Monday, 13 May 2019 07:34

ලෝක පාලක සමාජ මාධ්‍ය

ආචාර්ය සුනිල් රණසිංහ
(මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

මාසයකට වරක් ග්‍රාහකයන් බිලියන 2.2 ක් ෆේස්බුක් (Facebook)ජාලය භාවිත කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් ෂකර්බර්ග් පවසයි. එය ලෝක ජනගහනයෙන් තුනෙන් එකකි(1/3). ෆෙස්බුක් රාජ්‍යයක් හෝ මහාද්වීපයක් නොවේ.

එහෙත් සමාජ මාධ්‍ය ජාලයක් ලෙස පෙරමුණ ගෙන තිබේ. අනෙක් සමාජ මාධ්‍ය රාජ්‍යයන් හා සැසඳුවොත් WhatsApp හා YouTube වෙත ප්‍රවේශවන ග්‍රාහක ප්‍රමාණය චීන හා ඉන්දියානු ජනගහනය අභිභවයි. Facebook’s messenger app මාසික භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ඉන්දියාව හා චීනයේ ජනගහනයට සමාන වේ. එමෙන් ම චීනයේ WeChat සහ Weixin සමස්ත ජනගහනයෙන් 76% ක් ඉක්මවා පරිහරණය කරයි. Twitter, Reddit, Instagram, Sina Weibo, QZone චීනයේත් ‍Facebook ආදේශකය (Chinese messaging app QQ) මාසිකව භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ලොව තුන්වන ජනගහනය අධික එක්සත් ජනපදයේ සමස්ත ජනගහහය ඉක්මවයි. ලොව විශාල සමාජ මාධ්‍ය වේදිකාව (Messenger, WhatsApp, and Instagram) Facebook සමාගමට අයත් වෙයි. දෙවන ස්ථානය QQ, QZone, සහ WeChat චීනයේ Tencent සමාගමට හිමි වෙයි. ජනගහනය අධික ලොව බොහෝ රාජ්‍යයන් දේශපාලන හා ආර්ථික අර්බුද මත අවදානම් මාවතක ගමන් කරන අතර Facebook සහ Twitter සමාජ මාධ්‍යය සංජාලා නවීකරණය සඳහා සිය අවධානය යොමු කරමින් නිදහසේ ගලා යයි.

එවරස්ට් කඳු මුදුන මත, උතුරු ධ්‍රැව ආර්ක්ටික් ප්‍රදේශයේ පමණක් නොව, සඳ මතු පිට අන්තර් සංජාල පහසුකම් මගින් Wi-Fi තාක්ෂණය ලබා ගත හැක. අභ්‍යවකාශයේ සිට නාසා පර්යේෂණ මධ්‍යස්ථානයට විවිධ සන්නිවේදන පහසුකම් සඳහා රැහැන් රහිත අන්තර්ජාල ( Wi-Fi) සබඳතා ඇත. ප්‍රධාන සංජාල Sband සහ Ku-band යනුවෙන් හැඳින්වෙයි. Sband අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ දුරස්ථ පාලනය සහ ශ්‍රව්‍ය ක්‍රියාවලිය Ku-band දත්ත සහ වීඩියෝ පෘථිවි මධ්‍යස්ථානය වෙත එවනු ලබයි. එමෙන්ම Twitter පණිවුඩ හුවමාරුව ද සිදු වෙයි. 2010 වසර සිට එවරස්ට් කඳු මෂ්තකයේ සිට උස Fi-3G තාක්ෂණය මගින් සන්නිවේදය කිරීමේ හැකියාව Nepalese Telecommunications Company ලබා දී ඇත.

