොළඹ ප්‍රධාන පෙළ ජාත්‍යන්තර පාසල් වලින් ය.

 

කිසිදු පූර්ව සූදානමකින් හා සැළසුමකින් තොරව, එය පාසල් අධ්‍යාපනයෙහි “දියුණු ප්‍රවනතාවක්” බවට පත් කෙරුණේ පසුගිය යහපාලන ආණ්ඩුවේ “ටැබ් බෙදිමේ” යෝජනාවත් සමගය.

 

ඉහළ ශ්‍රේණි සඳහා “ටැබ්” බෙදා දීමේ සමස්ථ ව්‍යාපෘතිය පිටුපස ඇත්තේ යෝධ ජාවාරමකි. රජයේ පාසල්වල 10 වන ශ්‍රේණිය සහ ඉහළට සිසු සිසුවියන් මිලියන 1.2 ට වැඩි සංඛ්‍යාවක් ඇත. ඒ සංඛ්‍යාව වෙනුවෙන් ටැබ් ගෙන්වීමේ කොන්තරාත්තුව මේ වත්මන් සමාජයේ අත ලෙව කන වර්ගයේ කොන්තරාත්තුවක් නම් නොවේ. එබැවින් ටැබ් සඳහා ඔන්ලයින් ඉගැන්වීම් ප්‍රචලිත කෙරෙන්නේ අඩුපාඩු සම්පූර්ණ කෙරෙන අධ්‍යාපනයට අවශ්‍ය සැළසුම් සහගත ප්‍රතිසංස්කරණයක් සමගින් නොවේ.

 

පංතිකාමරය හා “ඇබිත්තං තිරය”

කෝවිඩ්-19 වසංගතය නිසියාකාරව පාලනය කර ගැනීමට නොහැකිව ඇති අර්බූදකාරී තත්ත්වය හමුවේ පාසල් වැඩි කාලයක් වසා තැබෙන අතර, පාසල් ඉඳහිට විවෘත කෙරෙන්නේද අඩාලෙට ය. එසේ සිදුවන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ පළාත් අධ්‍යාපන ලොක්කන්ගේ නොදැනුවත්කම් හා නොසැළකිලිමත්කම් වෙනුවෙන් ඔන්ලයින් ඉගැන්වීම රට පුරා ක්‍රියාත්මක කිරීම සමගින්ය.

 

ඔන්ලයින් ඉගැන්වීම, පිළිගත් සම්මත පංතිකාමරයේ ඉගැන්වීමෙන් බැහැර වන්නකි. එහි පංතිකාමර නැත. ඔන්ලයින් ඉගැන්වීම යනු ගුරුවරයා හෝ ගුරුවරිය තනිව හිඳිමින් අන්තර්ජාලය හරහා කොම්පියුටරයක, ටැබ් එහෙක හෝ ස්මාට් ෆෝන් එහෙක “ඇබිත්තං තිරයක” දිස් වන්නාවූ රූපමය පැහැදිලි කිරීම් සමගින් නිවෙස්වල තනිව ඉන්නා ළමුන්ට එකවර ඉගැන්වීම ය.

 

එය රූපවාහිනියටත් වඩා ප්‍රමාණයෙන් බෙහෙවින් කුඩා තිරයකට සීමා කෙරෙන ඉගැන්වීමක් බැව් තේරුම් ගත යුත්තකි. රූපවාහිනියක් ඉදිරියේ ළමුන් දුසිමක් වාඩි කරවා ඉගැන්විය හැකි නමුත් ඔන්ලයින් එළෙස ඉගැන්විය නොහැකි බැව් තේරුම්ගත යුත්තකි. ප්‍රධානම කාරණාව නම්, සෑම ළමයෙකුම තනිව තමන්ගේ උපකරණය ඉදිරියේ හිඳගෙන ඉගෙන ගත යුතු බවය. ඔන්ලයින් ඉගැන්වීමේදී කොහේදෝ සිට උගන්වන ගුරුවරයා සමග ළමයෙකුට නොතේරෙන දේ නැවත පැහැදිලිකර ගත නොහැකිය.

