Education News

  • ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5කට වඩා වැඩි වුණොත් ප්‍රශ්න රැසක්
  • ධීවර කර්මාන්තයටත් ලොකු බලපෑමක්

අවුරුදු බිලියන හතරකටත් පෙරින් බිහිවූ බව කියන අපේ නිවහන, නැතිනම් පෘථිවියට අවසාන වතාවට ආවේ මිහිමවගේ හිතුවක්කාර බාලයා හෙවත් ‘නූතන මිනිසා‘ය. වචනයට ම නොව සැබෑවට ම හිතුවක්කාරයකු වූ නූතන මිනිසා වසර විසිදහසක් වූ සිය කෙටි ගමනේදී අවුරුදු බිලියන ගණනක පෘථිවි ඉතිහාසය සැණින් වෙනස් කළා යැයි කීමේ වරදක් නැත. ඉක්මන් ගමනින් ආ ගමනකින් නූතන මිනිසා වෙනස් කළ මහ පොළොවේ පැවැත්ම දැන් ඇත්තේ අනතුරේ ය. මේ අනතුර ගැන කියන්නේ ද නූතන මිනිසා ම ය. මහ පොළොවට මේ ඉරණම අත් කර දුන් මිනිසාම අද ඒ ඉරණම ආපස්සට හරවන්නේ කෙසේ දැයි සිතමින් සිටින්නේය. ගෝලීය දේශගුණ විපර්යාසවලට උත්තර සොයනා ලොව පුරා විද්වතුන් නම් පවසන්නේ මේ ගත වන්නේ ලෝකය බේරා ගැනීමට අපට ඉතිරිව ඇති අවසාන අවස්ථාව බවයි.‘මේ අන්තිම සිහි කැදවීමයි! ‘ඔවුන්ගේ වචන වලින් එය එසේ කියැවෙන්නේය. මේ අවසාන සිහි කැඳවීම ගැන වූ තීන්දුව ගන්නට තරම් වූ දත්ත මේ විද්වතුන් හමුවේ ගොනු වී ඇත්තේ දකුණු කොරියාවේදී පැවති දේශගුණ විපර්යාස පිළිබද අන්තර් රාජ්‍ය මණ්ඩලයේ හමුවීමකදී ය.

ගෝලීය දේශගුණ විපර්යාස සියල්ලට ම මුල පුරන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමයි. ඉදිරි වසර දොළහක කාලය තුළදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක එකයි දශම පහකින් ඉහළ යනු ඇතැයි මේ වන විට අනුමාන කර ඇත. ලෝකයේ එක් එක රටවල සිදුවන කාලගුණ හා දේශගුණ බලපෑම් වලට අදාළ උෂ්ණත්ව වෙනස් වීම් වල සාමාන්‍ය අගය මේ වන බව කියැවෙතත් ලෝකයේ එක් එක් රටවලට සිදුවිය හැකි බලපෑම මීට වඩා අඩු හෝ වැඩි විය හැකි බව විද්වත් මතයයි.

”‍දැනට හඳුනාගෙන තියෙන පාරිසරික බලපෑම වල හැටියට ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5කට සීමා කර ගැනීමත් එක්තරා විදියක දිනුමක්. මොකද මේ ප්‍රමාණය සෙල්සියස් අංශක දෙකක් දක්වා ඉහළ ගියොත් ඇති විය හැකි බලපෑම ඉතා වැඩියි. පෙනෙන විදියට මෙය පාරිසරික බලපෑමක් වුණත්, ලෝකයේ ආර්ථිකයට වගේම මිනිසුන්ගේ ජීවන තත්ත්වය වෙනස් වීම කෙරෙහිත් මෙය බලපෑම් ඇති කරනවා. ඒ නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නවතා ගන්නවා කියල දැන් අපිට කරන්න තියෙන දේ තමයි, උෂ්ණත්වය වැඩිවන ප්‍රමාණය හැකි තරම් අවම කර ගැනීම.

දැන් අපේ උත්සාහය මේ වැඩිවීම සෙල්සියස් අංශක 1.5 සීමාවේ නවතා ගැනීම. ලෝක දේශපාලනය මේ තත්ත්වය දිහා බලන්නේ මේ ගෝලීය උෂ්ණත්ව වැඩිවීම නිසා ලෝක ආර්ථිකයට බලපෑමක් සිදුවෙනවා කියන රාමුවේ ඉදගෙන, කොහොම වුණත් කාගේත් ඉලක්කය වෙන්න ඕන, මේ ගෝලීය උෂ්ණ්තවය වැඩිවීම අවම කර ගැනීමයි.”‍මේ දේශගුණ විපර්යාස මණ්ඩලයේ මුල් පුටුව දරන්නේ එවන් අදහසකි. 2030 අවුරුද්ද වන විට ගෝලීය උෂ්ණත්ව ඉහළ යෑමෙන් වැඩිම බලපෑමට ලක්විය හැකි ක්ෂේත්‍ර කිහිපයක් ද හඳුනාගෙන ඇත. ලෝකයේ ඉතා ම සංවේදී පරිසර පද්ධතීන් වන කොරල් පරිසර පද්ධතීන් සහ කඩොලාන පරිසර පද්ධතීන් මේ උෂ්ණත්ව වැඩිවීමේ දැඩි බලපෑමට යටත් වනු ඇතැයි කියැවේ. යම් හෙයකින් මේ උෂ්ණත්ව වැඩිවීම සෙල්සියස් අංශක දෙක දක්වා වැඩිවුව හොත් මේ පරිසර පද්ධති විනාශ වී යෑමට පවා ඉඩ ඇත.

