Tuesday, 27 August 2019 10:46

බොබැල්ලේ බිනර මල් රකින

නාඋල, ‘බොබැල්ලේ’ දී හමුවන ‘බිනර ශාක විශේෂය’ වැවෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විතර ය. ලංකාවේ කීවාට, මෙතෙක් එය හමුවී තිබෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාඋල ‘බොබැල්ල’ ගම් පියසෙන් පමණකි. එය ද, අක්කර භාගයකට පමණ සීමාවූ භූමියක ය. ළා නිල් පැහැති පෙති හතරේ අලංකාර මලක් පුබුදන බොබැල්ලේ බිනර විශේෂය, කොපමණ වෙහෙස වුව ද බොබැල්ල ගමෙන් පිටත කිසිදු ස්ථානයක පැළ කර ගන්නට ද නුපුළුවන. එය සෙන්ටිමීටර් 30ක් පමණ උස (අඩියක් පමණ) කුඩා සපුෂ්පික ශාකයකි. සාමාන්‍යයෙන් ලංකාවේ අනෙකුත් බිනර ශාක විශේෂවල මල් පිපෙන්නේ ‘බිනර’ හෙවත් සැප්තැම්බර් මාසයේ ය. එහෙත් බොබැල්ලේ බිනර, මලින් පිරී යන්නේ සාමාන්‍යයෙන් අප්‍රියෙල් මාසයේ අග භාගයේ පටන්, මැයි සහ ජූනි මාසවල ය.

ලංකාවෙන් ද ‘බොබැල්ල’ ගමට පමණක් සීමාවූ මෙම බිනර ශාකය, මුල්වරට දැන හඳුනා ගෙන ඇත්තේ 1986 වසරේ දී ය. ඒ, අපේ රටේ සුප්‍රකට උද්භිද විද්‍යාඥයකු වන ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසිනි. ඔහුගේ හඳුනා ගැනීම අනුව, බොබැල්ලේ බිනර ශාකය උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන්නේ Exacum pedenculata’ යනුවෙනි. එය ශ්‍රී ලංකාවෙන් හමුවන බිනර ශාක විශේෂ අටෙන් එකකි.

ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂවරයා ය. ඔහු පවසන අන්දමට, බොබැල්ලේ බිනර ශාකය මේ තරමින් හෝ සුරැකී තිබෙන්නේ, එහි වෙසෙන ගෙවිලියක නිසා ය. ඇය නමින්, ඊ. ඩබ්ලිව්. ජී. ලීලාවතී (60) ය. ඇගේ කුඹුරේ ද, නිවස අවට පරිසරයේ මෙන්ම අසල්වැසි ඉඩම්වල ද බිනර ශාකය හොඳින් වැවෙන්නේ ය. එය අලංකාර ශාකයක් බැවින් මල් සහ විසිතුරු ශාක එකතු කරන්නන් මෙන් ම, ජාන හොරුන්ගෙන් ද බේරුමක් නැත. ඔවුහු බිනර පැළ උදුරා ගන්නට ද මල් නෙලන්නට ද වරින් වර පැමිණෙති. එහෙත් ලීලාවතී මහත්මිය ඔවුන්ට ඉඩ දෙන්නේ නැත. ජාන හොරුන් යැයි සැකයක් දැනුණ හොත් ‘බිනර මල්’ පෙන්වන්නේ ද නැත. බොබැල්ලේ බිනර යාය ගැන කරුණු සොයන්නට විශ්වවිද්‍යාල සිසුන් පවා එහි එති. එවිට ඇය කරන්නේ ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාට දුරකතන ඇමතුමක් දී උපදෙස් ගැනීමයි. ඒ අනුව, බිනර ශාක පෙන්වීම හෝ නොපෙන්වීම සිදු වේ. බිනර ගැන පර්යේෂණ කරන්නට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අය ද වරින් වර බොබැල්ලට එති. ඇය ඔවුන් හඳුනන්නී ය. එබැවින් ඔවුන්ට නම් තහංචියක් නැත්තේ ය. බොබැල්ලේ බිනර සාවිය රැක ගැනීම සඳහා ඇය ඉදිරිපත්ව සිටින්නී, ස්වේච්ඡාවෙනි.

