Friday, 05 April 2019 09:50

සිංගප්පුරුව දියුණුවට පත් වුන හැටි පියවරෙන් පියවර මෙන්න..!

ඔයාලා දන්නවද සිංගප්පුරුවට නිදහස ලැබුනේ නොසිතු මොහොතක. මැලේසියාව තම රටේ කොටසක් ලෙස තිබු සිංගප්පූරුව තම රටින් බැහැර කරනවා 1965 දි. සිංගප්පුරුවේ එවකට මහා ඇමතිවරයාව සිටි ලී ක්වාන් යු එදා රුපවාහිනියෙන් තම ජාතිය අමතා කල සජිවි විකාශයේදි දැසේ කදුලු පුරවාගනිමින් කියාසිටියා අසාධාරණ ලෙස මැලේසියාවෙන් ඉවත් කල පුංචි සිංගප්පුරුව රැකගෙන ඉදිරියට ගෙන යනවා කියාලා. මිලියන ගණනක් වු රැකියා නැති සිංගප්පුරු වැසියන්ගේ බර දාරාගෙන ලී ක්වාන් යූ ගේ කදුලු මතින් ගොඩ නැගුනු සිංගප්පූරුව ගැනයි අද කටුසටහනින් කතා කරන්නේ.

සිංගප්පුරුව මුලින්ම හොයාගත්තේ බ්රිතාන්ය පෙරදිග ඉන්දීය වෙලද සමාගමේ නාවිකයකු වන සර් ස්ටැමෆර්ඩ් රැෆල්ස් විසින් 1819දි. රැෆල්ස් රාජකාරි ලෙස භාරදීලා තිබුනේ සිංගප්පූරුව අසල සුමාත්ර ප්රදේශයේ තිබෙන බෙන්කූලෙන් කියන ප්රදේශය. ඉන්දියාවත් චීනයත් යා කරන මුහුදු වෙලද මාර්ගය උපායමාර්ගිකව ඉතා වැදගත් මුහුදු මාර්ගයක්. මේ මුහුදු මාර්ගය වැටිලා තියෙන්නේ සිංගප්පූරුව අසලින්. රැෆල්ස්ට සිංගප්පුරුවේ වටිනාකම පිලිබද හොද අවබෝධයක් තිබුනා. එවනවිට සිංගප්පූරුව අයිති කලාපය පාලනය කලේ ලන්දේසි ඉන්දියා වෙලද සමාගම විසින්. නමුත් ලන්දේසිනුත් සිංගප්පුරු භූමියට ගොඩ බැහැලා තිබුනේ නැ. මේ නිසාම ස්ටැමෆර්ඩ් රැෆල්ස් සිංගප්පූරු භුමියට ගොඩ බැහැලා එහි මැලේ පාලකයා සමග හොද සම්බන්ධතාවයක් ඇති කරගෙන නිදහස් වෙලද තොටුපලක් පිහිට වනවා. මේ තොටුපල ආශ්රිතව වෙලදාම් කරන්න ක්රමයෙන් චීන ජාතිකයිනුත් ඉන්දීය ජාතිකයිනුත් පැමිණ පදිංචි වෙනවා. ක්රමයෙන් දියුණු තොටු පලක් බවට පත්වෙනවා..

පසුකාලීනව බ්රිතාන්ය කිරීටය මගින් වෙලද සමාගමෙන් සිංගප්පුරුව පවරාගෙන විධිමත් ලෙස පාලනය කරනවා. බ්රිතාන්යට ආවේනික නීති හා අධිකරණ පද්ධතියක් පොලිසියක් ස්ථාපිත කරනවා. මැර කන්ඩායම් කැරලි කන්ඩායම් මර්දනය කරනවා. සිංගප්පුරුවේ ආරම්භකයා තමයි සර් ස්ටැමෆර්ඩ් රැෆල්ස්. සිංගප්පුරු නගරමධ්යයේ මේ ප්රතිමාව හදලා තියෙන්නේ ඔහුව සිහි වෙන්නටයි.