මේ පරිසර පද්ධතීන් වලට සිදුවන බලපෑම නිසා ආර්ථිකමය වශයෙන් සංචාරක ව්‍යාපාරට දැඩි බලපෑමක් එල්ල විය හැකිය. ග්ලැසියර ප්‍රදේශවලට ඇතිවන බලපෑම ද මේ උෂ්ණත්ව වැඩිවීම නිසා වැඩිවෙමින් පවතින අතර, ලෝකයේ කුඩා දූපත් මුහුදු ජලයෙන් යටවී යෑමේ අවධානම ද ඒ නිසාම කෙමෙන් වැඩි වෙමින් පවතින බව නොරහසකි. අනෙක් කැපීපෙනෙන ආර්ථික බලපෑම සිදුවන්නේ කුඩා පරිමාණයෙන් සිදුවන ධීවර කර්මාන්තයටයි. ලෝකයේ වැඩිවශයෙන් ම සිදුවන කුඩා පරිමාණ ධීවර කර්මාන්තය නොගැඹුරු මුහුදේ සිදුවන්නක් වන අතර නොගැඹුරු මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම එ් කලාපය තුළ ජීවත්වන් මසුන්ට හානිකර ය. එවැනි තත්ත්වයක් හමුවේ නොගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කරගත නොහැකි තැනට ධීවරයා අසරණ වනු ඇත. සිතිය යුත්ත ඇත්තේ මෙතැන ය. මේ කිසිවක් කාර්මික අතින් දියුණුවට පත් වී සිටිනා ලෝකයේ විශාල බලවත් රාජ්‍යයන්ට සිදුවන බලපෑම් නොවේ. ඔවුන් සුළු පරිමාණ ධීවර කර්මාන්තයෙන් හෝ, සංචාරක කර්මාන්තයෙන් යැපෙන්නේ නැත. සිතන්න මේ කියන්නේ අප වැනි කිඩා ආර්ථික හිමි කුඩා රටවල් වලට සිදුවන බලපෑම ගැන නොවේද!

”‍සමස්ත ලෝකය ම මේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම කියන ගැටලුව විසදා ගැනීමට සිය දායකත්වය ලබා දිය යුතුයි. තමන්ගේ ඉපැයීම් වලින් කොටසක් මේ වෙනුවෙන් යෙදවිය යුතුයි”‍ දෙශගුණ විපර්යාස පිළිබඳ කමිටුවේ නිර්දේශය එයයි.

”‍අපි හඳුනාගෙන තියෙන විදියට මේ වෙනුවෙන් කළ හැකි පහසු ම දෙය තමයි, මේ වන විට ලෝකයේ ක්‍රියාත්මක වෙන විශාලතම ක්‍රියාවලි හතරේ එනම් ශක්තිය භාවිතය, භූමිය භාවිතය, නාගරීකරණය සහ කාර්මීකරණය කියන කැපී පෙනෙන වෙනස්කම් සිදු කිරීම.

කෙටියෙන් කිව්වොත් පොඩි ම තැනින් මේ වැඬේ පටන් ගන්නවා නම්, සත්ව ආහාර ඒ කියන්නේ මස්, කිරි, චීස් වගේ කල් තබා ගන්න ආහාර වලට තියෙන කැමැත්ත ටිකක් අඩු කරලා තමන්ගේ රටේ තමන්ගේ ප්‍රදේශයේ නිපදවෙන ශාකමය ආහාර වලට නැඹුරු වීම, වගේම ආහාර අපතේ යැවීම අවම කිරීම, හැකි තරම් විදුලියෙන් ධාවනය වන වාහන භාවිත කිරීම, යන්නට තිබෙන්නේ කෙටි දුරක් නම් ඇවිදගෙන යෑම නැත්නම් බයිසිකලයක් පාවිච්චි කිරීම වගේ පුංචි දේවල්.

ගුවන් ගමන් අඩු කරමින් බස්රිය සහ දුම්රිය යොදාගෙන ගම්න් බිමන් යෑම එහෙමත් නැතිනම් ගමන් නොයෑම වීඩියෝ කොන්ෆරන්ස් වගේ දෙයකින් තමගේ සාකච්ජා පැවැත්වීම හරිම පහසු දේවල්. හැම නිතරම අඩු කාබන් ප්‍රමාණයක් තියෙන දේවල් ඉල්ලන්න වගේම පාවිච්චි කරන්න පුරුදු වෙන්න. වැදගත්ම දේ තමයි අපි පරිසරයට නිකුත් කරන අකාබන් ප්‍රමාණය උරා ගන්නා ක්‍රියාවලිය ශක්තිමත් කරන්න. ඒ කියන්නෙ ගස් සිටුවන්න. ගස් වලට තමයි වායුගෝලයේ එකතු වෙන කාබන් වලින් වැඩ ගන්න පුළුවන්”‍ අපේ වෙනස් වීම් පටන් ගත යුත්තේ එහෙම ය.විද්වත් මතයට අනුව ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙල්සිය 1.5 මට්ටමේ පවත්වා ගැනීමට නම් සපුරාගත යුතු ඉලක්ක පහකි. 2010 වසරේ තිබූ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 2030 වන විට සියයට 45 දක්වා අඩු කර ගත යුතුය, 2050 වන විට පුනර්ජනනීය බලශක්තී වලින් විදුලිය නිපදවීම් සියයට 85ක් බවට පත් කර ගත යුතුය. ගල් අගුරු භාවිතය සියයට බිංදුවක් කළ යුතු අතර දැනට ඕස්ට්‍රේලියාව තරම් විශාල බිමක් බලශක්ති නිපදවීම වෙනුවෙන් වෙන් කර යුතුය. එසේම වාහන වලින් පිටවන දුම 2050 වන විට සියයට බිංදුව බවට පත් කර ගත යුතු ම ය.

මේ ඉලක්ක සහනදායී මිලකට සපුරා ගැනීමට ලෝකයාට හැකි වන්නේ ද නැත. ස්වභාවිකත්වය වනසමින් හරි හම්බකරගත් මුදල් මේ පරිසර හිතකාමී ඉලක්ක සපුරා ගැනිම වෙන්වෙන් ආයෝජනය කළ යුතුව ඇත.

