Tuesday, 10 September 2019 07:00

පන්තියේ අන්තිම කොනේ ඉඳන් ඇමෙරිකාවේ මුල් නීති පුටුවකට ආ නිලුෂි

වාර අවසාන විභාගයේ ප්‍රගති වාර්තාව නිවසට රැගෙන ආ නිලුෂි, ඒ මොහොතේ සිට සිටියේ තම කාමරයට වැදීගෙනය. ප්‍රගති වාර්තාව පුරාම පොල් ගෙඩි අකුරුවලින් ලියා ඇති බිංදු ගණන් අම්මාට පෙන්නන්නට බියේ ඇය එදා දවසම සිටියේ හොර ගල් අහුලමින්ය.

නිලුෂි රණවීරගේ මව ගම්පහ යශෝදරාවේ ගුරුවරියක් නිසා පාසලේ විදුහල්පතිතුමිය නිලුෂිගේ නිවසට පැමිණියේ ඒ අතරතුරේදිය. විදුහල්පතිනිය තම නිවසට එනවා දුටු නිලුෂිගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා වූ මහේෂිත්, විදුෂිත් ප්‍රගති වාර්තා රැගෙන පිම්මේ දුවගෙන යන්නේ පන්තියේ පළමුවැනියා වීමේ හපන්කම ප්‍රින්සිපල් මැඩම්ට කියන්නටය.

ප්‍රගති වාර්තාව අම්මාටවත් පෙන්විය නොහැකිව ලතවෙන නිලුෂිට හීන් දාඩිය දාන්නේ අක්කලා දෙදෙනා වටකර ගෙන ලකුණු විමසන ප්‍රින්සිපල් මැඩම් දැකීමෙන්ය.

අක්කලා දෙන්නාම ​පේන්නට සිටි නිසා විදුහල්පතිතුමිය නිලුෂි කොහේදැයි මවගෙන් අසන්නේ ඔය අතරතුරේදීය.

‘‘නිලුෂි පේන්නවත් නැත්තෙ මොකද? ගේන්න බලන්න රිපෝට් එක බලන්න?’’

නිලුෂිට වුණේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වාගේ වැඩක්ය. අන්තිමේ කරන්නට දෙයක් නැතිව විදුහල්පතිතුමියට ප්‍රගති වාර්තාව පෙන්වන්නට නිලුෂි කාමරයෙන් එළියට ආවේ මූණ හොඳටම බෙරිකරගෙනය.

හැම වාරයකම පන්තියේ අන්තිමයාගේ තැන නිතරගයෙන් හිමිවෙන්නේ නිලුෂිටය. පන්තියේ ළමයි ඇයට කිව්වේ අන්තිමයාගෙන් පළවැනියා කියාය. නිලුෂිගේ ප්‍රගති වාර්තා පොත්වල රතු පෑනෙන් ලියූ බිංදු ගණන් ඕනෑවටත් වඩා සොයාගන්නට පුළුවන.

නිලුෂිගේ ප්‍රගති වාර්තාව පරීක්ෂා කළ විදුහල්පතිතුමියට මඳ සිනාවක් ආවේ නිලුෂිව තව තවත් අපහසුතාවට පත්කරමින්ය.

‘‘දරුවො, මේ නිසාද හැංගුණේ? පන්තියේ අන්තිමයා නිසාද?’’

විදුහල්පතිනිය ඇසූ ප්‍රශ්නයට නිලුෂි පිළිතුරු දුන්නේ ආයාසයෙන් ඔළුව සොලවමින්ය.

‘‘පුතේ, මේ හරි සුළු දෙයක්නෙ. පන්තියෙ පළවැනියාලත් ඉන්නවා, අන්තිමය ගන්න අයත් ඉන්නවා. ඕක නම් සාමාන්‍යයිනේ. අපි දිනනවා පරදිනවා තමයි. හැබැයි ඔයා අධිෂ්ඨානයක් ඇතිකර ගන්න ඕන පුළුවන් හැම වෙලේම මහන්සි වෙලා දිනන්න. ලබන වාරේ පුතා ඒක කරයි. මට පුතාව විශ්වාසයි. පුතා ඊළඟ පාර ලකුණු ගනීවි.’’

නිලුෂිගේ හිස අතගාමින් විදුහල්පතිනිය මහා කරුණාවෙන් පැවසූ රත්තරන් වටිනා වචනවල බලය, අද ලෝකයේ බලවත්ම රාජ්‍යයේ ලොකු පුටුවක වාඩිවෙන්නට තරම් හයියක් ලබාදී ඇත.