නූතන සිංගප්පූරුවේ ආරම්භය සිදුවන්නේ 1965 අගෝස්තු 9 වෙනිදා මැලේසියාව විසින් බලහත්කාරයෙන් සිංගප්පූරු ප්රාන්තය සිය රාජ්යයෙන් ඉවත් කිරීමත් සමගයි. නිදහස ලබන විට සිංගප්පුරුවේ වැඩකල හැකි ජනගහනයෙන් 12% කට රස්සා තිබුනේ නෑ. බොහො වැසියන්ට නීත්යානුකූල ඉඩම් හා නිවාස තිබුනේ නැ. හරි අධ්යාපන ක්රමයක් තිබුනේ නැ. ස්වාභාවික සම්පත් නෑ. එවගේම ඉන්දුනීසියාවෙන් හමුදා ආක්රමණයක් සිදුවේවිය යන බය ඔවුනට තිබුනා. මැලේසියානු හමුදා සිංගප්පූරුවට බලහත්කාරයෙන් ඇතුලු වේවි යන බිය තිබුනා. ලෝක ජනමාධ්ය වාර්තා කලෙ සිංගප්පුරුවට වැඩි කලක් පැවැතිය නොහැකි ලෙසයි. මෙතන ඉදන් තමයි නූතන සිංගප්පූරුව ආරම්භවෙන්නේ.

අලුතින් පත්වු කැබිනට් මන්ඩලයේ විදේශ ඇමති Sinnathambi Rajarathnam මුලින්ම කලේ සිංගප්පූරුවට රටක් ලෙස පිලිගැනීමක් ලබාගැනීමට වැඩ කිරීමයි. 1965 සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිගප්පුරුව රටක් ලෙස පිලිගත්තා. ඒ වසරේම ඔක්තෝම්බර් මාසයේ පොදු රාජ්ය මන්ඩලයද සිංගප්පුරුව රටක් ලෙස පිලිගනු ලැබුවා. ඔවුන්ගේ විදේශ සම්බන්ධතා කොතරම් සාර්ථක වුනද කියනවා නම් සිංගප්පූරුවට පුලුවන් වුනා 1967දි ආසියානු සංගමය පවා ආරම්භ කරන්න.. ඒ වසරේම ලෝක වෙලද සංවිධානයේ සමාජිකත්වට ගන්නටද සිංගප්පූරුවට හැකි වුනා..

මේ අතර සිංගප්පුරුව තුල රැදි සිටි බ්රිතාන්ය හමුදා ඛන්ඩ නැවත සිය රටට කැදවීමට මහා බ්රිතාන්ය තීරණය කරනවා. මේ නිසාම සිංගප්පුරුවට දෙවිදියකට අවාසි වෙනවා.

  1. මෙතෙක් කල් බ්රිතාන්ය හමුදාවට සේවා සපයා ලබාගත් ආර්ථික වාසි අහිමි වීම.
  2. ආරක්ෂව පිලිබද උග්ර ගැටලුවකට මුහුණදීම

ජාතික ආරක්ෂාව

ආරක්ෂාව පිලිබද ගැටලුව විසදා ගැනීමට ඔවුන් සාර්ථක ක්රමයක් අනුගමනය කලා. සියලුම පිරිමින්ට වසර දෙකහාමාරක හමුදා පුහුණුව අනිවාර්ය කලා. වසර දෙකහමාර අවසානයේ හොදම දක්ෂයින් නිත්ය හමුදාවට තෝරාගන්නවා. අනිත් පිරිස සමාන්ය ජිවිත වලට නැවත ඇතුලු වෙනවා. මේ වැඩසටහනේ තිබ්බ ප්රධාන වාසිය තමයි සිංගප්පුරුව වැනි කුඩා රටක් හදිසි යුද ආක්රමණයකට මුහුණ දුන්නොත් සටන් කිරීම සදහා සුදානම් විශාල හමුදාවක් ඉතා ඉක්මණින්ම එකතුකරගත හැකි වීම. ඒවගේම වසර දෙකහමාරක හමුදා පුහුණුවකින් තරුණයන් විනායානුකූලව හැඩ ගැහෙනවා.. රටට ආදරය කරන්න පුරුදු වෙනවා.. ඔවුන්ගේ වැඩ කිරිමේ කාර්යක්ෂමතාවය ඉහල යනවා. අදටත් හැම පිරිමියෙකුම වසර දෙකක හමුදා පුහුනුව අනිවාර්යයි.