ගණන් බලා ඇති ආකාරයට මෙකී ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් 2016 සිට 2035 තෙක් කාලයට සමස්ත ලෝකයෙන් ම ආයෝජනය විය යුතු මුදල ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 2.4කි.”‍ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් 1.5ක අගයේ තිබුණොත් ඔබේ රටේ ආර්ථික වර්ධන වේගය උෂ්ණත්වය සෙල්සියස් දෙකට වැඩිවුනොත් තියෙන ආර්ථික වර්ධන වේගයට වඩා වැඩියි.ඒ ගැන හිතලා 1.5 සීමාවේ උෂ්ණත්වය තබා ගැනීම වෙනුවෙන් ආයෝජනය කරන්න.හොඳ දේවල් ලාභෙට ලැබෙන්නේ නැහැ!”‍ පර්යේෂකයෝ එසේ කියති. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් 1.5ක සීමාවේ නවතා ගැනීම ගැන වඩා සංවේදී වන්නේ මුහුදු මට්ටමට ආසන්න භූමියක් සතු දූපත් රටවල් බව අමුතුවෙන් කිව යුතු නොවේ.ගෝලීය උෂ්ණත්වය වැඩිවීමෙන් තමන්ට අහිමිවී යන්නේ තමන් සතු සියල්ල බව ඔවුහු දනිති.”‍මුල් කාලයේ අනතුරු අගවලා තිබුණේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීමෙන් ග්ලැසියර දියවීම පැසිපික් කලාපයේ දූපත් වලට බලපෑම් ඇති කරන බව.නමුත් අලු‍ත් අධ්‍යයනයන් වලින් කියැවෙනවා ලෝකය පුරාම තැන තැන තියෙන දූපත් හැම එකකටම මේ බලපෑම ඇතිවෙනවා කියලා. ඒ නිසා ගෝලීය උෂ්ණත්වය වැඩිවීම පාලනය කර ගැනීම සදාචාරය සහ මනුෂ්‍යත්වයට සංවේදී දෙයක් බවටත් පත් වෙනවා. මොකද ඒ දූපත් වාසින්ට අහිමි වෙන්න යන්නෙ ඔවුන්ගේ රට,ඒකත් මුළු ලෝකයම වගකිව යුතු වරදක් වෙනුවෙන්!”‍ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම පාලනය කිරීම ‘වහා ක්‍රියාත්මක විය යුතු‘ කටයුත්තක් වන්නේ ඒ නිසා ය. හුදු පරිසර ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීමම නොව ලෝකයේ දේශපාලන නායකත්වයේ දායකත්වය මේ වෙනුවෙන් වුවමනා වන්නේ ඒ නිසා ය.

පැරිස් සමුළුවේදී රටවල් එකඟ වූ ප්‍රතිපත්තීන් 2030 වන විට ක්‍රියාත්මක කරවීමට දේශපාලන නායකත්වයන් සමත් වේ නම් අවධානම අවම කර ගැනීමට ලෝකය සමත් වනු ඇත.”‍මේක තමයි අපි හරියටම තීන්දුවක් ගත යුතු වෙලාව.අපිට වුවමනා වෙන්නේ පිරිසිදු ශක්තීන්, ඒ වගේම තිරසාර ජීවන රටාවක්.

අපි අපේ වනාන්තර සහ ඒවායේ ජීවත් වන් ජීවීන් ආරක්ෂා කර ගත යුතුයි. මේ තමයි හොඳම කාලය හැරවුම් ලක්ෂ්ය හදා ගන්න.”‍දේශගුණ විපර්යාස මණ්ඩල වාර්තාවේ එසේ ලියැවී ඇත්තේය. ලෝකය මෙවන් අවදානමක තිබුණේ නැත.

මේ අවදානමට ලෝකය ඇද දැමුවේ අප ම ය. ලෝකය එයින් මුදවා ගත යුත්තේ ද අප ම ය. නැතහොත් සියල්ල අහිමිවී යන්නේ අපට ම ය. මහපොළව මතට අවසනායට ම එක්වී අලු‍ත් ම ජීවියා වන අප අපට ඕනෑ හැටියට මුරණ්ඩුකම් කිරීමේ වරදට දඩුවම දැන් ලැබී ඇත්තේ ය. ‘උෂ්ණත්වය වැඩි වූවාට, ග්ලැසියර දියවූවාට අපිට කමක් නැහැනෙ, පොඩි දූපත් යටවෙයිනෙ‘ කියා අහක බලා ගන්නට ලෝකයේ කිසිම බලවතකුට හැකියාවක් ද නැත. සැමගේ වරදින් හෙට පොඩි වුන් ද පසුදිනට ලොකුවුන් ද යට කරගෙන තම සාගරයේ අණසක පතුරුවන්නට මිහි මව දෙවරක් නොසිතනු ඇති නිසා ය. මිහිතලය තම නිවහන කරගත් සෑම මිනිසකුට ම මේ වගකීමෙන් මිදෙන්නට බැරිය.

අදම තීන්දුවක් ගත යුතුය. අද ම එක් ගසක් හෝ සිටුවා සිය වගකීම ඉටු කළ යුතුමය. ඒ ලෝකය උණුසුම් කරවන ‘ විමෝචනය වන කාබන් ‘ මට්ටු කර ගත හැක්කේ ගස් වලටම නිසා ය!

(සිළුමිණ)

වසර 55කට පසු භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමි වී තිබේ.

කැනඩාවේ ජීවත් වන ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් (Donna Strickland) මෙම සම්මානය දිනාගත් තෙවෙනි කාන්තාව බවට ඉතිහාසගත වන අතර, 1903 වර්ෂයේදී මාරි කියුරි සහ 1963 දී මරියා ගෝපර්ට්-මේයර් (Maria Goeppert-Mayer) මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ.

ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ්ට මෙම වසරේ ලැබුණ ත්‍යාගය එක්සත් ජනපදයේ ආතර් ඇෂ්කින් සහ ප්‍රංශයේ Gerard Mourou අතර සමසේ බෙදිණි.

භෞතික විද්‍යාවේ ඇති ලේසර් ක්‍රම පිළිබඳ සිදු කළ නව සොයාගැනීම් වෙනුවෙන් ඔවුන්ට නොබෙල් ත්‍යාගය හිමි වී ඇත.

ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට භාවිත කළ හැකි 'දෘශ්‍ය අඩුවක් (optical tweezers)' ලෙස හැඳින්වෙන ලේසර් ක්‍රමයක් වැඩිදියුණු කිරීමට ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් කටයුතු කර තිබේ.

මෙකී ලේසර් ක්‍රමය මගින් මෙතෙක් සොයාගත් කෙටිම සහ වේගවත්ම ලේසර් කිරණ නිර්මාණය කිරීමට මඟ පාදනු ලැබේ. ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් සහ Gerard Mourou විසින් Chirped Pulse Amplification(CPA) ලෙස හැඳින්වෙන ලේසර් ක්‍රමවේදයක් වැඩිදියුණු කර කරනු ලැබීය. මෙය පිළිකා සඳහා මෙන්ම, වසරකට සිදු කෙරෙන මිලියන ගණනක් ලේසර් අක්ෂි ශල්‍යකර්ම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.