නව තාක්ෂණික පිම්ම

වර්තමානයේ දියුණු ඩිජිටල් තාක්ෂණය හා සමාගම් නව නිපැයුම් පාරිභෝගිකයා ලුහුබඳිමින් සිටියි. එහෙත් එම අත්දැකීම පිළිගැනීමට තවමත් මානව සමාජය මුහුකුරා ගොස් නැති හෙයින් එම නිෂ්පාදන හා සේවාවන් හි අපේක්ෂිත ඵලදායකත්වය නෙළා ගැනීම දුෂ්කරය. තාක්ෂණික කර්මාන්තය හා සමාගම් වෙළෙඳ පොළ නව අදහස් හා මෙවලම් නිරතුරු ව උත්පාදනය කරයි. එම නිෂ්පාදන විවෘත වෙළෙඳ පොළට ප්‍රවේශ වන්නේ ඉතා ක්ෂණිකව හා සමාජය අපේක්ෂා නොකරන මොහොතකය. එනම් එක් නව තාක්ෂණික නිෂ්පාදනයක උපයෝගිතාව සමාජය අවබෝධ කර ගැනීමට පෙර තවත් නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට ප්‍රවේශ වෙයි. වර්තමානයේ වෙළෙඳ පොළ මත නව තාක්ෂණික මෙවලම් ගොඩගැසී ඇත. සැබවින් ම ඇපල් සමාගම නිෂ්පාදනය කළ නව ඩිජිටල් මෙවලම වූ Newton, smartphone වත්මන් සමාජයට වඩා දසක දෙකක් ඉදිරියෙන් සිටී. අභ්‍යවකාශ තාක්ෂණය වසර සියයක් පමණ ඉදිරියෙන් ගමන් කරයි. සංවර්ධනය වූ ඉදිරියෙන් සිටින රාජ්‍යයන් හා සසඳන විට පරිවාර රාජ්‍යයන්ගේ දැනුම හා තාක්ෂණය තවමත් 18 වන සියවසේ රැඳී තිබේ. පරිවාර රාජ්‍යයන් ඉදිරි පෙළ රාජ්‍ය නිමැවුම් හා මෙවලම් උපයෝගිතාවයකින් තොර ව පරිභෝජනය කරන විවෘත වෙළෙඳ පොළ අනුගාමිකයන් පිරිසක් පමණි. ඔවූහු කිසිවිටක සිය අතැති විද්යුත් මෙවලමේ නිෂ්පාදකයෝ නොවෙති.

වෙළෙඳ පොළ ප්‍රතික්ෂේප වීම

ඉදිරි පෙළ රාජ්‍යයන් හා සමාගම් 2017 වසරේ තාක්ෂණික සංවර්ධනයේ ඉතා උසස් වර්ධනයක් ලබා ඇත. කෘත්‍රිම බුද්ධිමත්භාවය (Artificial Intelligence) හඬ හා රූප හැසිරීම විවිධ මාර්ග මඟින් අන්තර් ක්‍රියාකාරිත්වය මත තාක්ෂණික උපාංග විසින් ලබා දෙයි. Amazon සමාගමේ ජනප්‍රිය ප්‍රතිරාව smart ශබ්දවාහිනී උපාංග Alexa digital assistant සමඟ බද්ධ ව ඇත. එහෙත් මෙම තාක්ෂණය තවමත් මානව සමාජයේ උපයෝගිතාව සමඟ නොසැසඳෙයි. ඇතැම්විට වෙළෙඳ පොළ තුළ ඉල්ලුමක් නොමැති හෙයින් බොහෝ තාක්ෂණික සංවර්ධන කාලය ඉක්මවමින් අතුරුදහන් වෙයි. රියදුරෙක් රහිත ස්වයංකී‍්‍රයව ක්‍රියා කරන මෝටර් රථ එතෙක් අප තුළ පැවැති මතයක් වෙනසකට ලක් කරමින් නව තාක්ෂණය විසින් අපව සුරංගනා ලෝකයක් වෙත ප්‍රවේශ කළේය. සැබවින් ම එය යථාර්ථයකි. Google සමාගම විසින් ඉදිරිපත් කළ නව නිපැයුම ලොව සංවර්ධනය වූ රාජ්‍යයන් පවා පිළිගැනීමට මැළි වෙයි. බොහෝ දෙනෙක් ස්වයංක්‍රීය මෝටර් රථ ධාවනය ගැන මවිතයට හා බියට පත් ව සිටිති.