ආර්ථිකය

බ්රිතාන්ය හමුදා ඉවත්වීමට තීරණය කිරීම නිසා මෙතෙක් ඔවුනට සේවා සපයා යැපුනු ආර්ථිකයට විශාල ප්රහාරයක් එල්ල වෙන බව ලී ක්වාන් යූ අවබෝධ කරගත්තා. විදේශ ආයොජන නොමැතිව රට දියුණු කිරීමට නොහැකි බව ඔහුට අවබෝධ වෙනවා.

ආර්ථිකය නගා සිටුවීමට 1961දී එවකට මුදල් ඇමති Goh Ken Swee විසින් ආර්ථික සංවර්ධන මන්ඩලය පිහිටවනු ලබනවා. නෙදර්ලන්ත ජාතික ආර්ථික උපදේශකයෙක් වන Albert Winesemiusගේ උපදේශකත්වයෙන් කර්මාන්ත කලාප ආරම්භ කලා. මේ සදහා විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට වසර 10ක පමණ බදු සහන ලබා දුන්නා. විදේශ ආයෝජකයින්ට අවශ්ය සියලුම පහසුකම් නොඅඩුව ලබා දුන්නා. Albert Winesemiusගේ උදව්වෙන් Shell හා Esso යන සමාගම් වල අයෝජනයෙන් එවකට ලෝකයේ ලොකුම තෙල් ගබඩා සංකීර්ණය නිර්මාණය කිරීමට සිංගප්පූරුව සමත් වුනා. වරක් සිංගප්පුරු මුදල් ඇමතිවරයා පැවසුවේ ආයෝජකයින්ට සිංගප්පුරු රජය සලකන්නේ හෝටලයකට පැමිනෙන සංචාරකයින්ට සේය. ඔවුන්ට අවශ්ය සියලු පහසුකම් නොපමාව ලබාදෙයි. අලුත් ව්යාපාරයක් සිංගප්පුරුව තුල ලියාපදිංචි කර අනුමැතිය ලබාගෙන ආරම්භ කිරීමට ගතවන්නේ උපරිම දින 3නක් පමණි. ලංකාවේ නම් මාස තුනකට වඩා ගතවේ.

ඇමතිවරුන් විදේශ රටවල් පුරා සංචාරය කරමින් සිංගප්පුරුවට විදේශ ආයෝජකයින් ඇදගැනීමට සමත් වුනා. සිංගප්පුරු වරාය අසලවැසි රටවල් වල ආනයන එකලස් කර ප්රතිඅපනයන සදහා ඉඩ කඩ ලබා දුන්නා. එමගින් සිංගප්පූරුව තුල කාර්මාන්ත ආරම්භ කරන අයට අඩු මිලට අමුද්රව්ය ලබාගැනීමේ අවස්ථාවද උදාවුනා.