මෙතෙක් කාලයක් කාන්තාවකට මෙම ත්‍යාගය හිමි නොවීම ගැන තමන් "පුදුමයට පත් වෙන" බව ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන් බීබීසී වෙත පැවසීය.

"මට සෑම අවස්ථාවකදීම පුරුෂයින්ට හා සමාන සැලකුම් ලැබුණා. මා සමග පුරුෂයන් දෙදෙනෙක්ද මෙම ත්‍යාගය දිනාගෙන තිබෙනවා. ඒ දෙදෙනාටත් මේ ත්‍යාගය එක සමානව අයිති වෙනවා," යැයි ඇය තවදුරටත් පැවසුවාය.

ජිනීවාහි විද්‍යාගාරයක පැවති සම්මන්ත්‍රණයකදී එක්තරා භෞතික විද්‍යාඥයෙකු සිදු කළ "ඉතා අප්‍රසන්න" දේශනයකින් දින කීපයකට පසු මෙම ත්‍යාග ප්‍රදානය සිදු විය. භෞතික විද්‍යාව "ගොඩනගා ඇත්තේ පුරුෂයින්" යනුවෙන් සඳහන් කළ ඔහු, පිරිමි විද්‍යාඥයන්ට වෙනස් කොට සැලකීමක් සිදුවන බව ද පැවසීය. එම දේශනයෙන් පසු ඔහු පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි.

එම භෞතික විද්‍යාඥයා "මෝඩ" අදහස් පළ කර ඇති අතර, තමන් ඒ කිසිවක් "පෞද්ගලිකව" අදාළ කර නොගත් බව ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන් පැවසීය.

භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයට අවසන් වරට හිමිකම් කී කාන්තාවන් වන්නේ, ජර්මනියේ ඉපදුණු ඇමෙරිකානුභෞතික විද්‍යාඥවරියක වන මරියා ගෝපර්ට්-මේයර්ය. පරමාණුවල ඇති න්‍යෂ්ටික ශක්තිය පිළිබඳ සිදුකළ සොයාගැනීම් වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමි විය.

රේඩියම් සොයාගැනීම වෙනුවෙන් පෝලන්ත ජාතික භෞතික විද්‍යාඥරියක් වන මාරි කියුරි 1903 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. රේඩියම් සොයාගැනීමේ පරීක්ෂණවලට එක් වූ සිය සැමියා වන පියරි කියුරි සහ Antoine Henri Becquerel අතර එම ත්‍යාගය සමසේ බෙදිණි.

මෙම ත්‍යාගය ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුක්තය.

"මුලින්ම ඔබට සිතෙයි එය ඇත්තටම පිස්සුවක් කියලා. මගේ මනසට ආපු පළමුවෙනි සිතුවිල්ලත් එයයි. ඒ වගේ, මෙය සැබෑවක්ද කියලත් සිතෙනවා," යැයි කැනඩාවේ 'වෝටර්ලූ' විශ්වවිද්‍යාලයට අනුයුක්තව සේවයේ නියුතු ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන් සිය ජයග්‍රණය ගැන එසේ පැවසීය.

"මේ තෑග්ග Gerard සමග බෙදා ගැනීම ගැන කියනවානම්, ඔහු තමයි මගේ වැඩ නිරීක්ෂණය කළේ. ඒ වගේම ඔහු මගේ උපදේශකවරයා. CPA ලේසර් ක්‍රමවේදය ඔහු ඉතා ඉහළ තැනකට රැගෙන ගියා. ඔහුට මෙම ත්‍යාගය ලැබිය යුතුමයි. ඒ වගේම ආතර් ඇෂ්කින්ට ලැබුණ ජයග්‍රහණය ගැන මම ඉතාමත් සතුටු වෙනවා."

"මම සිතන්නේ ඔහු මින් පෙරත් ඉතා විශාල සොයාගැනීම් ගණනාවක් සිදු කර තිබෙනවා. ඒ දේවල් භාවිත කරමින් අනිකුත් පුද්ගලයන් විශිෂ්ට දේවල් සිදු කරනවා. අවසානයේ දී ඔහුගේ සේවය ඇගයීම ගැන ඉතාමත් සතුටුයි," ඇය පැවසුවාය.

 (bbc news)

ලෝකය පුරා මිලියන 700 කට වැඩි පරිගණකවල මෙහෙයුම් පද්ධතිය ලෙස භාවිත කරන වින්ඩෝස් 10 සංස්කරණයේ 2018 ඔක්තෝබර් ප්‍රධාන යාවත් කාල කිරීම අද (3) නිකුත් කරන බව මයික්‍රසොෆ්ට් සමාගම නිවේදනය කර තිබේ.

කැපුම් සලකුණු සහිත පොසිල අස්ථි කොටස් හමුවීමත් සමග ලොව විසූ විශාලතම පක්‍ෂියා අතුගා දැමූ බවට ප්‍රාග් ඓතිහාසික මිනිසා දෙසට සැක මුසු ඇස යොමුවී තිබේ.

විද්‍යාඥයන්ට අනුව මැඩගස්කරයේ වාසය කළ දැවැන්ත එලිෆන්ට් පක්‍ෂියා දඩයම් කර, ආහාරයට ගෙන තිබේ.

මෙම සිරුරු කොටස් වසර 10,000 ක පමණ ඈත යුගය දක්වා කාල නිර්ණය කර තිබේ.

මැඩගස්කර දිවයිනේ මුල් පදිංචිකරුවන් මිට වසර 2,500 ත් 4,000 ත් අතර කාලය තුළ එහි පැමිණෙන්නට ඇති බව මින් පෙර විශ්වාස කළේය.

"මෙමගින් මානව ජනාවාස ඇතිවීමේ කාලය අවම වශයෙන් වසර 6,000 ක් අතීතයට තල්ලු කරනවා," එක්සත් රාජධානියේ සත්ත්ව විද්‍යා සංගමයේ විද්‍යාඥ ආචාර්ය ජේම්ස් හැන්ස්ෆෝඩ් ප්‍රකාශ කරයි.