එදා පන්තියේ මුල්ලක් අල්ලාගෙන කොනකට වී බුම්මාගෙන සිටි නිලුෂි අද සිටින්නේ ලංකාවේ පළමු වතාවට ඇමෙරිකානු ප්‍රාන්තයක සහකාර නීතිපතිනියක් ලෙස පත්වීම පිළිබඳව උතුරා යන ප්‍රීතියෙනි.

ගම්පහ, සිරිකුරුස විදුහලෙන් අධ්‍යාපනය ලැබූ නිලුෂිට පොත්පත්වල වැඩවලට වඩා ඒ කාලයේ තිබුණේ ගස් නැගීමේ පිස්සුවය. පන්තියේ අනෙක් ළමයි කකුල් බේසමේ දමාගෙන විභාගයට පාඩම් කරද්දී නිලුෂි සිටියේ කොහේ හෝ ගහක් මුදුනකට වී අවට සිරි නරඹමින් හරිම විනෝදයෙන්ය. ඇයට පාසල් කාලයේ හත අට වසර වනතුරුම තිබුණේ අත පය දිගහැර දැඟලීමේ ආසාවය.

පන්තියේ කොනකට වී ඇයගේම ලෝකයක සිටි නිලුෂිට පහේ ශිෂ්‍යත්වය පෙනුණේ ගිනි පිඹින මකරෙක් වාගේය. ඇය ඒ නිසාම ශිෂ්‍යත්වය ලියන්නට ගියේ නැත. නිලුෂිගේ දෙමාපියන්ද ඒ සඳහා ඇයව යොමු කිරීමට මහන්සි නොවුණේ ඇය තුළ ඉගෙන ගැනීමට වැඩි උනන්දුවක්​ නොමැති නිසාය.

ශිෂ්‍යත්වයට ටොන් ගණන් බර පොත් කියවමින් දවස් හතේම ටියුෂන් පන්ති ගාණේ දුවන නිලුෂිගේ යහළුවන් අතරේ ඒ කිසිවක් නොකරන ඇය සිටියේ මහත් සැහැල්ලුවෙන්, සතුටින්ය.

නිලුෂිගේ ‘බ්‍රේන් වොෂ්’ වන්නට පටන් ගත්තේ ශ්‍රද්ධා මැඩම්ගේ වචනවලට පින් සිදුවන්නටය. ඒ ලැබුණු හයිය නිසාම 1993 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ගම්පහ සිරිකුරුස විදුහලින් හොඳම ප්‍රතිඵල ලබාගන්නේ පන්තියේ අන්තිමයා යැයි හංවඩු ගැසූ නිලුෂිය.

සාමාන්‍ය පෙළින් විශිෂ්ට ලෙස සමත්වන නිලුෂි, උසස් පෙළ විභාගයෙන්ද විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තාය. ඒ ලැබූ ජයග්‍රහණය කොළඹ නීති විද්‍යාලයේ නීති පීඨයට තේරීමට තරම් වටිනා එකක් විය.

වසර හතරකට පසු නිලුෂි නීති පීඨයෙන් එළියට එන්නේ දෙවැනි පෙළ පන්ති සාමාර්ථයක්ද සහිතවය. නීතිඥවරියක වීමට හීන දුටු ඇයගේ ඒ හීනයන් විනාශ වී යන්නේද විශ්වවිද්‍යාල ජීවිතයේම ඇය ලැබූ අත්දැකීමක ප්‍රතිඵලයක් ලෙසය.

‘‘තුන්වැනි වසරෙ අන්තිම වෙනකොට අපිව යොමු කරනවා ප්‍රසිද්ධ නීතිඥයො ළඟට පුහුණු වෙන්න. මාවත් යොමු කළේ ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ නීතිඥවරයෙක් ළඟට.’’

නිලුෂිට එම නීතිඥවරයා සමගින් වැඩ කටයුතු කිරීමේදී ලැබුණේ කර්කෂ අත්දැකීම් ගොන්නකි. ඔහු තම සේවාදායකයාට පවා කතා කරන්නේ කිසිදු ගෞරවයක් ලබාදී නොවේ.

ඔහුගේ ඒ ගති පැවතුම් නිසාම නීතිඥවරියක් වීමට තිබූ ආසාව එක රැයින්ම නිලුෂිට එපා විය. නීතිඥවරුන්ගේ රැස් බැලීමට අකැමැති වූ නිලුෂි, ‘මානව සම්පත් කළමනාකරණය’ පිළිබඳව හදාරන්නට යොමුවන්නේ ඒ ඔස්සේ ලබාගත් දැනුම මත ඇය එක්තරා පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකාරවරියක් ලෙස සේවයට බැඳුණේ ආයේ නම් ලංකාවේ උසාවියක පැත්ත පළාතේවත් යන්නේ නැති බව සිතාගෙනය. ඇයට එම ආයතනයේ වැඩ කරන්නට තිබුණේ බොහෝ තරුණ ළමයි සමගින්ය.