ආයෝජකයින් සමග ගනුදෙනු කරන්නට සිංගප්පුරු රජය වෙනම ආකල්ප සංවර්ධන පුහුනුවක් ලබා දේ. ආයෝජකයන් සමග කටයුතු කල යුතු ආකරය ගනුදෙනු කල යුතුආකාරය තමන්ගේ ඵලදායිතාවය වර්ධනය කරගත යුතුආකාරය ඉගැන්වේ. වැදගත්ම කාරණය වන්නේ සිංගප්පුරුව තුල වැඩවර්ජනය කිරීම තහනම්ය. වැඩ වර්ජනය කල අයෙකුට නැවත රැකියාවක් සොයා ගැනීමට අපහසු වෙන ආකාරයට තද බල නීති සිංගප්පුරුව තුල ඇත.

අධ්යාපනය

ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගෙන අධ්යපනය ක්රමය සිංගප්පූරුව වෙනස් කලා. බොහො විදෙස් ආයෝජකයින් කතා කලේ ඉංග්රීසි භාෂාවෙනි. මේ නිසා අධ්යපනය හැදැරීම ඉංග්රීසි මාධ්යයෙන් කිරීම අනිවාර්ය කලේය. මේ නිසා සියලු විෂයන් ඉංග්රිසි බසින් ඉගෙනගැනීමට සිංගප්පූරු වැසියන්ට සිදුවුනා. ඒ නිසාම ආයොජකයින් සමග වැඩකිරීමට පහසුවුනා. ව්යාපාර කිරීමට අවශ්ය විෂයන් වලට මුලිකත්වය දුන්නා. විද්යාව ගණිතය කලමණාකරණය වැනි විෂයන්ට මුලිකත්වය දුන් අතර දේශපාලන විද්යාව දර්ශණවාදය වැනි විෂයන් වලට ප්රමුඛතාවයක් ලැබුනේ නැත. එවගේම ආධ්යපනය වෙනුවෙන් අයවැයෙන් 25%ක් වැනි විශාල අගයක් වෙන්කලේය. අදටත් එසේමය. මේ නිසාම උගත් පිරිස රට තුල සිඝ්රයෙන් වැඩිවිය.

නිවාස

නිදහසින් පසුව සිංගප්පුරු රජයට විසදීමට තිබු තවත් වැදගත් ප්රශ්නයක් වුයේ නිවාස ප්රශ්නයයි. බෝහො පිරිසකට තමන්ගේම කියා නිවාස තිබුනේ නැ. අනවසරයෙන් ඉදිකල පැල්පත් නිවාස වලයි ඔවුන් ජිවත්වුනේ. මේ නිසාම ප්රශ්න ගණනාවකට මුහුණ දීමට සිංගප්පුරු රජයට සිදුවුනා.

  1. රැකියා විරහිත පිරිස් මේ නිවාස වල ජිවත්වීම නිසා සමාජ ව්යකූලතා ඉහල යෑම.
  2. පැල්පත් නිවාස වල සනීපාරක්ෂක පහසුකම් අවම වීම නිසා විවිධ ලෙඩ රෝග පැතීර යැම. එසේ රෝගීවන ජනතාවට බෙහෙත් ලබාදීමට රජයට තවත් මුදල් වියදම් කිරීමට සිදුවීම.
  3. මේ පැල්පත් නිර්මාණය කර ඇත්තේ ගිනිගන්නා සුලු ද්රව්ය වලින් නිසා පැල්පත් ගිනිගතහොත් එය විශාල අපදාවකට පෙරලීම.

මේ නිවාස ප්රශ්නයට පිලියම් ලබා දෙමින් සිංගප්පුරු රජයේ නිවාස ඉදිකිරීම් මන්ඩලය විසින් මහල් නිවාස 25000ක් වසර දෙකක් තුල සදා නිමකිරීමට සමත්වෙනවා. එතරම් විශාල නිවාසය ප්රමාණයක් හදන්න පුලුවන් වුනේ සිංගප්පූරු රජයේ කාර්යක්ෂමතාවය නිසාය. අවුරුදු 10ක් ඇතුලත නිවාස ප්රශ්නය විසදන්නට සිංගප්පුරුවට හැකිවෙනවා.