කෙටි කාලයක් තුළ සතුන් මුළුමනින් ම අතුගා දමනවාට වඩා මිනිසුන් ඔවුන් සමග වසර දහස් ගණනක් තිස්සේ ජීවත්වූ බව පෙනේ. කෙසේවුවත් මින් වසර 1000 ට පමණ පෙර ඔවුන් වඳවී යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

"සංරක්ෂණයේ අලුත් මානයක් පෙන්වීමට හේතුවූ, මෙම යුගයේ ජෛව විවිධත්වයට බලපාන සීමිත ඍණාත්මක කරුණු හැරුණු විට, මානවයා දැනට වඳවී ගොස් ඇති සත්ත්ව විශේෂ මෙන්ම මෙම දැවැන්ත පක්ෂි විශේෂය සමග සහසම්බන්ධයෙන් වසර 9000 ට වඩා ජීවත්වූ බව පෙනෙනවා," ආචාර්ය හැන්ස්ෆෝඩ් පවසයි.

මෙම දැවැන්ත පක්‍ෂියා කලෙකදී මැඩගස්කරයේ සුලභ දසුනක් විය.

ඔවුන්ගේ බර අවම වශයෙන් ටොන් භාගයක් ද, සිටගත් විට මීටර් 3 ක පමණ උසකින් ද යුක්ත විය. ඔවුන්ගේ බිත්තර ඩයිනසොරයන්ගේ බිත්තරවලට වඩා විශාල විය.

ඉපියෝනිස් (Aepyornis) සහ මුලරෝනිස් (Mullerornis) ලෙස හැඳින්වෙන එලිෆන්ට් කුරුල්ලන් එකළ දුපතේ සිටි තවත් විශේෂ සමග ජීවත්වූ අතර, විනාශවී ගිය දැවැන්ත ලිමා (lemurs) ද ඒ අතර විය.

මෙම සතුන් පොළවෙන් නැතිවීයාම, එසේ වුයේ ඇයි ද යන්නත්, ඊට මානවයාගේ බලපෑම කෙතෙක් ද යන්න පිළිබඳව ද මතවාද කීපයක් ඇත.

(මව්බිම)

මේ වසරේ නව පිළිකා රෝගීන් මිලියන 18.2ක් වාර්තා වනු ඇතැයි නවතම අධ්‍යයනයක් හෙළිකර තිබේ.

පිළිකා හේතුවෙන් තවත් ලක්ෂ 96 ක පිරිසක් මේ වසරේ මිය යනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් ය.

පිළිකා රෝගයට අලුතින් ගොදුරුවන සංඛ්‍යාව, 2012 වසරට සාපේක්ෂව 4 %ක වර්ධනයකි.

එම අධ්‍යනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොව සෑම පුරුෂයන් පස්දෙනෙකුගෙන් එක් අයකුට ද, සෑම කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ද පිළිකා රෝගය වැළඳෙනු ඇති බවයි.

රටක් සංවර්ධනය වීමත් සමඟ වෙනස්වන ජීවන රටා හමුවේ පිළිකා රෝගය වැළඳෙන ප්‍රතිශතය ඉහළ යන බව ද එම අධ්‍යනයේ වැඩිදුරටත් සඳහන් ය.

ලොව පුරා මරණවලින් තුනෙන් එකක පිරිසක් පෙනහලු පිළිකා , පියයුරු පිළිකා සහ බඩවැල් ආශ්‍රිත පිළිකාවලින් මියයන බව ද එම අධ්‍යනයෙන් පෙන්වා දෙයි.

(නිව්ස්ෆස්ට්)

"අපි වැඩිහිටියන්ගේ ඇබ්බැහිවීම් හැටියට වැඩිපුර කතා කරන්නේ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පිළිබඳවයි. නමුත් ළමුන්, නව යව්වනයන්ගේ සහ තරුණයන්ගේ ඇබ්බැහිවීම් ඇතිවී තිබෙන්නේ නව තාක්ෂණික උපකරණත් සමගයි."

බීබීසී සිංහල සේවය සමග දරුවන්ගේ ඇබ්බැහිවීම් අතර රෝග තත්වයක් දක්වා වර්ධනයවූ 'වීඩියෝ ක්‍රීඩා ව්‍යාධිය' පිලිබඳ එසේ අදහස් දැක්වුයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පෞද්ගලික, පවුල්, සමාජ ජීවිතයේ සහ අධ්‍යාපන, රැකියා හෝ වෙනත් වැදගත් කාර්යයන්ට දැඩි ලෙස බලපාන පරිදි අවම වශයෙන් වසරක කාලයක් තිස්සේ වීඩියෝ ක්‍රීඩාව හේතුවෙන් ඇතිවිය හැකි සැළකිය යුතු මට්ටමේ අක්‍රීය බව 'වීඩියෝ ක්‍රීඩා ව්‍යාධිය' ලෙස හැඳින්වේ. ඒ අනුව, එය අන්තර්ජාතික රෝග වර්ගීකරණයට ඇතුළත් කර ඇත. දිනකට පැය හතරකට වඩා යමෙක් වීඩියෝ ක්‍රීඩාවේ යෙදේ නම් එය ව්‍යාධියක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ දක්වයි.

දැනට අන්තර්ජාලයේ සහ වෙළෙඳ පොළේ, සරල වීඩියෝ ක්‍රීඩාවල සිට ත්‍රාස ජනක එනම්, මිනිසුන් මරා දමන, හිංසා කරන, යුද්ධ ක්‍රීඩා දක්වා පරාසයන් තුළ විහිද ගොස් තිබෙන වීඩියෝ ක්‍රීඩා දැකිය හැකිය. ඒ අනුව සමහර ක්‍රීඩාවල ජග්‍රහණය තීරණය වන්නේ අවම ආයුධ භාවිතයෙන් උපරිම මිනිසුන් මරාදමන තරමටය.

"මේවා ඉතා දරුණු තේමාවන් සහිත පරිගනක ක්‍රීඩා. මේ තේමාවන් සහිත පරිගනක ක්‍රීඩාවේ යෙදීම මගින් දරුවන්ට පහරදීම්, ලේ දැකීම් සාමාන්‍ය සිද්ධි බවට පත් වෙනවා. මේවා දරුවාගේ සමාජ ජීවිතයට එකතු වෙනවා. මොකද දරුවෙක් කියන්නේ සමාජය දෙස බලා ඉගෙන ගන්නා කෙනෙක්," මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් ප්‍රකාශ කරයි.

