Monday, 14 May 2018 11:02

සිංහලයාගේ වංශ කතාව සනාථ කෙරෙන 'සිංහපුරය' හා 'දන්තපුරය'

ශ්‍රී ලාංකික සිංහල ජනතාව සිංහයකුට දාව ඉපදුණු පරපුරකින් පැවෙත එන බව සඳහන් " මහාවංශය" හා "දීපවංශය" යෙහි කතාව මිථ්‍යා කතන්දරයක්‌ බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එහෙත් මෙම කතන්දරයට පදනම්ව ඇත්තේ, සනාථ කළ හැකි ඓතිහාසික කරුණු රැසක්‌ පවතින බව ඉන්දියාවේ දී කරන ලද ගවේශණයකින් අනතුරුව ඉතිහාස ගවේශක විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසයි.

ඉන්දියාවේ නැගෙනහිර වෙරළට ආසන්නව පිහිටා ඇති " සිංහපුරයක්‌" සහ ඒ අසල ඇති "දන්තපුරයක්‌" ගැන ඔහුට මුලින්ම දැන ගැනීමට හැකි වුයේ ඔහුගේ පළමුවන ඉතිහාස ගවේශනය වන " ලක්‌ ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම" ග්‍රන්ථය ලියූ කාලයේදීය. මෙම ස්‌ථාන දෙක ඉපැරණි " කාලිංග" දේශයේ පිහිටා තිබූ බව ඔහු පරිශීලනය කරන ලද පොතක සඳහන් විය. ඒ ඔස්‌සේ කරුණු සෙවූ ඔහුට " ඉන්ස්‌ක්‍රිප්ෂන්ස්‌ ඔෆ්' ඔරිස්‌සා" නම් අප්‍රකට ග්‍රන්ථය යෙහි සඳහන් වන තඹ පත්ඉරු හතක්‌ ක්‍රි. ව. 5 වන සියවසේ දී එම "සිංහපුර" යෙන් නිකුත් කර ඇති බවත්, ඉන් එක්‌ තඹ ඉරුවකට අනුව එම නගරය අසල ක්‍රි. ව. 5 වන සියවසේ දී "සිංහල" නමින් ගමක්‌ පිහිටා තිබූ බවත් කියවීමට ලැබුණි.

ඒ ඔස්‌සේ යමින් "එපිග්‍රැෆිකා ඉන්ඩියා" ග්‍රන්ථයෙහි 1929/30-20 වන වෙළුමෙහි ඇති සුප්‍රකට "හාතිගුම්ප" ශිලාලිපියෙහි 15 වන පේලියෙහි ඇති සඳහනක්‌ කියවූ ඔහුට මෙම සිංහයන්ගේ ප්‍රදේශය එකල "සිංහපථය" ලෙස හැඳින්වුණු බවත් වැටහිණි. මෙම සෙල්ලිපිය ක්‍රි. පූ. 2 වන සියවසට අයත් වන අතර, එය පිහිට වූ "කාලිංග" දේශයේ "කාරවේල" රජුගේ බිසව වූ "සින්දුල්යා" මෙම "සිංහපථයේ" කුමාරිකාවක බව ලියවී තිබේ. මෙම කරුණ මේ දක්‌වා ඉතිහාසඥයන් විසින් අර්ථ දක්‌වා නොමැත. එසේම මෙම "හාතිගුම්ප" සෙල්ලිපිය ඇති "උදයගිරි" කන්දෙහිම " මංකපුරි" ගුහාවේ ඇති සෙල්ලිපියක මෙම රැජිනිය " හස්‌තසිංහ" නම් අයකුගේ මුණුපුරා වූ "ලාලක" ගේ දියණිය බව, එම සෙල්ලිපියක මෙම රැජිනිය "හස්‌තසිංහ" නම් අයකුගේ මුණුපරා වූ " ලාලක" ගේ දියණිය බව, එම සෙල්ලිපිය කියවා ඇති " එපිග්‍රැෆිකා ඉන්ඩියා" ග්‍රන්ථයෙහි 1915/16-13 වන වෙළුමෙහි සඳහන්ව ඇත. "හස්‌තසිංහ" සහ " සිංහබාහු" යනු සමාන අර්ථයක්‌ ඇති නම් වේ. එසේම " ලාලක" යන්නෙන් " ලාල" ප්‍රදේශයෙ අධිපති යන අරුත එයි. පැරණි ප්‍රකාශ භාෂාවල "ක" අකුර යෙදෙන්නේ අධිපතියකුටය. උදාහරණ - පැරුමුක, ගමික, නැවික. මෙම "හාතිගුම්ප" සහ  "මංකපුරි" සෙල්ලිපි පිහිටා ඇත්තේද "කාලිංග" දේශයෙහිය.

"මහාවංශ" යෙහි සඳහන් වන අයුරින් " වංග" දේශයෙහි රජු "කාලිංග" දේශයෙහි රජ කුමරියක හා සරණ වීමෙන් " සුප්පා" දේවීය උපදී. ඇය සිංහයකු සමඟ සහවාසයෙන් "සිංහබාහු" සහ " සිංහසීවලී" ඉපදිනි. මෙම "සිංහබාහු" සිය පියා මරා ඔහු සිටි " ලාල" දේශයේ "සිංහපුර" නමින් නගරයක්‌ තැනීය. "විජය" කුමරු ලංකාවට පැමිණියේ මෙම නගරයෙනි. ක්‍රි. පූ 2 වන සියවසේ " හාතිගුම්ප" හා "මංකපුරි" සෙල්ලිපිත් ක්‍රි. ව. 5 වන සියවසේ තඹ පත්ඉරුත් මෙම කරුණ සනාථ කරයි.

