Wednesday, 28 August 2019 11:05

දක්ෂතම සහ ඉවසිලිවන්ත ලෝක ටෙස්ට් ශූරයන් කවුද?

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නව ජවයක් ලබාදීම අරමුණු කොට ආරම්භවූ අයි. සී. සී ටෙස්ට් ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය නිමාවට පත්වූ අතර දෙපිලටම ප්‍රසාද ලකුණු 60 බැගින් ලැබී සම තත්ත්වයකට පත්ව සිටිති. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ඇල්මැරුණ ස්භාවයෙන් මුදවා ගෙන එයට නව අරුතක් දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අරමුණවී ඇති අතර එය කොතෙක් දුරකට සාර්ථක ද යන්න ඉදිරියේදී මැන බැලිය හැක.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දක්ෂතාව හා ඉවසිලිවන්ත ක්‍රීඩා විලාශය මත රදා පවතින පැරණිතම හා දීර්ඝතම තරග රටාවක් වන හෙයින් එම රිද්මයේ ලෝක ශූරයන් කවුද යන්න මේ තරගාවලි නිමාවීමේදී පැහැදිලි වනු ඇත. එක්දින ලෝක ක්‍රිකට් ශූරයන් හා විස්සයි 20 ලෝක ශූරයන් පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාව තිබියදී පැරණිම ක්‍රිකට් තරග රටාවේ ලෝක ශූරයන් කවුරුන්ද යන්න හඳුනා ගැනීම වටිනා බව කාගේත් පිළිගැනීම වේ.

ටෙස්ට් ක්‍රීඩාවේ දක්ෂතාව හා ඉවසිලිවන්ත ක්‍රීඩා විලාශය පිළිබඳ වැඩි කතාබහක් පෙරේදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඇතිවුණි. අවසන් දිනයේ හැරුනු කොට දින හතරේම වැස්සෙන් බාධාවූ තරගය ජය පරාජයෙන් තොර බවට බොහෝ අනාවැකි පළ වුවද, අවසන් ප්‍රතිඵලය වූයේ නවසීලන්තයට ඉනිමක හා ලකුණු 65ක ජයක් හිමි වීමය. ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් බේරී සිටීමට අවසන් දිනයේදී ලකුණු 187ක් ලබා ගැනීම අනිවාර්යවී තිබූ අතර ඕවර් 70. 2කදී සියලු දෙනා ලකුණු 122කට දැවී ගියහ. වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් එකා පිට එකා දැවී යද්දී එය නවසීලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂතාව හේතුවෙන් සිදුවූවක්ද? නො එසේනම් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසීමක් නොමැති ක්‍රීඩාවේ ප්‍රතිඵලයක්ද යන ප්‍රශ්නය ඉතිරි වූවේය.

ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ජය ලබා තිබූ හෙයින්, යම් ඉවසිලිවන්ත ක්‍රීඩා විලාශයකින් දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාකර ගත්තේ නම් තරගාවලිය 1-0ක් ලෙස නිමා කොට තරගාවලියේ වැඩි වාසි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකියාව තිබිණි. මෙලෙස රටවල් දෙකක් අතර පවතින ටෙස්ට් තරගාවලියේ අවසාන ප්‍රතිඵලය අනුව අයි. සී. සියෙන් ප්‍රසාද ලකුණු හිමිවන බැවින් ජයග්‍රහණය හිමිකර ගැකීම මෙන්ම පරාජය අවම කර ගැනීම ලකුණු සටහනේ ඉදිරියට යෑම පහසු කරවන්නකි.

තරගාවලියට තරග කෙතරම් අයත් වුවද සෑම තරගාවලියකටම ලැබෙන්නේ ප්‍රසාද ලකුණු 120කි. එම ලකුණු ප්‍රමාණය තරගාවලියකට අයත් ටෙස්ට් සංඛ්‍යාවෙන් බෙදී යනු ඇත. එනම් ශ්‍රී ලංකාව හා නවසීලන්ත ටෙස්ට් තරගාවලියට තරග දෙකක් ඇතුළත්වූ බැවින් ජයග්‍රහණයකදී ලකුණු 60ක් පිරිනැමුණි. තරග දෙකක ටෙස්ට් තරගාවලියකදී ලකුණු සමවන තරගයකට ලකුණු 30ක්, ජය පරාජයෙන් තොරව නිමාවන තරගයකට ලකුණු 20ක් ආදී වශයෙන් ද, තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකදී ජයග්‍රහණයට ලකුණු 40ක්, ලකුණු සමවන තරගයකට ලකුණු 20ක්, ජය පරාජයෙන් තොරව නිමාවන තරගයකට ලකුණු 13ක් ආදී වශයෙන් ද පිරිනැමේ.

තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලියකදී ජයග්‍රහණයට ලකුණු 30ක්, ලකුණු සමවන තරගයකට ලකුණු 15ක්, ජය පරාජයෙන් තොරව නිමාවන තරගයකට ලකුණු 10ක් ආදී වශයෙන් ද හිමි වේ. දැනට ක්‍රියාත්මක තරග පහකින් සමන්විත ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ටෙස්ට් තරගාවලියට ටෙස්ට් තරග 5ක් ඇතුළත්වීම හේතුවෙන් එවැනි තරගාවලියකදී ජයග්‍රහණයට ලකුණු 24ක්, ලකුණු සමවන තරගයකට ලකුණු 12ක්, ජය පරාජයෙන් තොරව නිමාවන තරගයකට ලකුණු 8ක් ආදී වශයෙන් අයි. සී. ය ප්‍රසාද ලකුණු ක්‍රමයක් හඳුන්වාදී ඇත.

ලෝක ටෙස්ට් තරගාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් වරම් ලද රටවල් 9ක් සුදුසුකම් ලබා ඇති අතර තරගාවලිය වසර 2 ක් තිස්සේ පැවැත්වේ. පසුගිය වසරේ මාර්තු 31 වැනිදා වන විට ලෝක ටෙස්ට් තරග බිමේ ඉදිරියෙන්ම සිටි ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් හා බංග්ලාදේශය පළමු ටෙස්ට් ලෝක ශූරතාවට ක්‍රීඩා කරන රටවල් 9 වෙති. ලෝක ටෙස්ට් තරගාවලියේදී එක් කණ්ඩායමක් අනෙක් ටෙස්ට් ක්‍රිකට් රටවල් අටෙන් හයක් සමග ක්‍රීඩා කළ යුතුය. තරගාවලි 6ක් එක් රටකට ක්‍රීඩා කිරීමට සිදුවන අතර තම රටේ තරගාවලි 3ක් (home) හා සත්කාරකත්වය දරන විදෙස් රටක (away) තවත් තරගාවලි 3ක් ලෙස ක්‍රීඩා කළ යුතුය. අවම ලෙස තරග 2ක් හෝ උපරිමව තරග 5ක් එම ටෙස්ට් තරගාවලියකට ඇතුළත් විය යුතුය. උදාහරණයක් ලෙස ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලියට තරග දෙකක්, ඉන්දියාවය හා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියට ටෙස්ට් තරග දෙකක් වෙද්දී ඔස්ට්‍රේලියාව හා එංගලන්තය ටෙස්ට් තරගාවලියට ටෙස්ට් තරග 5ක් ඇතුළත්වී තිබිණි.

ලෝක ක්‍රිකට් ශූරතාවට ටෙස්ට් තරගාවලි 27ක් ඇති අතර එයට ටෙස්ට් තරග 71ක් ඇතුළත් වේ. පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ වූ එංගලන්ත - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ සිට පැවැත්වෙන සෑම ටෙස්ට් තරගාවලියක්ම මෙයට ඇතුළත්වන අතර 2021 වසරේ ජුනි මස දී එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවැත්වෙන අවසන් මහා තරගයෙන් අයි. සී. සී ටෙස්ට් ලෝක ශූරතාවලිය නිමාවට පත්වේ. ලීග් ක්‍රමයට සකස් කරන ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකර ගනු ඇත.

ලෝක ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන තරග

2019

අගෝස්තු: ශ්‍රී ලංකාව-නවසීලන්තය අතර ටෙස්ට් තරග 2ක් ශ්‍රී ලංකාවේදී

ඔක්තෝබර්: ශ්‍රී ලංකාව-පාකිස්තානය අතර ටෙස්ට් තරග 2ක් පාකිස්තානයේදී

2020

මාර්තු: ශ්‍රී ලංකාව-එංගලන්තය අතර ටෙස්ට් තරග 2ක් ශ්‍රී ලංකාවේදී

ජූලි: ශ්‍රී ලංකාව-බංගලාදේශය අතර ටෙස්ට් තරග 3ක් ශ්‍රී ලංකාවේදී

2021

ජනවාරි: ශ්‍රී ලංකාව-දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 2ක් දකුණු අප්‍රිකාවේදී

පෙබරවාරි: ශ්‍රී ලංකාව-කොදෙව් දූපත් අතර ටෙස්ට් තරග 2ක් කොදෙව් දුපතේදී.

 

(Dinamina)

Sports News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website