 

එවැනි කාරණා නිසා, පංතිකාමරයක ළමුන් 30 ක් 40 ක් ඉදිරියේ කියා දෙන පාඩම්, තනිව ඉන්නා ළමුන්ගේ ඇබිත්තං ටැබ් හෝ ස්මාට්ෆෝන් තිර වලට තොර තෝංචියක් නැතිව දෙසා බෑමෙන් ඉගැන්විය නොහැක. ඔන්ලයින් ඉගැන්වීමට සියලු පාඩම් සඳහා රූපමය පදනමක් සහිතව පාඩම් අලුතින් සකස් කළ යුතුව ඇත. එය එක් එක් ගුරුවරයාගේ දැනුම් මට්ටම අනුව කළ යුත්තක් නොවේ. සියලු පාසල් සඳහා පොදු ප්‍රමිතියක් සහ සමාන අන්තර්ගතයක් ඇතිව පොදු ඔන්ලයින් පාඩම් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම ඇතිව සකස් කළ යුත්තේ ය.

 

එවැනි පාඩම් සඳහා ෆ්ලෝරසන්ට් ආලෝකයක් සහිත ඉතා කුඩා තිරයක් දෙස ළමුන්ට පැය ගණන් බලා සිටිය නොහැකිවා පමණක් නොව, එය දෑසට හොඳ නැති බවත් පාඩම් සකස් කරනවුන් දැන සිටිය යුත්තකි. එබැවින් උපරිම විනාඩි 35 ට හෝ 40 ට සීමා කළ යුතු ඔන්ලයින් පාඩම් පෙළින් පෙළට නොකඩවා ඉදිරිපත් කිරීමෙන්ද වැළකිය යුතුය.

 

ජාතික අධ්‍යාපන ක්‍රමයක ඒ සඳහා මූලික අනිවාර්ය කොන්දේසි කිහිපයක් ඇත.

01. ඔන්ලයින් ඉගැන්වීමේ නවීන ක්‍රම ප්‍රගුණ කෙරුණු තොරතුරු තාක්ෂණය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති පුහුණු ගුරුවරුන් සිටීම

02. සියලු පාසල්වල සියලු ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම සඳහා එකම තාක්ෂණික මෙවලමක් භාවිතය අනිවාර්ය කිරීම

03. කොම්පියුටරයක, ටැබ් එහෙක හෝ ස්මාට් ෆෝන් එහෙක ඔන්ලයින් ඉගැන්වීම් කෙරෙන තාක්ෂණික මෙවලම පරිහරණය කිරීම සම්බන්ධ ළමුන්ට ප්‍රමාණවත් අවබෝධයක් ලබා දීම

04. අන්තර්ජාල පිවිසුම් සඳහා බාධාවන් නොමැති පහසුකම් හා සියලු ළමුන්ට සහ ගුරුවරුන්ට මාසිකව ප්‍රමාණවත් “ඩේටා” ප්‍රමාණයක් නොමිලේ ලබා දීම සහතික කිරීම

එකී මූලික කොන්දේසි වේ.

 

අවසන් වශයෙන් කිව යුත්තේ ඒ සියල්ල ඇතුළත් කෙරෙන පාසල් දස දාහටම අදාලව සැකසූ ජාතික අධ්‍යාපන සැළසුමක් වහා අවශ්‍ය බවය. එවගේම එය අනිවාර්යෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් නිරන්තරව වැසීම ප්‍රධාන කාරණාවක් ලෙස සළකා දරුවන්ගේ අධ්‍යාපනය අඩාල නොවන්නට සැළසුම් කෙරුණක්ද විය යුතුය.

 

එවැනි පරිපූර්ණ සැළසුමක් ඉල්ලා සිටින හා එවැන්නක අවශ්‍යතාව නොදකින, නොතේරෙන අඳබාල ගුරු සංගම් නායකයින් ගැන කිසි බලාපොරොත්තුවක් තැබිය නොහැකි හෙයින් එවැනි අධ්‍යාපන සැළසුමක් ඉල්ලා බල කෙරෙන ගුරු දෙගුරුන්ගේ ස්වාධීන හඬක් වහා අවශ්‍ය බව කිව යුතුව ඇත.

 

 

කුසල් පෙරේරා

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 29038 listings, 909 categories and 103 owners in our website