පොළොන්නරු යුගයෙහි රජ කළ ප්‍රථම සිංහල රජුවන " මහා විජයබාහු" රජුගේ දෙවන බිරිඳ වූ "තිලෝකසුන්දරී" බිසවද පැමිණියේ " කාලිංග සිංහපුර"යෙන් බව  "මහාවංශ" යෙහි සඳහන් ඇත. ඇයගේ පැමිණීමෙන් පසුව එම යුගයේ දී ලංකාවට තවත් " කාලිංග" රාජ වංශිකයන් පැමිණියේය. පොළොන්නරුව යුගයේ විසූ  "නිශ්ශංකමල්ල" රජතුමා තමන්" කාලිංග සිංහපුර" යෙන් පැමිණි බවත් ඔහු විජය රජුගේ පෙලපතට අයත් බවත් " ගල්පොත" ශිලාලිපියෙහි සහ තවත් ශිලා ලිපි රැසක පවසයි.

මෙම කරුණු හැදෑරු වෛද්‍ය අජිත් අමරසිංහට, ලංකාවට දන්තධාතුව රැගෙන ආ "දන්තපුරය" ද මෙම " සිංහපුරය" ට ආසන්නව පිහිටා ඇති බව වැටහිණි. මෙම ස්‌ථාන දෙක අද දිනද හැඳින්වෙන්නේ "සිංහපුරම්" සහ "දන්තපුරම්" ලෙසින් බව ඔහු පවසයි. 2015 ජුලි මස ඔහු මෙම ප්‍රදේශය ගවේශනය කරන ලදී. මෙම ස්‌ථාන දෙකළ අද පිහිටා ඇත්තේ " අන්ද්‍ර ප්‍රදේශ්" ප්‍රාන්තයේ උතුරු කෙලවරහි ඉන්දියාවේ නැගෙනහිර වෙරළට ආසන්නවය. මෙම ස්‌ථාන දෙකට ආසන්නතම නගරය "ශ්‍රීකාකුලම්" ය. "විශාකා පට්‌ටනම්" සිට කි. මී. 105 පමණ උතුරු දෙසට කල්කටා අධිවේගී මාර්ගයේ යනවිට මෙම නගරය හමුවේ.

"සිංහපුරය" අද දින කුඩා ගමක්‌වන අතර, "දන්තපුරය" මුළුමනින්ම පාහේ වල්බිහි වී ඇත. මෙම ප්‍රදේශවාසීන් ලංකාව සහ ඔවුන්ගේ ප්‍රදේශ අතර තිබුණ දැඩි සම්බන්ධතාව පිළිබඳව විශ්වාස කරන අතර වෛද්‍ය අජිත් අමරසිංහයන්ගේ සහභාගිත්වයෙන් උත්සවයක්‌ද ඔවුහු සංවිධානය කළහ. ඔවුන් විශ්වාස කරන්නේ එයින් පැමිණි රජ කුමරකු ලංකාවෙහි පළමු වන රජු වු බවයි. එසේම දන්තධාතුව හා බැඳුණු ජනප්‍රවාද රැසක්‌ මෙම ප්‍රදේශයෙහි ඇත.

අද වල්බිහි වී ඇති " දන්තපුරම්" ප්‍රදේශයෙහි කැලය තුළ විශාල බෞද්ධ නටබුන් ප්‍රමාණයක්‌ ඇත. එසේම "සාලිහුන්දම්" නම් දැවැන්ත බෞද්ධ ස්‌ථුපයද, "කාලිංගපට්‌ටනම්" නමැති ඉපැරණි නාවුක වරායද පිහිටා ඇත්තේ මේ ආසන්නයේය. පැරණි " කාලිංග" දේශයට අයිති ප්‍රදේශය අද ප්‍රධාන වශයෙන් පිහිටා ඇත්තේ  "ඔරිස්‌සා" ප්‍රාන්තයෙහි වූවද, එයට ආසන්න උතුරු  "අන්ද්‍ර" ප්‍රදේශය, දකුණු "බෙන්ගාලය" සහ "චිත්තසගාර්" ප්‍රාන්තවල කොටස්‌ ද, එකල " කාලිංග" යට අයිති විය. නැගෙනහිර ඉන්දියාවේ සිට සිංහලයන් පැමිණි බව නවතම ජාන පරීක්‍ෂණ දෙකක්‌ මගින්ද හෙළිදරව් වී ඇත. ජාත්‍යන්තර මට්‌ටමින් සිදු වූ එම පර්යේෂණවලද තොරතුරු "සිංහපුරය" සහ "දන්තපුරය" පිළිබඳව වසර තුනක්‌ තිස්‌සේ එක්‌ කරන ලද කරුණු ද ඇතුළත් කරන ලද ග්‍රන්ථයක්‌ ළඟදීම පළවන බව විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මා හට පැවසීය.

divaina

Education News

කොහොඹ

29 June 2017

Stats

There are 28589 listings, 821 categories and 101 owners in our website