එහෙත් මෙම කම්පනය සමාජය දැනුමෙන් මුහුකුරා නොයාම නිසා හටගත් අනියත බියකි. ඉදිරි දසකය තුළ නව තාක්ෂණික ස්වයංක්‍රීය රථ ධාවනය සාමාන්‍ය සිදුවීමක් බවට පත්වනු ඇත. දැන් සමාගම් සිය සැලසුම් සකස් කරන්නේ අනාගත ස්වයංක්‍රීය රථ වෙළෙඳ පොළ ජය ගැනීම උදෙසාය. ඒ සඳහා සමාජය සකස් කිරීම ඉදිරි පෙළ රාජ්‍යයන් මුහුණ දෙන අභියෝගයයි.

ගූගල් ආයතනය Gboard ජනගත කිරීමෙන් වසර දෙකකට පසු ප්‍රායෝගික යතුරු පුවරුවට දැන් භාෂා 500 ක් භාවිතකිරීමේ හැකියාව ඇත. ගූගල් ආයතනයට අනුව පෘථිවිය මත සිටින ජනගහනයෙන් 90% කට ජංගම දුරකථනය මගින් සිය ප්‍රථම භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව ඉන් ලැබෙයි. ලිවීමේ ක්‍රම 40 කට Gboard මගින් පහසුකම් සැලසෙයි. රෝමන්, සෙරිලික්, දේවනාගරි වැනි බොහෝ අක්ෂර ලිවීමේ හැකියාව නව තාක්ෂණය මගින් උදා කර ඇත. බටහිර බෙන්ගාලයේ වෙසෙන සන්තාලි ආදිවාසියාගේ ලේඛන රටාව වූ ඔල් චිකි පවා සටහන් කිරීම ද සිදු කළ හැක.

බොහෝ මෘදුකාංග (software) සහ සේවා කෘත්‍රිම බුද්ධිමත්භාවය විසින් හඬ, සංගීතය, සිනමාව හා වින්දනය වඩාත් ඉහළ වෙළෙඳ පොළක් දක්වා පරිවර්තනය කර ඇත. ගෝලීය සමාජය යම් දිනක නව තාක්ෂණය HP, Dell, and Qualcomm, Amazon, Google විසින් ඉස්මතු කරන දැනුම පිළිගැනීමට සහ අගය කිරීමට සමත්වන්නේ නම් එහි ප්‍රතිලාභය අත්පත්කර ගත හැක.

කෘති‍්ම බුද්ධිමත්භාවය

දැනුම මත පදනම් නව තාක්ෂණය කෘත්‍රිම බුද්ධිමත්භාවය (artificial intelligence) යැයි අර්ථ ගැන්වෙයි. කෘත්‍රිම බුද්ධිමත්භාවය ඇතැම්විට අන්තර්ජාලය ද අවුලකට පත් කරයි. එහෙයින් බොහෝ දෙනකු එය මඟහැර යාමට වෙර දරති. එහෙත් 2019 මධ්‍යාහනය වන විට චීනය කෘත්‍රිම බුද්ධිමත්භාවයෙන් අමෙරිකාව අභිභවනය කරනු ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි. ජර්මනියේ වොක්ෂ්වැගන් Volkswagen (VWAGY) ආයතනය ස්වයංක්‍රීය වාහන ධාවනය සඳහා අවශ්‍ය කෘත්‍රිම බුද්ධිමත්භාවය සමඟ වැඩ කිරීමට පර්යේෂණ අරඹා ඇත. ජේ. පී. මොර්ගන් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට ඉතා හොඳ සේවාවාක් ලබාදීමට කෘත්‍රිම බුද්ධිමත්භාවය මත පදනම් නව තාක්ෂණය සඳහා ඩොලර බිලියන 10 ක් ආයෝජනය කර ඇත. පර්යේෂණ වාර්තා අනුව වර්තමානයේ නිෂ්පාදන ආයතන කෘත්‍රිම බුද්ධිමත්භාවය භාවිත කරනුයේ 15% ක් පමණි. සේවකයන් 100.000 වඩා සේවයේ යෙදෙන කර්මාන්තශාලා කෘත්‍රිම බුද්ධිමත්භාවය ඉතා හොඳින් යොදා ගනී. එහෙත් රාජ්‍යයන් මෙම ක්‍රමවේදය භාවිත කිරීමට අපොහොසත්ය. මක්නිසාදයත් කේන්ද්‍රගත බල දේශපාලනය එමගින් විකේන්ද්‍රණය වේ යැයි දේශපාලකයා කල්පනා කරන බැවිනි.