වීඩියෝ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීම මගින් සිදුවිය හැකි හානිකර තත්ත්වයන් ලෙස මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මතු සඳහන් කරුණු ගෙනහැර දක්වයි:

  1. අධ්‍යාපනය කටයුතු සඳහා ඇති කාලය අහිමිවීම
  2. පවුලේ අය, යහලුවන් හෝ සමාජය සමග ගතකිරීමට ඇති කාලය ප්‍රමාණවත් නොවීම මගින් අත්දැකීම් අඩු පුද්ගලයෙක් බිහිවීම
  3. සෞන්දර්යය කෙරෙහි නැඹුරුවක් නොමැති වීමෙන් රස වින්ඳනාත්මක හැකියාව නොලැබීම
  4. කියවීමෙන්, සාමූහික ක්‍රීඩා කිරීමෙන්, සාමූහික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් මොලයේ සතුට දැනීමේ පරිපත සක්‍රීයවන බව ඔවුන්ට අත්දැකීම් නොමැතිවීම
  5. මේ ක්‍රියාවට විරුද්ධවන දෙමාපියන් ඥාතීන් සමග ගැටුම් ඇතිකර ගැනීම
  6. දෙමාපියන් හතුරන් ලෙස දකින්නට හුරුවීමෙන් දෙමාපිය සබඳතා අහිමිවීම
  7. නව යෞවනයෙක් ලෙස තමන්ට ස්වාධීන වීමට ඇති අවස්ථා අහිමි කරගැනීම
  8. සමාජ සබඳතා නැති පුද්ගලයන් බවට පත්වීම
  9. අත්දැකීම් නොමැති බැවින් ගැටලුවලට විසඳුම් සෙවීම වැනි සමාජ කුසලතා නොමැති පුද්ගලයන් බවට පත්වීම
  10. වැඩි කාලයක් විද්‍යුත් තිරය දෙස ඇස් යොමුවී ඇති නිසා විවිධ දෘෂ්‍යාබාධ ඇතිවීමේ හැකියාව
  11. ව්‍යායාම සිදු නොවන බැවින් කායික දුබලතා (ස්ථුලතාව, අලසකම වැනි) ඇති පුද්ගලයන් බවට පත්වීම

"දරුවෙක් වීඩියෝ ක්‍රීඩා කරන්නේ යම් කිසි කාල සීමාවක් තුළ පාලනයකින් යුතුව නම් ඒ දරුවා සම්පූර්ණයෙන් ඉවත් කරන්න කියා මනෝ වෛද්‍යවරු හැටියට අපට කියන්න බැහැ," ඔහු පවසයි.

සමස්ථයක් ලෙස දරුවෙක් දිනකට රූපවාහිනිය නැරඹීමට සහ වීඩියෝ ක්‍රීඩා කිරීමට ගතකරන කාලය පැය දෙකකට අඩු නම් එය ඇබ්බැහිවීම් යටතට නොගැනෙන බව මනෝ වෛද්‍ය විශේෂඥවරයා ප්‍රකාශ කරයි.

පාලනයක් සහිතව වීඩියෝ ක්‍රීඩා කිරීම මගින් දරුවන්ගේ ආතතිය පාලනයවන බවත් නොයෙක් කුසලතා වර්ධනයවන බවත් නොයෙක් පර්යේෂණවලදී අනාවරණයවී තිබේ.

එසේම, මහා බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ ක්ලෙයා වී හචින්සන් (Claire V. Hutchinson) සහ ඇගේ පර්යේෂණ කණ්ඩායම වීඩියෝ ක්‍රීඩා පුහුණුව ඔස්සේ අවධානය පාලනය කිරීම පිලිබඳ අධ්‍යනයක නිරත විය. එහිදී යම් ආකාරයක වීඩියෝ ක්‍රීඩා පිලිබඳ පුහුණුවක් ඇති එහිදී වීඩියෝ ක්‍රීඩා පුහුණුව සහිත පුද්ගලයන්ගේ ප්‍රතිචාර දැක්වීමේ වේගය එසේ නොවන පුද්ගලයන්ට වඩා සැලකියයුතු මට්ටමක පවතින බව තහවුරු විය ඔවුන් පෙන්වාදී ඇත.

කෙසේවුවත්, පසුව පීඩාවක් ලෙස සලකන වීඩියෝ ක්‍රීඩා සඳහා දරුවන් යොමුකරවන්නේ දෙමාපියන්ම බව තම අත්දැකීම යැයි මනෝ වෛද්‍ය විශේෂඥවරයා පැවසිය. ඔහුහේ අත්දැකීම් අනුව;

  1. ආහාර කැවීමට පහසු ක්‍රමයක් ලෙස,
  2. පාඩම් කිරීමට උනන්දු කරවීමක් ලෙස,
  3. දරුවන්ගෙන් ඈත්වී සිටීමට සුදුසු උපක්‍රමයක් ලෙස
  4. දරුවන් අසන ප්‍රශ්නවලින් ගැලවී සිටීමේ උපායක් ලෙස
  5. ඔවුන් දඟකාරකම්වලින් වලක්වාලීමට

එහි ප්‍රතිඵලයක් ලෙස;

"පාඩම් කරන්නනං වීඩියෝ ගේම් කරන්න ඉඩ දෙන්න ඕන"

"ගෙදර වැඩ කරන්න ඕන නං වීඩියෝ ගේම් කරන්න ඕන" යැයි නැගෙන ඉල්ලීම්වලට ඉඩ දීමට සමහර දෙමාපියන් හුරුවී සිටින බව මනෝ වෛද්‍ය විශේෂඥවරයා පවසයි.

වීඩියෝ ක්‍රීඩාවේ දීම ව්‍යාධියක් බවට පත්වූවිට එම ක්‍රීඩාවෙන් ඉවත්වී සිටින ලෙස දැනෙන අපහසුතා ලෙස;

  1. ආහාර ගැනීමට නොහැකිවීම
  2. නොසන්සුන් බව
  3. කෝපය ඇතිවීම
  4. නින්ද නොයාම
  5. අධ්‍යයන කටයුතු මතකයේ නොසිටීම, වැනි කරුණු පෙන්වාදිය හැකිය.

