Saturday, 06 April 2019 09:19

ලක්ෂ 20ක් අතින් වියදම් කොට ජංගම ග්‍රහලෝකාගාරයක් තනියම හැදූ ‘බදුරලියේ තරංග

අලුත් පරම්පරාවේ අයටත් එයින් උගත හැකි පාඩමක් නැත්තේ නොවේ. පරණ දේ රත්තරන් වුවත් නිර්මාණශිලී අලුත් දේවලට ද මිල කළ නොහැකි වටිනාකමක් හිමිවේ.

කුඩා වියේ සිට විදු නැණින් කළ හැකි අපූරු දේවල් ගැන සොයා බලන්නට පුදුමාකාර පිපාසයකින් පසුවූ තරුණයෙක් පසුගිය දිනෙක ඒ අපූරු හපන්කම කළේය.

ඔහු බදුරලිය පදිංචි තරංග බණ්ඩාර(30)ය.

tharanga

බදුරලිය කඹුරුවල මහා විද්‍යාලයෙන් අකුරු කළ තරංග කුඩා වියේ සිට තාරකා විද්‍යාවට අසීමිත ලෙස ඇලුම් කළේය. ඔහුගේ වයසේ කුඩා දරුවන් කිරිත් පැණිත් ගෙනෙන හඳ මාමාත් හඳේ සැඟවී සිටින හාවාත් දෙස බලමින් සතුටු වද්දී තරංග අහසේ දස අත විසිරුණු තරු ලෙස බලමින් එක් එක් තරු මණ්ඩල හඳුනා ගන්නට වෑයම් කළේය.

වයසින් වැඩෙත්ම තමා එතරම් ප්‍රිය කරන තරු පිළිබඳ වැඩිදුර විස්තර සොයාගත හැකි තාරකා විද්‍යාව නම් විෂයක් තිබෙන බවද තරංග දැනගත්තේය. ඒ වන විට තරංග ඉගෙන ගන්නේ 9 වැනි ශ්‍රේණියේය. තරු ගැන, ග්‍රහලෝක ගැන ඉගෙන ගැනීමට තරංගගේ සිතේ තිබෙන දැඩි කැමැත්ත සහ උනන්දුව වටහාගත් ඔහුගේ විද්‍යා ගුරුවරයා ප්‍රියන්ත කොඩිතුවක්කු මහතා තරංග ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට යන්නට පාර කියන්නේ ඒ අතරේය.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙන් තාරකා විද්‍යාව පිළිබඳ අ යනු ආයනු කියන තරංග ඒ පිළිබඳ සිය දැනුම තවදුරටත් මුවහත් කරගන්නේ පිළියන්දල වෑවල ප්‍රදේශයේ පිහිටි තාරකා විද්‍යා සංගමය මඟින් පවත්වාගෙන යනු ලබන ආයතනය ඔස්සේය.

වාණිජ අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටියද තරංගගේ වැඩි කැමැත්ත තාරකා විද්‍යාවටය. එහෙත් ඒ සඳහා වන පර්යේෂණ සහ අත්හදාබැලීම් කරන්නට ඔහුට ආර්ථික හයියක් නොවීය. පාසල් අධ්‍යාපනයෙන් පසු ක්ෂේත්‍ර කිහිපයකම රැකියාවල නිරත වන අතර තරංග තාරකා විද්‍යාවට අමතරව පාසැල් කාලයේ සිට ලේඛනයටද උපන්හපන්කම් දැක්වීය.

ප්‍රවෘත්ති සංස්කාරකයකු ලෙස කෙටිකලක් පුවත්පත් ආයතනයකද සේවය කළ තරංග එම කාලය තුළ ‘පියවි ඇසින් අහස බලමු’, ‘අභ්‍යවකාශ කවුළු’ සහ ‘හිරු පවුල’ ආදී වශයෙන් කෘති කිහිපයක්ද ප්‍රකාශයට පත්කළේය. එහෙත් ආර්ථික අමාරුකම් හමුවේ තරංගටද සිය අනාගතය වෙනුවෙන් රැකියාවක් සඳහා විදේශගත වන්නට සිදුවිය.

එනමුදු කුඩා වියේ සිට දුටු සොඳුරුතම සිහිනයක් ඔහුගේ සිත පුරා සැරිසරමින් තිබිණ. කවදා හෝ දිනෙක ලංකාවේ ලොකුම ජංගම ග්‍රහලෝකාගාරය ඉදිකිරීම තරංග දකිමින් සිටි ඒ සොඳුරුතම සිහිනයයි. එහෙත් ඊට වැයවන මුදල් කන්දරාව හමුවේ තරංගට තම සිහිනය මඳකට අකුලා ගන්නට සිදුවිය.

