Wednesday, 15 May 2019 09:07

කුසලානයේ කතාව

අයි.සී.සී. ලෝක කුසලාන‍ ක්‍රිකට් තරගාවලිය 2019 එංගලන්තය සහ වේල්සය

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කරළියේ වසර හතරකට වරක් උදාවන මහා සැණකෙළිය ලෙස සැළකෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇත්තේ තවත් දින 15ක් පමණි. මේ මස 30 වැනිදා සිට ජූලි මස 14 දක්වා එංගලන්තයේ සහ වේල්සයේ මෙවර පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන තරගාවලියට දැන් සියල්ල සූදානම්ය. කෝටි සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන් පුල පුලා බලා සිටින්නේ මේ මහා සැණකෙළිය උදාවනතුරුය.වසර හතරක් පුරා සිය කඳවුරු ශක්තිමත් කරමින් ද, දස්කම් මුවහත් කරමින් ද, බලාපොරොත්තු පොදි බඳිමින් ද ලොව විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායම් දහයක් මේ අර අඳින්නේ තම රටට ලෝක කුසලානය රැගෙන යාමටය.

කණ්ඩායම් දහයයි

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ ඊට සහභාගි වන කණ්ඩායම් ප්‍රමාණය දහය දක්වා අඩු කර තිබීමය. 2015 වසරේ අවසන් වරට පැවැති තරගාවලියට කණ්ඩායම් 14ක් තරග වැදුණු අතර මෙවර එය සීමා කිරීමෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැඩි විවේචනයටත් ලක්විය. වසර 2017 සැප්තැම්බර් මස 30 වැනිදා වනවිට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු 7 දෙනා අතර සිටි ලොව විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායම් සමග (එංගලන්තය සත්කාරකත්වය ලබාදෙන බැවින් ඔවුන් ඉබේටම තරගාවලියට සුදුසුකම් ලබන බැවින් ශ්‍රේණිගත කිරීම්වල අටවැනි තැන සිටින කණ්ඩායමටත් අවස්ථාව උදාවිය) ඊට අමතරව පසුගිය වසරේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයන්ට සහ අනුශූරයන්ට ඊට එක්වීමේ අවස්ථාව උදා විය.

තරගාවලියේ මුහුණුවර පවා මෙවර උඩුයටිකුරු කර තිබේ. මීට පෙර කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 6ක් 8ක් ක්‍රීඩා කළ අතර මෙවර කණ්ඩායම් දහයක් ක්‍රීඩා කරන්නේ ඉතිහාසයේ පළමු වරටය. වසර 1975දී පැවැති මංගල ලෝක කුසලාන තරගාවලියේ සිට පිට පිට 1987 දක්වා පැවැති තරගාවලි 4දී කණ්ඩායම් අට බැගින් ක්‍රීඩා කළ අතර 1992දී කණ්ඩායම් 9ක් ක්‍රීඩා කළේය. අනතුරුව 1996දී සහ 1999දී කණ්ඩායම් 12 බැගින් ද, 2003දි කණ්ඩායම් 14ක්ද, 2007දී කණ්ඩායම් 16ක් ද තරග බිමට එක්විය. 2011 දි සහ 2015 දි එය නැවත කණ්ඩායම් 14කට සීමා කෙරිණි.

මෙවර තරගාවලිය කණ්ඩායම් 10කට සීමා කිරීමෙන් එය රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වෙන තරගාවලියක් බවට පත්වී තිබේ. සෑම කණ්ඩායමක්ම අනිත් කණ්ඩායම් 9 සමග තරග වදින අතර හොඳම කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට යයි.

ටෙස්ට් රටවල් පමණයි

අයි.සී.සි. ලෝක කුසලාන තරගාවලියට ප්‍රබලතම කණ්ඩායම් එක්වූවත් එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සියළු සාමාජිකයන්ට විවෘතය. එහෙත් අවසනාවකට මෙවර ටෙස්ට් වරම් නොලද කිසිදු සාමාජික රටකට තරගාවලියට එක්වීමේ අවස්ථාවක් උදා නොවීය. එපමණක් නොව ටෙස්ට් වරම් හිමි සිම්බාබ්වේ පිලට පවා මෙවර තරගාවලිය අහිමිවී ගියේය. එසේ වූයේ සිම්බාබ්වේ හී දීම පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ඔවුන් ඉතා අවාසනාවන්ත අයුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවීම නිසාය. අවසානයේ ඇෆ්ගනිස්තානය තරගාවලිය ජයගත් අතර හොඳම කණ්ඩායම් 7 අතර නොසිටීමෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවූ බටහිර ඉන්දීය කොදෙව් පිල අනුශූරයෝ වූහ.

සිම්බාබ්වේ එළියේ

වසර 1983දී පළමුවරට ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිල මෙවර ඉවතට විසිවූයේ ඉතිහාසයේ පළමුවතාවටය. ඇෆ්ගනිස්තානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවීම නිසා මෙවර තරගාවලිය ඉතිහාස ගත වන්නේ පළමුවරට ටෙස්ට් තත්ත්වය හිමි කණ්ඩායම් පමණක් ක්‍රීඩා කළ තරගාවලියක් ලෙසටය. සුදුසුකම් නොලැබූ අනිත් ටෙස්ට් රට වන අයර්ලන්තයට ලෝක කුසලාන තරගාවලියක් මඟ හැරුණේ වසර 2007න් පසුවය.

කුසලානය දිනුවේ රටවල් පහයි

වසර 1975දී එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන්නේ ලොවට එක්දින ක්‍රිකට් හඳුන්වාදී වසර 4කට පසුවය. නමුත් සැළකිය යුතු කරුණ වන්නේ කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ඒ අතරතුර එනම් වසර දෙකකට පෙර එංගලන්තයේ දී පැවැත්වූ බවය. කෙසේවෙතත් තරගාවලියේ වසර 44ක ඉතිහාසයේ එතෙක් මෙතෙක් කණ්ඩායම් 20ක් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ද එය දිනාගැනිමට සමත්වී ඇත්තේ කණ්ඩායම් 5ක් පමණි. ඔස්ට්‍රේලියාව පස් වතාවක්ම ලෝක කුසලානයේ පහස විඳීමට වාසනාවන්ත වූ අතර බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දියාව දෙවතාවක් බැගින් එය දිනාගැනිමට සමත්වී තිබේ. ඊට අමතරව පාකිස්තානය සහ ශ්‍රී ලංකාව එක් වරක් ලෝක කුසලානයට හිමිකම් කීමට සමත්වීය.

තෑගි මල්ල ඩොලර් මිලියන 14යි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලෝක කුසලාන එක්දින තරගාවලියේ තෑගි මල්ල පසුගිය තරගාවලියට වඩා 40%කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මෙවර ලෝක ශූරයන්ට හිමිවන මුදල් ත්‍යාගය ඩොලර් මිලියන 4.8කි. අනුශූරයන්ට මිලියන 2.2ක් ද, අවසන් පූර්ව තරගවලින් පරාජයට පත්වන කණ්ඩායම්වලට ඩොලර් පනස්දහසක් බැගින් ද පිරිනැමේ. තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් සෑම කණ්ඩායමකටම ඩොලර් මිලියන 5ක් ලැබෙන අතර ඊට අමතරව මූලික වටයේ තරගයක් ජයගන්නා කණ්ඩායමට ඩොලර් පනස්දහසක තෑගි මුදලක්ද පිරිනැමේ.

(දිනමිණ)

Sports News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website