මේ තත්ත්වය වලකා ගැනීමට ගතහැකි ක්‍රියා මාර්ග;

  1. කාර්ය බහුල ජීවිතයෙන් ඈත්වී දරුවන්ට අවශ්‍ය ආදරය නිසි පරිදි ලබාදීම
  2. දරුවන් ගැන වැඩි අවධානයෙන් සිටීම
  3. කෑම කැවීම, පාඩම් කිරීම වැනි කරුණු ඉටුකරවා ගැනීම සඳහා කුඩා අවධියේ සිට වීඩියෝ ක්‍රීඩා කිරීමට ඉඩ හැරීමෙන් වැළකීම
  4. වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලට දරුවන් උනන්දු කිරීම
  5. දරුවා භාවිත කරන උපකරණ මොනවද, කොපමන කාලයක් ඒවායේ ගතකරනවද, ඒවායේ තියෙන තේමාවන් මොනවද යන්න පිළිබඳ දෙමාපියන් අවබෝධයෙන් සිටීම
  6. අන්තර්ජාලයේ නුසුදුසු අංගවලින් ආරක්ෂාවීම සඳහා තිබෙන යෙදවුම් (App) භාවිත කිරීම
  7. ළමයාගේ හැසිරීමේ වෙනස්කම් පිළිබඳ අවබෝධයෙන් පසුවීම
  8. අවශ්‍ය සීමා කිරීම් කිරීම හා ඒවායේ පාලනයට වෙනත් වරප්‍රසාද ලබාදීම සීමා කිරීම
  9. ඉහත ක්‍රම මගින් පාලනයක් කළ නොහැකි නම් සම්පූර්ණයෙන් එම උපකරණ භාවිතයෙන් ඉවත් කිරීම

කෙසේවෙතත්, "ක්‍රීඩා කරන්න එපා කියල දරුවන්ට බැනල වැඩක් නෑ. ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය නොකර. එහෙම දරුවන් වීඩියෝ ක්‍රීඩා නෙවේ මත්ද්‍රව්‍ය වලටත් ඇබ්බැහි වෙන්න පුළුවන්," යැයිද මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පැවසීය.

(BBC)

ඇපල් ජාලයට රහසින් ඇතුළු වී අභ්‍යන්තර ගොනු (Files) බාගත කර ගැනීම සම්බන්ධයෙන් තමන් වරදකරු බව ඔස්ට්‍රේලියානු තරුණයෙකු පිළිගෙන ඇති බව වාර්තාවල දැක්වේ.

දහසය වියැති තරුණයා මෙල්බන් නගරාසන්නයේ පිහිටි සිය නිවසේ සිට වසරක පමණ කාලයක් වරින්වර පද්ධතියට පිවිස ගිගාබයිට් 90 ක ගොනුවලට ඇතුළු වී ඇතැයි 'ද ඒජ්' පුවත්පත වාර්තා කරයි.

සිය පරිගණකයේ 'හැකී හැක් හැක් (hacky hack hack)' යනුවෙන් නම් කරන ලද ගොනුවක් තුළ ඔහු රහසේ බාගත කළ ලේඛන ගබඩා කර තිබුණි.

කෙසේවෙතත්, පාරිභෝගිකයින්ගේ දත්ත පිටවී නොමැති බව ඇපල් සමාගම තහවුරු කර තිබේ.

නමුත් අදාළ තරුණයා පාරිභෝගික ගිණුම්වලට ප්‍රවේශ වී ඇති බව 'ද ඒජ්' පුවත්පත වාර්තා කර ඇත.

"මෙම ජාල අපි දැඩි ලෙස ආරක්ෂා කරනවා වගේම, තර්ජන හඳුනාගැනීමට සහ ප්‍රතිචාර දැක්වීමට, ඒ වෙනුවෙන් කටයුතු කරන තොරතුරු ආරක්ෂණ වෘත්තිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් කැපවීමෙන් කටයුතු කරනවා" යැයි බීබීසී වෙත ප්‍රකාශයක් කරමින් ඇපල් සමාගම පැවසීය.

"මේ සිද්ධියේදීත් අපේ කණ්ඩායමේ අනවසර ප්‍රවේශය සොයාගෙන ඒ ගැන නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දැනුම් දුන්නා"

"පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂාව අපගේ ප්‍රධාන වගකීම්වලින් එකක් ලෙස සලකනවා. ඒ වගේම මේ සිද්ධියේ කිසිම අවස්ථාවක ඔවුන්ගේ පෞද්ගලික දත්ත පිට වී නැති බව පාරිභෝගිකයන්ට සහතික කර සිටිනවා" යැයි ඇපල් සමාගම තවදුරටත් පැවසීය.

තොරතුරු අනාවරණය වීමත් සමඟ ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළේ දැවැන්තයා මෙම සිද්ධිය පිළිබඳ ඇමරිකානු රහස් පොලිසියට (FBI) දන්වන ලද අතර, ඔවුන් එය ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) වෙත යොමු කර ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රකාශයක සඳහන් වී තිබේ.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය තරුණයා ජීවත් වූ නිවස වැටලූ අතර, ලැප්ටොප් පරිගණක දෙකක්, ජංගම දුරකථනයක් සහ පරිගණක දෘඪ තැටියක් එහි තිබී සොයා ගන්නා ලදී. ඇපල් පද්ධතියට පිවිසි උපකරණවල අනුක්‍රමික අංක මෙම පරිගණකවල අංකවලට සමාන විය.

සිය ක්‍රියාකාරකම් පිළිබඳ වර්ණනා කරමින් 'වට්ස් ඇප්' පණිවුඩ යැවීමට මෙම තරුණයා කටයුතු කර ඇතැයි 'ද ඒජ්' පුවත්පත වාර්තා කර තිබිණි.

ඔහු ඇපල් සමාගමට දැඩි ලෙස ප්‍රිය කරන නිසා ඔවුන්ගේ පද්ධතිවලට ඇතුළු වී ඇති අතර, කිසියම් දිනක එහි සේවය කිරීමට සිහින මවා ඇතැයි පුවත්පත් ලිපියේ වැඩි දුරටත් සඳහන් විය.

ඔහුගේ නීතිඥවරයා පැවසූවේ අනවසරයෙන් පරිගණක පද්ධති තුළට පිවිසෙන්නන් අතර (හැකරුන්) මෙම තරුණයා ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇති බවය.

නීතිමය හේතු නිසා තරුණයාගේ නම ප්‍රසිද්ධියට පත් කර නැත. සැප්තැම්බර් 20 වෙනි දින ඔහුට අදාළ දඬුවම අධිකරණයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

(මව්බිම)

මෑතකදී සොයා ගන්නා ලද ඩයිනෝසරයන් මගින් චීන 'භූ විද්‍යා ඉතිහාසය' නැවත ලියවීමට හැකියාව ලැබී ඇත.