රාජ්ය ව්යාපාර

සිංගප්පුරු රජය පොදු මහජනතාවට බලපෑම් කිරීමට හැකි ව්යාපාර සිය භාරයේ තබාගත්තා. විදුලිය, ගෑස්, ජල සැපයුම්, ගුවන් සේවා, වරාය සහ සමහර බැංකු සේවා රජය යටතේ තබාගත්තා. මේ සියලු සේවා රටට බරක් නොවන ලෙස ලාභ ලබාගෙන පවත්වා ගත යුතුය යන දැඩි ස්ථාවරයේ අගමැති ලී ක්වාන් යු සිටිය නිසා අද වන විට සිංගප්පුරු රජයේ ව්යාපාර ලෝකයේ දැවැන්ත සමාගම් බවට පත්වී තිබෙනවා.

1974 වසරේදි සිංගප්පුරු රජයට අයත් ව්යාපාර සියල්ලම එකම හිමිකාරීත්වයක් යටතට ගෙනාවා. 100%ක් සිංගප්පුරුවේ මුදල් අමාත්යාංෂයට කොටස් හිමිකාරත්වයක් ලැබෙන පරිදි Temasek නම් ආයතනයක් පිහිටුවා සියලු රාජ්ය ව්යාපාර ඒමත පිහිටා ක්රියාකිරීමට කටයුතු සැලැස්වුවා. සිංගප්පුරු රජය දක්ෂ අධ්යක්ෂක මණ්ඩලයක් පත් කර ස්වාධීනව පාලනය කිරීමට කටයුතු සැලසුවා. Temasek ආයතනය රජයේ ව්යාපාර ලාභදායි ලෙස රාජ්ය බලපෑමකින් තොරව පවත්වාගෙන යනවා. සිංගප්පුරුවේ මුදල් අමාත්යංෂයත්, ආර්ථික අමාත්යංෂයත් Temasek ආයතනයට අනවශ්ය බලපෑම් නොකරන අතර ප්රතිපත්ති තීරණ පමණක් එම අමාත්යංශ වලින් ක්රියාත්මක කරනවා.

අද වනවිට එම ආයතනයේ මුලු වටිනාකම ඩොලර් බිලියන 308ක්. 2018 වසරේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 107ක්. එම වසරේ ලාභය ඩොලර් බිලියන 32ක්. එම ආයතනය අයිති සමාගම් 13ක් තිබෙනවා.

DBS Bank – සිංගප්පුරු සංවර්ධන බැංකුව – ආසියානු කලාපයේ රටවල් ගණනවක ක්රියාත්මක වෙනවා. වාර්ෂික ලාභය ඩොලර් බිලියන 3ක්.

Singopre Airlines – රටවල් 32ක් ගමනාන්ත 62ක් ක්රියාත්මක වෙනවා. වාර්ෂික ලාභය සිංගප්පුරු ඩොලර් මිලියන 783ක්.

CapitaLand – දේපල වෙලදාම් ආයතනයක්. මේවනවිට ඩොලර් බිලියන 92ක දේපල කලමණාකරණය කරනවා.

ST Engineering – ගුවන් විදුලිය නාවික හා අවි ආයුධ නිෂ්පාදන ක්ෂේත්රයන් වල ක්රියාත්මක වෙනවා. වාර්ෂික ලාභය සිංගප්පුරු ඩෝලර් මිලියන 529.

Singtel – සිංගප්පුරුව ඇතුලු රටවල් 7ක ක්රියාත්මක වෙන දුරකතන සේවා සමාගමකි. වාර්ෂික ලාභය ඩොලර් බිලියන 2.8.

Bank Danamon – ඉන්දුනීසියාවේ හයවන විශාලතම බැංකුව.

Mediacorp – රූපවාහිනි නාලිකා 7ක් හා රේඩියෝ නාලිකා 11ක් ඇති දැවැන්ත මාධ්ය ජාලයකි.

