Saturday, 31 August 2019 11:14

Huawei ජංගම දුරකතන Google යෙදවුම් නොමැතිව වෙළෙදපළට

Huawei සමාගම ඉදිරියේදී නිෂ්පාදනය කරන ස්මාර්ට් ජංගම දුරකතන Google Maps සහ YouTube ආදී ගූගල් සමාගමට අයත් යෙදවුම්වලින් (apps) තොරව වෙළෙදපළට නිකුත් වනු ඇත.

ගූගල් සමාගම තහවුරු කළේ, ඇමෙරිකානු රජය විසින් ඇමෙරිකානු නිෂ්පාදන Huawei සමාගමට අලෙවි කිරීම තහනම් කරනු ලැබ තිබීම හේතුවෙන් සිය යෙදවුම් චීනයේ Huawei සමාගමේ නිෂ්පාදනවලට භාවිත කිරීමට අවසර දිය නොහැකි බවය.

මේ අනුව, මීළග Huawei ස්මාර්ට් ජංගම දුරකතනවලින් Google Play ඇප් සමූහයට පිවිසීමට ද නොහැකි වනු ඇත. ඒ අනුව, එම ජංගම දුරකතන භාවිත කිරීමට සිදුවනු ඇත්තේ ජනප්‍රිය යෙදවුම් රැසකට ප්‍රවේශයක් නොමැතිවය.

වෙළෙදපළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ගූගල් යෙදවුම්වලින් තොරව සිය ජංගම දුරකතන අලෙවි කිරීම Huawei සමාගමට දුෂ්කර වනු ඇති බවය.

ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ඇමෙරිකානඅ රජය විසින් එරට නිෂ්පාදන සහ සේවා Huawei සමාගමට අලෙවි කිරීම තහනම් කරනු ලැබුවේ, පසුගිය මැයි මාසයේදීය. කෙසේ වෙතත්, සිය සමාගම අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ඇමෙරිකානු රජය කරන චෝදනා Huawei සමාගම ප්‍රතික්ෂේප කරයි.

පසුගිය මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඇතැම් දේ අලෙවි කිරීම සම්බන්ධයෙන් අවසර ලබා දෙන බවය.

එහෙත්, ඇමෙරිකානු නිලධාරීන්ට ලැබුණු අභියාචන 130කට වැඩි සංඛ්‍යාවක් හේතුවෙන් හුවාවි සමාගම සමග වෙළෙද ගනුදෙනු කිරීමට අවසර ලබා දී නොමැත.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය විවෘත මෘදුකාංගයක් වන අතර, එය ඕනෑ ම නිෂ්පාදකයෙකුට සිය ස්මාර්ට් ජංගම දුරකතන හෝ ටැබ් පරිගණක සදහා භාවිත කළ හැකිය.

එහෙත්, එහි අන්තර්ගත ජනපිය යෙදවුම් වන Maps, Pay, Search, Photos, Play Store සහ YouTube ආදී යෙදවුම් එම ජංගම දුරකතනවලට ඇතුළත් කිරීමට ගූගල් සමාගමේ අනුමැතිය අවශ්‍ය වේ.

ගූගල් සමාගම තම යෙදවුම් හුවාවි සමාගම වෙත ලබා දීමට අවසර ඉල්ලා තිබේ ද යන්න එම සමාගම පවසා නැත.

හුවාවි සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, "ඇමෙරිකානු රජය අවසර දෙන්නේ නම් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තවදුරටත් භාවිත කරන්නෙමු. එසේ නොවුවහොත් අපේ ම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන්නෙමු," යනුවෙනි.

මේ අතර, හුවාවි සමාගම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සමග ඇති සබදතා සම්බන්ධයෙන් පාරිභෝගිකයින් විමසන ප්‍රශ්නවලට පිළිතුරු දීම සදහා එම සමාගම Huawei Answers යනුවෙන් වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ.

"හුවාවි දුරකතන මිල දී ගත් අයටත්, මිල දී ගැනීමට අදහස් කරන අයටත් අඛණ්ඩව ලෝකයේ සෑම යෙදවුමකට පිවිසිය හැකියි, අපේ සෑම නිෂ්පාදයක් ම වගකීමක් සහිතවයි අලෙවි කරන්නේ. ඒ අනුව සම්පූර්ණ සේවා සහයක් අපි ලබා දෙනවා," හුවාවි සමාගම පැවසීය.

(BBC)

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website