කෘත්‍රිම බුද්ධිමත්භාවයේ වාසි

තොරතුරු සකස් කිරීම, විශ්ලේෂණය සහ ඉතා වේගයෙන් භාවිත කිරීමේ හැකියාව අපරාධ වළකාගැනීමේ හැකියාව, ගමනා ගමන පහසුකිරීම, අනතුරු වළකා ගැනීම, ස්වයං ක්‍රියාකාරී වාහන පාලනය, මූල්‍ය කටයුතු විධිමත් සහ විශ්වාසනීයව මෙහෙයවීම පමණක් නොව රේඩියෝ විකාශනය සඳහා යොදා ගත හැක.

ගෝලීය මාධ්‍යයේ නව සංවර්ධන පසුබිම විමසුමේ දී ග්‍රාහකයා - අවකාශය (පොදු කක්ෂය) සහ විචාරය ඉතා වැදගත්ය. අනාගත ඩිජිටල් මාධ්‍ය භාවිතය වර්තමානයට වඩා බෙහෙවින් ම වෙනස්වෙයි. එමෙන් ම පාඨකයාගේ ස්වභාවය සහ අවබෝධය වෙනස් වෙයි. වර්තමානයේ ග්‍රාහකයා ප්‍රවෘත්ති නරඹන සහ ශ්‍රවනය කරන ප්‍රධාන මූලාශ්‍ර ලෙස රේඩියෝ, පුවත්පත්, සමාජ මාධ්‍ය සහ ටෙලිවිෂනය හැඳින්විය හැක. එය ග්‍රාහකයාගේ මාධ්‍ය හැසිරීම වයස, ස්ථානගත ප්‍රදේශය සහ රසවින්දනය වැනි වෙනත් වුවමනා මත තීරණය වෙයි. ඇතැම්විට එය කාලීන ව වෙනස් විය හැකි අතර මූලාශ්‍ර සපයන මාධ්‍යයේ විශ්වාසය මත රඳා පවතියි.

රාජ්‍යයන් 26 ක පුද්ගලයන් 50.000 ක් සහභාගිත්වයෙන් සිදු කළ සමීක්ෂණයේ දී ඉන් 51% ක් සෑම සතියක ම ප්‍රවෘත්ති ලබාගන්නේ සමාජ මාධ්‍යය භාවිතයෙනි. සෑම දහයෙන් එකක් (1/10) ප්‍රවෘත්ති නැරඹීමේ දී ප්‍රධාන මූලාශ්‍රය ලෙස සමාජ මාධ්‍ය භාවිත කරති. 2018 වසරේ සමාජ මාධ්‍ය සංජාල මගින් ප්‍රවෘත්ති ශ්‍රවණය කිරීම බ්‍රසීලයේ 10% සිට 18% දක්වා ද ඩෙන්මාර්කයේ 6% සිට 12% දක්වා දෙගුණයකින් වර්ධනය වී ඇත.

