Tuesday, 16 July 2019 09:03

ඉලක්ක හඹා යන ඩ්‍රෝන තාක්ෂණය

ඩ්‍රෝන තාක්ෂණය ආර්ථික සංවර්ධනය සඳහා උපයෝගී කර ගැනීම දියුණු රටවල දක්නට ලැබේ. දැන් දැන් අප්‍රිකානු රටවල් පවා ඩ්‍රෝන තාක්ෂණය දෙසට නැඹුරු‍‍ වෙමින් සිටී. අසල්වැසි ඉන්දියාව බංග්ලාදේශ් සහ නේපාලය යන රටවල් කෘෂිකර්මික කටයුතුවලදී ඩ්‍රෝන තාක්ෂණය පිහිට කොට ගනිමින් සිටී.

ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන තාක්ෂණය සංවර්ධන කටයුතු සඳහ‍ා භාවිතා කළ හැකි අන්දම පිළිබඳව සාකච්ඡා මණ්ඩප කීපයක් කොළඹදී පැවැත්විණි. විශ්වවිද්‍යාල මෙන්ම වාණිජ මණ්ඩල, පෞද්ගලික අංශයේ විද්වත් සාකච්ඡා සහ සෞඛ්‍ය අංශයේද මෙවැනි සාකච්ඡා වාර්තා විය. මෑතකදී කොළඹදී පවත්වන ලද සාකච්ඡාවක දී කියවුණේ සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ කටයුතුවලදී අවශ්‍ය වන හදිසි ලේ ප්‍රවාහනය, ඖෂධ හා උපකරණ ප්‍රවාහනය‍ට ඩ්‍රෝන තාක්ෂණය උපයෝගි කර ගත හැකි බවයි.

විවිධ අංශවල දැන‍ටම ඩ්‍රෝන තාක්ෂණය ක්‍රියාත්මක වේ. විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතුවලදී ඇතැම් වැවිලි සමාගම් දැනටම කෘෂි රසායන ස්ප්‍රේ කිරීමට ඩ්‍රෝන යොදා ගනිති. එහෙයින් ඩ්‍රෝන තාක්ෂණය ක්‍රමයෙන් රට තුළ හරිබරි ගැසෙමින් දීර්ඝ ගමනකට සූදානම් වෙයි.

ඩ්‍රෝනයක් යනුවෙන් හැඳින්වෙන්නේ කුඩා සැහැල්ලු ගමන් මෙවලමකි. ඩ්‍රෝන යන වචනයෙන් අදහස් කැරෙන්නේ බඹර නාදයයි. මුල් යුගයේ ‍ ඩ්‍රෝන අහසේ ගමන් කෙළේ බඹර හඬක් නංවමිනි. එහෙයින් නියමුවන් විරහිත මේ ගුවන් මෙවලමට ‍ ඩ්‍රෝන යන නම පටබැඳුණි. දැන් නිහඬව ගමන් කළ හැකි ඩ්‍රෝන තිබේ. එසේම A1 හෙවත් කෘතිම බුද්ධිය මෙහෙයවා ස්වයංතීරණ ගත හැකි ඩ්‍රෝන පවා තිබේ.

යුද කටයුතු සඳහා

බංගලිදේශයේ වගාව සඳහා කෘමිනාශක ඉසීමට භාවිතාවන ඩ්‍රෝනයක් ඇ. ඩොලර් 15 - 20 අතර මිලකට මිලදී ගැනීමට පිළිවන. මොන තරම් සංකීර්ණ ඩ්‍රෝන යානා අද නිෂ්පාදනයව තිබේද කිවහොත් ඉරානය විසින් පසුගියදා වෙඩි තබා විනාශ කළ අමෙරිකානු ඩ්‍රෝනයේ වටිනාකම ඇ. ඩොලර් දසලක්ෂ 1900 කි. මේ ඩ්‍රෝනය අඩි 30000 කට ඉහළ සිට ඔත්තු බලන විට එය වෙඩි තබා බිම හෙළූ බව ඉරානය කියයි. යුද කටයුතු සඳහා ඩ්‍රෝන යොදාගැනීම කාශ්මීරයේ සහ මැද පෙරදිග රටවල සාමාන්‍ය දෙයකි. ඩ්‍රෝනයන්ගේ උපත ද යුද්ධයට සම්බන්ධය.

