Thursday, 15 August 2019 08:42

නොපිට පෙරළෙන දේශගුණය

ආචාර්ය සුනිල් රණසිංහ (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

ස්වභාවික චක්‍රයේ අසමතුලිතතාව ඇතිවීමට ප්‍රධාන හේතුව කෑදර මානව ක්‍රියාකාරිත්වය යි. මානව කෙන්ද්‍රීය ෆොසීල ඉන්ධන දහනය හා වන විනාශය නිසා වැඩි වශයෙන් කාබන්ඩයොක්සයිඩ් වායු ගෝලයට නිකුත් වේ.

ඉන්දියාවේ හිමාල අඩවියේ පිහිටා ඇති කොමික් (Komik) ගම්මානය ලොව මාර්ගයක් සහිතව පිහිටා ඇති උසම ගම්මානය යි. ලොව උසින්ම පිහිටි අනෙක් ගම්මාන ලෙස නේපාලයේ Dho Tarap හා බොලිවියාවේ සාන්ත බාර්බරා Santa Barbara සඳහන් කළ හැක. එහෙත් ඉන්දියානු දේශසීමාවේ ටිබැටය අසල මීටර් 4.587 ක් උසින් පිහිටි මෙම ගම්මානය ලොව මෝටර් රථයකින් යා හැකි එතරම් උසක පිහිටි එකම මානව වාසස්ථානයයි. කොමික් ගම්මානයේ සමස්ත ජනගහනය 130 කි. වාර්ෂිකව මාස හයක් සම්පූර්ණයෙන් ම හිම මිදෙන මෙම ගම්මානය ඉතා අලංකාර මානව වාසස්ථානයකි. කොමික් ගම්මානයේ දූරකථන හා ඉන්ටර්නෙට් පහසුකම් නැත. පාසල හා සෞඛ්‍යය පහසුකම් පිහිටා ඇත්තේ ඉතා දුරිනි.

මෙම ගම්මානය යාබද ප්‍රදේශයේ 12.000 ක පමණ ජනතාව ග්‍රීන් පීස් හා බාර්ලි වගාව, සත්ත්ව පාලනය කරමින් ඉතා සතුටින් ජීවත් වූහ. එහෙත් දේශගුණික වෙනස නිසා දැන් ඔවුන්ගේ ප්‍රධාන සම්පත් වූ ජල මාර්ග, දිය ඇලි, ගංගා, පොකුණු සිඳී යාම ආරම්භ වී ඇත. අතීතයේ මෙම ප්‍රදේශය ආසියාවේ ජල ටැංකිය ලෙස හැඳින්වීය. පසුගිය දශක කීපය තුළ ඉන්දියාව භූගත ජලය කෘෂි කර්මාන්තය සඳහා බහුලව යොදා ගත්තේය. එමෙන් ම මතුපිට ජලය දූෂණය ද ඉතා අනතුරුදායක ලෙස වර්ධනය විය. එහෙයින් ලොව ජල හිඟයෙන් පෙළෙන ප්‍රධාන රාජ්‍යයක් ලෙස ඉන්දියාව නම් කර ඇත. ඉන්දියාවේ 50% ක් සහල් හා 85% තිරිඟු නිපදවන උතුරුදිග පංජාබය හා හරියානා ප්‍රදේශ ජල හිඟය නිසා පීඩා විඳියි. ගොවිතැන සඳහා ජලය ලබා ගත් ලිං 50% ක් පමණ සිඳීගොස් ඇත.

වර්ෂාව ක්‍රමික ව අඩුවීමක් හා උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5 ක වැඩීවීමක් දක්නට ලැබෙයි. දේශගුණික වෙනස හේතුවෙන් ඉන්දියාව පුරා ගොවීන් මිලියන 200 කට ආසන්න සංඛ්‍යාවක් නිරතුරුව ජල හිඟයෙන් හා අධික උණුසුමෙන් පීඩා විඳිති. ණය බර හා අස්වැන්න පාළුවීමෙන් දහස් ගණනක් ගොවීහු සිය දිවි නසා ගනිති. 2050 වන විට ඉන්දියාව චීන ජනගහනය ඉක්මවා බිලියන 1.7 ක් දක්වා ඉහළ යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ආසියාව පුරා බිලියනයකට අධික ජනගහනයක් යැන්ග්ට්ෂි, ගංගේෂ්, මීකොං ගංගාධාරවල ජීවත් වෙති. මෙම සියලු ගංගා පෝෂණය වන්නේ හිමාල අඩවියෙනි. හිමාලය දේශගුණික වෙනස ඉතා තදින් දැනෙන ලොව වඩාත් සංවේදී කලාපයයි. ග්ලැසියර දියව යාම, නිසි කලට වැසි නොලැබීම, අවම හිම පතනය සහ උණුසුම ඉහළයාම වර්තමානයේ හිමාල ප්‍රදේශයේ දක්නට ලැබෙන සුලබ සිදුවීමකි. එහෙයින් හිමාල අඩවියේ ඉහළ පෝෂක ප්‍රදේශ මෙන්ම පහළ පෝෂණය වන කලාප අනාගතයේ දැඩි අනතුරකට ලක්වීමේ අවදානම දැන් දක්නට ලැබෙයි.