‘මෙහෙම මල් තිබුණාට අපි මේක මේ තරම් දුර්ලභ පැළෑටියක් කියලා දැන ගෙන හිටියේ නෑ. පේරාදෙණිය මල් වත්තේ සිරිල් විජේසුන්දර සර් තමයි ඒවා අපට කියලා දුන්නේ. එදා ඉඳන් මං මේක ආරක්ෂා කරනවා’, ලීලාවතී මහත්මිය කියන්නී ය. ඇය, බොබැල්ලේ වැවෙන සියලුම බිනරමලීලාගේ ‘ලොකු අම්මා’ වැන්න!

උද්භිද විද්‍යාඥයන් පවසන අන්දමට, ශ්‍රී ලංකාවෙන් බිනර විශේෂ අටක් හමු වේ. ‘2012 ජාත්‍යන්තර රතු දත්ත වාර්තාවෙහි’ පළකර ඇති පරිදි, එයින් හයක් ම වඳවී යාමේ තර්ජනයට ලක් වුණු ශාක විශේෂයෝ ය. බොබැල්ලේ බිනර විශේෂය ද එලෙස වඳවී යාමේ අවදානමට ලක් වූවකි.

උද්භිද විද්‍යාත්මක විවරණයන්ට අනුව, ‘බිනර’ අයත් වන්නේ ‘Gentianceae’ නමැති ශාක කුලයට ය. එම කුලයට අයත් ශාක විශේෂ, මැඩගස්කරය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ අග්නිදිග ආසියානු රටවල පැතිර පවතියි. බිනර ශාකයෙහි ‘ගණ’ නාමය ‘Gentianceae’ වන අතර, ලොව එයට අයත් ශාක විශේෂ 1550ක් පමණ වෙතැයි උද්භිද විද්‍යාඥයෝ පවසති. ලංකාවෙන් ද ‘බිනර’ විශේෂ අටක් හමු වේ. එයින් විශේෂ හයක් ම, අපේ රටට ආවේණික ය.
ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා ‘සතිඅග අරුණට’ පැවසූ අන්දමට, බොබැල්ලේ බිනර යාය ඔවුන්ට හමුවී ඇත්තේ අහම්බෙනි.

‘ඕක සිද්ධ වුණේ 1980 දශකයේ මුල් භාගයේ දි විතර. ඔය කාලේ ලංකාවේ විද්වතෙක් බිනර ශාක ගැන ආචාර්ය උපාධියක් කරමින් හිටියා. මම තමයි ඒකට බිනර ශාක සොයලා උදව් කළේ. දවසක් අපි යම් කටයුත්තකට සීගිරිය ප්‍රදේශයට ගිහින් එනවා. ඒ ගමන්, ටිකක් ගිමන් හරින්න කියලා ඔය නාඋල හරියේ වාහනේ නතර කළා. එතැන ඇතුළට පොඩි අඩි පාරක් තිබුණා. එතෙන් දී තමයි ඔය බිනර යාය දැක්කේ’, ඔහු කියයි. ඒ වන විට, පැවැති පිළිගැනීම වූයේ ‘Exacum pedenculata’ බිනර විශේෂය අපේ රටෙන් වඳවී ගොස් ඇති බවයි. එබැවින් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා දුටු බිනර යාය අතිශයින් ම වැදගත් විය.

