Tuesday, 17 September 2019 07:03

පාකිස්තානයේ ආරක්ෂාව නිරික්ෂණය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණයක්

මේ මස 27 වැනිදා ඇරැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පාකිස්තාන සංචාරයට තරග නිලධාරීන් පත් කිරීමට පෙර එරට ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

පාකිස්තානයේ පළවන උර්දු පුවත්පතක් වන ‘ඩේලි ජාන්ග්‘ පුවත්පතට අනුව ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන සංචාරයේ දී පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලි සඳහා මධ්‍යස්ථ විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් නම් කිරීමට පෙර එරට ආරක්ෂක සැලසුම යළි සළකා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට ඉඩකඩ ඇතැයි පැතිරී ගිය පුවත හේතුවෙන් මේ සංචාරය අවිනිශ්චිත තත්ත්වයක තිබියදීය. එම තොරතුරු මත පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ යළි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.

තත්ත්වය කෙසේ වුවත් ශ්‍රී ලංකා පිල සහ පාකිස්තාන පිල අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි20 තරගාවලි වෙනත් රටක පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිදු අදහසක් නොමැති බව ද වාර්තා වෙයි.

පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසුව මේ තරගාවලි සඳහා විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වන අතර අයි.සී.සී.යේ විනිසුරු කමිටුවේ සිටින පාකිස්තාන ජාතික විනිසුරුවරුන් මේ සඳහා පත් කරනු ඇතැයි වාර්තා වෙයි. තරගාවලියේ තීරකවරයා ලෙස ආසියානු කලාපයේ තීරකවරයකු නම් කරනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය ඉහළ මට්ටමක පවතින බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එහ්සාන් මානී ප්‍රකාශ කර ඇති අතර එක්දින හා විස්සයි20 ක්‍රිකට් නායක සර්ෆ්‍රාස් අහමඩ් ද එය සනාථ කරමින් පාකිස්තාන සංචාරයට එක්වෙන්නැයි පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම පාකිස්තානයට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ගෙන ඒමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මැදිහත් විය යුතු බව ද ඔහු කියා සිටියේය.

දෙපිල අතර එක්දින තරගාවලිය මේ මස 27 වැනිදා කරාච්චි නුවරදී ආරම්භ වන අතර විස්සයි20 තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ලාහෝර් නුවරදී ආරම්භ වීමට නියමිතය.

(Dinamina)

Sports News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website