“මම විදේශගත වුණේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවකට. ඒත් ඒ උපයාගත් මුදල් මගේ සිහිනය සැබෑ කරගන්න තරම් ප්‍රමාණවත් වුණේ නැහැ. ඒත් මම උත්සාහය අතහැරියේ නැහැ. දෙවැනි වතාවේ මම රට ගියේ මේ අරමුණ වෙනුවෙන්මයි. අවුරුදු දෙකක් රැකියාව කරලා ගිය අවුරුද්දේ මම ලංකාවට ආවේ කොහොම හරි මගේ සිහිනය ඉටුකරගන්නවා කියන බලාපොරොත්තුවෙන්.”

හිත ඇත්නම් පත කුඩා නැති බව පසක් වන්නේ තරංගගේ දිරිමත් සිතේ උපන් අධිෂ්ඨානයත් ඔහු එය ජයගත් ආකාරයත් දෙස බලද්දීය. විදේශයේදී දුක් මහන්සියෙන් උපයාගත් මුදලින් පසුගිය වසරේදී තරංග තම සිහිනයට පණ දෙන්නට පටන් ගත්තේය. ඒ අනුව ලක්ෂ 20 ක් පමණ වැයකොට වසරක පමණ කාලයක් දැඩි කැපකිරීම් මැද ඔහු තම සිහිනය සැබෑ කරගත්තේය.

ලංකාවේ පළවැනි විශාලතම ජංගම ග්‍රහලෝකාගාරය ලෙස තරංග තැනූ එම ග්‍රහලෝකාගාරය එකවර 300ක් පමණ පිරිසකට නැරඹිය හැකි පරිදි ඉඩ පහසුකම්වලින් සමන්විතය. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සතු ජංගම ග්‍රහ ලෝකාගාරය හැරෙන්නට මෙරට මෙතෙක් ඉදිවූ එකම ජංගම ග්‍රහලෝකාගාරය තරංග බණ්ඩාරගේ මෙම ග්‍රහලෝකාගාරය විය යුතුය.

ඉකුත් 30 වැනිදා එම ග්‍රහලෝකාගාරය බදුරලිය මහජන ක්‍රීඩාංගණයේදී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණේ බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික, ක්‍රීඩා හා යෞවන කටයුතු තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙනි. එදින සිට සති දෙකක පමණ කාලයක් දිනකට දර්ශන වාර 3ක් මෙම ග්‍රහලෝකාගාරය නැරඹීමේ අවස්ථාව සලසා දී තිබේ. ඉන්පසු මෙම ජංගම ග්‍රහලෝකාගාරය රට පුරා ගෙනයාම තරංගගේ අපේක්ෂාවයි.

“මේක මම දැකපු ලොකු හීනයක්. අපේ රටේ පාසල්වල තාරකා විද්‍යාව ඉගෙනගන්න අවස්ථාවක් නැහැ. මං වගේම මේ විෂයට ආදරය කරන දරුවෝ ඕන තරම් ඇති. මේ වගේ ග්‍රහලෝකාගාරයක් තුළින් ඔවුන්ට දැනුම ලබාගන්න පුළුවන්. මට දැන් ඕන මේ ග්‍රහලෝකාගාරය තවත් දියුණු කරගන්නයි. ඒ වගේම නිරීක්ෂණ කඳවුරු ඇතිකරලා පාසල් දරුවන්ට මේ තුළින් තාරකා විද්‍යාව ගැන දැනුම දියුණු කරගන්න උදව් වෙන වැඩපිළිවෙළක් හදන්න මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මට ඒ සඳහා මූල්‍ය හයියක් නැහැ. පිළිගත් ආයතනයක් හෝ පුද්ගලයෙක් ඒ සඳහා උපකාර කරනවා නම් ඒක මට ලොකු ශක්තියක්.”

තරංග බණ්ඩාර නම් දිරිය තරුණයා ඒ ඉල්ලීම කරන්නේ තමන් වෙනුවෙන් නොවේ. රටේ ජීවනාලිය වන් අනාගත පරපුර වෙනුවෙනි. ඒ උපකාරය කළ හැකි නම් නුදුරු අනාගතයේදී ලෝක සිතියමේ පුංචි කඳුළු බිඳුවක් වැනි ශ්‍රී ලංකාවෙන් ලෝ ප්‍රකට තාරකා විද්‍යාඥයන් කිහිප දෙනෙකු බිහිවනු දැකීමේ සුබ සිහිනයද අපට අකැප නොවනු ඇත. ඒ සිහිනය සැබෑකර ගැනීමට උපකාරයක් කළ හැකි නම් 0777 787 183 දුරකතන අංකය ඔස්සේ තරංග බණ්ඩාර ඇමතිය හැකිය.

(අපේ රට)  

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website