Monday, 01 April 2019 07:10

අ.පො.ස සා.පෙළ කඩඉමෙන් ඔබ්බට

දුරස්ථ හා අඛන්ඩ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය මල්ලිකා පින්නවල

පාසල් කාලය තුළ සිසුහු විභාග ගණනාවකට මුහුණ දෙති. පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් පසු සිසු දරුවන් මුහුණ දෙන ප්‍රධානතම විභාගය වන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයයි. පහේ ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ මවුපියන්ගේ විභාගය ලෙසිනි.

තම දරුවාට ජනප්‍රිය පාසලක් ලබා ගැනීම සඳහා ඇතැම් මවුපියන් මෙම විභාගය උපයෝගී කරගනු ලබති. ඔවුන් ඒ සඳහා දරුවාට වයසට නොගැලපෙන ආකාරයේ පීඩනයක් ලබා දෙන බව වෛද්‍ය පරීක්ෂණ මගින් ද තහවුරුව තිබේ. ගම්බද අවම පහසුකම් ඇති පාසල්වල දරුවන් කෙසේ හෝ ශිෂ්‍යත්වය සමත්ව නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළු වීමට සිහින මවද්දී නගරයේ ජනප්‍රිය පාසල්වල සිසු දරුවන්ටද මෙම විභාගය ඉහළින් සමත්වීමේ අවශ්‍යතාවක් බලහත්කාරයෙන් ඇතිකර තිබෙන්නේය.

දරුවාට ළමා කාලය නිදහසේ ගෙවීමට ඇති ඉඩ අහුරාලමින් ඔවුන් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරවීමේ වැඩිම අවශ්‍යතාව තිබෙන්නේ මවුපියන්ටය. මේ තුළ පීඩාවට පත්වන දරුවා ඊළඟට මුහුණ දෙනු ලබන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයටයි. මෙය ඇත්තෙන්ම ගුරුවරුන්ගේ විභාගයකි. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළ ප්‍රතිඵල වාර්තා කරන්නට පාසල් අතර ඇත්තේද දැඩි තරගයකි. ගුරුවරු සිසුන්ට අනවශ්‍ය පීඩනයක් ඇති කරමින් මෙම විභාගය සමත් කරවීමට උත්සාහ කරන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඇත්තෙන්ම සිසු දරුවන් පාසල් කාලය තුළ මුහුණ දෙන ඔවුන්ගේ විභාගය වන්නේ අපොස උසස් පෙළ විභාගයයි. ඒ සඳහා මඟ සැලසෙන සාමාන්‍ය පෙළ විභාගය සුළුවෙන් තැකිය නොහැකි බව සැබෑවකි. එසේ වුවත් එය අධි තක්සේකරුවකට ලක් කළ යුතු විභාගයක්ද නොවේ.

සා.පෙළ සහ උ.පෙළ

සාමාන්‍ය පෙළ විභාගය උසස් පෙළ මෙන් තරගකාරී එකක් නොවන්නේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වන සියලු සිසුන් උසස් පෙළට සුදුසුකම් ලබන හෙයිනි. එය එසේ වුවත් උසස් පෙළ විභාගයේදී තත්ත්වය වෙනස් වේ. ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසක් වාර්ෂිකව විභාගය සමත් වුවත් විශ්වවිද්‍යාල වරම් හිමි වන්නේ තිස් දහසකටත් අඩු පිරිසකටය. මේ නිසා උසස් පෙළ විභාගය සමත් වී විශ්වවිද්‍යාල වරම් හිමිවන පිරිස අතරට පැමිණීම සඳහා සිසුන් අතර ඇත්තේ දැඩි තරගයකි. මේ නිසා උසස් පෙළ විභාගය මෙරට කිසිදු විභාගයක නොමැති ආකාරයේ තරගකාරීත්වයකින් යුක්තය.

