Monday, 08 July 2019 01:40

ගමේ නගරයේ ඕනෑම ගැටලුවක් විසඳන ජංගම දුරකථන යෙදවුම

අප එදිනෙදා මගතොටේදී දකින මහජන ගැටලු, පළාත් පාලන ආයතනවලට දන්වා ඒවාට විසඳුම් ලබා ගැනීමට යම් කාලයක් ගත වේ. බොහෝ විට ඉතා සුළු ගැටලු පිළිබඳ අදාළ ආයතන තැකීමක් සිදු නොකරයි. එබැවින් මහජනතාවද බොහෝ අපහසුතාවන්ට ලක්වෙති. නමුත් අප මගතොටේදී දකින ගැටලු තම ජංගම දුරකථනය මගින් ඒ මොහොතේදීම අදාළ ආයතනවලට දැන්විය හැකි නම් කොපමණ අගනේද? 'මංකිව්වා'  ජංගම දුරකථන යෙදවුම මගින් එය සිදුකළ හැකිය. ඒ පිළිබඳ දැන ගැනීමට අපි මෙම යෙදවුමේ නිර්මාතෘ සොහාන් කුලසූරිය මහතා අදට සම්බන්ධ කරගතිමු. 

'මංකිව්වා'  ජංගම දුරකථන යෙදවුම පිළිබඳ හඳුන්වා දුන්නොත්?

'මංකිව්වා' කියන්නේ එදිනෙදා මහජනතාව දකින මහජන ගැටලු පිළිබඳ අදාළ ආයතන දැනුවත් කළ හැකි ජංගම දුරකථන යෙදවුමක්. පාරේ විදුලි පහන් කණුවක බල්බයක් අක්‍රිය වෙලා තිබුණොත්, කුණු ගොඩක් එකතු වෙලා තිබුණොත්, කානුවක කුණු හිරවෙලා නම්, ඒ ගැන අපි අදාළ පළාත් පාලන ආයතනයට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න ඕන. එහෙම නැත්නම් හඳුනන ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු හෝ නිලධාරියෙකු මාර්ගයෙන් තමයි ඒ පිළිබඳ දන්වන්න වෙන්නෙ. නමුත් එතකොට ඒ ගැටලුව විසඳන්න ටික කාලයක් යනවා. ඒකට විසඳුමක් විදියට තමයි මේ ජංගම දුරකථන යෙදවුම නිර්මාණය වෙන්නෙ. අපි හඳුන්වා දෙන %මංකිව්වා^ දුරකථන යෙදවුමෙන් මේ ගැටලු පිළිබඳ අදාළ පළාත් පාලන ආයතනයට දන්වන්න පුළුවන්. ඒ වගේම පළාත් පාලන ආයතනයේ සභාපතිවරයාට සහ ඉහළ නිලධාරීන්ටත් මෙම ගැටලුව ඒ අවස්ථාවේදීම ස්වයංක්‍රීයවම දන්වනවා. ඇත්තටම මේ සඳහා මහජනතාව වෙනම මහන්සියක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උදේට රැකියාවට යන විට දකින ගැටලු, හවසට ගෙදර එද්දි දකින ගැටලු, ඒ වගේ අපට එදිනෙදා දක්නට ලැබෙන ගැටලු ඒ මොහොතේදීම දන්වන්න පුළුවන්.

මෙම යෙදවුම මගින් අදාළ අංශ වෙත දැන්විය හැකි ගැටලු මොනවාද?

කසළ ගොඩගැසීම්, කැඩුණු පාරවල්, බිඳුණු වීථි ලාම්පු, කඩා වැටුණු සහ අවදානම් තත්ත්වයේ තිබෙන ගස් සහ ගොඩනැගිලි, අවහිර වුණු කානු සහ ඇළවල්, ඩෙංගු අවදානම් ස්ථාන, කැඩුණු හෝ අපවිත්‍ර නළ, අනවසර ඉදිකිරීම් වැනි ගැටලු මෙම යෙදවුම මගින් දැන්විය හැකියි. ඉදිරියේදී මෙය තවත් දියුණු කරමින් තවත් සේවාවන් සැපයීමට අප බලාපොරොත්තු වෙනවා. 

මේ වනවිට 'මං කිව්වා' යෙදවුම ක්‍රියාත්මක වන ආයතන මොනවාද?

මිනිසුන්ට ළඟින්ම සේවය සපයන්නේ පළාත් පාලන ආයතන විසින් නිසා අපි මුලින්ම යොමු වුණේ පළාත් පාලන ආයතන මේකට සම්බන්ධ කරගන්න. මේ වනවිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල සියලුම පළාත් පාලන ආයතනවලට මේ පිළිබඳ දැනුවත් කිරීම් කර තිබෙනවා. දැනට අපි පළාත් පාලන ආයතන හතරක් මේ යෙදවුම හා සම්බන්ධ වෙලා තිබෙනවා. මීගමුව, ගම්පහ, අත්තනගල්ල, කුලියාපිටිය වැනි පළාත් පාලන ආයතන තුළ මෙය ක්‍රියාත්මක වෙනවා. ඉදිරි සතියේදී තවත් පළාත් පාලන ආයතන දෙකක් සම්බන්ධ වෙනවා. ඒ වගේම ඉදිරියේදී ලංකාවේ සෑම පළාත් පාලන ආයතනයක්ම, පොලීසිය, විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ඇතුළු මහජනතාවගේ මෙවැනි ගැටලු විසඳන සියලු රාජ්‍ය ආයතන මේ සඳහා සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මෙවැනි යෙදවුමක් නිර්මාණය කිරීමට අදහස් කළේ ඇයි?