ඩිජිටල් ප්‍රවෘත්ති වාර්තාව

ලෝකය පුරා බොහෝ පුවත්පත් පාඨකයන් සහ ඩිජිටල් මාධ්‍ය භාවිත කරන්නන් මුද්‍රිත මාධ්‍ය තවමත් ඓතිහාසික තොරතුරු, අතීත රංජනය, අද්භූත ගුප්ත කථා, ඇදහිය නොහැකි ආගමික කථා නීරස ව ඉදිරිපත්කොට කාලය විනාශකරන්නේ යැයි චෝදනා නගති. වර්තමානයේ ලෝකය ඉතා වේගයෙන් වෙනස් වෙන හෙයින් ප්‍රවෘත්ති සහ තොරතුරු එහි උණුසුම පහවයාමට පෙර එසැණින් ම කල් ඉකුත් වෙයි. එහෙයින් වේගය, විශ්ලේෂණය සහ නැවුම්බව ප්‍රවෘත්තියක පාඨකයා අපේක්ෂිත මූල සාධක වන අතර කාලය අල්ලාගැනීම සෑම මාධ්‍යයක ම අභ්‍යාසය විය යුතුය. කල් ඉකුත් වූ සහ පිළුණු, සිල්ලර තොරතුරු පාඨකයා වෙත සම්පාදනය කිරීමෙන් පමණක් ඔවුන් ආකර්ෂණය කර ගත නො හැකිය. එකී තත්ත්වය මත තරුණ පරම්පරාව මුද්‍රිත මාධ්‍යයෙන් ඉතා වේගයෙන් ඉවත් වෙමින් සිටිති. තවමත් මුද්‍රිත මාධ්‍යයේ පාඨකයා ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලද දුරස්ථ සහ නාගරික වයෝවෘධයෝය. වත්මන් පාඨකයා අතිශයෝක්ති, නීරසභාවය සහ විශ්වාසයෙන් තොර තොරතුරු ප්‍රතික්ෂේප කරයි. මන්ක්නිසාදයත් ප්‍රවෘත්ති සහ තොරතුරු ගලා එන මුලාශ්‍ර බොහොමයක් ඔවුන් සතු ව ඇති බැවිනි. ඒවායේ නිර්වද්‍යතාවය ඔවූහු සසඳා බලති.

ගෝලීය වෙබ් දර්ශකයේ (Global Web Index)දත්තවලට අනුව ඩිජිටල් ප්‍රවෘත්ති සොයා ග්‍රාහකයා දවසින් වැඩි කාලයක් අවදියෙන් සිටී. මැදිවියේ පුද්ගලයන් දිනකට පැයකට ආසන්න කාලයක් ජංගම දුරකථනයෙන් මාර්ග ගත online සමාජ මාධ්‍ය භාවිතයෙන් ප්‍රවෘත්ති සහ කාලීන පුවත් කියවයි. දහයෙන් හයක් (6/10) වැඩිහිටියෝ සිය ජංගම දුරකථනය කාලීන පුවත් නැරඹීම හෝ ශ්‍රවනය සඳහා භාවිත කරති. 41% ක් විශේෂිත ප්‍රවෘත්ති සම්පාදනය කරන (app) ඇප් භාවිත කරති. රේඩියෝ විකාශන මධ්‍යස්ථානවලට ඉතා විධිමත් ව සහ නිදහස් ව අන්තර්ජාලය මගින් සමාජ මාධ්‍ය භාවිතකිරීමේ අවස්ථාව දැන් උදා වී ඇත. එය නව ශ්‍රාවකයන් සොයායෑමේ හොඳම මාර්ග යයි. ඒ සඳහා ස්වයංක්‍රියාකාරක (software) මෘදුකාංග (now playing) දැන් පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව ඇත. ශ්‍රාවකයා සහ විකාශන මධ්‍යස්ථානය අතර සබඳතාව සහ ප්‍රතිචාරය අතිශයින් ම වැදගත්ය. අනාගතයේ නිර්මාණය වන තාක්ෂණික පිම්ම සඳහා සියලු මාධ්‍ය වර්තමානයේ සුදානම් විය යුතුය.

(දිනමිණ)

Education News

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website