Thursday, 04 April 2019 10:07

තරුණ සිත් වසඟයට ගන්නා නව තාක්ෂණික සුන්දරත්වය

ස්මාට්ෆෝනයන්ගේ විශිෂ්ටත්වය සන්නාමයන් කිහිපයක් අතර පමණක් සුවිශේෂීව හිමිකොට සිටි යුගය මින් වසර ගණනාවකට පෙරාතුව අවසන් විණි. ඉන් පසුව ස්මාට්ෆෝන් උපාංගයන් වඩාත් විශිෂ්ටව නිෂ්පාදනය කිරීමේ තරගය තීරණාත්මක ලෙසින් උග්‍ර වූ අතර, ඒ ඔස්සේ මෑත ඉතිහාසයේදී ස්මාට්ෆෝන් උපාංගයන් සම්බන්ධයෙන් විප්ලවීය වෙනස්කම් ගණනාවක් සිදුවිණි. ඉන් එකක් වූයේ ස්මාට්ෆෝනයේ තිර පැනලයේ ප්‍රමාණය් හැකිතාක් විශාල කිරීමේ මෙහෙයුමයි. ඒ ඔස්සේ වර්තමානය වන විට ස්මාට්ෆෝනයක සාමාන්‍ය තිර ප්‍රමාණය අඟල් 6 ක් හෝ ඊට වැඩි වී තිබෙනා අතර, එය සාක්ෂාත් කොට ගැනීම සඳහා ස්මාට්ෆෝනයේ ඉදිරි පෘෂ්ටයේ දාරයන් හැකිතාක් සිහින් කිරීම, තිර අනුපාතය ප්‍රශස්තීකරණය කිරීම හා නව නිර්මාණ සැලසුම් අනුහුරු කොටගන්නට ස්මාට්ෆෝන් නිෂ්පාදකයින් කටයුතු කොට ඇත. 

මෙතෙක් ස්මාට්ෆෝනයේ ඉදිරිපස ඉහළ ඇති සෙල්ෆි කැමරාව සහ අනෙකුත් සෙන්සරයන් නිසා, ඉහළ දාරය අතුරුදන් කරවීමේ ගැටලුවකට නිෂ්පාදකයින් මුහුණ පා සිටියත්, මෑත අතීතය තුළ හඳුන්වා දෙන්නට යෙදුණු Notch සැලසුම සමගින් එය යම් ප්‍රමාණයකට ජයගැනීමට ඔවුන් සමර්ථ විණි. එසේ වුවත් Notch සැලසුමේ කාලයද අවසන්ව තිබේ. දැන් ස්මාට්ෆෝනයේ තිරයට බාධාවක් කර නොගනිමින් එහි සෙල්ෆි කැමරාව සැඟවීමේ මෙහෙයුමක නිෂ්පාදකයින් යෙදී සිටිනා අතර, එහි පුරෝගාමියෙකු වන්නේ OPPO සමාගමයි.