‘බොබැල්ල’ වූ කලී, ‘මහනුවර-යාපනය ඒ 9’ මාර්ගයේ දඹුල්ල සහ නාඋල අතර (නාඋලට නුදුරින්) පිහිටි ගමකි. ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාගේ ඇස ගැටෙන අවස්ථාවේ දී, බොබැල්ලේ බිනර යාය පැවැති ඉසව්ව දිය සීරා සහිත, ‘පිටවල පතන’ මෙන් තෙතමනයෙන් යුතු පරිසරයකි. එහි එක් තැනක ගල් තලාවක් ද විය. බිනර යාය ඇසට ලක් වූයේ අලංකාරව මල් පිපී තිබුණු නිසා ය. එකල එහි නිවාස ආදිය නොතිබිණි.පසුව ඔහු වර්ෂ 1986 දී පමණ වැඩිදුර පර් යේෂණ සඳහා බොබැල්ලට ගියේ ය. බිනර ශාක තිබුණු ඉසව්වට ළඟින් ම දරුවන් දෙන්නෙක් සිටින පවුලක් ඔහුට මුණගැසුණි. එහි සැමියා ටී. එම්. ඉලංගරත්න ය. බිරින්දෑ ඊ. ඩබ්ලිව්. ජී. ලීලාවතී ය. ඔවුන් බොබැල්ල ගමේ වාසයට පැමිණ ඇත්තේ එක්දහස් නමසිය අසූ ගණන්වල ය. ඒ, රජයේ ඉඩමකට බලපත්‍රයක් ලබා ගනිමිනි. ඔවුහු ගොවිතැන් කරමින් ජීවත් වූහ. ඒ වන විට බිනර යාය පැවැති භූමියේ නිවාස ආදිය ඉදිවී තිබිණි. එහි කොටසක කුඹුරක් ද විය. බිනර ශාක ද තැනින් තැන තිබුණේ ය. එය හරියට ම ‘Exacum pedenculata’ නම් බිනර විශේෂය බව ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා සිය පර් යේෂණ ඔස්සේ තහවුරු කර ගත්තේ ය.

‘බිනර ශාක තිබුණු ඉසව්වට ළඟම තිබුණු ගෙදර ඉලංගරත්නටත්, ඔහුගේ බිරිඳ ලීලාවතීටත්, මං මේ පැළෑටියේ වටිනාකම කියලා දුන්නා. මේක ආරක්ෂාකර ගන්න කියලාත් කිව්වා.

මුළු ලංකාවෙන් ම, මේ පැළෑටිය තියෙන්නේ මෙතැන විතරයි කියලා කිව්වාම, ඔවුන් පුදුමයට පත් වුණා’, සිරිල් විජේසුන්දර මහතා අතීත මතකයන් දිග හරිමින් කියයි.

‘පස්සේ කාලෙත් මං ඔය පාරේ යන කොට, බිනර යාය බලන්න යනවා. ඒ වෙද්දී ලීලාවතීගේ දරුවෝ පවා මට බිනර මල් පෙන්වනවා. මේ වටිනා ශාකය ගැන ඒ අය දැනුවත් කරපු එක කොච්චර වැදගත් ද කියලා සිතෙනවා’, ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා එසේ පැවසුවේ ‘සතිඅග අරුණ’ සමග කතාබහට එක් වෙමිනි.

ලීලාවතී මහත්මියගේ සැමියා කලකට ඉහත දී මියගියේ ය. දැන් ඇගේ දරුවන් ද විවාහ වී ගොසිනි. ඇය ද දැන් හැට හැවිරිදි ය. එහෙත් බොබැල්ලේ බිනර යාය සුරකින සටන අත් හරින්නේ ඇය නොවේ! බොබැල්ලට ආසන්න කරවිලහේන ගමේ පදිංචි ඩබ්ලිව්. එම්. එස්. විජේතුංග පසුගියදා එහි ගොස් ලීලාවතී හමුවූයේ මේ ලිපියේ ලියුම්කරුට තවත් තොරතුරු ලබා ගැනීමට ඔහු හා වූ හිතවන්තකමටයි.

ඒත් ලීලාවතී ඔහුට තොරතුරු කියන්නට මැලි වී ඇත. එවර ඈ විජේතුංගගේ පැමිණීම ගැන තොරතුරු සොයා බලා සිරිල් විජේසුන්දරයන්ගෙන්ද, ලියුම්කරුගෙන්ද ඒ බව සනාතකොට ඔහු හා කතා කර තිබුණාය.

කොයිහැටි වෙතත්, මේ වකවානුවේ ලීලාවතීලාට ගොවිතැන් බතක් ද නැත. දැඩි ඉඩෝර ස්වභාවය නිසා මෙවර බිනර මල් පිපුණේ ද නැත. ‘මේක ඉතින් පැළ හැදෙනවා, ඊට පස්සේ මල් පිපෙනවා. ඇට හැදිලා බිමට වැටෙනවා. ටික කලකින් පැළ මැරිලා යනවා. ඒක ආයෙමත් පැළ වෙන්නේ ඊළඟ අවුරුද්දේ තමයි’, ඇය දුරකතනයට පිළිතුරු දෙමින් කීවා ය. උද්භිද විද්‍යාඥයන්ට අනුව එය ‘වාර්ෂික ශාකයකි’.