‘‘මම අදටත් වැඩියෙන්ම සතුටු වෙන්නේ ඒ ආයතනයේ වැඩ කළ කාලය පිළිබඳව. එතැන හිටියේ ලංකාවෙ එහා කොනේ ඉඳන් මෙහා කොනේ අහිංසක, දුප්පත් ළමයි. සමාජය ඔවුන්ව හඳුන්වන්නෙ ‘ජුකී ගර්ල්ස්ලා’ කියලා. ඔවුන්ට නිසි ගෞරවයක් දෙන්නේ නෑ. නමුත් ලංකාවට වැඩිම විදේශ විනිමය ගෙනැත් දෙන්නෙ ඒ අහිංසක ගෑනු ළමයි. ඒ කාලේ මම එතැන වැඩ කරද්දි ඒ ළමයින්ගෙ දුක දැක්කා, ඔවුන් එක්ක සමීප වුණා.’’

නීතිඥ රස්සාවේ ඇතිවුණු කලකිරීමත්, ලංකාවේ සමාජ ක්‍රමය තුළ හිරවුණු මිනිසුන්ගේ දුක්ඛිත කතාවනුත් සමගින් හොඳටම හෙම්බත් වී සිටි නිලුෂි විවාහ දිවියට පත්වන්නේ ඒ අතරතුරදීය. මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන එරන්ද ලියනපතිරණ සමගින් අතිනත ගත් ඇය, විවාහයෙන් පසු 2006 වසරේදී ඇමෙරිකාවට ගියේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තබාගෙනය.

විවාහය ඇයට තම අධ්‍යාපනය නවතා දමන්නට කිසිසේත්ම බාධකයක් නම් වූයේ නැත. ඒ නිසාම පදිංචියට ගිය ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ හොඳම විශ්වවිද්‍යාලය වන හැමිලීන් විශ්වවිද්‍යාලය ඇය තෝරාගන්නේ ශාස්ත්‍රපති උපාධියට මුහුණ දෙන්නටය.

ලංකාවේදී නීති පොත් වසා දමා පැත්තකින් තැබූ ඇය, ඇමෙරිකාවේදී නීතිය යළි හදාරන්නට පටන් ගත්තේ දැඩි විශ්වාසයකින්ය. ඒ විශ්වාසය සහ කැපවීමේ ප්‍රතිඵලය ඇය සිය ශාස්ත්‍රපති විභාගයෙන්ද උසස් ලෙස සමත් කරවීමට තල්ලුවක් විය.

එයිනුත් නොනැවතුණු නිලුෂි නැවත පාඩම් කරන්නට පටන් ගත්තේ පශ්චාත් උපාධිය ලබාගැනීමේ අරමුණින්ය. ඒ අනුව 2016 වසරේ ඇයට එම හිමිකමද ලබාගැනීමට භාග්‍යය උදාවිය.

දැන් ඇය දැනුමෙන් සන්නද්ධය, ළඟා කරගත යුතු ඉලක්ක සියල්ලටම ඇය අවසානයේ ළඟාවුණේ හරි සීරුවටය.

එයින් පසු ඇමෙරිකානු රජයේ විනිසුරුවරියක යටතේ අපරාධ නීතිය පිළිබඳව ඇය වසර කිහිපයක් තිස්සේ ඉතා වුවමනාවෙන් හැදෑරුවාය. මෙමගින් ලබාගත් අත්දැකීම් සහ දැනුම ‘ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති තනතුරට’ ඉල්ලුම් කිරීමට ඇයට රුකුල් සැපයුවාය.

ලෝක බලවතාගේ රටේ සහකාර නීතිපති වන්නට එහෙමත් කෙනකුට බැරිය. ඒ පුටුවට යන්නට නම් විශේෂිත විනිසුරු මඬුල්ලක් හමුවේ තම දක්ෂතා නිපුණතාවන් පෙන්විය යුතුය. ඒ විශේෂිත විනිසුරුවන්ගේ නිර්දේශය නොමැතිව කිසිම පුද්ගලයකුට හොර රහසේ නීතිපති දෙපාර්තමේන්තුවේ පුටුවල ඉඳගන්නට නොහැකිය.