ඩ්‍රෝනයන්ගේ ආරම්භය පළමුවන ලෝක යුද සමයයි. ජර්මනිය නියමුවන් විරහිත බැලුන් අහසට යවා අසල්වැසි රටවල් ඒවාට කවර ප්‍රතිචාර දක්වන්නේදැයි විපරම් කෙළේය. ඒ 1911 දී පමණය. යුද ඉතිහාසය ගැන කියන “ජේන්” සඟරාව මෙය ඩ්‍රෝනයන් යුද්ධයට සම්බන්ධ වූ පළමු අවස්ථාව ලෙස සඳහන් කරයි.

අමෙරිකාව වියට්නාම යුද්ධයේ දී RED WAGON නම් ඩ්‍රෝන යානා සටන් බිමට යැවූ බව පවසන එම සඟරාව අරාබි - ඊශ්‍රායෙල් 1978 යොම්කිපූර් සටනේදී ඊශ්‍රායෙල් හමුදාව ඩ්‍රෝන යානා සිරියානු අහසට යවා සිරියානු ගුවන් යානා නාශක හමුදාව මුළා කළ බව ද එම උපක්‍රමය ඊශ්‍රායෙල් ජයග්‍රහණයට හේතු වූ බව ද කියයි. එසේම රට රටවල් ජාතික ආරක්ෂාව සලසා ගැනීම සඳහා ඩ්‍රෝන හමුදා සංවර්ධනය කිරීමට විශාල ධන සම්භාරයක් වැය කරන බව ද එම සඟරාව කියයි.

ආසියා පැසිපික් කලාපයේ සාගර කලාපවල නිතර දක්නට ලැබෙන උවදුරක් නම් මත්ස්‍ය සම්පත් කොල්ලයයි. වෙනත් රටවල ධීවර යාත්‍රා, ධීවර නැව් පැමිණ අන් රටවල සමුද්‍ර සීමා නීති උල්ලංඝණය කිරීම සුලභව සිදුවේ. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට පැමිණ ඉන්දියානු සහ වෙනත් රටවල ධීවරයෝ අපට අයත් මත්ස්‍ය සම්පත් කොල්ලකා ගැනීම අපේ රටට ද ප්‍රශ්නයකි. විශේෂයෙන් චීන - ජපන් මුහුදු, ටොංකි මුහුද සහ වියට්නාම මුහුදු තීර, ජාවා - සුමාත්‍රා සමුද්‍ර කලාප මේ උවදුරට මුහුණ දෙති. අද වන විට මේ උවදුරට මුහුණ දෙන රටවල් මත්ස්‍ය සොරකම මැඬීමට ඩ්‍රෝනයන්ගේ උපකාර ගනිති. එසේම සංක්‍රමණිකයන්ගේ ආගමනය සහ ඔවුනගේ ඉරියව් නිරීක්ෂණය සඳහා ද ඩ්‍රෝන යන්ත්‍ර යොදා ගැනේ.