වියළි කාලගුණය නිසා බොබැල්ල ගමේ ජීවිතය කොතෙක් කටුක වුව ද, ලීලාවතී මහත්මිය බිනර මල්වලට ආදරේ ය. ‘එක එක අය මල් පෝච්චි අරන් එනවා, පොලිතීන් උර අරන් එනවා. බිනර පැළ ඉල්ලනවා. ඒත් අපි දෙන්නේ නෑ. පැළ ගලවන්න දෙන්නෙත් නෑ. පැළ ඇරන් ගියත්, ඒවා පිට පළාතක පැළ කරන්නත් බෑ’, ඇය කියන්නී ය.

බොබැල්ලේ බිනර සාවියට තර්ජන එල්ල වන තැනකි. එයට එල්ල වුණු මුල් ම මිනිස් තර්ජනය, 1980 දශකය අග භාගයේ සිට මානව ජනාවාසයක් සහ කෘෂිකාර්මික භූමියක් බවට පත් වීමයි. එහෙත් මෑතක් වන තුරු ම, බිනර ශාක සහ ගම්වාසීන් බොහොම සහජීවනයෙන් කල් ගෙවූහ. ලීලාවතී මහත්මිය ඒ බැඳීම වචනයට නංවන්නේ මෙ පරිද්දෙනි.

‘අපි කුඹුරු කරනවා. මේක ගොයම් ගස් එක්කම පැළ වෙනවා. බිනර පැළවලට ගොයම් ගස්වලින් බාධාවක් නෑ. බිනර පැළවලින් ගොයමට බාධාවකුත් නෑ. සමහර අවුරුදුවල ගොයම් කැපෙන කාලයටත් මල් දකින්න පුළුවන්. හැබැයි මම නම් මගේ කුඹුරට වල් නාශක ගහන්නේ නෑ. මේක වෙල් ඉපනැල්ලේත් හැදෙනවා’, ඇය කියන්නී ය.

බොබැල්ලේ බිනර යායට එල්ලවූ ලොකු ම තර්ජනය හට ගත්තේ 2013 වසරේ දී ය. ඒ බිනර යායට නුදුරු උස් භූමියක ‘හුණු ගල් (ඩොලමයිට්) කොරියක්’ ආරම්භ වීමයි. එයින් බිනර ශාකවලට හානිවන බව දුටු ලීලාවතී මහත්මිය ප්‍රදේශයේ බලධාරීන්ට ද පැමිණිලි කරමින් ඊට එරෙහිව සටනට බැස්සා ය. එයට මාතලේ සහ මහනුවර පරිසරවේදීන්ගේ ද උදව් ලැබිණි. අවසන හුණු ගල් කොරිය වසා දමන්නට සිදු විය. එහෙත් මෑතක පටන් රාත්‍රී කාලයට යළි එහි හුණුගල් කඩන බවට, ‘සතිඅග අරුණට’ තොරතුරු ලැබී තිබේ.

පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මහතා පවසන අන්දමට, බිනර වැවෙන පරිසරයේ පොළොව යටින් ඇත්තේ ‘හුණුගල්’ ස්තරයකි. බොබැල්ලේ බිනර ශාකයේ පැවැත්මට හුණුගල් ඔස්සේ එන දිය සීරාවන් ද හේතුවිය හැකි බව, ඔහුගේ අදහසයි. ශාකයේ වර්ධනය සඳහා හුණුගල් ආශ්‍රිත යම් ප්‍රතික්‍රියාවක් බලපානවා වියහැකි බව ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා ද අනුමාන කරයි. යම් හෙයකින් හුණුගල් සහිත දියසීරාවන් නැතිව ගියහොත් ශාකයේ පැවැත්මට හානි විය හැකි බව ප්‍රදීප් සමරවික්‍රම මහතා ද කියන්නේ ය. පරිසරවේදීන් පවසන අන්දමට, මෙම ශාකය වඳවී යාමට ඉඩ නොදී සංරක්ෂණය කළ යුත්තේ ද බොබැල්ල භූමියේ ම ය. එය අන් තැනක රෝපණය කරන්නට නොහැකි වීම, ඊට හේතුවයි.