මම පෞද්ගලිකව මුහුණ දුන් ප්‍රශ්න නිසා තමයි ඇත්තටම මේක නිර්මාණය කරන්නට සිතුවේ. බොහෝ වෙලාවට අපි දකින්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ගමේ නගරයේ ගැටලු දන්වන එකනේ. නමුත් එතකොට ඒ ගැටලු අදාළ නිලධාරීන් දකිනවාද කියන එක ගැටලුවක්. ඒකත් මෙම යෙදවුම නිර්මාණය කිරීමට බලපෑවා. නවීන තාක්‍ෂණයෙන්, ජංගම දුරකථනය මගින් ලංකාවේ සංවර්ධනයට, මහජන ගැටලු විසඳා ගැනීමට යොදාගන්නේ කොහොමද කියන එක ගැන අපි පර්යේෂණ කළා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි %මංකිව්වා^ දුරකථන යෙදවුම නිර්මාණය වෙන්නෙ. මේක හුදෙක් දුරකථන යෙදවුමක්ම නෙවෙයි, මේක ඇත්තටම සේවාවක්. මෙම යෙදවුම නොමිලේ තමයි ජනතාවට භාවිත කරන්න අවස්ථාව ලබාදෙන්නෙ.

යෙදවුම පරිශීලනය කරන ආකාරය ගැන කිව්වොත්?

මේ යෙදවුම ඇපල් දුරකථන සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලින් භාගත කළ හැකියි. මේකෙදි සිදුවෙන්නේ මේ යෙදවුමේ තිබෙන කැමරාවෙන් ගැටලුව තිබෙන තැන ඡායාරූපයක් ගෙන එය සිදුව තිබෙන ස්ථානය සහ ගැටලුව අයිති අංශය යෙදවුමෙන් තෝරා යැවීමෙන්. ඊට පස්සේ එය ස්වයංක්‍රීයවම අදාළ පළාත් පාලන ආයතනයේ පද්ධති පුවරුවට ඒ මොහොතේදීම දන්වනවා. පළාත් පාලන ආයතනය තුළ මේක පාලනය කරන්න වෙනමම නිලධාරියෙක් පත්කරලා තිබෙනවා. මෙම යෙදවුමෙන් ගැටලුව වාර්තාකරණ වාර්තාකරුගේ අනන්‍යතාව කිසිම අවස්ථාවක කිසිවෙකුටත් දැනගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ගැටලුව පිළිබඳ වාර්තාකරුව සම්බන්ධ කරගන්න, ඔහුට ප්‍රතිචාර දක්වන්න හැකියාව තිබෙනවා. අපි කළ පර්යේෂණයක් මගින් තහවුරු වුණා අනන්‍යතාව තහවුරු වෙනවා නම්, මහජනතාව පැමිණිලි කරන්න බයයි කියන දේ. මෙහි වාර්තා කළ හැක්කේ සත්‍ය තොරතුරුම පමණයි. ඒක සත්‍යයක් කියලා තහවුරු කිරීමට තමයි අපි ඡායාරූපයක් ඉල්ලා සිටින්නෙ. ඒ වගේම යම් ගැටලුවකට ඉක්මනින් පිළියමක් යොදන්න නොහැකි තත්ත්වයක් තිබෙනවා නම්, ප්‍රශ්නය වාර්තා කළ වාර්තාකරුට පණිවුඩයක් යනවා යථා කාලයේදී එම ගැටලුව විසඳන බවට. හැමෝටම භාවිත කරන්න පුළුවන් විදියට පහසු පියවර තුනකින් තමයි මේක භාවිත කරන්න පුළුවන්.

බොහෝ විට රාජ්‍ය ආයතන වලින් මහජනතාවට වැඩක් කරගන්න අමාරුයි. එතකොට ඒ සඳහා කොහොමද මෙහි බලපෑම?

ඇත්තටම ඔය ප්‍රශ්නය මේ ව්‍යාපෘතිය ආරම්භ කරන කොටම අපට ආවා. නමුත් ඉක්මනට විසඳන්න පුළුවන් ගැටලු මේ යෙදවුමෙන් විසඳා තිබෙනවා. ඒක මම කියන්නේ අත්දැකීමෙන්. දැනට මේක භාවිත කරන පළාත් පාලන ආයතනවලින් අපට මේ සඳහා ලොකු සහයෝගයක් ලැබෙනවා. මෙම යෙදවුම ඇත්තටම නිලධාරීන්ටයි, මහජනතාවටයි ලොකු පහසුවක්. 

යෙදවුම නිර්මාණය කළ සමාගම කුමක්ද?

Kubeira IT Park කියන සමාගමෙන් තමයි මේ දුරකථන යෙදවුම නිර්මාණය කළේ. මෙහි නිර්මාතෘවරයා වෙන්නේ මමයි. මෙම යෙදවුම අපි නිර්මාණය කරන්නේ 2018 වසරේදීයි. ඒ වගේම මේ යෙදවුම සඳහා අපට සම්මාන කිහිපයක්ම ලැබී තිබෙනවා. 

කැළුම් දේවින්ද 

(අද)  

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website