දේශගුණික වෙනසට හේතුව කුමක් ද?

පෘථිවියේ දේශගුණය ඉකුත් කාලය තුළ ආන්තික දේශගුණික තත්ත්වයන් මෙන් ම පෘථිවි ගෝලයේ උණුසුම දැරිය නොහැකි ආපදා මට්ටමට වෙනස්ව ඇත. එම තත්ත්වය උග්‍රවීමට හේතු වී ඇත්තේ මානව කේන්ද්‍රීය සංවර්ධනයේ අයහපත් බලපෑම් බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. පසුගිය දශක කීපය තුළ පෘථිවි වායුගෝලයේ දෛනික කාලගුණික තත්ත්වයන් විද්‍යාත්මක ව නිරීක්ෂණය කොට පෘථිවි ගෝලය උණුසුම්වෙමින් පවතින බව සොයා ගෙන ඇත. නව සොයායාම්වලට අනුව පෘථිවි ගෝලයේ උෂ්ණත්වය ගෙවී ගිය දශක කීපය තුළ සෙල්ෂියස් අංශක 0.6 සිට සෙල්ෂියස් අංශක 1.5 - 2.2 දක්වා ඉහළ වර්ධනයක් දක්නට ලැබේ.

වර්තමානයේ ලොව පුරා ඇතිවන ආන්තික කාලගුණික තත්ත්වයන් විසින් මනවයා පමණක් නොව සකල ශාක හා සත්ත්ව ජීව විශේෂ සියල්ල ම දැඩි කම්පනයට පත් කර ඇත. ක්ෂණික ජල ගැලීම්, අවපාත, චණ්ඩ කුණාටු, නාය යෑම්, පස් කඳු කඩා වැටීම, ග්ලැසියර හා අයිස් කඳු දියවීම, සාගර ජල මට්ටම ඉහළ යාම, දැඩි නියඟය ආන්තික දේශගුණ ලක්ෂණ ලෙස කාලගුණ විද්‍යාව අර්ථ ගන්වයි.

එමෙන් ම සූර්ය කුණාටු හා ලප මෙම වෙනස වර්ධනය වීමට හේතුවී ඇත. තවද දේශගුණික වෙනසට සාගර ක්‍රියාකාරීත්වය, මහපොළවට ලැබෙන සූර්ය කිරණ, භූතල චලනය, ගිනි කඳු සක්‍රීයවීම, ෆොසීල ඉන්ධන දහනය, මානවයා ස්වභාවික ලෝකය තම වුවමණා සඳහා බලහත්කාරයෙන් වෙනස් කිරීමට දරන්නා වූ ප්‍රයත්නය හා වායු ගෝලයේ රසායනික සංයුතිය වෙනස්වීමට හේතු වෙයි. 1750 වර්ෂයේ ගණනයට අනුව වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මිලියනයකට කොටස් 280 ppm ක් වූ අතර එය 1955 වන විට 315 ppm දක්වා ඉහළ ගොස් තිබිණ. එතැන් සිට වසර 50 කට පසු එනම් 2004 වර්ෂයේ දී එම තත්ත්වය මිලියනයකට කොටස් 379 ppm ඉහළ ගොස් ඇත. පෘථිවි වායු ගෝලයේ උණුසුම 1987 වර්ෂයේ සිට ක්‍රමයෙන් ඉහළ ගොස් 2000 දශකය ක්‍රමයෙන් උණුසුම් වර්ෂ ලෙසට පරිවර්තනය විය. 2018 වසර උණුසුම් වර්ෂය ලෙස හැඳින්විය හැකිය.