විශාල දිගු ගෙලක් සහිත ඩයිනසෝරයන් අයත් සොරෝපොඩ් පවුලට එක්වුනු, ලින්වුලොන්ග් ශේන්කි (Lingwulong shenqi) නම් මෙම ඩයිනසෝරයා වසර මිලියන 174 ක් ඉහත උතුරු චීනයේ ජීවත්ව තිබේ.

මේ කාලය වනවිට නැගෙනහිර ආසියාව පැන්ජීයා (Pangaea) සුපිරි මහද්වීපයෙන් වෙන්ව තිබූ බව සැලකේ. නමුත් 'Lingwulong' ඩයිනසෝරයා එය එසේ නොවුණු බවට සාක්ෂ්‍යයක් ද විය හැකිය.

බ්‍රොන්ටසෝරස් (brontosaurus), ඩිප්ලොඩොකස් (diplodocus) සහ බ්‍රාකියසෝරස් (brachiosaurus) වැන්නන් අයත්වන නියොසොරපොඩ් (neosauropods) උප විශේෂයේ කොටසක් වන ලින්වුලොන්ග් (Lingwulong) කිසිසේත්ම හමුවිය නොහැකි ප්‍රදේශයකින් හමුවී තිබේ. එනම් උතුරු චීනයෙනි. ඒ, එම විශේෂයේ අනෙකුත් සියලුම ඩයිනසෝරයන්ට වඩා වසර මිලියන පහළොවකට පෙරය.

මේ පිළිබඳ අධ්‍යයනයේ කතුවරයෙක්වූ ලන්ඩන් ඉම්පීරියල් විද්‍යායතනයේ ආචාර්ය පිලිප් මැනියන් (Philip Mannion) මෙය "අතිශයින්ම අපේක්ෂා නොකළ" දෙයක් ලෙස විස්තර කර තිබේ.

"මේ සතා එම උප විශේෂයේ පැරණිතම සත්ත්වයා වීම පමණක් නොවේ ආසියාවෙන් ම පළවෙනියා. ජුරාසික් යුගයේ නියොසොරපොඩ් ආසියාවට නොපැමිණි බව දීර්ඝ කාලයක් තිස්සේ විශ්වාස කළා" ඔහු බීබීසී සමග පැවසීය.

ඒ කාලය වනවිට පැන්ජියා කොටස් ලෙස වෙන්වීම ඇරඹුණා පමණි. රතු මුහුද වැනි, එහෙත් ඊට වඩා විශාල මුහුදක්, චීනය දැන් පවතින ආකාරයට සුපිරි මහද්වීපයෙන් වෙන් කරන්නට ඇති බව විශ්වාස කෙරේ. ඒ අනුව සතුන්ට අනෙක් ගොඩබිම් වෙත යාම වළකන්නට ඇතැයි සැළකේ.

"නියොසොරපොඩ් එවැනි බාධක ඇතිවීමට ප්‍රථම මෙහි පැමිණි බව මින් යෝජනා කරනවා. නමුත්, මෙම බාධක සමහරවිට දිගුකල් නොපැවති බව භූ විද්‍යාත්මක සාධක පෙන්වාදෙනවා," යනුවෙන් ආචාර්ය මෙනන් පවසයි.

පැන්ජියාවේ අනෙක් කොටස්වල නියොසොරපොඩ් බහුල ලෙස සිටි බව නොසළකා හැරියත්, උතුරු ඇමෙරිකාව, යුරෝපය සහ පෙරදිග අප්‍රිකාව යන කලාපවලින් වර්ෂ මිලියන 160 ට වඩා පැරණි සාධක හමුවී නැත.

ලින්වුලොන්ග් දැන් එම පවුලේ පැරණිම සාමාජිකයා බවට පත්වී තිබේ. එසේම, විවිධාංගීකරණය නැවත මුල් ජුරාසික් වෙතින් රැගෙන ගියහොත් මෙම ඩයිනසෝරයන් පෙර කළ නිගමනයන්ට වඩා පරිනාමයේදී දියුණු තත්ත්වයක පසුවන්නට ඇති බව පෙන්වයි.

(BBC)

සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද දයා සරණ සංවර්ධන පදනම මගින් ‘දයා සරණ සිසු නැණ මෙහෙවර ’ 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණය දෙහිඅත්තකණ්ඩිය, මහඔය, පදියතලාව, අම්පාර සහ කල්මුණේ යන ප්‍රදේශ වලදී පවත්වන ලදි.

එම සම්මන්ත්‍රණ වලට ප්‍රදේශයේ 5 ශිෂ්‍යත්වට මුහුණදෙන දරුවන් 5,000කට අධික ප්‍රමාණයක් සහභාගි වූ විය.

මෙම සම්මන්ත්‍රණ මාළාව පැවැත්වීම පිළිබඳව  ප්‍රදේශයේ දෙමව්පියන්ගේ පැසසුමට ලක්වි ඇත.

ඇන්ටාක්ටිකාවේ අයිස් කුට්ටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ තීරයට ඇදගෙන යෑමේ පරිසර නියමු ව්‍යාපෘතිය නතර කිරීමට කටයුතු කරන ලෙස පරිසර සංවිධාන ඉල්ලා සිටියි.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් දැනට පවතින දේශගුණික තත්ත්වය තවදුරටත් දැඩි ලෙස වෙනස් වීමේ බලපෑමක් ඇති විය හැකි බැවින් එය මඟින් ලොව රාජ්‍ය රැසකට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

ඒ පිළිබඳව අදහස් දක්වන පාරිසරික සහ ජෛව විද්‍යාඥයන් ප්‍රකාශ කරනුයේද එම ක්‍රියාවලිය තුළ යම් බලපෑමක් විය හැකි බව සහ එය අවම කර ගැනීම සඳහා අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පරීක්ෂණ පවත්වන ලද විද්‍යාඥයන් කටයුතු කළයුතු බවය.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් වසර 2020 මුල්භාගය වන විට මැදපෙරදිග ජල හිඟයට පිළියම් යෙදිය හැකි බව එමීර් ජාතික උපදේශන කාර්යාංශ වාර්තා පෙන්වා දෙයි.
එසේම මෙම ව්‍යාපෘතියේ පළමු ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන හැටක මුදලක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවද ජාතික උපදේශන කාර්යාංශය පවසයි.

(මව්බිම)

Page 1 of 22

Education News

කොහොඹ

29 June 2017

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website