අදාළ තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දීමට නම් ප්‍රථමයෙන් උසස් පෙළ සඳහා තමන් කුමන අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබිය යුතුද යන්න නිවැරදි ලෙස තෝරා ගැනීම සිසු දරුවන්ගේ වගකීමකි. සාමාන්‍ය පෙළ විභාගය හොඳ ප්‍රතිඵලයක් සමඟින් සමත් වූ පසු උසස් පෙළට හාදාරන විෂයන් සම්බන්ධව තීරණයක් ගැනීමේ අවස්ථාව දරුවන්ට ලබා දිය යුතුය. ඒ සඳහා මවුපියන් යම් මඟ පෙන්වීමක් කළත් දරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකී සිටින්නේ නම් එය දරුවාට කරන්නා වූ යහපතකි. ඇතැම් මවුපියෝ තමන්ට සැබෑ කර ගැනීමට නොහැකි වූ සිහින දරුවන් තුළින් ඉටු කරවා ගැනීමට උනන්දු වෙති. දරුවාගේ කැමැත්ත කලා විෂයන් සඳහා වුවත් එය අතහැර විද්‍යා හෝ ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්නට දරුවන් යොමු කරන්නේ මෙවැනි මවුපියන්ය. වැරදි තීරණ නිසා ඉතා දක්ෂ ළමයින්ට විශ්වවිද්‍යාල වරම් අහිමි වන අවස්ථා අප සමාජයේ බහුලය.

අසමත් අයට මාවතක්

විභාග ප්‍රතිඵලවලට අනුව මෙවර විභාගයට පෙනී සිටි සිසුන් පන්ලක්ෂ දහඅට දහස් එකසිය අසූ හතර දෙනකු අතරින් 71.66 ප්‍රතිශතයක් විභාගය සමත් ව ඇත. මේ අනුව විභාගය අසමත් වූ ශිෂ්‍ය ප්‍රතිශතය 28.44 කි. මෙම පිරිස බොහෝවිට යොමු වන්නේ ත්‍රිරෝද රථ රියදුරු රැකියාවකට හෝ ඇඟළුම් කම්හල් සේවක වෘත්තියටය. කිසිදු වෘත්තිය පළපුරුද්දක් නොමැති වීම නිසා මොවුන්ට වෙනත් රැකියා සඳහා යාමට ඇති අවකාශය ඉතා අඩුය.

එහෙත් දැන් තත්ත්වය වෙනස්ව තිබේ. වත්මන් ආණ්ඩුව මගින් සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ දරුවන්ටද වැඩිදුර අධ්‍යාපනය සඳහා අවකාශ සලසමින් වෘත්තීය පාඨමාලා හඳුන්වා දෙමින් ඔවුන් පාසල් පද්ධතිය තුළ තවදුරටත් රඳවා තබා ගැනීමට පියවර ගෙන ඇත. ඇත්තෙන්ම එය ප්‍රශංසනීය කාර්යයකි. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වන දරුවන් පාසල් පද්ධතිය තුළ රඳවා තබා ගැනීම පිණිස මීට ඉහත කිසිදු විධිමත් වැඩපිළිවෙළක් නොතිබිණ. මේ නිසා දරුවන් බොහෝ පිරිසක් අවුරුදු දහසයක තරම් වයසේදී පාසල් ගමනට සමුදුන්හ. ඇතැම් විට මෙයට හේතු වන්නේ ගණිතය විෂය අසමත් වීම වන්නට පුළුවන.

ගණිතයට දක්ෂ නොමැති දරුවකු වෙනත් විෂයන් සඳහා දක්ෂයකු වීමට පුළුවන. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී දරුවන් පෙනී සිටින විෂයන් අතරින් ගණිතය යනු එකක් පමණි. දරුවකුගේ අනාගත අධ්‍යාපන ගමන් මඟ ගණිත විෂය මත තීන්දු වන්නේ නම් එය අසාධාරණයකි. මෙම තත්ත්වය වත්මන් රජය යම් ආකාරයකට තේරුම් ගැනීම යහපත් දෙයකි.