ලෝක සම්පත් ආයතනයේ (WRI) දත්තවලට අනුව ඉකුත් වසර දෙසීය තුළ මානවයා විසින් කාබන්ඩයෝක්සයිඩ් CO2 ටොන් ත්‍රිලියන 2.3 ක් වායුගෝලයට මුදා හැර ඇත. මෙයින් අඩක් ම ගෙවී ගිය තිස් වසර තුළ එකතු වී තිබේ. 2004 වසරේ දී පමණක් ෆොසීල ඉන්ධන දහනයෙන් වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 28 ක් මුදා හැර ඇත. බලශක්ති නිපැවුම සඳහා ලෝකය වර්තමානයේ 1990 දශකයට වඩා දොළොස් ගුණයක අගයකින් යුතු ගල් අඟුරු, ස්වභාවික ගෑස් හා ෆොසීල ඉන්ධන දහනය කරයි. 1750 දී පමණ ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමඟ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් 31% කින් වර්ධනය වී ඇත. පරිසර විද්‍යාඥයන්ගේ නවතම තක්සේරුවට අනුව පොහොසත් රාජ්‍යයන් මෙන් ම පරිවාර රාජ්‍යයන් ද එකමුතුව එක් වසරක දී වසර 400 ක් භාවිත කළ හැකි ඉන්ධන පුළුස්සා දමති.

පර්යේෂණාත්මක හැදෑරීම්

විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ එය මානව කේන්ද්‍රීය (anthropogenic – human centric) ක්‍රියාවලියක් ලෙස අර්ථකථනය කරයි. විද්‍යාඥයෝ අතීත, වර්තමාන හා අනාගත දේශගුණික වෙනස හැදෑරීම සඳහා විද්‍යාත්මක නිරීක්ෂණ හා කොම්පියුටර් මඟින් සකස් කළ න්‍යායාත්මක ආදර්ශ භාවිත කරති. වර්තමානයේ අප සතු දේශගුණික වෙනස පිළිබඳ සංඛ්‍යා දත්ත තාක්ෂණික මෙවලම් මඟින් නිර්මාණය කළ දෑ ය. ශාක හා සත්ත්ව ජීවී වාර්තා, මහපොළව ගැඹුරට කැණීම් කොට ලබා ගන්නා තොරතුරු, ග්ලැසියර ප්‍රවාහය, සාගරයේ හා භූමියේ අවසාදිත තැන්පත්වීම, මුහුදු ජල මට්ටම, පෘථිවියේ ස්වභාවික ඉතිහාසය මේ සඳහා උපයෝගී කර ගනී. විද්‍යාත්මක හා තාක්ෂණික තොරතුරු මඟින් නිවැරදි නිගමනවලට හා පොදු එකඟතා වෙත ගමන් කිරීම දේශගුණික වෙනස පිළිබඳ හදාරන සියලු දෙනාගේම පරමාර්ථයයි.

2014 වර්ෂයේ මාර්තු මස 31 දින ජපානයේ දී දේශගුණික වෙනස සඳහා වූ අන්තර් පාර්ලිමේන්තු කණ්ඩායමේ (IPCC) වාර්තාව ඉතා වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කළේය. එම වාර්තාව සැකසීමේ දී ලොව පුරා විද්‍යාඥයන් විසින් ප්‍රකාශයට පත් කළ විශ්ලේෂණ 73.00 ක් පමණ සංවාදයට ගැනිණි. ඉන් අඩක්ම චීන විද්‍යාඥයන්ගේ ඉදිරිපත් කිරීම් ය. සෑම වසර හයකටම වරක් හෝ ඊට පෙර අන්තර් පාර්ලිමේන්තු කණ්ඩායම දේශගුණික වෙනස පිළිබඳව කාණ්ඩ තුනකින් යුතු විශ්වකෝෂයක් නිකුත් කරයි. එහි පසු ගිය වාර්තාවෙන් පෘථිවිය මතුපිට උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳව අවධානය යොමු වූ අතර 2018 වාර්තාවෙන් දේශගුණික වෙනස පෘථිවියේ පරිසර පද්ධතියට, ආර්ථිකයට හා ජන ජීවන පැවැත්මට සිදු කරන බලපෑම පිළිබඳව අවධානය යොමු කොට ඇත.

