Monday, 19 August 2019 10:59

ඩිස්කවරි යන අපේ කොටි

ලංකාවට ආවේණික කොටියා ගැන කියද්දී අපට සිහිවන්නේ ඒකචාරී දඩයම්කරුවෙකි. රංචු පිටින් යෑමේ පුරුද්දක් කොටියාට කවදාවත්ම නැත. රංචු ලෙස සිටින්නේ නම් ඒ ගැහැනු සතුන් සහ පැටවුන් පමණි. මුවන්, වල් ඌරන්, වඳුරන් කොටියාගේ ගොදුරුය. දවසේ වැඩි හරියක් අලසව කාලය කා දමන්නට කැමැති මෙම සත්ත්වයා ඉතා කුසගින්නේ සිටින්නේ නම් දඩයමක් ඩැහැගැනීමේ වැඩි ජවයකින් යුතුය. පලු, සියඹලා වැනි ගහක දෙබලයකට වී දවසක් වුව ගොදුරක් ලැබෙන තුරු බලා සිටීමට කොටියා සමත්ය. විටෙක කැමරා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් කොටියා ආපසු හැරෙන්නේ එක තැන පැය හතර පහක් අලසව ගෙවා දමායි.

‘‘අපි මේ වැඩේට බැස්සේ මීට අවුරුදු හතරකට කලින්. බකමූණෝ කුරුල්ලෝ අලි වගේ සත්තු ගැන විනාඩි 15 ක විතර වාර්තාමය චිත්‍රපටයක් කරන්න තමයි අපට ඕන වුණේ. මේ වැඩේ කරගෙන යද්දි සීගිරිය, විල්පත්තුව, යාල කවුඩුල්ල, සිංහරාජය, බුත්තල, උඩවලව වගේ ප්‍රදේශවලට ගියා. මේවායේ රූපගත කිරීම් කරද්දි අපේ මුල් අදහස් වෙනස් වෙලා කොටියා ප්‍රමුඛව අනෙක් සත්ත්වයින්ගේ ජීවන රටා ඇතුළත් වෙන විදිහේ වාර්තාමය චිත්‍රපටයක් ගැන අවධානය යොමු වුණා. එහි දී අපට කොටියාගේ හැසිරීම් රටා වගේම කොටියෙක් දැක්කම අනෙක් සතුන් ඊට දක්වන ප්‍රතිචාරය කොටියාගේ උපක්‍රම ආදිය අපේ සියුම් කැමරා නෙතට හසුවුණා.’’

තිවංක කියනා පරිදි ඔවුන් එක් ස්ථානයක රූගත කිරීම් සඳහා යොදාගන්නේ දින හතර පහක කාලයකි. වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අවසරය ලැබෙන්නේ ගමන් ගන්නා වාහනවල සිටම දර්ශන රූපගත කිරීමටයි.

මුලින් කීවාක් මෙන්ම තනිව ගොදුරු සොයා යන කොටියා. රංචු පිටින් යන ඌරන් අතරින් එක් ඌරෙකු රංචුවෙන් ගලවා ගන්නට කොටියා කපටි උපක්‍රම යොදන අවස්ථා ද ඔවුන්ට දර්ශනය වී ඇත. කෑම සොයා යන ඌරු රංචුවකින් කෙසේ හෝ ඌරකු තනිකර ගැනීම කොටියාගේ දක්ෂකමකි. මෙසේ රංචුවෙන් ගැලවෙන ඌරා යමක් බුදින්නට හදද්දී එය කරන්නට ඉඩ නොදී තනිකර ගැනීමේ අමුතු ගෝරනාඩුවක් කරන්නට කොටියා සමත්ය. එසේ තනිකර ගන්නා ගොදුර ආහාරයට ගැනීමෙන් අනතුරුව කොටියා කැමැති අලසව නිදා ගැනීමටය.

කොටියා දුටුවිට සහ වෙනත් අනතුරක් දුටුවිට අනෙක් සතුන් නගන ශබ්දය වෙනස්ය.‘‘අපට බොහොම දුර්ලභ දර්ශනයක් රූගත කරන්න අවස්ථාව ලැබුණා. කොටියව දැක්කම මුවෙක් ඒ අනතුරු හඳුනාගෙන ඉන් ගැලවෙන්න දක්වන සූදානම. සතෙක් අනතුරකදී කෑගහන විදිය හරිම වෙනස්. කොටියා දැන් ළඟ එනවා කියල අපිට අඳුනගන්නත් සත්තුන්ගේ හඬ වැදගත් වුණා. කොටියා එද්දි වඳුරෝ හරියට එලාම් එකක් වගේ. ඒ හඬ වැඩිවෙද්දි අපි දන්නවා දැන් කොටියා අපි ආසන්නයේ කියලා. ඒ අනුව මොනරා මුවා ආදී සත්තුන්ගේ හඬ අනුව අපිට අපේ රූගත කිරීම් පහසුවෙන් කරගන්න ලැබුණා.

ඒ ප්‍රධාන කැමරා ශිල්පී ධනුෂ්කයි. කොටියා විටෙක මුළු දහවලම ගසක් උඩට වී නිදාගෙන සිට බිමට බසින්නේ හවස හයෙන් පසුය. හවස හයෙන් පසු රූගත කිරීම්වලට වනජීවියෙන් අවසර නොලැබේ.