ඉකුත් ජූලි මාසයේ පමණ බොබැල්ලේ බිනර යායට තවත් මිනිස් තර්ජනයක් එල්ල විය. දැනට පුළුල් කෙරෙමින් පවතින ‘ඒ-9’ මාර්ගයෙන් ඉවත් කෙරෙන පස් ටොන් ගණනක් බිනර යායට බැහැර කිරීම, ඒ තර්ජනයයි. එයින් බිනර ශාක පැවැති ප්‍රදේශය පසින් වැසී යන්නට විය. ලීලාවතී මහත්මිය ඇතුළු ප්‍රදේශවාසීන් ද, පරිසරවේදීන් ද ඊට එරෙහිව හඬ නැගූහ. පසුව නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මියගේ මැදිහත් වීමෙන් පස් දැමීම නතර කෙරිණි. එතෙක් දැමූ පස් තොගය ඉවත්කර බිනර යාය බේරා ගැනීම ද දැන් විශාල ප්‍රශ්නයක්ව තිබේ.

බොබැල්ලේ බිනර යාය සම්බන්ධයෙන් ‘සතිඅග අරුණ’ කළ විමසුමක දී, පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ ‘බොබැල්ල බිනර ශාක ගහනය සහිත භූමිය’ වහාම ‘පාරිසරික ආරක්ෂණ කලාපයක්’ බවට පත් කළ යුතු බවයි.

‘එහෙම කරන්න කියලා අපි බොහොම කාලෙකට ඉස්සරත් යෝජනා කළා. ඒත් තවම වැඩේ කෙරුණේ නෑ. පාරිසරික ආරක්ෂණ කලාපයක් කළා ම, මේ ශාකය ඔය ගමේ ම, ගමේ ජන ජීවිතයට හානි නොවන ආකාරයට සංරක්ෂණය කරන්න පුළුවන් වේවි’, ජගත් ගුණවර්ධන මහතා පැවසීය.
‘වියළි කාලගුණය නිසා මේ දවස්වල ඔය ශාකය පේන්න නෑ. ඉතින් පරිසර ආරක්ෂණ කලාපයක් කරන්න නම්, ඔය බිනර වැවෙන භූමිය මායිම් සලකුණු කරන්න ඕනෑ. ඒක කරලා දෙන්න කියලා අපි පේරාදෙණියේ උද්භිද උද්‍යානයෙන් ඉල්ලීමක් කළා. ඔවුන් ඒක සකස් කළ ගමන් ම, අපි මේක පාරිසරික ආරක්ෂණ කලාපයක් කරන්න කටයුතු කරනවා’, එසේ කියන්නේ නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මියයි.

‘‘සති අග අරුණ’ මේ සම්බන්ධයෙන් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙලෝමි ක්‍රිෂ්ණරාජා මහත්මියගෙන් විමසීමක් කළේය. එහිදී ඇය කියා සිටියේ මෙම දුර්ලභ ශාකය රැක ගැනීමට දැනටමත් යම් යම් කටයුතු කෙරී ඇති බවයි. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (ශාකාගාරය) ආචාර්ය සුභානි රණසිංහ මහත්මිය පැවසුවේ, බොබැල්ල බිනර යායේ සැලකිය යුතු ප්‍රමාණයක් දැනටමත් මිනිස් ක්‍රියාකාරකම්වල තර්ජනයකට හසුවී ඇති බවයි.

‘‘මිනිස්සු උදළු ගානවා, සමහර අය කුඹුරුවලට වල් නාශක ගහනවා. භූමිය හාරනවා. ඔය වගේ දේවල් තවමත් වෙනවා. අපට ප්‍රාදේශීය ලේකම්වරියගේ ලිපිය ලැබුණා. අපි දැන් ඒකට අනුව ඉදිරිවැඩ කරගෙන යනවා. ළඟදීම මේක සංරක්ෂණ කලාපයක් කරන්න පුළුවන් වේවි’’
ආචාර්ය සුභානි රණසිංහ මහත්මිය පැවසුවේ මහත් බලාපොරොත්තු සහගතවය.

(Aruna)

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website