PSA International – ලෝකයේ විශාලතම වරාය සමාගමකි. රටවල් 16ක් වරායන් 30ක ඔවුන් ව්යාපාර කටයුතු සිදුකරයි.

Certis Group – පෞද්ගලික ආරක්ෂක සේවා සපයන සමාගමකි.

SMRT Corporation – සිංගප්පුරුවේ හා අනිකුත් රටවල් කිහිපයක ක්රියාත්මක වෙන දුම් රිය, බස් හා ටැක්සි සේවා සපයන සමාගමකි. වාර්ෂික ලාභය ඩොලර් මිලියන 109.

Surbana Jurong – නාගරික සැලසුම්කරණය හා කලමාණාකරණය කරන ඉංජිනේරු සමාගමකි. ත්රිකුණාමලය නගරය ආශ්රිතව ඉදිවෙන ආර්ථික කලාපය සැලසුම් කරන්නේදි මේ සමාගමයි.

Vertex Venture Holding – තොරතුරු තාක්ෂණික ක්ෂේත්රවල හා සෞඛ්ය ක්ෂේත්රයේ ව්යාපාර වල ආයෝජනය කරන සමාගමකි.

අවශ්ය වුවිට ඔවුන් පෞද්ගලික අංශයට කොටස් විකුනා මුදල් ලබාගත්තත් වැඩි කොටස් හිමිකාරීත්වයක් ඇත්තේ සිංගප්පුරු රජයටයි.

ශ්රී ලංකාවටත් මේ ආකාරයේම මොඩලයක් භාවිතා කරලා රජයේ ව්යාපාර දියුණු කරගන්න පුලුවන්. ශ්රි ලන්කන් , ටෙලිකොම්, මොබිටෙල්, රජයේ බැංකු, ගමනා ගමන මන්ඩලය, දුම් රිය දෙපාර්ත්මේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව, තෙල් සංස්ථාව, විදුලි බල මන්ඩලය වැනි ආයතන එකට එකතු කරලා රජයට හිමිකාරත්වයක් ඇති සමාගමක් තුලට ගන්න පුලුවන්. මේ සමාගම පාලනය කරන්න ස්වාධීන මන්ඩලයක් පාර්ලිමේන්තුව හරහා ඇති කරන්න පුලුවන්. එවිට ඒ ආයතන රාජ්ය බලපෑමෙන් තොරව දියුනු කරගන්න අපිට පුලුවන්.

සිංගප්පුරුවේ මුලු ජනගහනය මිලියන 5.6
එයින්
Chinese 74.3% , Malay 13.3% , Indian 9.1% , Others 3.3% , Buddhism 33.2% , Christianity 18.8% , No religion 18.5% , Islam 14.0% , Taoism 10.0% , Hinduism5.0%

රටේ විශාලත්වය වර්ග කිලෝමීටර 722.

දල දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 350

වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 98000

ලංකාව සමග සාපේක්ව බැලුවොත් මිලියන 22ක ජනගහනයක් ඉන්න ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 298. ඒ අතින් බැලුවොත් අපි අඩු ඵලදායිතාවයක් සහිත රටක්.

සිංගප්පුරුව මේ විදියට දියුණු වුනේ හේතු කිහිපයක් නිසා.

  1. දැක්මක් තියෙන දේශපාලන නායකත්වයක් තිබුනා. උගත් බුද්ධිමත් දේශපාලකයින් රට පාලනය කලා.
  2. ආර්ථිකය මුලික කරගෙන කටයුතු කලා.
  3. කාර්යක්ෂම රජයක් තිබුනා. දුෂණය නාස්තිය නෑ. නිලධාරීවාදය නැ. රජයේ කටයුතු කාර්යක්ෂමව ඵලදායිව වෙනවා.

ඔහොම තමයි සිංගප්පුරුව දියුනු රටක් වුනේ.

(අපේ රට)

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website