එපමණක් නොව, අවුරුදු තුනක සිවිල් නඩු පළපුරුද්දක් මෙන්ම පරිපාලන විනිශ්චය සභාවන් දිස්ත්‍රික් උසාවි සහ අභියාචනාධිකරණ ඉදිරියේ රජය වෙනුවෙන් නඩු විභාග කරන්නට ඇති උනන්දුවද මෙම තනතුරට යම් පුද්ගලයෝ තෝරා ගැනීමට පෙර සලකා බලන වැදගත් කාරණයන්ය.

නිලුෂි රණවීර සහකාර නීතිපති ධුරයට අයැදුම් කළේ පසුගිය ජනවාරියේය. ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටක කාලයක් විශේෂ ජූරි සභාවක් විසින් ඇයගේ ක්‍රියාපටිපාටිය නිරීක්ෂණයට ලක් කළහ. ඇමෙරිකාවේ ආවාට ගියාට දේශපාලන හයියට, මුදලේ බලයට තනතුරු ලබාදෙන්නේ නැත. තනතුරේ නියම සුදුස්සාට මිස නුසුදුසුස්සාට ඒ ස්ථානය ඇමෙරිකාවේ නම් ලබාදෙන්නේ නැත.

මාස 08ක නිරීක්ෂණයක ප්‍රතිඵල උදාවූයේ පසුගිය අගෝස්තු 23 වැනිදාය. පන්තියේ මුල්ලකට වී ඈලි මෑලි ගතියෙන් සිටි නිලුෂි රණවීර ලංකාවේ වාර්තාවක් තබමින් ඇමෙරිකාවේ මිනසෝටාහි සහකාර නීතිපති ධුරයට පත්වන්නේ ඉතිහාසය අලුත් කරවමින්ය.

ඇය ඇමෙරිකා​වේ සහකාර නීතිපති ධුරයට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ලෙස වාර්තා පොත් අතරට එක්වන්නීය. ඇමෙරිකාව වැනි පැහැදිලිවම විනිවිද පෙනෙන අධිකරණ පද්ධතියක් හිමි බලවත් රාජ්‍යයක නීතිය හසුරුවන්නට ලැබීම වචනයෙන් විස්තර කළ නොහැකි හපන්කමකි.

ඇමෙරිකාව ප්‍රාන්ත 50කින් සමන්විත විශාල රාජ්‍යයකි. ඒ ප්‍රාන්ත 50ට වෙන වෙනම ස්වෛරී රාජ්‍යයන් ලෙස ඒ හැම ප්‍රාන්තයකටම ඔවුන්ගේම ව්‍යවස්ථා, ආණ්ඩුක්‍රම සහ අධිකරණ ඇත.

යම් නීතිඥවරයකුට ඔහුගේ සේවාදායකයාගේ නඩුව දිනන්නට නොහැකි වුවහොත් ඒ නීතිඥවරයා සේවාදායකයාගෙන් මුදල් අය කරන්නේ නැති නමුත් යම් හෙයකින් නඩුව දින්නොත් සේවාදායකයා සහ නීතිඥයා හවුලේ මුදල් බෙදාගන්නා අපූරු ක්‍රමයක් ඇමෙරිකාවේ ඇත.

ඇමෙරිකාවේ නීති පද්ධතිය ඒ තරමටම විනිවිද භාවයකින් යුක්තය. යම් ප්‍රාන්තයක අධිකරණයක තීන්දුව ලබාදීමට සිටින විනිසුරුවරයා එම නඩුවේ විත්ති පාර්ශ්වය සමග පෞද්ගලික හිතවත්කමක් ඇත්නම් ඒ නඩුවට තීන්දුව දෙන්නට ඒ විනිසුරුවරයාට නොහැකිය.

එපමණක් නොවේ, ඇමෙරිකාවේ නීතිඥවරයකු තම සේවාදායකයන්ට යහපත් ලෙස සැලකිය යුතුමය. ඒ සේවාදායකයන් නොමැතිව නීතිඥයාට පැවැත්මක් නොමැති නිසාය.

‘නීතිඥයා සිටින්නේ සේවාදායකයාට වැඩ කිරීමට පමණක් බවත්, සේවාදායකයා නීතිඥයාට කිසිසේත්ම වැඩ නොකළ යුතු බවට’ යන ක්‍රමවේදය මූලික වී ඇත.

ඇමෙරිකාවේ යම් නීතිඥයෙක් තම වෘත්තියට අගෞරවයක් වන ලෙස හැසිරෙනවා නම් සිදුවන්නේ ඔහුට තමන්ගේ නිදහසට කරුණු නොකියාම ලෝගුව ගලවා ගෙදර යන්නටය. ඒ තරමටම ඒ රටේ නීතිය සවිමත්ය. මේ පද්ධතිය පිළිබඳව කලකිරුණු නිලුෂිලා වගේ තවත් බොහෝ උගතුන් රට හැරයන්නේ මේ නිසාමය.