‘‘හවස හයෙන් පස්සේ මේ පරිසරවල අමුතුම ලස්සනක් තියෙනවා. ඒත් රාත්‍රී දර්ශන ගන්න අපට අවසර ලැබුණේ නැහැ. අපි යාල විල්පත්තුවේ විතරක් නොවෙයි. සතුන් ගැවසෙන සෙසු පරිසරයන්වලත් දර්ශන මේ චිත්‍රපටයට ඇතුළත් කළා.’’ කොටියා තරමටම නැතත් මෙහිදී අලියා ගැනද කවුඩුල්ලේදී ඔවුන්ට අපූර්ව අත්දැකීම් ලැබී තිබේ. දින දෙක තුනක් වයසැති කුඩා අලි පැටවෙකු රකින ඇතින්නියන් සමූහයකි. ඔවුන් පැටවා පිටට පෙන්නන්නට කැමැති නැත. අලි කකුල් අතරින්, රතු පැහැයෙන් පෙනෙන කුඩා පැටවා රැළට පොඩි සංඥාවක් ලබා දෙන්නේ කුඩා පා පහරක් මවු කෙනෙරට එල්ල කරමිනි. ඉන්පසු අලි රංචුව මඳක් ඉදිරියට යන දසුන සිත් ඇද ගන්නා එකකි.

මවු ඇතින්න සමග දිය නාන කුඩා අලි පැටවා ද නරඹන්නෙකුට අපූර්ව චමත්කාරයක් ගෙන දෙන්නට සමත්ය. දිය පහරේ ගිලෙමින් පුංචි පැටවා නාන්නේ මවගේ දෙපා අසල සිටය. මවු අලියා දිය බීමෙන් පසු ගොඩට එද්දී කුඩා පැටවාද ඒ පසුපස එන්නේ ආරක්ෂාව ගැන පුංචි පාඩමක්ද කියා දෙමිනි.

මේ රූගත කිරීම් අතරතුර ඔවුන් ලද භයානක අත්දැකීම්ද තිබේ.‘‘එක වෙලාවකදී අපි මේ අලි පැටියට කැමරාව යොමු කරගෙන රූගත කිරීමක් කරද්දී, ඇතින්නක් අපි ළඟටම ඇවිත්. එදා අපි හොඳටම බයවුණා. ඒ අලියගේ ස්වරූපය දැකලා. එතකොට ඉන්නේ අපි ඔය බලන්න කැමැති අලියා නොවෙයි. එයාගේ ඇඟ පිම්බිලා, වලිගය උඩට ඇවිල්ලා. බලන්න බය හිතෙන දර්ශනයක් ඒක. සීගිරියේදීත් ඒ වගේ අත්දැකීමක් ලැබුවා. බකමූණෝ බලන්න ගිහින්. ඒ වගේම එක වෙලාවකදී වළහෙක් අපිට පහර දෙන්නත් ආවා. අනෙක් සත්තු වගේ නෙවෙයි වළහා එද්දී ඒ එන්නේ පහර දෙන්නද කියල හඳුනාගන්න බෑ. ඌ අනෙක් සත්තු වගේ කලබල කමක් පෙන්නන්නෙත් නෑ.’’

මේ රූගත කිරීම් අතරතුර ලද එවන් අමතක නොවන අත්දැකීම්ද ඔවුන් සතුයි. කොටියා පළමුවරට දුටු විටද ඒ වගේම බියක් ඔවුන්ට දැනී ඇත.

ඒ සියලු දුෂ්කරතා විඳිමින් මෙම අපූර්ව වාර්තාමය චිත්‍රපටය කරන්නට ඔවුන් අදහස් කළේ ශ්‍රී ලංකාවේ සොබා සෞන්දර්යය ඇස නොගැටුණු තැන් මෙන්ම එහි වන අපූර්වත්වය ලෝකයා අභිමුවට ගෙන යෑමේ අදිටනිනි. විශේෂයෙන්ම සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්විය යුතු, අපේ රටේ සුන්දරත්වය ඉස්මතු කරවීමට දරා ඇති උත්සාහය මෙහිදී කැපී පෙනේ.

‘‘අපිට මේ වැඩේට ලක්ෂ හැටක් පමණ වියදම් වුණා. මෙය ඩිස්කවරි නාළිකාවේ විකාශය වෙනවා ඒ වගේම BBC Earth නාළිකාවටත් අපි චිත්‍රපටය යොමුකළා. මේ චිත්‍රපටයේ ජාත්‍යන්තර ප්‍රචාරක කටයුතු හා බෙදාහැරීමේ කටයුතු කරන්නේ එක්සත් රාජධානියේ අර්ත් ටච් (Earth Touch) ආයතනය මගිනුයි.’’

මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා ප්‍රධාන කැමරා ශිල්පී ධනුෂ පී. බණ්ඩාර මෙන්ම සෙසු කැමරා ශිල්පීන් වන සමන් හේවගේ, මංජුල ගජනායක, සම්පත් කුමාර යන අය මෙන්ම සාර්ථක චිත්‍රපටයක් කරන්නට උර දුන් සියලු දෙනාම තිවංක සිහිපත් කරන්නේ සතුටිනි. මෙහි නිශ්පාදනය පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරාගෙනි.

විටෙක අවදානමක් ගනිමින් කළද ‌මෙම චිත්‍රපටය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි අපේ රටේ ලස්සන ගැන ලොවට සුන්දර දසුන් පෙළක් ගෙනෙන්නකි. එය නැරඹීමෙන් ඔවුන් ඊට කර ඇති සාධාරණය කෙබඳුද යන්න දැකබලා ගැනීමේ අවස්ථාව ලාංකිකයන්ට මෙන්ම ලෝකයේ සෙසු ප්‍රෙක්ෂකයන්ටද උදා වෙනු ඇත.

(Aruna)

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website