මෙම මෙහෙයුමට අනුව OPPO මගින් හඳුන්වා දෙන නවතම ස්මාට්ෆෝනය OPPO F11 Pro ලෙසින් හැඳින්වේ. OPPO F ස්මාට්ෆෝන් පෙළෙහි ඇති විශිෂ්ට කැමරා හැකියාවන් සහ සුඛෝපභෝගී පෙනුමැති නිර්මාණ සැලසුමද සමගින් ඉදිරිපත් වී ඇති OPPO F11 Pro හි සෙල්ෆි කැමරාව සඳහා Notch එකක් දක්නට නොමැත. ඒ වෙනුවට අවශ්‍ය මොහොතට ඉහළට එසවෙන Pop-up කැමරාවක් ලෙසින් එය උපාංගයේ බඳ තුළ සැඟවී ඇත. මෙසේ සමස්ත ඉදිරි පෘෂ්ටය පුරාම පැතිර ගිය තිර පැනලය සමගින්, අඟල් 6.53 ක තිරයක් අතට පහසුවෙන් හසුවන ප්‍රමාණයේ ස්මාට්ෆෝන් බඳක් මත ස්ථාපනය කරවීමට OPPO සමාගම සමර්ථ වී ඇත.
මෙම වසරේ මාර්තු මාසයේදී වෙළෙඳපොළට හඳුන්වා දුන් OPPO F11 Pro සහ OPPO F11 ස්මාට්ෆෝනයන් මධ්‍යම පරාසයේ ස්මාට්ෆෝනයන් ලෙසින් හැඳින්වුණත්, මේ තුළ ඇති දෘඩාංග හැකියාවන් සහ වෙනත් විශේෂාංගයන් මින් වසර දෙකකට පමණ පෙරාතුව නම් ඉහළ පරාසයේ ස්මාට්ෆෝන කාණ්ඩයේ ලා සැලකෙනු ඇත. ස්මාට්ෆෝනයේ ශීඝ්‍ර පරිණාමය සම්බන්ධයෙන්ද එය කදිම උදාහරණයක් සපයනු ඇත.
මෙම ස්මාට්ෆෝනය අඟල් 6.53 ක LTPS IPS LCD capacitive touchscreen පැනලයකින් සමන්විත වේ. එහි  පික්සල් 1080 x 2340 විභේදනයක් ඇති අතර, තිරය සුප්‍රකට 19.5:9 අනුපාතයට නිර්මාණය වී ඇත. මෙහි Android 9.0 Pie මෙහෙයුම් පද්ධතිය මත පාදක වූ ColorOS 6 පරිශීලක අතුරු මුහුණත ඇත. මෙම ColorOS 6 පද්ධතිය ඔස්සේ බොහෝ නව විශේෂාංගයන් හා විශේෂත්වයන් හඳුන්වා දෙන්නේ යැයි කියැවෙන අතර, OPPO ලෝලීන්ට හුරු පුරුදු හෝම් තිරය මත සියලුම යෙදුම් අයිකනයන් පිහිටන භාවිතාවෙන් මිදී, ආකර්ෂණීයව මතුකොට ගත හැකි App Vault එකක් ඒ සමගින් හඳුන්වා දී ඇත.

මෙහි නැනෝමීටර 12 ක Mediatek Helio P70 චිප පද්ධතිය මත තැනුණු Octa-core ප්‍රොසෙසරයක් සහ Mali-G72 MP3 ග්‍රැෆික් ප්‍රොසෙසරයක් ඇත. මෙම ස්මාට්ෆෝනය මධ්‍යම පරාසයේ උපාංගයක් ලෙසින් හඳුන්වන්නේ මන්ද යන ගැටලුව වෙත ඉඟියක් මේ ඔස්සේ ලැබෙනු ඇත. කෙසේ නමුත් මෙහි ප්‍රමාණයේ  6GB රැම් මතකයක් සහ 128GB අභ්‍යන්තර මතකයක් තිබේ. බාහිර මතක ධාරිතාව 256GB දක්වා microSD චිප ඔස්සේ ඉහළ දැමිය හැක.