‘‘අපේ ලංකාවෙ මිනිස්සු තවමත් නීතිය නවන්න හදනවා දේශපාලන බලයෙන්, සල්ලිවල බලයෙන්. කිසිම විනිවිද පෙනෙන භාවයක් නීතිය තුළ නැහැ අපේ ර​ටේ. අසරණයකුට සහනයක් ලබාගන්න නීතියේ පිහිට විතරයි තියෙන්නේ. එතැනිනුත් ඔවුන්ට වෙන්නේ අසාධාරණයක් නම් ඇත්තටම නීතියක් මොකටද ලංකාවට?’’

නමුත් තවමත් නිලුෂි ලංකාවට ආදරය කිරීම නවතා නැත. ඇය උපන් රටට සේවය කිරීමට ඇමෙරිකාවේ සිට හෝ ඇය කැපවන්නේ ඒ නිසාය. ලංකාවේ නීති විද්‍යාලවල නීතිය හදාරන ආර්ථික අපහසුතාවලින් දුක් විඳින ශිෂ්‍යයන් කිහිප දෙනකුටම ඇය අනුග්‍රහය ලබාදෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමටය.

‘‘මම නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත්තෙ. මම ඇමෙරිකාවෙ ජීවත් වුණත් මගේ රට මට අංක එක. ඒ නිසයි මම ලංකාවේ දරුවන්ට උදව් කරන්නෙ. ඒ කාලෙ මමත් ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. මටත් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න අමාරු වුණා. ඒත් මම උත්සාහය අතහැරියෙ නැහැ.’

වර්තමානයේ බොහෝ දරුවන් අධ්‍යාපනය අතරමග නතර කර දමන්නේ එක්කො විභාගවලට බියෙන්ය, නැතිනම් ඉංග්‍රීසියට බියෙන්ය.

නිලුෂි මේ සියල්ල හරි අපූරුවට ජයග්‍රහණය කළේ දරුවන් දෙදෙනාද සමගින් යුද්ධයක් කරන අතරතුරේය. ඇයගේ ලොකු පුතාට තවමත් වයස අවුරුදු 11කි. පොඩි පුතාට අවුරුදු 06කි. පුංචි දරුවන් දෙදෙනකුගේ වැඩ රාජකාරි බොහෝමයක් මැද ඉඩ ලැබෙන වෙලාවට තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දිවා රෑ නොබලා ඈ වෙහෙසුණාය.

ඒ වෙහෙසේ ප්‍රතිඵල අද ඇය භුක්ති විඳින්නේ ශක්තිමත් ගැහැනියක් වීමේ ආඩම්බරයද අතැතිවය.

විශ්‍රාමික කම්කරු කොමසාරිස්වරයකු වූ සරත් රණවීර සහ ගම්පහ යසෝදරාවේ විශ්‍රාමික ගුරුවරියක වූ ඉන්ද්‍රාණි රණවීර නොසිටින්නට නිලුෂිට මේ සා විශාල දුරක් එන්නට නොහැකිය. ඒ ආදරණීය දෙමාපියන් දෙදෙනා ඇයගේ සාර්ථකත්වයේ සාඩම්බර හිමිකරුවන්ය. නිලුෂිගේ සැමියාටද ඒ ගෞරවය නිබඳව හිමිවන්නේ ඇගේ ගමන යන්නට අවශ්‍ය නිදහස් වටපිටාව සකස් කරදුන් නිසාය.

ලෝක බලවතාගේ රාජ්‍යයේ ලොකු පුටුවක අද ඉඳගෙන සිටින්නේ එදා පන්තියේ අන්තිමයා වූ නිලුෂිය. ඇයට එදා ජීවිතය දිනන්නට තියා පන්තියේ පළමුවැනියා වන්නටත්, හීනයක් තිබුණේ නැත. නමුත් එක්තරා අහම්බයක් ඇයව ජීවිතයේ සාර්ථකත්වයේ හිණිපෙත්තට රැගෙන යන්නට සමත් වූවේය. අද ඇය ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපතිවරියය. ඒ ගෞරවය ලැබෙන්නේ ඇයට පමණක් නොව, ලෝක බලවතාගේ රාජ්‍යය හමුවේ කුරා කුහුඹුවකු සේ පෙනෙන ශ්‍රී ලංකාවටද ඇය ගෞරවයක්ය.

(Aruna)

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website