Tuesday, 23 April 2019 09:14

රටට ගැලපෙන අපූරු කොළ මඬින යන්ත්‍රයක්‌ හැදූ අනුරාධපුර රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය දුලාන් සමරවීර

අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා ඉතා අඩු පිරිවැයකින් නිමකරගත හැකි දැනට වෙළෙඳපොළේ ඇති යන්ත්‍රවලට වඩා ඉතා ආරක්‌ෂාකාරී නව ‘කොළ මඬින’ යන්ත්‍රයක්‌ නිර්මාණය කිරීමට අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සමත්ව සිටී.

වර්තමානයේ කුඩා සහ මධ්‍ය පරිමාණ වී ගොවිතැනේ නිරතව සිටින ගොවීන්, තම අස්‌වැන්න සකස්‌ කර ගැනීමේදී මුහුණ දෙන ගැටලු රාශියකට මින් පිළියම් ලැබෙන බව ඒ මහතා පවසා සිටී.

ගොවීන් තම වී අස්‌වැන්න නෙළා ගන්නා මොහොතේ සිට වී වෙන්කර ගැනීම දක්‌වා වර්තමානයේදී විවිධ ආනයනික බහුකාර්ය යන්ත්‍ර උපාංග භාවිත කිරීමට පුරුදුව සිටී. මේ හේතුවෙන් ඇතැම් යන්ත්‍ර සඳහා පැයකට රුපියල් 10,000/- කට අධික මුදලක්‌ ගෙවීමට සිදු වේ. එමෙන්ම අස්‌aවැන්න නෙළන සමයන්හිදී ඇති වන අධික ඉල්ලුම නිසා එවන් යන්ත්‍රයක්‌ කුලියට ගැනීමට බොහෝ ගොවීන්ට දින ගණනක්‌ බලා සිටීමට ද සිදු වේ.

මෙම බොහෝ යන්ත්‍ර භාවිතයේදී අස්‌වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ විනාශ වීම ද සිදු වේ. මෙම ආනයනික යන්ත්‍ර බොහොමයක මිල රුපියල් ලක්‌ෂ 100 ට වඩා වැඩි වන බැවින් කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ට එම යන්ත්‍ර මිලදී ගැනීමට ද හැකියාවක්‌ නොමැත.

එමෙන්ම මෙම යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා විශාල මුදලක්‌ වැය වන අතර එම අමතර කොටස්‌ විදෙස්‌ රටවලින් ගෙන්වීමට විශාල මුදලක්‌ ද වැය කිරිමට සිදු වේ. මෙම බොහෝ බහුකාර්ය යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා විශාල ශක්‌තියක්‌ (ඉන්ධන) වැයවන අතර ඉන් සැලකිය යුතු පරිසර දූෂණයක්‌ ද සිදු වේ.

තම කුඹුරු වී වගා කිරීමේදී තමන් විසින්ම අත්විඳී මෙම දුෂ්කරතාවන් පිළිබඳව සලකා බලා ඒවාට විසඳුම් කල්පනා කරමින් සිටියදී මෙම යන්ත්‍රය නිර්මාණය කිරීමට මඟ පෑදුණු බව වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසා සිටී.

ඒ අනුව යමින් ඉවතලන යන්ත්‍ර කොටස්‌ කීපයක්‌ මූලික කොට ගෙන රුපියල් දස දහසකට (10,000/}) අඩු වියදමකින් මෙම යන්ත්‍රය නිර්මාණය කිරීමට වෛද්‍ය දුලාන් සමරවීර මහතා සමත් වී සිටී. එම යන්ත්‍රය පළමු අත්හදා බැලීමේදීම සාර්ථක වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

ඉතා අඩු බලශක්‌තියක්‌ වැයවීම, ඉතා පහසුවෙන් අඩු පිරිවැයකින් නිමකරගත හැකි වීම, ඉතා විශාල බහුකාර්ය යන්ත්‍ර ළඟා විය නොහැකි කුඩා කුඹුරු සඳහා යොදාගත හැකිවීම, පරිසර දූෂණය ඉතා අවම වීම, තනි පුද්ගලයකුට වුවත් භාවිත කළ හැකි වීම, මෙම යන්ත්‍රයේ ඇති විශේෂ ලක්‌ෂණ කීපයකි.

දැනට වෙළෙඳපොළේ පවතින කොළ මඬින යන්ත්‍ර මගින් සිදුවන අනතුරු නිසා බොහෝ විට යන්ත්‍රය ක්‍රියා කරවන්නන්ගේ දැත් පවා අහිමි වන අවස්‌ථා දක්‌නට ලැබෙන බවත්, මෙම යන්ත්‍රය මගින් අනතුරු ඇති වීමේ සම්භාවිතාව ඉතාමත්ම අවම බවත් වෛද්‍ය දුලාන් සමරවීර මහතා පෙන්වා දෙයි.

machine2

මෙම යන්ත්‍රතයේ සුළු වෙනස්‌කම් කීපයකින් අනතුරුව, විදුලි බලය නොමැති ස්‌ථානයක වුවද, මිනිස්‌ ශ්‍රමය යොදාගෙන මෙම යන්ත්‍රය ක්‍රියා කරවිය හැකි බව වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසා සිටී.

ඉදිරියේදී මෙම යන්ත්‍රය තවදුරටත් වැඩි දියුණු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, රජයේ හෝ වෙනයම් ආයතනයක අවධානය යොමු වන්නේ නම් මෙය වෙළෙඳපොළට නිකුත් කළ හැකි මට්‌ටමට දියුණු කළ හැකි බවත් වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසා සිටී.

මීට පෙරද වෛද්‍ය දුලාන් සමරවීර මහතා නව නිපැයුම් රැසක්‌ රටට දායාද කොට තිබේ. පසුගිය වසරේ ඔහු විසින් නිර්මාණය කළ “මුහුදු රළ මගින් විදුලිය ජනනය කිරීමේ යන්ත්‍රය” ශ්‍රී ලංකාවේ මෙන්ම අන්තර්ජාතික මට්‌ටමින් ද කතාබහට ලක්‌විය. මේ වනවිට එම යන්ත්‍රය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක්‌ සිදු කෙරෙන බවත් වෛද්‍ය දුලාන් සමරවීර මහතා පවසා සිටී.

(අපේ රට) 

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website