OPPO F11 Pro ස්මාට්ෆෝනයේ තවමත් 3.5mm ජැක් එකක් පවතින අතර, බොහෝ දෙනෙකුගේ අපේක්ෂා භංගත්වයට හේතු වෙමින් දත්ත හුවමාරු හා ආරෝපණ සම්බන්ධතාව සඳහා තවමත් මෙහි ඇත්තේ microUSB පෝට් එකක් වේ. 2019 වසර වන විට USB type-C කනෙක්ටරයන් සාමාන්‍ය තාක්ෂණයක් වී ඇති කාලයක, OPPO සමාගම ඒ සඳහා අවධානය යොමු කොට නැත්තේ මන්ද යන්න ගැටලුවකි.
මෙහි අවශ්‍ය විටකදී යාන්ත්‍රිකව මතුවන ලෙසින් නිර්මාණය කොට ඇති සෙල්ෆි කැමරාව, මුහුණු හඳුනාගැනීමේ පහසුකම සඳහාද භාවිතා කෙරේ. කෙසේ නමුත් F7 ස්මාට්ෆෝනය හඳුන්වා දීමේදී OPPO සමාගම උදම් ඇනූ ක්ෂණිකව මුහුණු හඳුනාගෙන තිරය අගුලු හැරීමේ ශීග්‍රතාවය, මෝටරයකින් ඉහළට එසවෙන Pop-up කැමරාවකින් ලැබෙන්නේද යන්න බොහෝ දෙනෙකු නැගූ පැනයකි. කෙසේ වෙතත් ප්‍රායෝගික භාවිතයේදී හැඟී යන කාරණය වන්නේ, මෙහි Pop-up කැමරාව සම්පූර්ණයෙන්ම ඉහළට එසවීමටත් කලින් ක්ෂණිකව කැමරාව මගින් ඉදිරිපස සිටින්නාගේ මුහුණ හඳුනාගෙන, අයිතිකරුවා වෙනුවෙන් උපාංගය අගුලු හැර දෙන බවයි. 
මෙහි ප්‍රධාන කැමරා පද්ධතිය මෙගාපික්සල් 48 ක 1/2" (f/1.8) PDAF සෙන්සරයකින් සහ මෙගාපික්සල් 5 ක 1/5" (f/2.4) ගැඹුර දක්වන සෙන්සරයකින් සමන්විත වේ. OPPO ස්මාට්ෆෝනයන්හි ඇති විශිෂ්ට කැමරා හැකියාව තවත් ඉදිරියට ගෙන ගොස් ඇති මෙහි, ඉතාමත් අවම ආලෝක තත්වයන් යටතේ පවා ඡායාරූප ගැනීමට හැකියාව තිබේ. විශේෂයෙන්ම රාත්‍රී ඡායාරූපකරණය උදෙසා Ultra-clear Night Mode යනුවෙන් හැකියාවක්ද මේ සමගින් හඳුන්වා දී ඇත. එසේම OPPO ස්මාට්ෆෝනයන්හි ඡායාරූපකරණය සඳහා සහාය ලබාදෙන කෘත්‍රිම බුද්ධිමය හැකියාවන්ද මෙහි තවදුරටත් වැඩිදියුණු කොට ඇත. ප්‍රධාන කැමරා පද්ධතියට පහතින් ඇඟිලි සළකුණු හඳුනාගැනීමේ සෙන්සරය පිහිටුවා ඇත.මෙහි සෙල්ෆි කැමරාව මෙගාපික්සල් 16 ක 1/3.1" (f/2.0) සෙන්සරයකි.

oppo1

මෙහි බැටරිය සහ බල කළමනාකරණය සම්බන්ධයෙන්ද අවධානය යොමු විය යුතුවේ. මෙහි ඇති 4000 mAh ලිතියම් පොලිමර් බැටරිය ඔස්සේ දීර්ඝ කාලයක් එක් ආරෝපණයකින් ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබෙන අතර, උපාංගයේ පද්ධතිය මගින්ද බල ක්ෂමතාව හැකිතාක් දුරට ප්‍රශස්ත කොට ඇත. ශීග්‍ර ආරෝපණයක් සහතික කරනා OPPO සමාගමේ VOOC ආරෝපණ තාක්ෂණයද මෙහි ඇතුළත් වේ.

මෙහි නිමාව සම්බන්ධයෙන් කතා කරන්නේ නම්, Thunder Black සහ Aurora Green යන වර්ණයන්ගෙන් OPPO F11 Pro නිකුත් වේ. මෙම සංස්කරණයන් දෙකම වර්ණයන් දෙකක් හෝ තුනක් අතර වර්ණයන් ගලා යන ආකාරයේ Gradient නිමාවකින් යුතුව ඉදිරිපත් කොට ඇති අතර, පසුපස ප්ලාස්ටික් පැනලයක් තිබුණද ඊට වඩාත් ඉහළ නිමාවක් එයින් ලැබී ඇත.

තාරුණ්‍යය ඉලක්ක කොට ගනිමින් නිෂ්පාදනය වී ඇති මෙම OPPO F11 Pro ස්මාට්ෆෝනය අබාන්ස්, ඩයලොග්, සිංහගිරි Daraz සහ OPPO බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් හෝ OPPO ප්‍රධාන ප්‍රදර්ශනාගාරය වෙතින් මිලදී ගැනීමට හැක. මෙහි මිල ශ්‍රී ලංකා රුපියල් 74,990 ක් ලෙසින් හඳුන්වා දී තිබේ.

opopp

(අද)

Education News

Stats

There are 28607 listings, 863 categories and 102 owners in our website