මේ ආකාරයෙන් උසස් පෙළ හැදැරීමට ප්‍රමාණවත් සුදුසුකම් නොමැති දරුවන් අතරමං නොකර ඔවුන් තවදුරටත් අධ්‍යාපන චාරිකාව තුළ රඳවා තබා ගැනීමේ අරමුණින් රජය වෘත්තීය පාඨමාලා ගණනාවක් හඳුන්වා දී තිබේ. ගණිතය හෝ වෙනත් විෂයකට දක්ෂතා නොමැති දරුවකු වඩු වැඩ, මේසන් වැඩ, රූපලාවන්‍යය, මල් වගාව වැනි දේකට දක්ෂයකු වීමට පුළුවන. මෙලොව උපදින සෑම දරුවකුටම කිසියම් හෝ හැකියාවක් තිබෙන්නේය. ඇතැම් දරුවන්ට හැකියාවන් රැසක් තිබීමට පුළුවන. එම හැකියාව කුමක්ද යන්න පිළිබඳව කල්තියා හඳුනා ගන්නා පුද්ගලයා ජීවිතය ජය ගන්නේය. මෙය තේරුම් ගෙන වෘත්තිය පාඨමාලා තෝරා ගැනීමේදී දරුවන් විශේෂ සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය කාරණයකි.

ප්‍රතිඵල විශේෂතා

මෙවර ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී සමත් වීමේ හොඳම ප්‍රතිශතයට හිමිකම් කියන්නේ මාතර දිස්ත්‍රික්කයයි. එය 79.89% කි. කොළඹ දිස්ත්‍රික්කය අභිබවා යමින් හම්බන්තොට දිස්ත්‍රික්කය දෙවැනි තැනට පත්ව තිබෙන්නේ 79.89 ක ප්‍රතිශතයක් ලබා ගනිමිනි. සමත් වීමේ අඩුම ප්‍රතිශතය වාර්තා වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය 53.17කි. අනෙක් විශේෂ කාරණය වන්නේ සාමාන්‍ය පෙළ විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා කළ සිසු දරුවන් 10 දෙනා අතරින් හත් දෙනකුම ගැහැනු දරුවන් වීමය.

පසුගිය දශක දෙකක පමණ කාලය තුළ පිරිමි දරුවන් අභිබවා යමින් ගැහැනු දරුවන් විශිෂ්ට විභාග ප්‍රතිඵල වාර්තා කිරීමේ තත්ත්වයක් දක්නට ලැබේ. මෙම තත්ත්වය සාමාන්‍ය පෙළ විභාගයට පමණක් නොව උසස් පෙළ විභාගයටද පොදු කාරණයක් බවට පත්ව තිබෙන්නේ විශ්වවිද්‍යාල වරම් ලබන සිසු සංඛ්‍යාව සැලකීමේදීය. ප්‍රතිඵල වලට අනුව ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන හිමිව තිබෙන්නේ කොළඹ විශාඛා, ගම්පහ රත්නාවලී හා මාතර සුජාතා බාලිකාවන්ගේ අධ්‍යාපනය ලද සිසුවියන්ය. මෙම කරුණු පහසුවෙන් බැහැර නොකර ඒවා සමාජ විද්‍යාත්මක දෘෂ්ඨිකයකින් විශ්ලේෂණය කිරීම කාලෝචිත අවශ්‍යතාවකි. පවතින අධ්‍යාපන ක්‍රමය පිරිමි දරුවන්ට එතරම් යෝග්‍යය නොවන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එකතැන ඉඳ විෂය මාලාව කඩ පාඩම් කිරීම සඳහා කැමැත්තක් එම දරුවන්ට නැත. මෙම තත්ත්වය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය යම් අවධානයක් යොමු කළ යුතුව ඇත.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් අපි ප්‍රමාණවත් පහසුකම් ලබා දී තිබෙන්නේද යන්න තවත් ප්‍රශ්නයකි. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් වෙනුවෙන් අපි රටක් ලෙස තවමත් විධිමත් අවධානයක් යොමු කර නොමැත. අධ්‍යාපන, සෞඛ්‍යය, ප්‍රවාහන ආදි සියලු ක්ෂේත්‍ර වලදී ඔවුන් පීඩාවට පත්වන අවස්ථා බහුලය. එසේ වුවත් අධිෂ්ඨානය හා කැපවීම තුළින් තම ඉලක්ක ජය ගන්නා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී එවැනි දරුවකු ඒ සාමාර්ථ 8ක් හා බී සමාර්ථයක් සමඟ විභාගය සමත්ව තිබේ.