කුඩා, මධ්‍යම සහ අධිබර වශයෙන් ඩ්‍රෝන යානා තුන් වර්ගයකි. කිලෝ 25 දක්වා බර යානා කුඩා ඒවා ලෙස සැලකේ. ඇතැම්විට කුඩා යානා කිලෝග්‍රෑම් 1 දක්වා බරැති යානාය. කිලෝග්‍රෑමයට වඩා බරෙන් යුතු යානා නේපාලයේ ධාන්‍ය වටා කරක් ගසමින් උකුස්සන් මෙන් හඬ නඟති. ධාන්‍ය වගාවේ නියුතු ගොවියන් අතර මේ යානා ඉතා ජනප්‍රිය වේගෙන එයි. මේ යානා උකුස්සන්ගේ හැඩයෙන් ද යුක්තය. බංග්ලාදේශය ඩ්‍රෝනයන්ගේ උදව්වෙන් කෘෂිකාර්මික කටයුතු වඩාත් සක්‍රීය කරගනිමින් තිබේ. මේ කුඩා යානා බැටරි බලයෙන් ක්‍රියාකාරී වේ. බැටරියේ බලය අඩුවෙත්ම ගමන් ආරම්භය තෙක් හැරී ඒමේ A1 තාක්ෂණය ඔවුන් සතුය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, වියට්නාමය යන රටවල් ආසියාවේ තේ වගාවේ නියුතු රටවල්ය. මේ හැම රටක් ම සිය තේ නිෂ්පාදන වැඩිකර ගැනීමට විවිධ අන්දමේ ක්‍රියාකාරකම් සහිත ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගනිති. වගාවේ නිසරු බිම ප්‍රදේශ හඳුනා ගැනීම, එම ප්‍රදේශ සඳහා පොහොර සහ කෘමිනාශක යෙදීම, වගා පාලු හඳුනාගැනීම සහ කෘමි රෝග හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර කිරීමේලා තේ වගාකරන මේ සෑම රටක්ම ‍ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරති.

කෘෂිකර්මාන්තයට ඩ්‍රෝන තාක්ෂණය එකතු කර ගැනීම හඳුන්වනු ලබන්නේ PRECISION AGRICULTURE නමිනි. මේ නවතම මාවතට ශ්‍රී ලංකාව ගෙනයෑමේ කටයුතු සඳහා මුලපිරුණේ 2016 වසර අන්තිම කාලයේය.

තේ වගාවේ දුෂ්කර ගමන් පහසුකම් සහිත භූමි ප්‍රදේශබද වැවිලි වගාවකට DJ1 AGRAS MG 1 කෘෂිකාර්මික ඩ්‍රෝනයක් මඟින් ද්‍රව මිශ්‍රණ කි. ග්‍රෑම් 10 ක් වර්ගමීටර් 4000 - 6000 අතර භූමි ප්‍රමාණයක ස්ප්‍රේ කිරීමේ පර්යේෂණ මාලාවක් 2016 දෙසැම්බරයේදී සාර්ථකව අත්හදා බලන ලදී.

ඩ්‍රෝනයක් ගුවන්ගත කිරීම සඳහා නීතිරීති රාශියක් සම්පූර්ණ කළ යුතු වේ. එහෙයින් මේ නියමු ව්‍යාපෘතියට ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය ඉඩම් හිමියා වූ හේලිස් කෘෂිකාර්මික සමාගමය එකට අත්වැල් බැඳ ගත්හ. අත්හදා බැලීමේදී භාවිතා වූ AGRAS MG 1 ඩ්‍රෝනය බූවල්ලෙකුගේ හැඩ නිල සහිත ඩ්‍රෝනයකි. සාමාන්‍ය ශ්‍රමිකයෙකුට යම් මිශ්‍රණයක් ස්ප්‍රේ කිරීමෙන් ලබන ඵලදායකත්වය මෙන් 40 - 60 ගුණයක පලදායකත්වයක් මෙම ඩ්‍රෝනය මඟින් ලබාගත හැකි බව පර්යේෂණ මඟින් හෙළිවිය. එසේම පැයකදී අක්කර 7 - 10 භූමි ප්‍රමාණයක ස්ප්‍රේ කිරීමට ද මෙම ඩ්‍රෝනයට හැකියාව ඇත. ඔසවාගෙන යා හැකි බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 10 කි. ස්ප්‍රේ කරන අතරතුර ක්‍රියාකාරීත්වය නතර වුවහොත් එම නතර වූ ස්ථානය හරිහැටි නිශ්චය කිරීමට ද එතැන සිට යළි ක්‍රියාකාරීත්වය ඇරැඹීමට ද මේ ඩ්‍රෝනයට කෘතිම බුද්ධිය (A1) ඇත.