මානව කේන්ද්‍රීය සංවර්ධනය

ස්වභාවික චක්‍රයේ අසමතුලිතතාව ඇතිවීමට ප්‍රධාන හේතුව කෑදර මානව ක්‍රියාකාරිත්වය යි. මානව කෙන්ද්‍රීය ෆොසීල ඉන්ධන දහනය හා වන විනාශය නිසා වැඩි වශයෙන් කාබන්ඩයොක්සයිඩ් වායු ගෝලයට නිකුත් වේ. පොළොව අභ්‍යන්තරයේ තැන්පත් ව ඇති ගල් අඟූරු පතල් හා ඛණිජ තෙල් නිධි කැණීම්වලින් ලබාගන්නා ඉන්ධන ප්‍රවාහනය හා බලශක්ති උත්පාදනය සඳහා තෙල් පිළිස්සීම, උණුසුම් හා වායු සමීකරණ යන්ත්‍ර, කෑම සැකසීම සහ දැවැන්ත කර්මාන්තශාලා නිසා වේගයෙන් කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට ප්‍රවේශ වෙයි. එමෙන් ම නාගරික සංවර්ධනය හා සමාගම් කෘෂි ව්‍යාපාරය, මානව වාසස්ථාන පුළුල් වීම වැනි මානව ක්‍රියාකාරිත්වයන් ද දේශගුණික වෙනසට හේතු පාදක වෙයි.

ඉකුත් වසර මිලියන 65 ට වඩා දස ගුණයක් වේගයෙන් දේශගුණික වෙනස සිදුවන බව දැන් අනාවරණය වී ඇත. පසු ගිය වසර 11.000 හා සසඳන විට ඇන්ටාර්ටික් මහාද්වීපයේ ස්ථිර ලෙස හිම මිදුණ ප්‍රදේශ (permafrost) දියව යෑම ඉතා වේගයෙන් සිදුවන බව ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලය හා ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ වාර්තා දෙකක් මඟින් සනාථ කර ඇත. මෙම තත්ත්වය තව තවත් වර්ධනය වුවහොත් පෘථිවිය මත වෙසෙන සියලු ජීව විශේෂයන්ගේ පැවැත්ම අනතුරට ලක්වේ. මෙම සියවස අවසන් වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 5 - 6 වැඩිවීමක් දක්නට ලැබේ.

සාගරය උණුසුම් වීම

විද්‍යාත්මක පර්යේෂණවලට අනුව ලොව පුරා සාගර ජල මට්ටම 1990 සිට මිලි මීටර 3-5 කින් ඉහළ යන බව අනාවරණය වෙයි. මෙම තත්ත්වය නිසා වෙරළබඩ බොහෝ නගර ලෝක සිතියමෙන් අතුරුදහන් වීමේ තර්ජනයට ලක් ව ඇත. උදාහරණ වශයෙන් 2008 වසරේ වැනිස් නගරයේ ජල ගැල්ම හා 2012 වසරේ නිව්යෝර්ක් නගරයේ කුණාටු තත්ත්වය හා පිලීපීනයේ නිරතුරුව ඇතිවන කුණාටු ඇතිවිය හැක. ගෙවී ගිය සියවස තුළ ගෝලීය සාගර ජල මට්ටම අඟල් 4 සිට 8 දක්වා ඉහළ ගොස් ඇතැයි චන්ද්‍රිකා තාක්ෂණයෙන් කළ නවතම පර්යේෂණ මඟින් තහවුරු වෙයි. සාගර ජලය උණුසුම් වීම නිසා එතෙක් පැවති දේශගුණික රටාව විශේෂයෙන් ම මෝසම් වර්ෂාපතනය වෙනස් විය.

එය අනතුරුදායක ගං වතුර තත්ත්වයන් දක්වා වර්ධනය වීම සෑම කලාපයක ම දක්නට ලැබුණු ආපදාවකි. වායුගෝලය අසීමාන්තික ලෙස උණුසුම් වීම නිසා කලෑ ගිනි ගැනීම, නායයෑම, නියඟ, නිවර්තන කුණාටු, උණුසුම් ජල ධාරා සියලු මහාද්වීපවලට පොදු සාධක විය. උෂ්ණත්වය වර්ධනය වීමත් සමඟ ආර්ටික් හා ඇන්ටාර්ටික් ප්‍රදේශවල ග්ලැසියර හා අයිස් කඳු දියව යාමෙන් සාගර ජල මට්ටම ඉහළ ගියේ ය. සාගර ජලය වායුගෝලයේ ඇති හරිතාගාර වායූන්ගේ උණුසුම ඉතා ඉක්මනින් උරා ගනියි. එමගින් නිර්මිත බලය විසින් නිරන්තර කුණාටු තත්ත්ව ඇති වෙයි. කාර්මික අපද්‍රව්‍ය නිසා සාගර මතුපිට ජලයේ අම්ල වැඩිවීමක් දක්නට ලැබෙන අතර එමඟින් 40% - 70% පමණ ජීවීන් විනාශ විය හැක. යම් හෙයකින් සාගර ජල උණුසුම සෙල්ෂියස් අංශක 6 කින් ඉහළ ගියහොත් ජීව විශේෂයන්ගෙන් 95% ක් පෘථිවියට අහිමි වෙයි.


(Dinamina)

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website