ආබාධ සමඟ ජීවත්වීම ජීවිතය ජය ගැනීමට බාධාවක් නොවන බව පෙන්වා දීමට මෙම උදාහරණය හොඳටම ප්‍රමාණවත්ය. ඇත්තෙන්ම අධ්‍යාපනය යනු චාරිකාවකි. එය ගමනාන්තයක් සහිත එකක් නොවන්නේය. එක තැනක වැරදුණු පමණින් සියල්ල අහවර නොවන අතර ඔබට තවත් තැනකින් අධ්‍යාපනයට ප්‍රවිශ්ඨ වීමට පුළුවන. අප තේරුම් ගත යුත්තේ එයයි. ඒ සාමාර්ථ 09 ක් සහිතව විභාගය සමත් වූ දරුවා මෙන්ම ඊට අඩු ප්‍රතිඵලයක් ගෙන සමත් වූ දරුවාද උසස් පෙළ පන්තියේදී එක හා සමානය. දෙදෙනාටම විශ්වවිද්‍යාල වරම් ලැබීම පිණිස ඇත්තේ සමාන අවස්ථාවකි. මේ නිසා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල විශිෂ්ට එකක් නොවූවා කියා සිත් කලකිරීම් ඇති කර ගැනීමට අවශ්‍යතාවක් නැත්තේය. කළ යුතු වන්නේ උසස් පෙළදී හොඳ ආරම්භයක් ගැනීමය.

පාසල් සහ ටියුෂන්

උසස් පෙළ පන්තිවලදී සිසුන් පාසල් අධ්‍යාපනයෙන් බැහැර වී පෞද්ගලික පන්ති සඳහා යොමුවන ප්‍රවණතාව එන්න එන්නම වැඩි වෙමින් තිබේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයට වඩා උසස් පෙළ විභාගය හාත්පසින්ම වෙනස් එකක් වන අතර එහිදී දරුවන් බොහොමයක් දෙනා පාසල් පවා නොයමින් පෞද්ගිලක පන්ති වලට සහභාගි වීමේ ප්‍රවණතාවක් රට තුළ ගොඩ නැගී තිබේ. රජයේ වැටුප් ලබන ගුරුවරු ද ළමුන්ට එලෙස ක්‍රියා කරන්නට ඉඩ හැර තිබීම අවාසනාවකි. ජීවිතය ජය ගැනීමට වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු විය යුතු යැයි මවුපියන් සිතන්නේ නම් එය වැරදිය.

වෙනත් කලා විෂයන් හදාරා ලෝකය ජයගත් බොහෝ පිරිසක් සිටිති. මේ නිසා දරුවා කලා විෂයන් හැදැරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔහුට හෝ ඇයට ඒ සඳහා අවකාශ ලබා දිය යුතුය. කලාවට කැමැති දරුවකු බලහත්කාරයෙන් වෛද්‍යවරයකු හා ඉංජිනේරුවකු කරන්නට යෑමෙන් අවසානයේ සිදු වීමට වැඩි ඉඩක් ඇත්තේ එම මවුපියන්ට දරුවා අහිමි වී යාමය. ඊට උදාහරණ ඕනෑ තරම් සමාජය තුළ තිබෙන්නේය. මවුපියන් කළ යුත්තේ දරුවාට තමන්ගේ සිහිනය වෙත යන්නට ඉඩ දීමය. ඒ සඳහා අවශ්‍ය සහයෝගය හා මඟපෙන්වීම ලබා දීම මවුපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේද වගකීමය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වයස අවුරුදු 16 ඉක්මවූවන්ය. ඔවුන් ළමා වියෙන් යෞවනත්වයට පැමිණ සිටින නිසා තමන්ගේ දක්ෂතාවන් කොයි ආකාරද යන්න සම්බන්ධව ඔවුන්ට යම් අවබෝධයක් තිබේ. ඔවුන් තවදුරටත් කුඩා දරුවන් නොවන බව මවුපියන් තේරුම් ගත යුතුය.

(දිනමිණ)

Education News

Stats

There are 28607 listings, 863 categories and 102 owners in our website