අත්හදා බැලීමට හවුල් කරගත් ඩ්‍රෝනය චීනය විසින් නිර්මාණය කරන ලද්දකි. චීනය සහ ඉන්දියාව ඩ්‍රෝන නිෂ්පාදනය අතින් පෙරමුණ ගෙන සිටී.

කෘෂිකර්මයට

ඉන්දියාවේ නිපදවනු ලබන ඩ්‍රෝන බංග්ලාදේශය සහ නේපාල ගොවි ජනතාව අතර ප්‍රචලිතය. කි. ග්‍රෑම් 4 - 5 බරැති ඩ්‍රෝනයක් ඇ. ඩොලර් 150 ක් තරම් මිලකි. ඉන්දියාවේ නිපැයුමක් වූ 10 LSPRAY ඩ්‍රෝනය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පෙරළියක් කළ කෘෂිනාශක ඉසිනයකි. එසේම FLY DRAGON යානය මඟින් ගොවිපොළක ජල පාලනය කළ හැකිය. කුඩා ඩ්‍රෝන සහ දියුණු කැමරා තාක්ෂණය සහ සංවේදී උපකරණ ඇසට නොපෙනෙන පරපෝෂිතයන් හා ක්ෂූද්‍ර ජීවීන් හඳුනාගැනීමට තරම් තියුණුය. ඒ නිසා එම ගොවිතැන SMART FARMING ලෙස ද හැඳින්වේ. එසේම DIGITAL AGRICULTURE නමින් ද හැඳින්වේ.

එකී SMART FARMING සංකල්පයේ පිහිටා සී. අයි. සී. හෝල්ඩිංග්ස් සමාගම ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වා දෙමින් කෘෂිකර්මාන්තයේ පෙරළියක් වාර්තා කර ඇත. මේ සඳහා ද ආරම්භක පියවර ඇරැඹුණේ 2016 වසරේදීය. ශ්‍රී ලංකාව ඩ්‍රෝන කෘෂිකර්මාන්තයේ කුළුඳුල් ආරම්භයයි.

සී. අයි. සී. ආයතනය සිය ඩ්‍රෝන තාක්ෂණය දියුණු කිරීම සඳහා අමෙරිකා ඩොලර් 6000 ක ආයෝජනයක් කර ඇත. එසේම ඒ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය ද දායකත්වය පළකර ඇත. වී වගාවක ස්කෑන් කර රෝගාබාධ සහිත ප්‍රදේශ හඳුනාගෙන එම වගාවට අවශ්‍ය ප්‍රතිකාර කිරීම මුල්වරට හඳුන්වා දුන්නේ සී. අයි. සී. පර්යේෂණය මඟිනි. මෙහිදී නිර්මාණය කරන ලද්දේ බැටරි බලයෙන් ක්‍රියා කරන ඩ්‍රෝනයකි.

කාර්යක්ෂමතාව

අවුරුදු අටක් තිස්සේ කරන ලද විවිධ පර්යේෂණ මාලාවකින් පසු සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම ශ්‍රී ලංකා කෘෂිකර්මාන්තයට කීප ආකාරයකින් වාසි සහගතය. ජී. පී. එස්. තාක්ෂණය ඔස්සේ ලබාගන්නා ඡායාරූපවල ප්‍රතිකාර අවශ්‍ය ප්‍රදේශ රතු පාටින් සලකුණු වන අතර ඩ්‍රෝනය මඟින් අවශ්‍ය කෘෂි රසායන ස්ප්‍රේ කරනු ලබයි. ජී. පී. එස්. ඡායාරූප තාක්ෂණය හා ඩ්‍රෝන තාක්ෂණය මඟින් මේ නිර්මාණයට පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීම ද පර්යේෂකයන්ගේ බලාපොරොත්තුවකි. ජී. පී. එස්. ඡායාරූප මඟින් සැකසෙන සිතියම් ඇසුරුකොට දුර්වල ශාක හඳුනා ගැනෙයි. අදාළ ප්‍රතිකාර සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අංශයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා මේ පර්යේෂණය ගැන පවසා ඇති අන්දමට දැනට වාර්තා වන්නේ හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 4.5 ක වී අස්වැන්නකි. මේ අස්වැන්න වැඩිකර ගැනීමට නවීන කෘෂිකාර්මික උපක්‍රම අවශ්‍ය යැයි පවසන ඒ මහතා තේ, බඩඉරිඟු සහ උක් වගාව සඳහා මේ නව තාක්ෂණය උපයෝගී කර ගැනී‍ෙමන් කාලය, ධනය සහ ශ්‍රමය ඉතිරිවන බව සෙසු රටවල් ‍සසඳා බැලීමෙන් පසක් වන බව ද කියයි.

2020 වන විට කෘෂිකර්මාන්තයට සම්බන්ධ ඩ්‍රෝන සංඛ්‍යාව 150,000 - 165,000 අතර මට්ටමකට පත්වනු ඇතැයි ජපානය සහ අමෙරිකා දෙරටේ ඩ්‍රෝන තාක්ෂණය ගැන තොරතුරු සපයන තොරතුරු වාර්තා කියයි.

සී. අයි. සී. සමාගමයේ SMART AGRI අංශයේ මේ පර්යේෂණය පිළිබඳ විස්තර මාධ්‍යයට හෙළිකෙළේ එහි කෘෂිකර්ම පර්යේෂකයකු වූ මංජු ගුණවර්ධන සහ සමන්ත රණතුංග යන මහත්වරුන් විසිනි.

ආපදා අවස්ථාවන්හිදී ඩ්‍රෝන තාක්ෂණය පිහිට කොට ගැනීම දියුණුවන රටවල දක්නට ලැබේ. 2018 වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇතිවූ ගංවතුර නිසා පුත්තලම, කළුතර, කෑගල්ල, රත්නපුර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි ඉතා විශාල පිරිසක් අනාථභාවයට පත්වූහ.

ආපදාවේ බරපතළකම නිසාම ඒ පිළිබඳ නිසි තක්සේරුවක් හෝ නිසි අගැයීමක් කරගැනීම අපහසු වූවා සේම විපතට පත්ව සිටින ජනතාව පිළිබඳ සැබෑ තොරතුරු එකතු කර ගැනීම ද අසීරු විය.

විවිධ රටවල් පිහිටට ඉදිරිපත් වූහ. ආපදාව නිසා කොටුවී සිටි පිරිස් සොයා ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම මඟින් බොහෝ පිරිස් ගළවා ගැනීමට හැකි විය. එසේම ආපදාවේ ප්‍රමාණය ගැන නිසි වාර්තා සකස් කර ගැනීමට ද ඩ්‍රෝන මඟින් හැකියාව ලැබුණි.

මේ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලද්දේ රතු කුරුස සංගමය යි. අනාගත ආපදා සහන කටයුතු සකස් කර ගැනීමටත්, ආර්ථික පාඩු අවම කර ගැනීමටත් මේ පියවර මඟින් ඉඩකඩ විවර විය.

පසුගිය සතියේ කොළඹ දී පවත්වන ලද සාකච්ඡා මණ්ඩපයක දී සෞඛ්‍ය සේවාව කාර්යක්ෂම කිරීමට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම ගැන අදහස් පළවිය.

පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි අවස්ථාවලදී රෝගීනට අවශ්‍ය ඖෂධ, එන්නත්, ලේ සහ වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාගැනීමේ දුර්වලතා පවතී. මෙවැනි අවස්ථාවලදී ඩ්‍රෝන ඔස්සේ එම සැපයුම් ප්‍රවාහනය වඩාත් කඩිනම් වඩාත් ආරක්ෂාකාරී පියවරකි. පැයට සැතපුම් 100 ක වේගයෙන් ගමන් කළ හැකි ඩ්‍රෝන මේ සඳහාම නිපදවා ඇත. අප්‍රිකාවේ රටවල දුරබැහැර රෝහල් කරා වෛද්‍ය පහසුකම් ලබාදීමට මේ ක්‍රමය භාවිතා වෙයි. ඒ සඳහා ජාත්‍යන්තර දිරිමත් කිරීම් ද හිමිවේ.

විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා මේ ක්‍රමය ලංකාවේදී ද ක්‍රියාත්මක කිරීමෙන් වඩාත් කඩිනම්ව වෛද්‍ය පහසුකම් ලබාදිය හැකි බව අවධාරණය කරයි.

කොළඹ කොටස් වෙළෙඳපොළ

බ්‍රොකර් වාර්තා පෙර සතියේ පළකළ අනාවැකි සැබෑ කරමින් ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ කොටස් වඩාත් සක්‍රීය වීම පසුගිය සතියේ දක්නට ලැබුණි.

ඉකුත් අඟහරුවාදා AEL ඉංජිනේරු කොටස් 1662705 ක් ද, බදාදා කොටස් 266920 ක් ද හුවමාරුවීමෙන් ‍ඒ බව පැහැදිලි වේ. බ්‍රහස්පතින්දා එම කොටස් 755664 ක් හුවමාරු වූ අතර සිකුරාදා කොටස් 2168330 ක් රුපියල් 15.70 - 16.10 අතර මිලකට හුවමාරු විය.

ඉකුත් සතියේ සඳුදා ගනුදෙනු ඇරැඹුනේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5515 ක් ලෙස සටහන්ව තිබියදීය. සිකුරාදා ගනුදෙනු අවසන් වන විට එම දර්ශකය 5563 දක්වා වර්ධනය වී තිබුණි. සතියේ වඩාත් සක්‍රීය වූයේ මූල්‍ය අංශය සතු කොටස් ය. වඩාත් දුර්වල වූයේ සෞඛ්‍ය අංශය යටතට ගැනෙන කොටස්ය.

ලාභාංශ ප්‍රකාශ කළ සමාගම් කීපයකි. ඔනාලි හෝල්ඩිංග්ස් කොටසකට ශත 43 ක ලාභාංශ ගෙවීම ජූලි මස 31 වැනි දින සිදුවේ. සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් පී. එල්. සී. සමාගම ලාභාංශ ප්‍රකාශ කිරීමට නියමිතය. සෙංකඩගල ෆයිනෑන්ස් සමාගමය සිය කොටසකට ශත තිස් පහක ලාභාංශයක් අගෝස්තු නවවැනි දින (09) ගෙවීමට නියමිතය.

උතුරේ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා යාපනයේදී පවත්වන ද ප්‍රවර්ධන වැඩසටහන 180 ක් පමණ වූ ආයෝජක පිරිසක් සහභාගි වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ කියයි. මෙය යාපනයේදී පවත්වන ලද දෙවැනි ප්‍රවර්ධන වැඩසටහනයි.

ජුලි 12 වැනි දින නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකු සතිපතා වාර්තාවට අනුව ජූනි මාසය තුළ සංචාරක පැමිණීමේ ප්‍රමුඛත්වය හිමිව ඇත්තේ චීනයට සහ ඉන්දියාවටයි.

ජූනි මාසයේ ‍සංචාරක පැමිණීම 63072 කි. 2018 ජූනි සංචාරක පැමිණීම 146828 කි. 2019 ජනවාරි - ජූනි කාලපරාසය තුළ සංචාරකයන්ගෙන් ලද ඉපැයීම ඇ. ඩොලර් දසලක්ෂ 1892 කි. 2018 එම කාලය තුළ ඇ. ඩොලර් දසලක්ෂ 2186 ක ආදායමක් ලබාගෙන ඇත.

ඉකුත් සතියේ පොල් තොග මිල මඳ වශයෙන් එනම් ගෙඩියක් ශත 20 කින් ඉහළ ගොස් ඇත. වර්ෂයකට පෙර එය රුපියල් 52.00 ක්ව තිබුණි.

කලාපයේ ආර්ථික වශයෙන් දියුණුවන රටක් වන මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික කටයුතු තරකිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා චේම්බර්ස් කොමර්ස් වාණිජ මණ්ඩලය විසින් ආරම්භ කර ඇත.

(දිනමිණ)

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website